Showing posts with label කෙටි කවි. Show all posts
Showing posts with label කෙටි කවි. Show all posts

Tuesday, June 4, 2013

තවම දළඹුවෙක්


අහස දෙස බලන මම;
පියාපත් විහිදුවා
හුළඟේ දැවටෙමින්
කලුවරද නොතකමින්
මුදු සමනලයෙක් වන්නට,
දළඹුවෙකි පෙරුම් පුරන


Monday, April 9, 2012

ඔබ මගේ හයිකු කවිය



මේ හයිකු කවි කිහිපයක්. එකකට එකක ගලාගෙන යාමක් ගැන හිතල නැහැ. අහඹු තෝරාගැනීම්වල එකතුවක්. උපුටගන්නේ 'බෂෝ ගේ හයිකු කවි' නම් විමලදාස ගමගේ පරිවර්තනය කළ පොතින්. ඒ පොතේ මෙහෙම සඳහන් වෙනවා,

"බෂෝගේ පුරෝගාමිත්වයෙන් වර්ධනය වුණු හයිකු කවිය ලෝකයට අලුත් අත්දැකීමක් විය. ලෝකය පුරා කවීහු එය මහත් උද්‍යෝගයෙන් භාර ගත්හ. එහෙත් ලෝකය පුරා පැවති කාව්‍ය සම්ප්‍රදායන්ට  වඩා එය අලුත්ම කාව්‍යය සම්ප්‍රදායක් විය. ලෝකයේ බොහෝ කවීහු හයිකු කවි නිර්මාණය සඳහා යොමු වුණේ ඒ නිසාය. හයිකු කවියේ පවතින සුවිශේෂත්වය ජපානයේ අනෙකුත් බොහෝ කලාවන්ගේද පවත්නා සුවිශේෂත්වයටම සමාන්තර ය."

හයිකු කවි නිකම්ම වචන ටිකක එකතුවක් නෙමේ. ඉතාම සංගත ලෙස අදහසක් ඉදිරිපත් කිරීමේ හොඳම ක්‍රමය. අඩුම වචන ගණනකින් සිය හැඟීම ප්‍රකාශ කිරීමයි හයිකු කවියන්ගේ උත්සාහය. හයිකු කවියට මාත්‍රා  5, 7, 5 ලෙස පේලි තුනකින් මාත්‍රා 17 යි. මෙතරම් කවි කෙටිවෙන්න සෙන් බුදුදහම බලපාල තියනවා. ජපන් කවියේ ප්‍රධාන අංගයක් වෙන ව්‍යංගය මේවයෙත් ඇතුලත්. ඒ නිසාම තේරුම් ගැනීම අපහසු වෙන්නත් පුළුවන්.

බෂෝ හා ඔහුගේ සෙන් ගුරුතුමා බුචෝ අතර වෙච්ච කතාවක් මෙහෙමයි,
බුචෝ: මේ දවස් වල කොහොමද?
බෂෝ: ළඟදි ඉඳල වැස්ස හින්ද කවදාටත් වඩා කොළ පාටින් පාසි හැදිලා.
බුචෝ: පාසිවල කොළ පාටට කලින්  තියෙන්නේ මොනවගේ බුද්දාගමක්ද?
බෂෝ: මැඩියෙක් වතුරට පනිනවා, ඒ හඬට ඇහුම්කන් දෙන්න...

-------------------------------------------------------------------

මගේ අලුත් ලෝගුව තුල
මේ උදෑසන-
වෙනත් කෙනෙක්

කුඹුර හායි
චෙරි - හන වගාවන් වෙනුවෙන්-
කුණාටුව දෝංකාර දෙයි

වසන්තයේ නික්ම යාම-
කුරුල්ලෝ හඬ නගති
මින් රැල ඇසිපිය ගසා කඳුළු සලති

යතිවරුන්ගේ පා ගැටෙයි
අයිස්මය අඳුර හරහා
අදිමින් ළිඳෙන් මිහිරි දිය

වහල අගුවේ ගිරවුන්-
සිලිම තුල මීයන්-
දිව්‍යමය සංගීතය

මයිල දහයක් දොළහක් ඇවිදීම
චෙරි මල් වැඩම සොයා-
කොතරම් උද්දාමයක්ද

දීප්තිමත් සඳ; මම
පොකුණ වටා සක්මන් කරමි
හා, සන්ද්‍යාව පැමිණ ඇත

නොදන්නා වසන්තය-
පිපුණු ප්ලම් මල්
කැඩපතට පිටුපසින්

තවමත් හුස්ම ගනී
අයිස් කුට්ටියක් තුල
මුහුදු බෙල්ලන්

සුළඟින් ගෙනැවිත්
අසිය් කූරක එල්ලී
මේපල් කොළයක්

අපි එහෙ මෙහේ ඇවිදිමු
හිම දසුන් රස විඳිමින්
මා ලිස්සා වැටී යන තුරු

වසරින් වසර
වඳුරාගේ වෙස් මුහුණ
පැහැදිලි කරයි වඳුරා

පැරණි පොකුණ
මැඩියෙක් පනියි-
දිය විසිරේ.

Wednesday, December 7, 2011

ඇය මගේ පාපය යි


අන්ධකාර රාත්‍රී පසුකර
පිනිබිඳු තැනින් තැන
හුඟක් තදින් ඇලුණු පත්‍ර
කමින් බොමින් තුටු වන
මුදු බැටළු දෙන ඔබ
දඩයම් කරන වෘකයා මම

Sunday, August 14, 2011

චන්ද්‍රිකා හදවත



අවකාශයට මිදී යනු නොහැකිව
දෛවය නිසා ලංවනු බැරිව
ඔබේ ආදරයේ ආකර්ශනයෙන්
ඔබ වටාම භ්‍රමණය වන 
මම චන්ද්‍රිකා හදවතක් වෙමි 

Tuesday, August 2, 2011

වසන්ත සිතුවම


වසන්තයේ උන්මාදය 
තුරුලුකරන් හදවතට 
අස්වැන්න බලාපොරොත්තුවෙන් 
සිනාසෙන්නට වෙරදරන ඔබ, 
විචිත්‍ර චිත්‍රයකි
මා වැනි සිත්තරෙකුට. 

Tuesday, July 19, 2011

රතු ගිටාරය


සඳ එළියෙන් ගිටාරයේ
තත් දිලිසෙන විට
හදවතේ රිද්මය සුසර වී
වයන්නට පටන් ගනියි
අපගේ ප්‍රේමයේ
අනවරත සංධ්වනිය

Monday, July 4, 2011

ඔබයි මමයි...


හුළඟ වගේ නුඹ
කණ්ණාඩිය ළඟ හිඳ
මුහුණ බලන විට
දඟ ගතිය පෙනේ මට
අතින් අල්ලා
පිදිය හැකියි මගේ හද