Wednesday, October 12, 2011

ප්‍රහර්ෂය : සූරතාන්තය



අනීශාට ඕනේවුණා මම යන යන හැම තැනකම යන්න. ඉඳිකට්ට පස්සේ නූල වගේ ගෑණු හැම වෙලේම ඇඟේ එල්ලෙන එකට මම කොහෙත්ම කැමති නෑ. ඒත් අපි අපිව අඳුන ගැනීමේ පියවරක් විදිහට ඒක එයා කරන බව පෙන්නුවා. ඒ විතරක් නෙමේ අනීශා එකෙන් සෑහෙන ඵල නෙලා ගත්ත කිව්වොත් මම වඩාත් නිවැරදියි. මගේ තිබුණ සිවිල් බලයේ වටිනාකම ගෑණි හොඳ හැටි තේරුම් ගනිමින් මගේ නම ප්‍රයෝජනයට ගත්තා. මා හරහා ක්ෂේත්‍රයේ විවිධ විදිහේ දැන ඇඳුනුම්කම් ඇති කරගත්තා, උපාධියක් කරන්න ඕනේ කිව්වම ඒකටත් මම උදව් කළා. ඔය විදහට ගෑණිට මීඩියා වල හොඳ නමක් ආවේ වැඩි කල් යන්න කලින්මයි. ඊට පස්සේ ඒ රූපවාහිනී ආයතනයේ උසස් තත්වයක් ලැබුනේ විවිධ වාර්තාමය වැඩසටහන් කරන්න, ඒවටත් අදහස් ලැබුනේ මගෙන්ම තමයි.
"ඔයා නම් අනුරුද්ධ අදහස් සාගරයක්" ඔහොම කිය කියා අනීශා තවත් හුරතල් වුණා.

අනීශාට මාව බඳින්න උවමනාව හොඳටම තිබුණා. මගෙන් කෙලින්ම ඇහුවේ නැති වුණත් නොකියා අහපු අවස්ථා එමටයි. අනීශාගේ කිසිම විශේෂත්වය නැහැ. අනිත් අතට මට එහෙම විශේෂ ලක්ෂණයක් අවශ්‍ය වෙලා තිබුනෙත් නෑ. අහිංසකකම, දඟකම, ක්‍රියාශීලීබව, දක්ෂතාවය, උගත්කම, උතුරා යන ලස්සන වගේ විවිධ ගති ලක්ෂණ වලින් හෙබි පෙම්වතියන් මම පහුකරගෙන අත්විත් තිබුණත් ඒ කාටවත් ඇලීමක් ඒ ලක්ෂණයන් නිසා විශේෂ කැමැත්තක් මට ඇති වෙලා තිබුණේ නෑ. අනිත් එක ඒවා බාහිර කරුණු මිසක් ප්‍රධාන කරුණු නෙමෙයි නේ. මෙතුවක් පෙම්වතියන් ගෙන් සැබෑවටම මම ආදරය කරපු කෙල්ලන්ගේ එහෙම විශේෂයක් තිබුණේ නෑ. අනිත් අතට ඒ දේවල් ගැන මම විශේෂයෙන් තියා කොහොමටවත් හොයන්න මහන්සි ගත්තේ නෑ. මට ඕනේ කළේ ප්‍රේම කරන්න විතරමයි. ප්‍රේමය අන්ධයි කියන කතාවේ ඇත්ත නැත්ත මට හොඳටම වැටහුනේ එතකොටයි. කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරනවානම් අනිත් ප්‍රශ්න ගැටළු නෙමේ. නිකම් පුහු දේවල් ආදරය හමුවේ අදිසි වෙන දූවිලි.

ඔයින් මෙයින් මට තේරුනේ මම අනීශාට කිසිම ආදරයක් නැති බව. අනාගතය ගැන ස්ථිරවම කියන්න බැරි වුණත් අනීශාට ආදරේ කරන්න අනාගතයේදී වුණත් පුළුවන් වේවිද කියන සැකය මගේ හිතේ කරනම් ගැහුවා. ඒත් එක්කම මේ හැම දේකම අවසානයක් උවමනා බවකුත් දැනෙමින් තිබුණා.
"උඹ බඳින්නේ කවද්ද?" මගේ හිත මගෙන්ම ඇහුවා.
"කවදාහරි."
"කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලපන්. අවුරුදු හතලිහ වෙන්න තව මාස කීයද? හැමදාම ජීවත් වෙනවා කියලද හිතන් ඉන්නේ?"
"ඉතින් මැරෙන්න කලින් බඳින්න ඕනේ කියල නීතියක් නෑනේ..."
"යකෝ, උඹ හැමදාම එක විදිහට ඉන්නවා කියලද හිතන් ඉන්නේ? බලපන් තවටික දසකින් උඹේ කොන්ඩෙත් සුදු වෙන්න ගනියි. ඇස පෙන්නේ නැතිවෙයි."
"දැන් එතකොට බඳින්න ඕනේ නාකිවෙනවා කියන බයටද?"
"නැතුව, උඹ මහා මෝඩයෙක්. සාකච්චා වලදී මුළු රටටම කියන විදිහට ආදරයේ නාමයෙන් බැඳපන්. ඔය බැඳලා ඉන්න උනුත් ආදරේ කරන එකක් යෑ. බොරුවට රටටම පෙන්න රඟපානවා මිසක්."

මම මට උත්තර දෙන්න ගියේ නෑ. හිත තව තව දේවල් ඔහේ කියාගෙන ගියා. මම කල්පනා කළේ අනීශා ගැන, අනීශාව බඳින එක ගැන. ඒකිගේ කියන්න තරම් වරද්දකුත් නෑ. අනිත් එක බැන්දට පස්සේ හරි ආදරයක් ඇතිවෙන්න පුළුවන් බව යන්තමින් දැනුණා. ඔය විදිහට මම මාවම එක්තරා විදිහකට රවට්ටමින් අනීශාව බැඳීමට අවශ්‍ය කරුණු සාධාරණය කරමින් හිටියා. ඒ ක්‍රියා මාර්ගය අසාර්ථකයි කියන්න බැහැ, සෑහෙන දුරට වැඩේ සාර්ථකයි. උච්ච අවස්ථාව ලංවෙද්දි මම අනීශාව බඳින්න සම්පූර්ණ සූදානමකින් හිටියා. ආයෙත් හිතල බැලුවොත්, කව්රුහරි මගෙන් හරහට ප්‍රශ්න කළොත් ඇත්ත කියවෙන්න පුළුවන් වුණත් මම ඒ සඳහා උපරිමයට සංයමයක දැහැන්ගත වුණා.

අනීශා ඒ වෙන කොට වැඩසටහනක් රූගත කරන්න දඹුල්ලේ ගිහින් හිටියේ, මම එයාගේ දුරකථන අංකය ඇමතුවේ මගේ තීරණය ගැන එයාට දැනුම් දෙන්නයි. ඒත් මට කතාකරන්න ලැබුනේ නෑ. ඒහින්ද මම ඒ කණ්ඩායමේ අධ්‍යක්ෂක වන මගේ යාලුවෙක්ට කතා කළා.
"කෝ අනීශා ඉන්නවද? මම එයාගේ ෆෝන් එකට ගත්තා වැඩ කළේ නෑ."
"දැන් නම් කොහෙද කියන්න දන්නේ නෑ. ඇයි අද අනීශා අපේ ටීම් එකේ ප්‍රෝඩියුසර්ව බැන්ද කියල දන්නේ නැද්ද?... මම හිතුවේ උඹ දන්නවා ඇති කියලා..."


-ඉතිරිය මතුවට-

8 comments:

  1. කමෙන්ට් කරලා අනික් පැත්ත බලන කොට ඔයා ඊලඟ කොටසත් ලියලා ඉවරනේ. හොඳ වැඩේ අනුරුද්ධට උනේ. ..:D

    ReplyDelete
  2. අප්පේ කොල්ල බේරුනා වෙලාවට....

    උඹ මේ අහන ප්‍රශ්න වෙලාවකට මමත් හිත හිත ඉන්න මගුල්ම තමා... ;)

    ReplyDelete
  3. //බැන්දට පස්සේ හරි ආදරයක් ඇතිවෙන්න පුළුවන් බව යන්තමින් දැනුණා.//

    මේ වාක්‍ය කිහිප පාරක් කියවල බැලුවේ ඇයි ද මන්දා. හසිදියේවත් එහෙම නොවුනොත්....

    ReplyDelete
  4. වෙනකෙනෙක්ව බෑන්දත් ආදරය නම් නෑතිවෙන්නෙ නෑහෑ.

    ReplyDelete
  5. ඒ කියන්නේ අනුරුද්ධට ආයෙත් ආදරයෙන් පැරදුමක්ද??බලමු ඉදිරිය කොහොමද කියලා...
    අළුත් පෙනුම ලස්සනයි...

    ReplyDelete
  6. කතාව අපූරුයි සහෝ... ලස්සනට ලියනවා...!

    ReplyDelete
  7. @Kumarihami: හතුරෙකුටවත් දුකකදී ඔහොම කියනවද? ;)

    @සාතන්: ඔය ප්‍රශ්න කව්රුත් තමන්ගෙන්ම අහගන්න ඒවා වෙන්න ඇති එහෙනම්. :)

    @වත්: ඒ ගැන නොහිත ඉන්න එක වඩා හොඳයි...

    @නවින්ද්‍ර: ඇත්ත, ඒත් ඇත්තටම ආදරේද කියල කියන්න බැහැනේ.

    @Dinesh: බලමු යාලු, ස්තුතියි.

    @ලහිරු: බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. සමහර දේවල් තීරණය කරන කොටම කෙළවෙලා ඉවරයි තමයි...

    ReplyDelete