Saturday, September 10, 2011

නාසිසස් සංකීර්ණය හා මම මට ආදරෙයි.



ග්‍රීක පුරාවෘත්තවල සඳහන් වෙන නාසිසස් තමන්ට ආදරය ප්‍රකාශ කරපු සෑම කෙනෙක්ම ප්‍රතික්ෂේප කරන්නේ නොසැලකීම මුසු උද්ධච්ච කමකින්. දවසක් නාසිසස් කවදාවත් දැකල නැති තමන්ගේ ඉතා කඩවසම් ප්‍රතිබිම්බය පොකුණක ජල තලයකින් දැක්කට පස්සේ තමාගේම රුපයට වහ වැටෙනවා, කොච්චර තදින් තමන්ටම තණ්හා වෙනවද කියතොත් ප්‍රතිරූපය දාල යන්න බැරි වෙලා මැරිලා යනවා. පස්සේ කාලෙකදී ඔය සිද්ධිය පසුබිම් කරගෙන සිග්මන් ෆ්‍රොයිඩ් රචනා කරනවා On Narcissism කියල සටහනක්, එහි කියවෙන්නේ නාසිස්තිකත්වය ගැන ෆ්‍රොයිඩ්ගේ අදහස් (ඔහු එය ප්‍රාථමික හා ද්විතියික ලෙස කොටස් දෙකකට බෙදනවා). කොහොම වුනත් දැන් වෙනකොට ඔය නාසිස්තිකත්වය (Narcissism) කියන වචනය පුළුල් රාමුවකින් අරුත් ගැන්වෙනවා. මුලික අර්ථය ආත්ම රාගය ලෙස හඳුන්වන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් සෑම කෙනෙක්ගෙම පවතින ලක්ෂණයක් වුනත් සීමාව ඉක්මවා ගියහම ඒක මානසික රෝගයක් බවට පත්වෙනවා.  



අපේ සීයාගේ මතකය සමරන්නට ප්‍රදානය කරන දානය පහුගිය දවසක පැවැත්වුණා. සීයා විශ්‍රාමික ගුරුවරයෙක් වීම, දහම් පාසලේ විදුහල්පති වීම, සමාදාන විනිශ්චයකරුවෙකු වීම වගේ කරුණුත් එක්ක සීයාව විවිධ ආකාරයේ පුද්ගලයන්ව ආශ්‍රය කළා. ඒ විවිධකාර පුද්ගලයන් දානයටත් ඇවිත් දුක්වුණා, සීයා ගැන කතා කළා, කාල බීල ගියා.  අපේ අයියා ඇහුවේ,
"කීදෙනෙක් ඇත්තටම දුක්වෙන්න ඇතිද?" කියල.
"දානේ දුන්නට මට දිවැස් ලැබුනේ නෑනේ" මං විහිළු කළාට මොකද මම හිතුවේ 'කීදෙනෙක් තමන් වෙනුවෙන් දුක් වෙනවා ඇත්ද' කියල. 
"වෙලාවකට මේවගේ දේවල් කරන එකේ තේරුමක් නෑ." කියල අයියා යන්න ගියා.
සීයත් එක්ක එකට වැඩකරපු විශ්‍රාමික ගුරුවරියක් මාත් එක්ක කතා කළා. ඒ කාලේ සිදුවීම්, සුන්දර අත්දැකීම් මාත් එක්ක බෙදාහදා ගෙන ඇය නැවතුනේ ඇහැට කඳුලකුත් ආවට පස්සෙයි. ඒ කතාවෙන් නම් ඇත්තටම දුක්වෙන පිරිසක් ඉන්නවා කියලා තේරුනත් කීදෙනෙක් තමන් වෙනුවෙන් දුක් වෙනවා ඇත්ද කියන කරණය මගේ හිතේ එහෙමෙහෙ ගියා.


බෞද්ධයෝ හැටියට කෙනෙක් මියගියහම නැවත ඉපදෙනවා කියල දැන දැනත්, කිතුනුවෝ හැටියට මියගියහම ස්වර්ගස්ථ වෙනවා කියල දැන දැනත් අපි දුවෙන්නේ ඇයි? ඇත්තටම අපි දුක්වෙන්නේ ඒ මියගිය පුද්ගලයා වෙනුවෙන්ද නැත්නම් අපි වෙනුවෙන්ද? ඒ විශ්‍රාමික ගුරුවරිය දුක්වන්න ඇත්තේ ප්‍රිය ඇසුරක් නැතිවීම නිසාද, ලැබෙන්න තිබු උදව් නොලැබී යන නිසාද එහෙමත් නැත්නම් තමන්ටත් ඒ ඉරණමම අත්වීම පිලිබඳ දැනුණු බිය නිසාද කියන්න මට පුළුවන් කමක් නෑ සමහර විට ඇයත් හරියටම නොදන්නවා වෙන්න පුළුවන්. තම පෙම්වතිය තවත් කෙනෙක් එක්ක සම්බන්දයි කියල දැනගත්තහම තරුණයෙක් ඒ තරුණියවත් මරල තමාවත් මරාගන්නේ ආදරය නිසාද නැත්නම් අර කලින් කියපු නාසිසස් ආකාරයේ මානසික රෝගයක් නිසාද. ඇත්තටම ඒ පුද්ගලයා ඒ තරුණියට ආදරය කරනවා නම් අනෙක් සම්බන්දතාවය සැබෑ එකක් කියල දැනෙනවානම් දෙන්නටම සුබ පතල පැත්තකට වෙන්න ඕනේ නේද. එත් එහෙම පරිත්‍යාගයක් කරන්න පුළුවන් කාටද. මිනිස්සු කව්රුහරි මැරුණහමත් අඩන්නේ 'අනේ ඇයි මාව දාලයන්නේ' කියල මිසක් 'ගිය තැනක හොඳින් ඉන්න' කියල නෙමේනේ. මේ බන කියන මමත් ඔය වගේ අවස්ථාවක ඔය විදිහටම කටයුතු කරන්න ඉඩ තියනව. කොහොම වුනත් ප්‍රිය විප්‍රයෝගයකදී අපි දුක්වෙන්නේ අපි ගැනම නේද, එතකොට ඒ ශෝකයට මුල ආත්මාර්ථයද. අපි කොච්චර කතා කිව්වත් ඇත්තටම ජීවත්වෙන්නේ අපි වෙනුවෙන් විතරද, ඇත්තටම පිවිතුරු ආදරය කියල දෙයක් නැත්ද. එහෙමත් නැත්තම් පිවිතුරු ආදරය කියන්නේ තණ්හාවෙන් තොර මෛත්‍රියද...

8 comments:

  1. ආදරය කියන්නේ ආශාව, රාගය නිසා උපදින දෙයක් විදියටයි මම දකින්නේ නමුත් එහෙම ඇතිවන ආදරය ආත්මීය සබඳතාවයක් විදියට වර්ධනය වෙනවා. ආදරය වෙනුවෙන් මැරෙන මරන හැම කෙනාම ඒ දේ සිදුකරන්නෙ දැඩි ආශාව නිසයි. එක්කෝ තමන්ට.. නැත්තම් වෙන කාටවත්ම අයිති වෙන්න දෙන්නෙ නෑ

    ReplyDelete
  2. මම හිතන්නෙ මිනිහෙක්ට තමන්ට තියෙන අයිතිය ගැන හැඟීමෙන් ගැලවෙන්න බෑ. ඒ අයිතිය තමන්ගෙ ශරීරයෙ (රැවුල, කොණ්ඩෙ, නියපොතු, සම වගේ ශරීරයේ තියෙන නොයෙක් අවයව අපි පිළිවෙලට maintain කරනවනේ) ඉඳන් පිටතට විහිදෙන් එකක්. ඒක ඕනවට වඩා වැඩි පිස්සුවක් නොවී තියෙන්නෙ ආගම විසින් මිනිස්සුන්ව තුලනය කරන නිසා වෙන්න පුළුවන්. නමුත් ඔය දුක් වෙන එකේදිනම් මට හිතෙන්නෙ ඒක අනුන් වෙනුවෙන් වෙනවට වඩා තමන් වෙනුවෙන් වෙන එකක්. හැබැයි අනුන්ගෙ දුකට දුක් වෙන්න බෑ කියල එකක් නෑ :D

    ReplyDelete
  3. මට නම් තේරෙන්නෙ හැම මිනිහෙක්ම දුක් වෙන්නෙ තමන් ගැන...

    ආදරය කියන එක ගැන කියනව නම් ඕක තමන්ගෙ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න පාවිච්චි කරන ක්‍රියාවලියකට කියන වචනයක්...

    ReplyDelete
  4. "මම" කියන කෙනා ඉන්නකම් කිසිවෙක් තව කෙනෙක්ට ආදරය කරන්නෙ නෑ. පරිත්‍යාග වෙන්නත් බෑ.
    ඒ සියඵ දේ හරහාම මමත්වය තමන්ට කිසි‍වක් අපේක්ෂා කිරීමයි සිදුවෙන්නෙ. ඉතින් ඒ සියල්ල තුළ ශුද්ධ අගයක් පවතින්නෙ නෑ එවැනි තත්වයක් තුළ.

    ReplyDelete
  5. මමත්වය කියනදේ තියෙනකම් ඔය දේ ඔහොමම තමයි යාළුවා.. ඇත්තටම අපිට අර කලින් කිව්වා වගේ කැප කිරිම් කරන්න අමාරුයි.. ඒ හින්දම වෙන්න ඇති මටත් ඒ ආදරය අහිමි වීම මේතරම්ම දරාගන්න අමාරු...

    ReplyDelete
  6. @විසිතුරු: අදහසට ස්තුතියි. :)

    @hare: ඔව්, ෆ්‍රොයිඩ් කියපු ප්‍රාථමික නාසිස්තික තත්වයෙන් හැඳින්වෙන්නේත් ඒකයි. කාගේ හරි දුකකදී අපිට මමත්වයක් නැතිව දුක්වෙන්න පුළුවන්, මම එකඟයි.

    @සාතන්: බොහෝ වෙලාවට පටු පෞද්ගලික වාසි අවශ්‍යතා සපුරගන්න තමයි දැන් ඔය වචනේ නිදහසට කාරණාව කරගන්නේ, විවාහවීම වගේ තත්වයක් ගත්තොත් එතන නැත්තෙත් ආදරයම තමයි...

    @Outsider: එකඟයි මිත්‍රයා.

    @Dinesh: මමත්වය ස්වාභාවිකයි, හැමෝටම අඩු වැඩි වශයෙන් තියනවනේ, යාළුවා.

    ReplyDelete
  7. හරේ කියනවා වගේ අනුන්ගේ දුකට දුක් වෙන්න බෑ කියලා එකක් නෑ . . සමහර වෙලාවට අපි දන්නේ වත් නැති කෙනෙක්ගේ දුකක් ගැන ඇහුවාම දුක් වෙන්නේ ඒ නිසා නේද?

    අඳුන්නේ නැති උනත් සමහර අයගේ වියෝව අපිට වේදනාවක් ගෙනදෙන්නේ අය අය නැති උනාම අපිට / ලෝකෙට හොඳ කෙනෙක් නැති උනා කියන ආත්මාර්ථ හැඟීමට වඩා ලෝකට හොඳ කෙනෙක් නැති උනා කියන හැඟෙමෙන් නේද්? (සාපේක්ෂව දිගට හිතුවොත් ඒකත් කැරකිලා අන්තිමට ආත්මාර්ථකාමී හැඟීමක් විදිහට අර්ථ දක්වන ගානට ගෙන්න පුලුවන්)

    සමස්තයක් විදිහට අපේ කිට්ටු අය නැති වීමෙන් දුක් වෙන එක නම් තනිකරම ආත්මාර්ථකාමී හැඟීමක් කියන එකයි මගේත් අදහස.

    ReplyDelete
  8. @දුකා: ඔව්, අදහසට එකඟයි. ස්තුතියි.

    ReplyDelete