Monday, September 5, 2011

ඇලිස්ගේ විශ්ම(නොවන) ලන්තය




ඇලිස් එක්වරම අවදි වුවාය. ඈනුමක් පිටකර ඇඟමැලි කඩා දැමු ඇය වටපිට බලන්නට විය. බලන බලන අත ඇසට හසු වුයේ පළපුරුදු දසුන් නොවේ. ඇය සිටින්නේ කොහේදැයි කියා සිතා දැනීමට ඇයට ඉතා අපහසු විය. එය කලකින් නඩත්තු නොකළ මල් වත්තකි. සුරංගනා කතාවක තරම් ලස්සන නැතද ඒ උයන ඇසට අපූර්වත්වයක් ගෙන ඒමට සමත්ය. පමණට කප්පාදු නොකළ ගස් වල නිදහසේ පැතිරී ගොසිනි. තැනින් තැන වන මල් පිපී පරිසරය සරසා තිබිණ. ඉඳහිට කුරුල්ලන්ගේ කූජනයද ශ්‍රවනය වේ. කෙසේ වුවද තමා මෙතනට ආවේ කවර අයුරින්දැයි මතකයට නඟා ගැනීමට ඇලිස් අසමත් විය.


ටික වේලාවක් ඒ මේ අත සැරිසැරූ ඇයට ඉතා මිහිරි නාදයක් ඈතින් ඇසෙන්නට පටන්ගත. ශබ්දය එන අතට ඇය ඉබේම වාගේ ඇදී ගියාය. එම නාදය සොයා යත්ම ඇයට දර්ශනය වුයේ කිසි ලෙසකින්වත් සැබෑ විය නොහැකි ආකාරයේ දසුනකි. ගරා වැටුණු ගොඩ නැගිල්ලක් ඉදිරි පිට වයලීනයක් වාදනය කරමින් සිටි විශාල නිල් පැහැ දළඹුවෙකි. දළඹුවට වයලීනය වාදනය කළ හැකිනම් කතාකිරීමටද හැකි වියයුතු යැයි ඇලිස් සිතුවාය. එසේ නම් තමා සිටින්නේ කොහේදැයි කියා ඇයට දැනගත හැකිය.
දළඹුවා තමාට අනතුරක් නොකරාවි කියා ඉවෙන් මෙන් දැනගත් ඇය තව ටිකක් ආසන්නයට ගොස් උගුර පාදන්නට වුවාය. වරක් දෙවරක් උත්සහ කළ පසු දළඹුවා තමා කළ කාර්ය නවතා ඇලිස් දෙස බැලුවේය. 


"සමාවෙලා මම මේ කොහෙද ඉන්නේ කියන්න පුලුවන්ද?" ඇලිස් බැගෑපත්ව විමසුවාය.
"මගේ ඉස්සරහ" උවමනාවට එපාවට මෙන් දළඹුවා උත්තර දුන්නේය.  
"නෑ, මම ඇහුවේ මේ පළාතට කියන නම මොකද්ද කියල"
"මේ පළාත? ඒකට නමක් නෑ."
"එතකොට?"
"එතකොට එච්චරයි. මෝඩ ළමයා!"
ඇලිස්ට ඉන්පසුව ඇසිය යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවිය. කෙසේ වුවද ඇයට තමාගේ ගෙදර යාමට තදින්ම අවශ්‍ය විණ.
"මම ආපහු ගෙදර යන්නේ කොහෙමද?" ඇලිස් නැවතත් විමසුවාය.


එක්වරම දළඹුවා ඇඟිල්ල දික්කළේය. ඇලිස් සිතුවේ ඒ තමාට පාර පෙන්වනවා කියායි. එහෙත් ඒ අනුව ගමන් කළ ඇයට ඇස ගැටුනේ බිම වැටී ඇති කුඩා මංජුසාවකි. එය රනින් ඉතා පරිස්සමට වැඩදමා නිම කළ වටිනා භාණ්ඩයක් බව ඇයට පසක් විය. එහි අන්තර්ගතවී ඇත්තේ කුමක්දැයි දැනගැනීමට ඇය එය විවෘත කිරීමට පටන්ගත්තාය. එහෙත් ඇයට එය සාර්ථකව අවසන් කරගත නොහැකි විය. කොහේදෝ සිට පැමිණි සොල්දාදුවන් කණ්ඩායමක් ඇයව වටකර ගත. ඉන්පසුව සිදුවූ දෙය ඇයට දරාගත නොහැකිව ඇය සිහිසුන් වුවාය. 

නැවත සිහි එළඹෙන විට ඇය සිටියේ රවුම් ගොඩනැගිල්ලකයි. ඇලිස් කාමරය මැද වැටී සිටි අතර මිනිසුන් පිරිසක් ඇය වටකොට වාඩිවී සිටියහ. ඒ මිනිසුන් සාමාන්‍ය ප්‍රමාණය වඩා මිටි වූ අතර කුරුමිට්ටන් මෙන් දිස්විය.  ඒ අතරින් එක කුරුමිට්ටෙක් නැගිට්ටේය.
"අපි මේ එක්වෙලා ඉන්නේ යුක්තිය අඛණ්ඩව පවත්වා ගැනීමේ වැඩපිළිවෙලේ තවත් එක අදියරක් විදිහට. මේ අවස්ථාවේ අපට ලැබිල තියෙන්නේ බරපතල අපරාධකාරයෙක්. අපේ ජාතික ආරක්ෂාව සඳහා මේ අවස්ථාවේ හොඳින් ක්‍රියා කළ යුතු--" ඔහුට කියාගෙන යාමට ඉඩ නොදෙමින් බළලෙක් සභාවට ඇතුල්විය.

කලබල වූ කුරුමිනිසා ඉතා උස්වූ පුටුවක වාඩිවී සිටි රැජින දෙස බැලුවේය (රැජින අනෙක් කුරුමිනිසුන්ගෙන් වෙනස් වන්නේ ඇයගේ ඉතා විශාල ඔලුවෙන් පමණි). කෙසේ වුවද ඇය කලබල වුයේ නැත. බළලා හිමින් ඇවිදවිත් රැජිනගේ ඔඩොක්කුවට ගොඩ වී ඇලිස් දෙස බලා විරිත්තන්නට විය.
"අන්න අර පූසා හිනා වෙනවා." ඇලිස් පුදුමයෙන් කෑගවාය. 
"ඉතින්, ඒ අපේ රජගෙදර කවටයනේ." බළලාගේ ඔලුව අතගාමින් රැජින කිව්වාය."එහෙනම් අපිට කතාවක් කියන්න, පැටියෝ."
නැවතත් සිනාසුනු බළලා බිමට පැන තම කතාව ආරම්බ කළේය.
"ඔන්න එකමත් එක කාලෙක සින්ඩරෙල්ලා කියල කුමාරිකාවක් හිටියා, හරිම කඩවසම් ඒවගේම නිර්භීත. ඒ කාලෙම ජැක් කියල තරුණයෙකුත් හිටියා. එයා හරිම රූමත්, ලස්සන කියලවත් ලියලවත් ඉවර කරන්න බෑ. ඒ වගේම එයා අහිංසකයි වැඩට පලට දක්ෂයි. ඉතින් ඔන්න දවසක් සින්ඩරෙල්ලාට ජැක්ව මුණගැහිලා එයා ගැන සෑහෙන ආදරයක් ඇතිවෙනවා. ඉතින් ඒකට බයවුණු සින්ඩරෙල්ලාව බඳින්න හිටපු කුමාරයා ජැකට මරණ දඬුවම නියම කරනවා. අන්තිමට සින්ඩරෙල්ලා ඒ කුමාරයාව බැඳලා හැමදාමත් සතුටෙන් ජීවත් වෙනවා." 
බළලාගේ කතාවට සතුටු වුනු මිනිසුන් අත්පොලසන් දෙන්නට විය, සමහර ගැහැනුන් සතුටු කඳුළු පිසදන්නට විය.

මේ කිසිදෙයක අගක් මුලක් නොතේරුණු ඇලිස් පුදුමයෙන් බලා සිටියාය. රැජින නැවතත් කතා කරන්නට පටන්ගත්තාය.
"ඔහේට දැන් නිදහසට කරුණු කියන්න පුළුවන්."
"මම වරදක් කළේ නෑ..." තමා කුමක් කළේ දැයිවත් නොදත් ඇ කිව්වාය. 
"වරදක් කළේ නෑ? ජාතික මංජුසාව හොරකන් කළේ නෑ කියලද ඔහේ කියන්නේ? ඒ වුණාට අපිට සාක්ෂිත් ලැබුන අර දළඹුවගෙන්. දැන් කරන්න දෙයක් නෑ තීරණය ලබා දීල ඉවරයි. මේ ළමයා කරල තියන වැරැද්ද අනුව ලැබෙන දඬුවම අවුරුදු එකසිය එකොළහක් අතුරුදහන් කරලා තියන එක." රැජින කෲර ලෙස කියාගෙන ගියාය.
"මෙයාව අරන්යන්න, නඩුව ඉවරයි." රැජින සොල්දාදුවන්ට අණ කළාය.
ඇලිස්ට අවනත වනවා හැරෙන්නට කරකියාගත දෙයක් නොවීය. සොල්දාදුවන් 'විත් ඇයව කැඳවාගෙන ගියේ ඇලිස්ගේ කෑගැහීම මැද්දෙයි. සබාවේ මිනිස්සු සතුටින් විසිර ගියහ.

෴නිමි

7 comments:

  1. මම ඇලිස්ගෙ විස්ම ලන්තය කියවලවත් බලලවත් නෑ බන්... ඒක හින්ද මේක තේරුම් ගන්න නම් අමාරුයි... වෙනද වගේම කාට හරි කන පැලෙන්න දීල කියල තමයි හිතන්න වෙන්නෙ...

    ReplyDelete
  2. හෙ හේ..හොඳයි හොඳයි!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අපි දැනන් හිටපු කතාවට වඩා ගොඩක් වෙනස්.. ඇත්තටම සම්මතයෙන් ඔබ්බට හිහින්...

    ReplyDelete
  5. @සාතන්: කතාව අහලවත් ඇතිනේ? හැබැයි මේක තේරුම්ගන්න ඒක දැනගෙන තියෙන්න ඕනෙමත් නෑ.

    @ඉන්දික: බෝම ස්තුතියි.

    @Dinesh: ඒකනේ යාළුවා.

    ReplyDelete
  6. නියමයි බං... කියල වැඩක් නෑ. ඇල්ස්ගෙ කතාවෙ තියෙන පොලිටික්ස් නිසා ඒක තහනම් වුණා කියලත් අහල තියෙනව කියල මතකයි. හැබැයි අපි කතාව අහල තියෙන්නෙ සර්ව සාධාරණ විධියට දුෂ්ඨයො එක පැත්තක සහ ඇලිස්ට උදව් කරන සාධාරණ අය මේ පැත්තෙ විධියට.

    ඒත් දැන් ලෝකෙ පට්ට අසාධාරණයි...

    දැන් ඇලිස්ගෙ කතාව ලියවෙන්නෙ මෙහෙම!

    ReplyDelete
  7. @hare: ඔව්, හැබැයි ඒ කතාව තහනම් වුණු බවනම් මට අලුත් තොරතුරක්.
    බොහොම ස්තුතියි සහෝ.

    ReplyDelete