"මොකටද ආවේ, මම කියලනේ තියෙන්නේ?", මම මිමිණුවා.
කොච්චර හිමින් කිව්වත් එයාට මාව කොහොමත් ඇහෙනවා. සමහර විට එයා කොහේ හිටියත් මං ගැනම අවධානය තියාගෙන ඇති, එහෙමත් නැත්තම් අපේ සම්බන්දය තද නිසා මාව එයාට දැනෙනවා ඇති. කොයික වුනත් මට එයාව එපා වෙලා දැන් ටිකක් කල්. මගෙන් හේතු අහන එකේ තේරුමක් නැහැ, ඒ මම දන්නේ නැති හින්ද. අපිට ඕනේ දේවල් අපි ඇත්තටම දන්නේ නැතිව ගිහින් අපිට ඕනේ නැති දෙයක් අපි ඕනේ කරගන්නවා, මටත් එහෙම වුනා වෙන්න පුළුවන්.
"ඇයි මාව පන්නන්නේ? ඔයාට දැන් අමතකයි මම ඔයාට කරපු උදව්..."
"කෙහෙම්මල් උදව්! මට ඒවා ඕනේ වුනේ නෑ කවදාත්."
"මට කියන්න ඔයා ඔය කතාකරන්නේ හොඳ සිහියෙන්ද?"
"උඹ කියන්නේ මට පිස්සු කියලද? පිස්සු! ඔව් මට පිස්සු තමා", මට කේන්ති ගියේ නෑ, මට හිනා ගියා. මේ හොල්මකට කතා කරන්න මට පිස්සු වෙන්නම ඕනෙනේ. මට ඒක ක්‍රියාවෙන්ම තහවුරු කරන්නත් එක්ක හොඳවයින් ජල්ලියක් අල්ලන්න හිතුණා. ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා අතට අහුවෙන මල් පෝච්චි, වීදුරු, ෆොටෝ ඔය හැමදෙයක්ම වියරු ආශාවකින් පොළවේ ගැහුවා. පුදුමකට වගේ ඒවා කැඩෙන වාරයක් ගානේ මම සතුටින් ඉපිලුනා. එයා මං දිහා බලන් හිටියේ ඕනේ එකක් කරගත්තාවේ කියන්න වගේ, කොහොමත් හොල්මනකට මනුස්සයෙක්ව නවත්තන්න බැහැනේ. තොවිලෙක වගේ වෙස්මූණක් තිබුනානම් මට දාගෙන නටන්න තිබුන කියල කල්පනාවක් ආවේ කොහේ ඉඳලද මන්ද.
"පලයන්! පලයන් යන්න, උඹ තමා මට පිස්සු වට්ටන්නේ." මම බෙරිහන් දුන්නා.
"හරි මම යන්නම්, හැබැයි මට පොරොන්දු වෙන්න..."
"මොකටද? ඔයා හොල්මනක් විතරනේ."
"පොරොන්දුවෙන්න ඔයා හොඳින් ඉන්නවා කියල."
"යකෝ! මේන්, හරි වැඩක්නේ. උඹ නැති කාලේ මම හොඳින් තමා හිටියේ." එතකොට නම් එයාගේ මුණ අඳුරු වුණා, අඬන්න වගේ. හොල්මනකට වුණත් ඔච්චර දරුණුවට කතා කරන එක හරි නැති වුණත් මට ඔහොම දේවල් එක පාරටම කියවෙනවනේ. ඒ වුණාට එයාට දුකයි කියල මම මොනවා කරන්නද. හොලමනක් වුණහම දුක වැඩියි කියල එයා තේරුම් ගන්න ඕනෙනේ.
මම බිම වැටිලා බිඳුන ඒවගේ කෑලි අහුලන්න ගත්තා. එව්වා බිම වැටිලා තිබුනේ රටාවකට, ලොකු කෑලි ලඟින් ලඟින්, පොඩි කොටස් ඈතින් ඈත. මට පොඩි කාලේ මතක් වුණා. ඉස්සර අපි මුහුදු වෙරළට ගියහම සිප්පි කටු අහුලන්නේ මෙහෙමනේ. එතකොට අපේ නංගි වැලි මාලිගාවල් හදන්න රුසියා. මමයි අයියයිත් සමහර දාට එකතු වෙනවා. අන්තිමට වෙන දේ දන්නවනේ, වැලි මාලිගා මුහුදු රළින් බිඳිලා යනවා. නංගි අඬන වෙලාවට අපි එයාට තේරුම් කරන්න හැදුවට වැඩක් නැහැ. එයා අඬනවම තමයි. ඒ කාලේ හොල්මන ඉන්න ඇත්තේ කොහෙද කියල දන ගන්න මට ආසාවක් ආවා.
"ඔයා කොහෙද ඒ කාලේ හිටියේ?"
"කොයි කලේද?"
"ඇයි අනේ? අපි වැලි මාලිගා හදන කාලේ, ඒ කාලේ ඔයා මැරිලද?"
"මැරිලා? මැරිලා වගේ තමයි."
"කියන්න! ඒ කාලේ කොහෙද හිටියේ?"
"ඒ කාලේ... ඒ කාලේ මම හිටියෙත් ඔයා හිටපු හරියෙම තමයි. ඒක නෙමේ අපි ගමනක් යමුද?"
මට උත්තර දෙන්න ලැබුනේ නෑ, එකපාරටම හොලමනගේ යාලුවෙක් මතුවුණා. ඒකි ගෑනු හොල්මනක්. හැබැයි හැමවෙලේම බය වෙලා, දුකෙන් තමයි ඉන්නේ, හරියට මමයි හොල්මන වගේ. සමහර වෙලවට ඒකි මං ලඟට වෙලා අඬනවා. පිස්සුද මන්ද.
"අය්යේ, මම ඩොක්ටර්ව එක්කන් එන්නද", ගෑනු හොල්මන අනිත් එකාගෙන් ඇහුවා.
එයා ඔලුව වැනුවා. මේ හොල්මනට ඉන්නේ මහා අමුතු යාලුවෝ. ඔයා දැන් ආපු එකී එයාට කතාකරන්නේ අයියා කියල. අයියා හොල්මනයි නංගි හොල්මනයි, හරි ෂෝක් නේ. ඊළඟට ඔයා එන්න හදන අනිත් ඩොක්ටර් හොල්මන, මහා කරදර කාරයෙක් මොකක්ද පෙට්ටියක් උස්සගෙන එන්නේ. ඊළඟට මොකද්ද එකක් මගේ පපුවට තියල බලනවා, ඒ සද්දේ අහන්නලු. හොල්මන මැරිලා හින්ද පණ තියන සද්දේ අහන්න කැමති ඇති. මම කැමතිම නැති එක තමයි මොනවද රවුන් රවුන් ජාතියක් දෙන එක. මුලින් මම හිතුවේ ඒ මට සෙල්ලන් කරන්න කියල එත් ඒවා මම ගිලින්න ඕනෙලු. මං බෑම කිව්වත් මේ හොල්මන මට පොවනවමයි.
ඔන්න ඒ පාර අර නංගි හොල්මනයි, ඩොක්ටර් හොල්මනයි මතුවුණා. ඩොක්ටර් හොල්මන වෙනද වගේම අර බටයක් අරන් ඇවිත් සද්දේ ඇහුවා. මටත් මගේ සද්දේ අහන්න ඕනේ වුණා. එක ඉල්ලගෙන මම සද්දේ අහන්න පටන් ගත්තා. මහ පුදුම සද්දයක්. හරියට බෙරයක් ගහනවා වගේ. මට තොවිලයක් මතක් වුණා. දැන් නම් බෙර සද්දෙත් තියන එකේ වෙස්මූණු ඕනේ නෑ. මම ආයෙත් පුටුවෙන් නැගිටලා බෙර සද්දෙත් එක්ක එකතු වුණා. හරියට මම නෙමේ වගේ, නැත්තම් මම යකා වුණා වගේ. ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ,,, මමත් නටනවා මගේ බෙරයත් නටනවා.
"උඹලත් නටපල්ලා, යක්කු පන්නන්න නටපල්ලා..." මම කෑගැහුවා. ඒ එක්කම මට හූ කියල යටි ගිරියෙන් කෑගහන්න ආසාවකුත් ආවා. ඒත් ඒක කරන්න දෙන්නේ නැතුව මාව නවත්ත ගත්තා. අර හොල්මන මාව ඇඳට ඇදල දාල හයියෙන් අල්ල ගත්තා. ඩොක්ටර් හොල්මන ඉඳි කට්ටක් අරන් ඇවිත් මගේ හම හිල්කළා. ඒකට නම් මට හරියට රිදුණා. මට ඒ එක්කම මගේ අම්මවත් මතක් වුණා. අම්ම හිටියනම් මේ හොල්මන් වලට මට වද දෙන්න ඉඩදෙන්නේ නැහැනේ. ඒ පාර මම හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒ එක්කම මගේ ඇඟ පණ නැතිවේගෙන ආවා. හොල්මන ඇවිත් මාව බදා ගෙන මගේ ඔලුව අතගෑව. නංගි හොල්මනගේ ඉකි ගහන සද්දේ අහගෙනම මගේ ඇස්දෙක පියවුණා.
--නිමාව--