Showing posts with label සිලිලාර. Show all posts
Showing posts with label සිලිලාර. Show all posts

Monday, November 5, 2012

සඟවන කැස්ස


"මට කැස්ස!" මම කැහැල පෙන්නුවා.
"හාං?"
"ඇත්තටම මට කැස්ස"
"ඉතින්? මට මොනවද කරන්න කියන්නේ..."

ඊට පස්සේ මම එයාට කැස්ස ගැන කියන්න ගියේ නෑ. එයා ඇහුවෙත් නෑ.

"මේ ඔයාට මතකද දවසක් මට කිව්වා ඔයාට කැස්ස කියලා" කාලෙකට පස්සේ එයා ඇහුවා.
"ආං එහෙමද?"
"ඔව්වොව්, අහන්නකෝ ඉතින් දැන් මට කැස්ස වගේ"
"ඉතින් මම දැන් මොකද කරන්නේ?"

එයා මොනවත් කිව්වේ නෑ, ලජ්ජාවෙන් වගේ හිනාවුණා විතරයි.

"ඔයාට මතකද අපිට කැස්සක් හැදුණා, කාල දෙකකදි"
"ම්, ඔව් ද කොහෙද, ඉතින්?"
"අපි දෙන්නටම එකම කාලෙකදී කැස්ස හැදුනානම්?"
"ඔයා කියන්නේ වෙනසක් වෙන්න තිබුන කියලද?"

මම ඔලුව වැනුවා.

"මේ" මම කතා කළා.
"ම් ඇයි?"
"මිනිස්සුන්ට කැස්ස නැතුව ජීවත් වෙන්න අමාරුයි"
"මම නම් ඕවා දන්නේ නෑ"
"බොරුකාරි!"
"හරි හරි, මම ටිකක් විතර දන්නවා ඉතින්..."
"ඒකනේ, ඉතින් කියන්නකෝ"
"වැඩක් නෑ"

එයා උත්තර දුන්නේ නෑ, මම බලකළෙත් නෑ.

"ඔයාට දැන් කැස්සක් ඇත්තෙම නැද්ද?"
"නෑ මම හිතන්නේ..." එයා අවිශ්වාසයෙන් උත්තර දුන්නේ.
"ඔහොම කියල බෑ, හරියටම කියන්න."
"මේවා හරියටම කියන්න බෑනේ"
"මටනං පුළුවන්"
"මටත් පුළුවන් ලූ..."

එයා මාව තල්ලු කරලා දුවන්න ගත්තා, මට හිනා.

Friday, June 8, 2012

අස්ථාවර සුඛාන්තය | Happy Endings


ගලමත නලියන පෙණ බුබුලක් මත
සුළඟට සෙලවෙන පිහාටුවක්
සුසිනිදු එය මත ඉඩ ඇත්තේ නැත
ඇහි පිල්ලමක් යලි අහුරන්න

පිහාටුවට ගිනි තබමි මම
හානි නොවෙන්න බුබුලට
පාවී යන භෂ්ම තනිකරයි
දිය බුබුල තුල අවකාශය

හිස්කම අතරින් මතුව දිස්වන
බුබුල මත හිරු එලියෙන් දිදුලන
සිටගනිමි සීරුවෙන් සැනසෙන්නට
අස්ථාවර බව තුල ස්ථායිව

අප්‍රාණික බුබුල තුල වාතය
මුසුවේ පිටතට හනික
පර්වතය අසල තනිව මම
මාගේ සුඛාන්තය සමගම

Monday, April 9, 2012

ඔබ මගේ හයිකු කවිය



මේ හයිකු කවි කිහිපයක්. එකකට එකක ගලාගෙන යාමක් ගැන හිතල නැහැ. අහඹු තෝරාගැනීම්වල එකතුවක්. උපුටගන්නේ 'බෂෝ ගේ හයිකු කවි' නම් විමලදාස ගමගේ පරිවර්තනය කළ පොතින්. ඒ පොතේ මෙහෙම සඳහන් වෙනවා,

"බෂෝගේ පුරෝගාමිත්වයෙන් වර්ධනය වුණු හයිකු කවිය ලෝකයට අලුත් අත්දැකීමක් විය. ලෝකය පුරා කවීහු එය මහත් උද්‍යෝගයෙන් භාර ගත්හ. එහෙත් ලෝකය පුරා පැවති කාව්‍ය සම්ප්‍රදායන්ට  වඩා එය අලුත්ම කාව්‍යය සම්ප්‍රදායක් විය. ලෝකයේ බොහෝ කවීහු හයිකු කවි නිර්මාණය සඳහා යොමු වුණේ ඒ නිසාය. හයිකු කවියේ පවතින සුවිශේෂත්වය ජපානයේ අනෙකුත් බොහෝ කලාවන්ගේද පවත්නා සුවිශේෂත්වයටම සමාන්තර ය."

හයිකු කවි නිකම්ම වචන ටිකක එකතුවක් නෙමේ. ඉතාම සංගත ලෙස අදහසක් ඉදිරිපත් කිරීමේ හොඳම ක්‍රමය. අඩුම වචන ගණනකින් සිය හැඟීම ප්‍රකාශ කිරීමයි හයිකු කවියන්ගේ උත්සාහය. හයිකු කවියට මාත්‍රා  5, 7, 5 ලෙස පේලි තුනකින් මාත්‍රා 17 යි. මෙතරම් කවි කෙටිවෙන්න සෙන් බුදුදහම බලපාල තියනවා. ජපන් කවියේ ප්‍රධාන අංගයක් වෙන ව්‍යංගය මේවයෙත් ඇතුලත්. ඒ නිසාම තේරුම් ගැනීම අපහසු වෙන්නත් පුළුවන්.

බෂෝ හා ඔහුගේ සෙන් ගුරුතුමා බුචෝ අතර වෙච්ච කතාවක් මෙහෙමයි,
බුචෝ: මේ දවස් වල කොහොමද?
බෂෝ: ළඟදි ඉඳල වැස්ස හින්ද කවදාටත් වඩා කොළ පාටින් පාසි හැදිලා.
බුචෝ: පාසිවල කොළ පාටට කලින්  තියෙන්නේ මොනවගේ බුද්දාගමක්ද?
බෂෝ: මැඩියෙක් වතුරට පනිනවා, ඒ හඬට ඇහුම්කන් දෙන්න...

-------------------------------------------------------------------

මගේ අලුත් ලෝගුව තුල
මේ උදෑසන-
වෙනත් කෙනෙක්

කුඹුර හායි
චෙරි - හන වගාවන් වෙනුවෙන්-
කුණාටුව දෝංකාර දෙයි

වසන්තයේ නික්ම යාම-
කුරුල්ලෝ හඬ නගති
මින් රැල ඇසිපිය ගසා කඳුළු සලති

යතිවරුන්ගේ පා ගැටෙයි
අයිස්මය අඳුර හරහා
අදිමින් ළිඳෙන් මිහිරි දිය

වහල අගුවේ ගිරවුන්-
සිලිම තුල මීයන්-
දිව්‍යමය සංගීතය

මයිල දහයක් දොළහක් ඇවිදීම
චෙරි මල් වැඩම සොයා-
කොතරම් උද්දාමයක්ද

දීප්තිමත් සඳ; මම
පොකුණ වටා සක්මන් කරමි
හා, සන්ද්‍යාව පැමිණ ඇත

නොදන්නා වසන්තය-
පිපුණු ප්ලම් මල්
කැඩපතට පිටුපසින්

තවමත් හුස්ම ගනී
අයිස් කුට්ටියක් තුල
මුහුදු බෙල්ලන්

සුළඟින් ගෙනැවිත්
අසිය් කූරක එල්ලී
මේපල් කොළයක්

අපි එහෙ මෙහේ ඇවිදිමු
හිම දසුන් රස විඳිමින්
මා ලිස්සා වැටී යන තුරු

වසරින් වසර
වඳුරාගේ වෙස් මුහුණ
පැහැදිලි කරයි වඳුරා

පැරණි පොකුණ
මැඩියෙක් පනියි-
දිය විසිරේ.

Monday, March 5, 2012

සෙන් මොහොතක් අතර | Moment of Zen


මේ දවස් වල මම අහන වඩාත්ම කැමති සින්දුව තමයි ඔය. මම සිංදුවකින් බලාපොරොත්තු වෙන හැමදේම මෙතන තියනවා; සංගීතය, කටහඬ, ගායනය, පද රචනය, රූප රචනය (අවශ්‍යම නොවුණත්). ඒ වගේම ගායිකාව Lana Del Rey ලස්සන වීම බෝනස් එකක් විදිහට සලකන්න පුළුවන්. මේ සින්දුව මාව ඒ තුලට ඇදගෙන අපිව විනාඩි කිහිපයක සමාධියක තබා ගන්නවා. ඒක එක්තරා විදිහක ධ්‍යානයක්, සෙන් මොහොතක්. මේ කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් නිසා පිටින් බලන කෙනෙක්ට මේ අතිශෝක්තියෙන් කීමක් විදිහටත් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් තර්කය තමයි සංගීතය අපිව මේ මොහොතේ ජීවත් කරවන්න පුළුවන් කියන ඒක. මේ මොහොතේ සිහිය තබා ගැනීම භාවනාවේ ප්‍රධාන අංගයක්.



මේ සින්දුවේ තියෙන්නේ බොහොම අතීතකාමී ගුණයක්. ඇය අභාෂය ලබා ඇත්තේ හැටේ දශකයෙන්, ඒ වගේම ඇයම ලියු පදරචනා කාව්‍යාත්මක යි. ඇගේ පෞද්ගලික විස්තර ඇතුල් කරලා මේ විදිහට සින්දු කීමේ පසුබිම හැදුන හැටි හඳුනාගන්න පුළුවන් වුණත්, මම ඒවා කියන්න යන්නේ නෑ. මොකද එය අනවශ්‍යයි, උවමනා කළේ සංගීතයේ ඇති සංවේදනීය ලක්ෂණයක් කීම පමණ යි.

* * * * *

දවසක් මම කොටුවේ ඉඳල ගම්පහට යනකොට යන්න ලැබුනේ බොහොම හිමින් යන පරණ දුම්රියක්. ඒකෙ ඔය ගුණාංග නිසාම එක එක නම් හිටන් හැදිලා තිබුණ මම හිතන්නේ. කෝච්චිය කොටුවෙන් පිටත් වෙන්නේ 6.15 ට විතර. මට ඉඳගන්න ලැබුණා. කතාකරන්න යාලුවෙක් වත් කියවන්න පොතක්වත් තිබුනේ නැති හින්ද මට වුණේ ජනේලෙන් වට පිට බලන්න තමයි, අර ඉස්සර පොඩි කාලේ වගේ. කොහොමහරි ඉතින් කෝච්චියත් බැරි මරගාතේ යන්න පටන් ගත්තා. යන්නේ හිමින් නිසා වට පිට දර්ශන ග්‍රහණය වීමේ හැකියාව වැඩි යි. බලන්න දේවල් ඕනේ තරම් තියනවා, දුම්රිය ගමනකින් ලංකාවේ ආර්ථිකය, සමාජය, පරිසරය, හැදියාව වගේ නොයෙක් දේවල් බලන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඒක ලංකාවේ බොහෝදුරට සම්පූර්ණ වූ මුහුණුවරක්.

මට එහා පැත්තෙන් ගියේ ඒ සීට් ඒක අරක්ගත්ත කට්ටියක්. හැමදාම යන තැනට මම ඇවිත් හින්ද වෙන්න ඇති විනාඩියෙන් විනාඩියට එක්කෙනෙක් නැගිටලා තවත් එකෙනෙක්ට ඉඳගන්න දෙනවා. ඒ වගේම 'බුද්ධාගමට අනුව බුලත් විට කෑම අකැපද' 'එහා ගෙදර මිනිහ නැතිව ගෑනි වාහන එලවන්නේ ඇයි' 'හැම දෙමලෙක්ම කොටින්ට කැමතිද/අකමැතිද' වගේ බොහොම භාර සාර සාකච්චා වට පැවැත් වුවා. අනුන්ගේ කතා අහන ඒක හොඳ වැඩක් නොවුණත් කතා කළේ මුළු කොච්චි පෙට්ටියටම ඇහෙන්න හින්ද මට කරන්න දෙයක් තිබුනේ නෑ. ඕනෙනම් මටත් ඒ කතාවලට ලේසියෙන්ම එකතු වෙන්න හැකියාව තිබුණා, ඒ කණ්ඩායමේ තිබුනේ එතරම් මිත්‍රශීලි බවක්. ඒත් එහෙම එකතු වෙලා කතාකරන්න බැරි කමක් දැනුනා, අනික අපේ විස්තර හුමාරු කරගෙන කොහෙන්හරි නෑදෑ කමක් අල්ලගන්නත් ඉඩ තියනවනේ. ඔහොම යන අතර තුරේ මම කල්පනා කළේ මම මේ කිසි කුලකයකට අයෙත් වෙන්නේ නෑ නේද කියන එක.

කිසිවකට නො ඇලි ඉන්න එක තරම් අමාරු දෙයක් නැති වුණත් ඒ අවස්ථාවේ එහෙම ඉන්න පුළුවන් කමක් ඇතිවෙලා තිබුණා. දුම්රියෙන් පිට දේවල් වලටවත් ඇතුලත දේවල් වලටවත් මගේ ඇලීමක් හෝ ගැටීමක් තිබුනේ නෑ. ඒක එක්තරා ආකාරයකින් උපේක්ෂාව සමග සමාධිගත වීමක්, සෙන් මොහොතක්. ඒ මොහොතේ කූටප්‍රාප්තිය වුණේ වෙල් යායවල් අවසානයේ විශාලව තැඹිලි පාටින් පෙනුන ඉර. කහ ආලෝකයෙන් පරිසරය නැහැවිලා තිබුණා. සිහින් නල ධාරා පාවෙලා ගියා.

Thursday, March 1, 2012

තමා තුල සිටින දෙවියා | Act of Contrition


http://lonelypierot.deviantart.com/


පහණින් සැදුම්ලත් හදවතේ
ඊයම් කැබලිති සිරව
ගිලීමට තව තවත් පතුලට
යත්ම හඬක් නොනගා ම
කියවෙන මුණු මුණුව,

මාගේ දෙවියණනි,
අයදිමි සමා කළ පාපයන්ට
ඔබට කළ දෝෂාරෝපණයනට
මක්නිසාදයත් මා ස්වර්ගයේ
අහිමිවීමට ශෝකවනවා සේම
අපායේ වේදනා ප්‍රතික්ෂේප
කරමින් මින් මතු ඔබ
ඉල්ලා සිටින දෙය පමණක්
කරනා බවට සපතවෙම්

ආමේන්!

තමන් තමන් තුලින්ම
දෙවියන් සොයා ගත්කල්හි
තමා ම දෙවියන් වී
ශුන්‍ය ප්‍රීතියකින් පවසම්
මම නම් ප්‍රේමය බව

Friday, February 10, 2012

සුරඟනක් හා මත් ව | Absinthe : The Green Fairy


මුළු ඇඟම පිච්චිලා යන සංවේදනයක් එක්ක හීන් හිරිවැටීමකින් ඇස් වැහුණා. සහනය, ඒ තමයි පූර්ණ තෘප්තිමත් බව. ඇස් අරින්න කිසිම වුවමනාවක් ඇති වුණේ නෑ වගේම අමුතු සුවදායක බවක් අවකාශයේ පැතිරෙන්න ගත්තා. ළා සිසිලසක් වගේම හිත පොපියවන ස්වභාවය ඇඟෙව්වේ සුරඟනගේ ආගමනය. මම හිමින් ඇස් ඇරියේ කම්මැලි කමට, මට ඒ සනීපයෙන් මිදෙන්න බැරි බවක් දැනුණා. ඇස් අරිනවත් එක්කම මම තේරුම් ගත්ත මම දැන් ඉන්නේ ඇස් පියවෙද්දී හිටපු තැන නොවන බව. එතැන කැලයක්. නැහැ අත්හැර දමන ලද උයනක්. කාලෙකට කලින් ඉතාම පිළිවලකට හා සුන්දරව පවතින්න ඇති බවට සාධක තවමත් ඉතිරි වෙලා. මම හිටියේ මල් වල එතිච්ච ආරුක්කුවකට හේත්තුවෙලා. පරිසරය පුරාවට විහිදිලා තිබුනේ සැන්දෑ රන් පැහැ ආලෝකය.

ඒ ආලෝකයෙන් ඇගේ වත දිදුලන්න ගත්තා, ඇය තමයි හරිත සුරඟන. ඇය ඇඟලාගෙන හිටි ඉතා දුහුල් සළුව අතරින් ඇගේ සම දිලිසුනේ ලුමිනස් පැහැයකින්. දීප්තිමත් ආලෝකය ඇගේ ලාලිත්‍යමය සිරුරේ ආකර්ශනීය බව තව තවත් ඔපවත් කළා. වෙනත් විදිහකට කිව්වොත් මිනිහෙක් ගැහැනියක ගෙන් බලාපොරොත්තුවන වන සෑම දෙයකටත් වඩා වැඩි දෙයක් ඇය සතුව ඇති බව පෙනුණා. සුරඟනගේ සුන්දරත්වය විඳින අතරේ ඇය මා ළඟටම ඇවිත් (ඇත්තම කිව්වොත් එය ඇවිදීමකට වඩා පාවීමක්) ළඟින් වැඩි වුණා. මම හිනා වුණේ ඉබේටම යි, ඇය මගේ ඇස වලට එබුණා. ඒක මගේ සිරුර ඇතුලට කිඳා බැහැල මුළු ආත්මය ම කිති කැවීමක්. ඒ ප්‍රහර්ෂයේ සන්සුන් වෙන්න මම ඇස පියාගත්තා.

නැවත ඇස් අරින්න අවස්ථාව උදාවුනේ ඇය ඇගේ හිස මගේ උකුල උඩින් තියාගත්තට පස්සේ. මම ඇය දිහා බැලුවම ඇය හිනාවුනේ මගේ හදවතත් එක්ක.
"ඔයා ලස්සනයි..." මම මිමිණුවා.
ඇයගේ නේත්‍රා දිලිසුනා.
"ඇත්තම යි කිව්වේ, ඔයා ඇයි මෙහෙ? ඇයි මාව බලන්න ආවේ? මම බලාපොරොත්තු වුණේ නෑ."
"ඔයා කතාකලහම නෑවිත් ඉන්නේ කොහොමද, මට ඕනේ වුණා ඔයාව පුදුම කරවන්න."
"ම්ම්ම්,,, අපි දැන් මොකද කරන්නේ?"
"අපි දැන් කායිකව එක්වෙනවා."
"නෑ, මේ අපි කතාකරනවනේ?"
"ඉතින් රමණය කියෙන්නෙත් කතාවක් තමයි, ඒක සිරුරු දෙකක් අතරේ කතාවත්, ආත්ම දෙකක් අතරේ මිමිණුමක්."
"ඔයා ඔය කියන්නේ කාව්‍යාත්මකව?"
"නෑ, ඒක එක දෘෂ්ටිකෝණයක්. තමන්ට හිතෙන විදිහට නිර්වචනයක් හදාගන්න නිදහස කාටත් තියනවා." ඇය ඒ කොටස හිමිහිට කිව්වේ මගේ කනට ලංවෙලා.

ඇය නැගිටලා නැවත වරක් මගේ ළඟට ඇවිත් මගේ උකුල උඩින් වාඩිවුණේ මට මුහුණලා. අපේ ඇස් හමුවෙලා නැවත කතාවකට එකතුවුණා. ඒ සුහද සංවාදය අවසන් වුණේ මම ඇගේ කම්මුල සිපගැනීමකින්. ඇය හඬ නැගල හිනා වුණාම මටත් හිනා නොවී ඉන්න බැරි බැරි වුණා. ඇයත් මගේ කම්මුල සිපගත්තේ ඒ අතරෙදි යි. නැවතත් ඇස් පියාගැනීමක්. ඊළඟ වතාවේදී හාදුව ලැබුනේ මගේ දෙතොලට. ඇයගේ තොල් සඟල අසාමාන්‍යය විදිහට සුමුදු යි වගේම හිත කලඹවන සුළුයි. මට ඒ සුවයේ තව තවත් ගිලෙන්න ඕනේ වුණා. මම ඇගේ බැඳ වටා අත දාල මට තුරුළු කර ගත්තා. ඇයත් මගේ පපුවටම එතුනේ ආයාසයකින් තොරව යි.

සිප ගැනීම අවසන් කළ සුරඟන මගේ ඇස් එක්ක හිනා වුණා. මම ඇගේ සිනිදු කෙහෙ රැලි අතරින් ඇඟිලි යැව්වා. ඇය මගේ උරහිසින් ඔලුව තියල තවත් මට ම තුරුළු වුණා. ඇගේ පිරුණු පයෝධර අපි දෙන්න අතරේ තෙරපුනා. මම ඇගේ බෙල්ලට හාදු දුන්නේ හිතෙන් වාරගණන ගණන් කරන ගමන්. සිපගන්නා වාරයක් පාසා සුරඟනගේ සම වඩවඩාත් දීප්තිමත් වුණා. ඉතාම සොදුරු මිනිත්තු කිහිපයකට පස්සේ ඇය ඔලුව ඔසවල මගේ දිහා බැලුවා. ඒ වතාවේ ඒ නයන කතා කළේ නෑ, නොකළෙත් නෑ. කොහොම වුණත් ඇය කියන දෙය මට දැනුණා. හැම ආරම්බයකට ම අවසානයක් තියනවා. එක කොච්චර සතුටුද/දුක්මුසුද කියන දේ වෙනම කතාවත් තමයි වුණත් ස්වභාවය දැනගැනීම එක්තරා සහනයක්.

"මට යන්න වෙනවා."
"තව ටිකක් ඉන්න..."
"බැහැ."
"එහෙනම් යන්න කලින් අවසාන හාදුවත් දෙන්න."
"හොඳයි, හැබැයි මේ අවසාන වතාවද නැද්ද කියල කියන්න පුළුවන් ඔයාටම විතරයි."

ඇය අවසාන වරටත් මාව සිපගනීමත් එක්කම ඇය අවකාශය තුලින් අතුරුදන් කළේ මාව පියවි සිහියට ගෙන එමින්. ඒත් මට සැබෑ ලෝකය අවශ්‍ය වුණේ නෑ. සැබෑ ලෝකය මාව වෙහෙසටත් කම්පාවටත් පත්කරන්න සමත් වුණාට හරිත දෙවඟන ඒ හැම දුකක්ම මගෙන් ඉවත් කරලා පූර්ණ සන්තුෂ්ටියක ඔබ්බවන්න සමත් වුණා. අහා! එය තමයි, සැබෑව විය යුත්තේ. ඒ තෘප්තියේම සැඟවීමේ ආශාවෙන් මම නැවතත් ඒ අධි සාන්ද්‍රීය පානය නැවත වරක් තොල ගාල ඇස් පියාගත්තා.

Monday, January 30, 2012

හිමි වීම අතර නො ඇලීම | To Have and Not to Hold



සිසිර තුහින සමග නග්නව මුත්
සම මත පතිතව රශ්මි තරංග,
මාගේ අත්ල'හි ඇති ඔබේ හදවත
නොවෙනු ඇත කිසිවෙකුගේ

අනිත්‍ය නම් සදාකාලික බව 
ඇතුලත ගිලී ඇති තාක් විශ්වය
හාදුවක් තබා සපථ කරන්නම්
නොවන බව කිසිවිටක ඔබ මාගේ

දුරින් හිඳ විඳගන්නට සතුට
තාවකාලික අවස්ථාවක් අත'තිවත්
අවසානයේ සියල්ල නිස්සාර හෙයින්
ඉතිරිව මෛත්‍රී ශාන්තිය පමණක්ම

අග්නි චක්‍රයෙන් මිදී අවුත්
බලත්ම අප අපම දෙස
හිමි වූවත් නො ඇලෙමි නුඹහට 
අත්හල බැවින් මා මාවම

Saturday, December 31, 2011

මේඝයක් සේ හුදකලා වී | Lonely as a Cloud


නිවාඩු දවසකත් උදේ පාන්දර ඇහැරුණ හේතුව දන්නේ නෑ. හරියටම කියල නිදාගෙන හිටියේ නැති හින්ද 'ඇහැරුණා' කියන වචනය කෙතරම් සුදුසුද මන්ද. අසල්වැසි ගෙදරක රේඩියෝවකින් ඉලෙක්ට්‍රොනික පිරිත් සද්දයක් ඇහුනේ යාන්තමට. ඒ වගේම එහෙන් මෙහෙන් වාහන සද්දෙත් එක්ක කුරුල්ලන්ගේ කතාබහ නෑහුනා නෙමේ. වෙනද ඇඳෙන් නැගිටින්නේ කම්මැලිකමෙන් වුණාට අද එහෙම උවමනාවක් නැතුවම ඉන්න පුළුවන් වුණා. මම ගෙදර දොරත් ඇරගෙනම එලියට ආවේ සිහිල් සුළං ඇඟේ වැදෙද්දී යි.

අත්‍යවශ්‍ය උවමනාවකට ඇරුනම මේ වෙලාවට (උදේ පහට විතර) හේතුවක් නැතුව ගෙදරින් ගිහිල්ලම නෑ. ඒ හින්දම මට මේ වෙලාවේ රස්තියාදු වෙන්න ආසාවක් ආවා. ඉතා සීමිත වගකීම් ගණනක් ඇතිව ජීවත්වීමේ වාසී මම මට ම මතක් කර දෙන ගමන් මම ඇවිදින්න ගත්තා. වෙනද යන පාරේම හිමින් හිමින් ගෑටුවේ වට පිට බලන ගමන්. මම හිතුවේ වෙනද දකින දේ වල වුණත් වෙනසක් දකින්න ඒ වෙලාවේදී පුළුවන් වේවි කියල. ඒත් එහෙමම වෙනසක් ඇත්තෙත් නෑ, කරුවලත් එක්ක එහෙන් මෙහෙන් ආ එළි එකතු වෙලා හැදුවේ හැන්දෑවේ දකින පරිසරයම නොවෙයි වුණත් ඊට සමාන යමක්. 

නිශ්චල පරිසරයට චලනය වෙන දෑ විදිහට,
  • වාහන
  • රාජකාරි නිමවී එන්නන් හා රාජකාරි සඳහා යන්නන්
  • ව්‍යායාම කරන්නන් (තනිවම, යාලුවෙක් සමග හෝ බල්ලෙක් සමග)
  • කුරුල්ලන් (හොඳින් පෙනුනේ නැතත්)
  • අම්මෙකුයි පොඩි ළමයෙකුයි (කොහේ යනවද මන්ද?)
එකතු වෙලා තිබුණා.

නොයෙක් උවමනාවන් සඳහා ක්‍රියාකරන්නන් අතරින් කිසිම අවශ්‍යතාවක් වෙනුවෙන් නොගිය එකම පුද්ගලයා මම වෙන්න ඕනේ. සමහර දේවල් කරන්න පැහැදිලි හේතුවක් තියෙන්න අවශ්‍ය නෑ. අනික යමක් කරද්දී හේතු හොයා බැලීම එක අතකින් අවස්ථාවාදී කමක්. ඒ වගේම හේතු කියල හොයන්නෙත් ප්‍රයෝජන හා වාසී පමණ යි. ඒ කාරණයේදී ඒක ගැන වැරද්දක් කියන්නත් බෑ. අලස රස්තියාදුවකත් එක්තරා ආත්මීය ප්‍රීතියක් තියනවා. එය හඳුනාගන්න නම් එහෙම ගමන් ගිහින්ම බලන්න වෙනවා. ඒත් සමහර විට ගිහින් බැලුවත් එය නො දැනෙන්නත් පුළුවන්. සමහර විට එය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්නත් හැකියි.

තනිකම කියන්නේ තමන්ට තමන් ලංවෙන අවස්ථාවක්. සමහරු තමන්ට තමන්ව මුණගැහුනහම බය වෙන්න, පුදුම වෙන්න, දුක් වෙන්න, කේන්ති ගන්න වගේ විවිධ ප්‍රතිචාර දක්වන්න ගන්නවා. මම ගැන කියවන්නම් මම උත්සහ කරන්නේ කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න. ඒක තමන් තමන්ව මග ඇරීමක් වගේ පෙනුනත් එහෙම නෑ. ඇලීමත් ගැටීමත් අතරේ යමක්. උපේක්ෂාවක්.

උපේක්ෂා! හිරණ්‍යට ඇයව මතක් වුණා. දැන් ඇය මොනවා කරනවා ඇත්ද? මාව මතක් වෙනවා ඇත්ද? ආයේ මුණගැහෙන්න අවස්ථාවක් ලැබේවිද? මුණගැහුනොත් මොකද කරන්නේ? එතකොට ඇයගේ ප්‍රතිචාරය මොනවගේ වේවිද....

"මෙච්චර බෑ කියලත් තාමත් ඒකි මත්තේ නැහෙන්නේ උඹට ලජ්ජා නැද්ද බං?" මම හිරණ්‍ය ට හිනා වුණා.
"ආදරේදී ලැජ්ජාවක් නෑ."
"ආදරේ? කෙහෙම්මල! උඹට තියන අමාරුව එකිත් එක්ක නිදාගන්න  බැරි වෙච්ච එක..."
"නෑ."
"උඹ ගැන දන්නේ උඹ මිස වෙන කව්ද?"
"එහෙනම් ඉතින් ඒ ආදරේ කියල දැනගන්න ඕනෙනේ" මම හිරණ්‍යට උත්තර දෙන්න ගියේ නෑ. අනුන්ට පිළිතුරු සපයන එකට වඩා තමන්ටම උත්තර දෙන එක සෑහෙන අපහසු කටයුත්තක්.

පරිසරය යන්තමින් එළිය කරමින් සුර්යාලෝකය පැතිරෙන්න ගත්තා හින්ද මම ආපස්සට හැරුණා. ඉර එළිය වැටීමෙන් අවට පරිසරය වර්ණවත් වෙලා ප්‍රාණවත් බවකින් දිස්වුණා. ඒත් මම බලාපොරොත්තු වුණේ වැස්සක්. වැස්සක් පතිත වුණානම් මේ අවස්ථාව මීට වඩා නාට්‍යාකාර වෙලා භාවාත්මක ස්වභාවයක් උසුලන්න තිබුණා. පරිසරයෙන් මගේ හිතේ ස්වභාවය ගම්‍ය කරවන්න උදව් ගන්න තිබුණා. ඒත් හැමවෙලේම අපිට අවශ්‍ය බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ නෑ. නොහිතන දෙයක් ලැබෙන කොට එයින් අපට උවමනා දේට යන්න පාර කපාගන්න වෙනවා. යාමට හෝ නොයෑමට, එය තමා අභියෝගය.

මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ …

නොදැන මඟතොට බලා වටපිට

අයාලේ යන ගමන කොතැනටදෝ…



Monday, December 19, 2011

සිදුහත් අත්හල යශෝධරාව


ත්පලා පළතුරු අරන් ගියේ කුමාරිකාව ඒවාවත් කාවිද බලන්න. කුමාරිකාව දැන් සති ගණනාවක ඉඳල හරියකට කන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ. ඔහේ බලා ගත්තු අත බලාන ඉන්නවා. හරියට පණ ගිය ගානයි. අනික් අතට ඕක පුදුම වෙන්න දෙයකුත් නෑ. උන්නුගමන් කුමාරයා කුමාරිව දාල ගියහම ඔහොම නොවෙනවානම්නේ පුදුමේ. මහ රජ්ජුරුවෝ නම් කියන්නේ 'ඒකා මගේ ළමයෙක් වෙන්න බෑ' කියලයි. උත්පලා නම් වැඩියත් දුක් වුණේ අලුත උපන් කුමාරයා ගැන. ඉපදුනු ගමන් මූණවත් බලන්නේ නැතිව දාල යන්න පුළුවන් මොන තාත්තටද.

"කුමරිය, මේ පළතුරුවත් කෑවනම්..."
"මට එපා උත්පලා, ඕවා අරන් යන්න."
"අනේ එහෙම කියල කෝමද, පුංචි කුමාරයා ගැනවත් හිතන්න එපායැ..."

ඡන්න ඇවිත් කුමාරයා ආරණ්‍යවාසී වෙන්න ගියා කිව්වහම යශෝධරාට උන් හිටි තැන් අමතක වෙලා සිහි නැති වුණා. ඈ හිතුවේ මේ දකින්නේ නරක හීනයක් වෙන්න ඇති කියලා, ඒක කවදාවත් ඉවර නොවෙන හීනයක්. කොහොමහරි ගිහින් හොයාගෙන 'මගෙන් උන වැරැද්ද මොකද්ද දෙයියනේ?' කියලා කුමාරයාගේ දෙපාමුල වැටිලා කෑගහල අඬන්න හිතුන වාර අනන්තයි. ඒ වගේම 'සිද්ධාර්ථ කියන්නේ මහා ආත්මාර්ථකාමී නරුමයෙක්' කියලත් නොහිතුනා නෙවෙයි. කොහොම උනත් යශෝධරාට කුමාරයා හිටියේ මොකක් නමුත් ප්‍රශ්නෙක හිටියේ කියලා මතක් වුණා. ඒ බව ඇහුවාහම සිද්ධාර්ථ කළේ ලාවට හිනාවෙලා ප්‍රශ්නේ මග ඇරලා ගිය එක විතරයි.

කුමාරයා ගියාට පහුවදා ඉඳලම කුමරිය ආභරණ පැළඳුවේ නෑ, වත්සුණු තැවරුවේ නෑ. ඇන්දේ සරල චාම් ඇඳුම් විතරයි. එහෙම කරන්නේ කාවෙනුවෙන්ද කියලයි හිතුවේ. එදා ඉඳල දවස් ගානක්ම මොනවත්ම නොකා හිටිය නිසා පුංචි කුමාරයට කිරි දෙන්න කිරි අම්මාවරු ගෙන්නන්න වුණා. ප්‍රජාපති දේවිය ඇවිත් හිත හදල හදල කෑම කවල ගියාට පස්සෙයි, යශෝධරට යන්තන් පණ ටිකක් ඉනුවේ. මේ දවස් ටිකට කුමරිකාවක්ද කියලා හිතාගන්නවත් බැරි තරමටම යශෝධරා වෙනස් වෙලා හිටියා. යශෝධරාට එකම සතුට වුණේ රාහුල කුමාරයා විතරයි. රාහුල හීනෙන් හිනාවෙනකොට, ඇඟට එතිලා නිදියන කොට, තමන් දිහා බලලා ඇසිපිය ගහන කොට යශෝධරා හිතාගත්තේ කවදාවත් තාත්ත වගේ අත්හැරලා යන්න දෙන්නේ නෑ කියලා.

පහන් දැල්ලෙන් කුමාරිකාවගේ මලානික මුහුණේ කඳුළු බින්දු දිලිසුනා. කඳුළු පිහදගත්ත යශෝධරා හිමිහිට පළතුරු කන්න ගත්තේ කිසිම කැමැත්තකින් නෙමෙ යි, කන්න උවමනාම නිසා. විශාල යහනේ නිදන් හිටියේ පුංචි කුමාරයා. යශෝධරා පැත්තකින් වාඩිවෙලා කුමාරයා දිහා බලන් ඉඳිද්දී තමයි දේවදත්ත කුමාරයා ආවේ.

"නංගා, කොහොමද?" යශෝධරා උත්තර දුන්නේ නෑ. දේවදත්ත උත්තරේ දැනගෙනමයි හිටියේ. "මම මේ ආවේ නංගිව එක්කන් යන්න."
උත්පලා අයියල නංගිලට කතාකරන්න ඉඩ දීලා යන්න ගියා.
"මට බැහැ" යශෝධරා හෙමිහිට උත්තර බැන්දා.
"බැහැ කියල කොහොමද, දැන් මෙහෙ නංගිට කවුරුත් නෑනේ."
"ඉන්නවා, මේ මගේ පුතා..."
"ඒක තමයි කිව්වේ, මේ දරුවත් එක්ක තනියම ඉන්නේ කොහොමද? පියරජතුමා ඉන්නේ තරහින්, ආවේ නැත්තන් ප්‍රශ්නයක් වේවි."

යශෝධරා දිග සුසුමක් පිටකළා. රාහුල නැගිටලා අඬන්න පටන්ගත්තා. යශෝධරා කමින් හිටි පළතුරු පැත්තකින් තියල දරුවාව වැදගත්තේ බොහොම සෙනෙහසින්. වඩාගෙන ටිකක් නලවන කොට රාහුල අයෙත් නින්දට වැටුණා.

"හ්ම්ම්,,, මට හිතන්න තිබුණා මෙහෙම දෙයක් වේවි කියල, ඒ දවස්වල එක එක අනාගත වාක්‍ය අහන්න ලැබුනත් අපි ඒවා විශ්වාස කළේ නෑ."
"දැන් ඔය පරණ දේවල් වැඩක් නෑ අයියා. මට ඕනේ පුතාව ලොකුමහත් කරන්න විතරයි"
"මෙහෙ අය නංගිට හරියට සලකන එකක් නෑ."
"නැහැ මේ අම්ම තාත්තා මට කවදත් හොඳට සැලකුවා, තාමත් එහෙම්ම ම යි."
"පස්සේ පස්සේ හරි නැති වෙයි. කොහොමහරි අපි නංගිට හැමදාම ඉන්නවා ප්‍රශ්නයක් වුණොත් මට කියන්න."
"මම දන්නවා අයියේ."
"සිද්ධාර්තව හොයන්න කවුරුත් යැව්වේ නැද්ද?"
"යැව්වා, අලාරකාලාම ගුරුතුමා ගාව ඉන්නවා කියන්නේ. ආයේ මාලිගාවට එන්න බෑ කිව්වලු..." අන්තිම වචනටික ඇහෙද්දී දේවදත්ත නැගිට්ටවුණා. තමන්ගේ නංගිට වුණු අසාධාරණය වෙනුවෙන් නැගුනු තරහ පාලනය කරගන්න ලොකු ආයාසයක් යොදන්න වුණා. 

"කේන්ති අරන් වැඩක් නෑ අයියේ, ගිය කෙනා ගියා, එච්චරයි."
"නංගි කලකිරීමෙන් නේද ඉන්නේ?"
"හ්ම්ම්,,, දැන් කලකිරිලත් වැඩක් නෑ. සිද්ධාර්ථ ගැන වෛරයක් ඇත්තෙත් නෑ. මම හිතන්නේ පුතා ගැන විතරයි." දේවදත්තට තමන්ගේ නංගි ගැන හිතල දුක්ගත්තා, දරාගන්න බැරි දුකක්.
"මම යනවා නංගි" දේවදත්ත යශෝධාරගේ ඔලුව අතගාල යන්න හැරුණා. යශෝධරාට පොඩි කාලේ මතක් වුණා. අයියා තමන්ව කොච්චර ආරක්ෂා කළාද, මව්රැජින තමන් වෙනුවෙන් කොච්චර වගකීම් දරාගත්තද, පියරජතුමා තමන් ගැන කොච්චර ආඩම්බර වුණාද. යශෝධරා ඒ වතාවේ කඳුලක් හෙළුවේ තමන්ගේ පවුල වෙනුවෙන්.
"අයියා, අම්ම තාත්තා මතක් කළා කියන්න." යශෝධරා කිව්වා.

Monday, December 12, 2011

නරකය යනු දෘෂ්ටිකෝණයක් පමණි | Evil is a Point of View


සංදර්ශනයට තව විනාඩි පහ යි. කණ්ණාඩිය ඉදිරියට වෙලා මුණේ පාට තවරමින් හිටියේ අද සෙනඟ කොච්චර ඇවිත්ද කියල හිතන ගමන්. පහුගිය කාලේ තිස්සෙම මේ සර්කස් බලන්න එන අය ටිකෙන් ටික අඩු වුණා. දැන් කුඩාරම පිරෙන්න මිනිස්සු එන්නේම නැති තරම්. අපිට හිනාවෙන පොඩිත්තන්ගේ හිනා හඬ අහන්න අපි කොච්චර ආසද, වඩාගෙන හුරතල් කරන්න, සීනි බෝලයක් ටොපියක් දීල සතුටු වෙන්න. එහෙමත් කාලයක් තිබුණා. දැන් කාටවත් සර්කස් ඕනේ නෑ. දැන් සමහරුන්ට සර්කස් කියන්නේ මොකද්ද කියලත් අමතක යි.

"ලෑස්තිද? බය වෙන්න ඕනේ නෑ. කවුරුත් දන්නේ නෑනේ." මගේ සගයෙක් ඇවිත් පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.
"නෑ. මම කලබල වෙලා බෑ"
"ඔව්, අපි කළේ වැරද්දක් නෙවෙයිනේ"

සර්කස් එක තියන ඉඩමේ අයිතිකාරයා මැරුණට පස්සේ ඉඩම බාර වෙලා තියෙන්නේ බැංකුවකට. ඒ බැංකුවෙන් නියෝජිතයෙක් එව්වා ඉඩම බාරගන්න බව දැනුම් දෙන්න. අපි අවුරුදු ගානක් ඉඳන් හිටියේ මෙතන. ඉඩමේ අයිතිකර මහත්තයා කවදාවත් අපිව එලවගත්තේ නෑ. අනේ ඒ මනුස්සයට කොහොම ස්තුති කරලා ඉවර කරන්නද. තමන්ට යන්න එන්න තැන නැති වුණහම කාටත් වෙනවා වගේ අපිත් කම්පා වුණා, දුක්වුණා, අනාගතය ගැන තවතවත් බය දැනෙන්න ගත්තා. අපිට ලබා දුන්නේ සති දෙකයි. ඒ බැංකු නියෝජිතයත් නරක එකෙක් නෙමේ. රාජකාරියනේ, කරන්න වෙනවනේ අකමැති වුණත්.

මම තවත් පව්ඩර් ටිකක් මුනේ ගාගත්තා. ඇස් වටේට රතු කළු පාටින් ලොකු රවුන් දෙකකුත්, කට මැදිවුණු රතු පාට ලොකු හිනාවකුත් ඇඳගත්තේ පුරුදු විදිහටම යි. හැමදාම වගේ මම මම නොවී වෙන ලෝකෙකින් ආපු විහිළුකාරයෙක් වෙලා හිටියා. පොඩි ළමයි ආදරය කරන, වැඩිහිටියෝ බයවෙන තාලේ කෙනෙක්. බොරු කොන්ඩෙත් එක්කම තියෙන තොප්පියයි, බැලුන් බෝල ටිකයි ගත්තම මගේ පෙනුම සම්පූර්ණයි. එතකොට මට විහිළුකාරයට ආරෑඪ වෙලා හැමෝවම සතුටු කරන්න පුළුවන්, හැමෝවම.

මිනිස්සු ප්‍රශ්න ඕනෙවට වඩා ඔලුවට ගන්නවා වැඩියි. සමහර ප්‍රශ්න ආයේ හිතල බැලුවහම ඇත්තටම ප්‍රශ්නත් නෙමෙ යි. මම නම් හිතන්නේ මිනිස්සුන්ව ජීවත් කරවන්නේ ප්‍රශ්න. සමහරුන්ට ප්‍රශ්නයක් නැත්තම් නින්ද යන්නේ නෑ. සරල කම කියන එක නිකම්ම වචනයක් වෙලා. උවමනාවෙන්ම තමන්ගේ වැඩ වැඩි කර ගෙන වෙලාව නෑ කියා කියා බොරුවට දුක්වෙන එක තරම් විහිළුවක් තවත් නෑ. ඔය වගේ මිනිස්සුන්ගේ හිනා යන වැඩ කොච්චර තියනවද. ඒවා මිනිස්සු තේරුම් ගන්නවා නම් මට මෙහෙම අමුතුවෙන් විහිළුකාරයෙක් වෙන්න ඕනේ නෑ. නිරායාසයෙන්ම මිනිස්සුන්ට සතුට ළඟා වේවි. ඔය කොයි දේ කිව්වත් සමහරු සල්ලි ගෙවල හිනාවෙන්න උත්සහ කළත් බැරි අයත් ඉන්නවා. ඒ මිනිස්සුන්ට නම් මොනවා වෙලාද මන්ද. එක්කෝ හිනාවෙන්න උවමනාවක් නැතිකම. නැත්තම් හිනාවට තියෙන බය. ඔව් සමහර මිනිස්සු හිනාවට බය යි.

මට අර බැංකු නියෝජිතට වුණ දේ ගැන දුකයි, ඇත්තටම. ඒත් මට කරන්න දෙයක් නෑ. සමහර වෙලාවට එක හොඳ වැඩක් නිසා නරක ප්‍රතිපලයක් ලැබෙන්න පුළුවන්. හරියට ආත්ම ආරක්ෂාවට තවත් කෙනෙක්ව මරණවා වගේ. එතකොට කෙනෙක් මරන්නේ අපිට ජිවත් වෙන්න හින්ද එක වැරද්දක් නෙමෙ යි. නැත්තම් රට වෙනුවෙන් යුද්ධ කරනවා වගේ. අපි හතුරෝ මරන්නේ නොමරා රට බේරගන්න බැරි හින්දනේ. මේකත් ඒවගේ තම යි. අපි අවුරුදු ගානක ඉඳල ජීවත් වෙන, සල්ලි හොයාගන්න තැන දාල කොහේ යන්නද. දැන් ඉස්සර වගේ හිස් ඉඩකඩන් ඇත්තෙත් නෑනේ. අනික අපිට ඉඩන් ගන්න එච්චර සල්ලි කොහෙද. අපිට උදව් කරන්නේ කව්ද. අපි මිනිස්සුන්ව හිනැස්සුවට අපිට හිනාවෙන්න අවස්ථාවක් දෙන්නේ කොයි මිනිහද. මම සටන් කළා, ඔව් රට වෙනුවෙන් සටනට ගිය සොල්දාදුවෙක් වගේ. මම රණවිරුවෙක්, මම අපේ කණ්ඩායම වෙනුවෙන් යුතුකම් ඉටු කළා. ඉදිරියත් එහෙමයි. මම දන්නවා මේ අවසානය නෙවෙයි, ආරම්බය.

අපේ කණ්ඩායමේ අය මට දැන් කලින්ටත් වඩා ගෞරව කරන්නේ මම වීරයෙක් හින්ද. හැමෝම වගේ මමත් මගේ ගුණ කියනවට කැමති යි. ඉතින් එහෙම සලකන කොට මම ආඩම්බර වෙනවා. සතුටු වෙනවා. අපේම උන් වෙනුවෙන් මැරෙන්න වුණත් හිතෙන තරම් ශක්තියක් එන්නේ කොහෙන්ද මන්ද. සර්කස් බලන්න එන බාහිර මිනිස්සුන්ට මම විහිලු කාරයෙක් විතරයි. ඒත් කමක් නෑ. ඒ මගේ වෘතිය, මේ මගේ ස්වභාවය.

"යමු, දැන් වෙලාව හරි" මගේ සගයා කුඩාරමට ඔලුව දාල කිව්වා.

මම නැගිට්ටේ ඇඳුම් පැළඳුම් වල වැරදි හදන ගමන්. සර්කස් එක තියෙන ලොකු කුඩාරම පිරෙන්නම නැතත් සෑහෙන සෙනඟක් ඇවිත් හිටියා. ඒක ඇහැට කඳුලක් ගේන සතුටක්. හැම තැනම ආලෝකය විහිදිලා දිලිසුනා. ආයේ හැමදේම පරණ තලෙටම ඇවිත් කියල කෑගහලා උඩ පනින්න තරම් සතුටක් ඇති වුණේ පොඩිත්තන්ගේ හිනා කටවල් දැක්කහම. ඒක මගේ හිතේ තිබුන හැම සැකයක්ම, හැම දුකක්ම නැතිවෙන තාලේ හැඟීමක්. මම අපරාධකාරයෙක් නෙමේ, මම වීරයෙක් මම මටම කියාගත්තේ සියවෙනි වතාවට.

"සර්කස් එකට පැමිණි සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා!" අපේ සර්කස් එකේ නායක තුමා හැමෝටම ඇහෙන්න කිව්වා.

Friday, December 2, 2011

"මිනිස්සු නොදන්නා දේට බයයි" | Afraid of the Unknown



ඇය දැක්ක මොහෙතේ ඉඳලම මට හිතුනේ ඇය මනුෂ්‍ය දුවක් වෙන්න බැරි බව. මනුස්සයෙකුගේ නැති අමුතුම ලක්ෂණ රාශියක් ඇගෙන් දිස්වුණා. දිලිසෙන සුදුමැලි සම, කාන්තිය විහිදුවන නෙත් සඟල වගේම ඇඟලාගෙන හිටි දුහුල් ධවල වස්ත්‍රය කියා පෑවේ අමනුෂ්‍ය ස්වභාවයක්. ඇයව ඇස ගැටුනේ මැදියම් රාත්‍රියේ නිසා මගේ හිත කිව්වේ ඇය මෝහිනී වෙන්න පුළුවන් බව නමුත් මම ඇය සුරඟනක් ලෙස සලකන්න උත්සහ ගත්තා. ඇය මා දිහා බැලුවා, ඒ බැල්ම සාමාන්‍යය පරයා ගිය එකක්. ඇය බැලුවේ මගේ ආත්මය දෙස. ඇගේ කාන්තිමත් නයන මගේ ගත හරහා විනිවිද ගමන් කළා. ඒ හැඟීම ප්‍රසිද්ධියේ නිරුවත් වීමට සමාන යි. ඒ බැල්ම මට දරාගන්නට නොහැකිව අහක බැලුවහම ඇය හිනා වුණා, හරියටම ඇය එය මගෙන් වේවියැයි බලාපොරොත්තු වුණා වගේ.

"බයයි නේද?" සිහින් සීතල කටහඬකින් ඇය ඇහුවා.
"නෑ, මම? කාටද?"
"ඔයා ඔයාටම..."
මම උත්තර දෙන්න ගියේ නෑ. අහන අහන හැම ප්‍රශ්නෙකටම පිළිතුරු සපයන්න කියල නීතියක් ගැන කියනවා මට මතක නෑ.
"බයයි තමයි."
"මේ හීනයක් නේද?"
"ඒක දන්නේ ඔයාම තමයි."
"මම දන්නේ නෑ."
"හ්ම්,,, මිනිස්සු දන්නේ නැති දේ ගැන පුළුවන් උපරිම භයානක දේ හිතාගන්නවා, ඊට පස්සේ ඒ හිතලුවට බය වෙනවා, බය නැති කරගන්න වීරයෝ වෙන්න යනවා, අන්තිමට කරලා තියෙන්නේ රඟපෑමක් විතරයි..."

මම ඇගේ අත අල්ලාගත්තේ මම ඇයට බය නැති බව පෙන්වන්න. ඒ ස්පර්ශය බොහෝදුරට මානුෂික යි. අමුත්තකට තිබුනේ ඇගේ අත බොහොම සිසිල් වීම පමණ යි. ඇය මා දිහා බලලා හිනා වුණේ දෑසින්. අපි දෙන්න අත් දවටගෙන ඇවිදින්න ගත්තා. රෑ අහස නිසසල යි, සඳ එළිය නොමැති නිසා තරු එළිය වඩාත් දීප්තිමත්ව දිස්වුණා. පාරේ මිනිස්සු කිහිප දෙනෙක් මතුවෙලා ආයේ අතුරුදන් වුණත් වාහන නම් ගියේ නැති තරම්.

"ඇයි ඔයා මාව හොයන ආවේ?" ඇවිදන් යන අතරේ මම ඇහුවා.
"ඔයාට මාව ඕනේ වුණා නේද?"
"සමහරවිට ඕනේ වෙන්න ඇති. මට ඔයාගෙන් ලැබෙන්නේ මොනවද?"
"ඉල්ලන ඉල්ලන දේ දෙන්න මම පහනේ භූතයා නෙමේ."
"මට තරුවක් වෙන්න ඕනේ, මගේ තනියට එනවද?"
"තරු කොහොමත් තනිවෙලා."
"කවදාවත් තනි වෙන්නේ නැති දෙයක් කියන්න."
"තනිකම. තනිකම හැමදාම තනිවුණු කෙනත් එක්ක ඉන්නවා."
"එහෙනම් මට තනිකම වෙන්න ඕනේ."
"විශ්වාස කරන්න, තනිකම වෙනවා කියන එක ලේසි වැඩක්නම් නෙමෙ යි."

අපි ඇවිදන් ඇවිත් නැවතුනේ පාලමක් උඩ. පහලින් ගඟ ගලන් ගියේ ශබ්ද වලින් තොරව, නැත්තනම් පාලම ළඟට සද්දේ ඇහුනේ නෑ. තැනින් තැනට විදුලි ආලෝකය වැටිලා ගංගා ජලය දිස්නේ දුන්නා. එතකොට නම් ගඟ නෙමේ නිකම්ම වතුර ගොඩක් විතරයි වගේ පෙනුනේ. එකම දේ කෙතරම් විධි ගණනකින් බලන්න පුලුවන්ද. සුරංගනාව දිගටම මගේ අත අල්ලගෙනම හිටි නිසා ඇගේ අතට ඒ වෙද්දී සියුම් රස්නයක් එකතු වෙලා තිබුණා. ඇය නැවතත් මං දිහා බලලා හිනාවුණා, ඒ පාර හිනාව නම් ඇත්තටම යි.

"මම බය නෑ."
"එහෙනම් හොඳයි, ඔයාට මාව දැන් ඕනේ වෙන එකක් නෑ."
"මාත් එක්ක හැමදාම ඉන්න නවතින්නකෝ..."
"බැහැ, කවදාහරි යන්නම වෙනවා, කිසිම දෙයක් සදාකාලික නෑ." මගේ කම්මුලට ලාවට තට්ටුවක් දමන ගමන් ඇය කිව්වා.
"එතකොට මම තනිවෙයිනේ."
"නැහැ, මම ඔයා වෙනුවෙන් ඉන්නවා."
"යන්න කලින් ඔයා කව්ද කියන්න?" මම ඇගේ අත තදින් අල්ලගෙනම ඇහුවා. ඇය ළා සිනහවක් පෑවත් එක්කම හිස් අවකාශයට බොඳවෙලා ගියේ හරියට එහෙම කෙනෙක් කවදාවත් හිටියේ නෑ වගේ.

Thursday, December 1, 2011

ළය විරේකය හා සෝ අවශෝෂකය



පහුගිය දින කිහිපයම ගෙවුනේ සාතන්ගේ ලෙඩේ බෝවෙලා බොහොම උදාසීන ව, මොනවත් ලියන්නවත් ලියූ දෑ කියවන්නටවත් ඇති කැමැත්ත අඩුවෙලා තිබුණා. මේ ලියන්නේ ඒ නරක පුරුද්ද ඇබ්බැහියකට යන එක නතර කරන්න. ඒ දවස් කිහිපය අතරේ මට දුරින් යාලුවෙක් වෙන කෙනෙක්ගේ (ඒ කිව්වේ යාලුවෙක්ගෙ යාලුවෙක්) දුක්ගන්නාරාල වෙන්න සිදුවුණා. තව කෙනෙකුගේ දුක් ගැනීම කියන්නේ බොහොම ආතතියක් ගෙන දෙන කටයුත්තක් වුණත් මම ඒ කතාව අහන් හිටියේ ඒ යාලුවට හරි ඒකෙන් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්.

ඒ යාලුවට වෙලා තියෙන්නේ තමන් ආදරේ කළ කෙනා තමන් ඉදිරියේම වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්න විතරක් නෙමේ ඒකට උදව් කරන්නත්. මෙහෙම අහන්නේ නැතුව විස්තර ලියන එක කොපමණ දුරට නිවැරදිද කියල නොදන්නා නිසා මට වැඩි විස්තර කියන්න විදිහක් නැහැ. කොහොම වුණත් ඒ යාළුවා -අසංක කියමු- විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා විවාහ වෙන්නේ වෙන කෙනෙක් එක්ක. ඒ පවුල් දෙකම සමීප පවුල් නිසා අන්තිමට ඔහුටම ඒ විවාහය වෙනුවෙන් උදව් කරන්න සිදුවෙනවා. ඔහු ඉදිරිපිටම ඇය අසංකව නොවෙන කෙනෙක් හා විවාහ වෙනවා, අසංකට ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇතිද කියල මට හිතාගන්න අමාරුයි. ඒ යාළුවා මාත් එක්ක කතා කරද්දී ඇඩුවේ නැති වුණාට ඇස් වල තෙරපෙන දුක දකින්න අමාරු වුණේ නෑ. අපි එතරම් සමීප මිතුරොත් නෙවෙයි, ඒත් අසංක කතාව කියන්න ඇත්තේ තමන්ගේ කතාව කාටහරි කියන්න ඕනේම වුණු නිසා වෙන්න ඕනේ.

ඔය විදිහට අසංක ළය විරේක කළාට පස්සේ ශෝක අවශෝෂකය වෙන්නේ මම යි. අසංකට දෙන්න උත්තරයක් ම සතුව තිබුනේ නෑ, අනිත් අතින් ඔහු උත්තරයක් බලාපොරොත්තු වෙන්න නැතුවත් ඇති. සුනේත්‍රා ලියූ පූර්ව ජන්ම අපූර්වය කියවන්න කියල නිර්දේශ කරන්න හදලත් නිකන් හිටියේ ඒ වගේ අවස්ථාවක පොත් කියවන්න කීම කොහොම විදිහට බාරගනියිද දන්නේ නැති නිසා. පුළුවන් තරම් සැනසිලි වදන් මම කිව්වත් ඒකෙන් නම් වැඩක් වෙන්න නැතුව ඇති. ඒත් ළය විරේකය නිසා යම් තරමක සහනයක් ඔහුට ලැබෙන්න ඇති.

දැන් කියන්න යන්නේ සෝ අවශෝෂකය වුණු මා ගැනයි. අසංකගේ අත්දැකීම් බ්ලොග් කතාවකටනම් හොඳටම ගැලපෙනවා, ඒත් ඇත්තටම එය සිදුවෙද්දී ඒ පුද්ගලයට එය කොච්චර තදින් බලපානවද කියල තේරුනේ ඒ අවස්ථාවේදී යි. මීට සමාන කතාවක් සන්නස්ගල ලියූ 'මගේ කුළුඳුල් පෙම්වතිය' කෘතියෙත් ඇති බව පසුව මතක් වුණා. පොත කියවුවාට වඩා සෑහෙන ලොකු බලපෑමක් අත්දැකීම් බෙදාගැනීමෙන් ලැබෙනවා. ඒ එහි සජීවී බව උපරිමයෙන් අත්දකින නිසා විය යුතුයි.

කුමාරිහාමිගේ අත්තම්මා කිව්වා වගේ විවාහ වෙන්න ඕනේ එකට මිසක් වෙන්වෙලා ජිවත් වෙන්න බැරි කෙනාව මිසක් එකට ඉන්න පුළුවන් වේවි කියල හිතන කෙනාව නෙමෙයි කියලයි මමත් විශ්වාස කරන්නේ. මුදල්, තත්වය, තනි වීමට ඇති බය, අනුන්ව සතුටු කිරීම වගේ චූල අපේක්ෂා සඳහා විවාහ වීම නම් මට විහිළුවක්. ඒකෙන් පෙනෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ නොහැකියාව, ආත්මාර්ථය හා අසරණකම. එක අතකින් හැමදේටම වානිජකරණය ඔලුව දාපු ලෝකෙක පරමාදර්ශි ලෙස ප්‍රේමයක් විවාහය කරා යාම පුදුමයක් වෙන්නත් පුළුවන්. අසංකගේ පෙම්වතිය තමන්ට අනවශ්‍ය විවාහයකට කොටු වුණේ කුමන හේතුවක් නිසාද කියන්න නම් මම දන්නේ නෑ. සමහර විට එය දෙමව්පියන්ගේ අණට කීකරු වීම, තමන්ට තමන් වෙනුවෙන් නැගී සිටින්නට ඇති නොහැකියාව, ආර්ථික ප්‍රශ්නයක් හෝ සැබෑවටම ඇය අසංකට ආදරය නොකිරීම වුණත් විය හැකියි.

අසංකගේ කතාවෙන් බර වුණු හිත සැහැල්ලු කරගැනීමේ බලාපොරොත්තුවෙන් කවියක් ලියුවා. සාමාන්‍යයෙන් මා දමන්නේ කවිය විතරක් වුණාට කවියකට පූර්ව කතා, අතුරු කතා, පශ්චාත් කතා තියනවනේ, මේ කිව්වේ ඒ වගේ පූර්ව කතාවක්. මේ ලිපිය පෙර සූදානමකින් තොරව ලියූ නිසා කෙනෙක්ට බොහොම කම්මැලි වෙන්නත් නැතිනම් කමකට නැති හෑල්ලක් වෙන්නත් ඉඩ තියනවා. කොහොම වුණත් සුපුරු ලිවීමට අවතීර්ණ වෙන්න මේ ලිපිය පාර කියාවි.

නොහඳුනමි ඔබව මම
කව්රුන්ද ඔබ
අරක්ගත් මා පෙම්බරිය
කියූ පද ලියූ කවි
තනිකර අත්හැර දමා
පලායන කෝඩුකාරිය

නොහඳුනන ඔබව
පහසුය අතැර යාම
අප අපට නොහැඟෙන
සම්බන්ධය අසාර්ථක බැව්
දන්නා නිසා හොඳටම

පිට වන හුස්ම පොද ඔබ
මා කිසි දිනක හඳුනා ගත්
ගලා යන දිය පහර ඔබ
මා කිසි විටක ස්පර්ශ නොලත්
පියාඹන සරුංගලය නුඹ
මා සතුව එහි හුය නොමැති

ආයුබෝවන් නාන්නදුනන්නිය
නොහඳුනන ඔබ නොහැඟුණ 
සුබ ගමන් පෙම්බරිය
කිසි විටක ආලය කරනට
අවස්ථාවක් නොලද

Sunday, November 20, 2011

ඝාතනයේ ආශ්වාදය | Killing for fun




සමනළයා මල එක්ක බර කතාවක වැටිලා ඉන්න කොටයි දඩයක්කාරයා කොහේදෝ ඉඳල මතු වුණේ. ඒ සමනළ දඩයක්කාරයෙක්. ඔහු ගාව විවිධ වර්ගයේ සමනළයන් එකතුවක් තිබුණා. මිනිස්සු ඒ එකතුව බලල සතුටු වුණා. සමහර දාට දඩයක්කාරයා සාදයක් සංවිධානය කරලා දන්න දන්න හැමෝටම කතා කළා. හැමෝම එකතු වෙලා සමනළ එකතුව අගය කළා. ආපු පුරුෂයන්ට දඩයම් කිරීමේ අසාවෙන් තුවක්කු ගැන තොරතුරු හෙව්වා, කාන්තාවෝ එකතු වෙලා සමනළ පිහාටු වල පාට ගැන කතා කරලා ඇහිබැම නැටෙව්වා.

"අනේ මේ මොකද?" දඩයක්කාරයා දැකපු මල කෑගැහුවා. දඩයක්කාරයා මලට උත්තර දුන්නේ නෑ සමහර විට මල කිව්වේ මොනවද කියල ඇහෙන්න නැතුවත් ඇති. දඩයක්කරයට සිහිවුනේ තමාගේ එකතුව. මේ සමනළ වර්ගය විතරයි ඔහුට අඩු වෙලා තිබුණේ.
"පැනල යන්න, ඉක්මනට" මල සමනළයට කිව්වේ බයෙන් වෙව්ලන ගමන්.
සමනළයා පුළුවන් උපරිමයෙන් පියාඹන්න ගත්තා. ඒත් වැඩි වෙලා යන්න ලැබුනේ නෑ. ඩෝන්! මහා සද්දෙකුත් එක්ක පිටවුණු වෙඩි උණ්ඩය සමනළයාව අප්‍රාණික කරලා බිම හෙලුවා.

දඩයක්කාරයා සතුටින් ඉපිලුණා. කොච්චර කල් ඉඳල කරගන්න උවමන වුණු දෙයක්ද මේ. දඩයක්කාරයා ආයෙත් අහසට වෙඩිල්ලක් යැව්වේ සතුට වැඩි කමට. මියැදුණු සමනළයා පෙට්ටියක දාගත්ත දඩයක්කාරයා ආපහු යන්න හැරුණේ සාදයක් දාන්න කටයුතු සුදානම් කරන්න හිතින් සැලසුම් කරන ගමන්.
මේ හැමදේම බලන් හිටපු මලට අඬන්න ඇහැට කඳුළු ආවෙත් නැතුව අසරණ වුණා.

Sunday, November 13, 2011

පාලුයි ද සෙබළ



ඒකල දුරකථන කුටියෙන්
ඇමතුමක් ගන්නේ
තුවක්කුව එල්ලා ගත්
හුදකලා සෙබළෙක්

බයිසිකලය පැදගෙන 'විත්
නැවතුනේ කුටිය අසල
තවකෙක්, ඒත් ඒ
අපේ (නො)වෙන එකෙක්

සෙබළා කියයි දුක
දුරකතනයට හෙමිහිට
අනෙකා බලාසිටි
අවස්ථාව එන තුරු ඔහුට

"වැඩ කරන්නේ නැද්ද කොහෙද"
එළියට එන සෙබළා කියා
යයි එක්වන්නට
සුපුරුදු හුදකලාවට

අනෙකා තවම අනෙකාමයි
නැහැ එහි වෙනසක්
බලා කුටිය දෙස 
යන්නට ආපසු හැරුණා
අතැර පැතුම් දහසක්

පාලුයි ද සෙබළ
නැතිව කෙනෙක් තනිකමට
අමතක වී ද කතාකරන්න
ළඟම ඉන්න නෑයාට

Tuesday, November 8, 2011

කොන්දේසි විරහිත ආදරය | The Giving Tree



ඔන්න එක ගහක් හිටියා...
ඇය පොඩි ළමයෙකුට ගොඩාක් ආදරෙන් හිටියේ.
හැමදාම ඒ ළමයා ඇවිත් ඇගේ කොළ එකතු කරලා ඔටුන්නක් හදාගෙන කැලේ රජතුමා විදිහට සෙල්ලම් කළා.
ඔහු ඒ ගහේ කඳ උඩට නැග්ගා, අතුවල එල්ලිලා ඔන්චිලි පැද්දා, හැදිලා තිබුන ඇපල් ගෙඩි කඩන් කෑවා.
එයාල එකතුවෙලා හැංගිමුත්තන් සෙල්ලම් කළා.
පොඩි ළමයට මහන්සි දැනෙන කොට ඇගේ සෙවනට වෙලා නිදාගත්තා.
ළමයා ගහට ආදරේ කළා... ගොඩාක්....
ඉතින් ගහ හරිම සතුටු වුණා.

ඔහොම කල් ගතවුණා.
ළමයා ටිකෙන් ටික වැඩිහිටියෙක් වෙන්න පටන් ගත්තා. ඉතින් ගහ හැම වෙලාවේම වගේ හිටියේ තනියම.
ඔන්න ඉතින් දවසක්, ඔහු ගහ හොයාගෙන ආවා.
"එන්න දරුවෝ, ඇවිත් ගහට නගින්න, අතුවල එල්ලිලා ඔන්චිලි පදින්න, ඇපල් කන්න, මගේ වටේ සෙල්ලම් කරන්න ඉතින් එහෙම කරලා සතුටු වෙන්න." ඇය කිව්වා.
"මම දැන් එහෙම සෙල්ලම් කරන්න ලොකු වැඩියි" ඔහු කිව්වා. "මට එක එක දේවල් අරන් සතුටු වෙන්න සල්ලි ඕන."
"මට සමාවෙන්න." ගහ කිව්වා. "මං ගාව සල්ලි නැහැනේ. තියෙන්නේ කොළයි ගෙඩියි විතරයි. මේ ඇපල් ගන්න. ඒවා අරන් ගිහින් නගරේ විකුණන්න. එතකොට සල්ලි ලැබිල සතුටු වෙන්න පුළුවන් වෙයි."
ඉතින් ඔහු ගහට නැගල ගෙඩි කඩාගෙන යන්න ගියා.
ඉතින් ගහත් සතුටු වුණා.

ඒත් ඒ ළමයා කාලෙකින් ගහ බලන්න අවේ නෑ... ගහ බොහොම දුක් වුණා.
ආයෙත් දවසක ළමයා ආවා. දැන් ඉතින් ගහට සතුට ඉහ වහා ගියා.
"එන්න දරුවෝ, ඇවිත් ගහට නගින්න, අතුවල එල්ලිලා ඔන්චිලි පදින්න, ඇපල් කන්න, මගේ වටේ සෙල්ලම් කරන්න ඉතින් එහෙම කරලා සතුටු වෙන්න." ඇය කිව්වා.
"එහෙම කරලා සතුටු වෙන්න දැන් මට වෙලාව නෑ." ඔහු කිව්වා. "මාව රස්නෙන් තියන්න මට ගෙයක් ඕන, මගේ බිරිඳටයි ළමයින්ටයි ඉන්න ගෙයක් ඕනේ. මට ගෙයක් දෙන්න පුලුවන්ද?"
"ඒත් ඉතින් මට ගෙයක් නෑනේ." ඇය කිව්වා. "මේ කැලේ තම මගේ ගෙදර. ඒත් මේ මගේ අතු කපාගෙන ගිහින් ගේ හදාගෙන සතුටු වෙන්න."
ඉතින් ඔහු ගහේ අතු ටික කපාගෙන ගිහින් ගෙයක් හැදුවා.
ඉතින් ගහත් සතුටු වුණා.

ළමයා නෑවිත් තවත් කාලයක් ගතවුණා...
ඔහු නැවතත් ආවා. ගහට සතුට වැඩි කමට කතා කරගන්නත් බැරිව ගියා.
"එන්න දරුවෝ." ඇය කිව්වා. "ඇවිත් සෙල්ලම් කරන්න."
"මට දැන් වයසයි දුකයි හින්ද සෙල්ලම් කරන්න බෑ." ළමයා කිව්වා. "මට බෝට්ටුවක් ඕනේ මාව මෙහෙන් අරන් යන්න යන්න. මට බෝට්ටුවක් දෙන්න පුලුවන්ද?"
"මේ ගහේ කඳ කපල අරන් බෝට්ටුවක් හදන්න" ගහ කිව්වා. "ඈතට යාත්‍රා කරන් ගිහින් සතුටු වෙන්න."
ඉතින් ළමයා ගහ කපල බෝට්ටුවක් හැදුවා.
ඈතට පාවෙලා යන්න ගියා.
ගහ සතුටු වුණා.
ඒත් ඇත්තටම නෙමෙයි.

සෑහෙන කාලෙකට පස්සේ ළමයා ආයෙත් ගහ හොයා ගෙන ආවා.
"මට සමාවෙන්න දරුවෝ." ගහ කිව්වා. "මා ගාව දෙන්න දෙයක් ඉතිරි වෙලා නෑ. මගේ ඇපල් නැතිව ගිහින්."
"මගේ දත් වලින් දැන් ඇපල් හපන්න අමාරුයි" ළමයා කිව්වා.
"මගේ අතු නැතිව ගිහින්." ඇය කිව්වා. "එල්ලිලා සෙල්ලම් කරන්න බෑ."
"අතුවල එල්ලිලා සෙල්ලම් කරන්න මම වයසක වැඩියි." ඔහු කිව්වා.
"මගේ කඳ නැති වෙලා." ඇය කිව්වා. "ගහට නගින්නත් බැහැ"
"මට ගස් නගින්න මහන්සියි." ළමයා කිව්වා.
"මට සමාවෙන්න දරුවෝ මට දෙන්න දෙයක් නෑ." ගහ කිව්වා. "මම දැන් මොනවත් කරගන්න බැරි පරණ මුල් කොටයක් විතරයි. මට සමාවෙන්න..."
"මට වැඩිය මොනවත් ඕනේ නෑ." ළමයා කිව්වා. "ඕනේ වාඩිවෙලා ඉන්න නිසංසල තැනක් විතරයි. මට දැන් හරිම වෙහෙසයි..."
"හොඳයි" පුළුවන් තරම් කොටය සමතල කරමින් තරම් ඇය කිව්වා. "මේ පරණ කොටය ඉඳගන්න ඇති වෙයි නේ. එන්න දරුවෝ, ඇවිත් වාඩිවෙලා වෙහෙස නිමා ගන්න."
ඉතින් ළමයා එහෙම කළා.
ඉතින් ගහ සතුටු වුණා...

෴නිමි.෴


ප.ලි. : මේ Shel Silverstein නම් තැනැත්තිය විසින් 1964දී රචනා කළ ළමා පොතක් වූ The Giving Tree නම් කතාව. සමහර විට කලින් අහලත් ඇති. සෑහෙන්න සංවේදී ලස්සන කතාවක් හින්ද අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියල මම සිංහලට හැරෙව්වා. ඕනෙනම් ඒ කතාවම තියන වීඩියෝවත් බලන්න.