Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

Friday, November 29, 2013

සෞම්‍යාලෝකයට නිරාවරණය වුණෙමි.


මේ සටහන සුනේත්‍රා රාජකරුණානායක ලියූ සෞම්‍යාලෝකය නම් කෘතිය ගැන ලියැවෙන සරල කියැවීම ක් ගැන යි.

සෞම්‍යාලෝකය අලුත් කතාවක් නෙවෙ යි. පොදු පුරුෂයාහි සුනේත්‍රා කියන්නෙත් මේ කතාව ම යි. 'කිලිනොච්චි අහසයි කොළඹ අහසයි වෙනස් නෑ' කියල පොදු පුරුෂයා පටන් ගන්න තැන ඉඳලම ඇය මතුරන්නේ සාමයේ හා සහජීවනයේ ගාථාව. එක වංචනික පුරුෂයෙක් හා කායික මානසික සම්බන්දකම් පවත්වන මවක් හා ඇගේ දියණිය අතර ඇතිවන සිත් තැවුල්, සිත් බිඳීම්, ලජ්ජාවන්, ක්‍රෝධයන් ගැන ලියන සුනේත්‍රා මේ තුන්කොන් සම්බන්දය ලංකාවේ ජනවාර්ගික අර්බුධය ගැන ලොකු රූපකයක් කරගන්නවා. මේ ලොකු රූපකය අන්තිමට ඉවරවෙන්නේ සියල්ලන්ම තම තමන්ට සමාව දීමෙන්. රටම දෙදරවන භූමි කම්පාවක් ඇවිත් ඒ කම්පනයත් එක්ක මව මිය ගියාට පස්සේ ඒ ගැන දුව කම්පා වෙනවා. තමන්ගේ අම්මත් එක්ක ඇති කරගත් ආරවුල් ගැන පසු තැවෙනවා. භූමි කම්පාවෙන් අතරමන් වුනු කුඩා දෙමල දැරියක් රැකවරණයට ගන්න ඇය, කතාව අවසන් වෙද්දී වෙනසක් නැතිව ප්‍රභාකරන්ටත් මෛත්‍රී කරන්න ඉගෙන ගන්නවා.

පොදු පුරුෂයා සාන්ද්‍ර අම්ලයක් නම් සෞම්‍යාලෝකය කියන්නේ එහිම ඉතා තනුක කල අම්ලය. සුනේත්‍රා අම්ල තනුක කිරීමට බලපෑ හේතු හිතාගන්න පුළුවන්. පොදු පුරුෂයා ගැන විවිධ අයට විවිධ නිර්වචන තියෙන්න පුළුවන් වුනත් පොදුවේ පොදු පුරුෂයා එක පන්තියකට පමණක් සීමාවුණ එක පන්තියක් මුල් කරගෙන ලියු කතාවක් කියල නිගමනයකට එන්න පුළුවන් වේවි. පොදු පුරුශයාහි පාත්‍ර වර්ගයා ඇතුලත් වෙන්නේ ඉහල මැදි පන්තියට (නැත්තම් අඩුතරමේ ඒ පන්තියට පනින්නට උත්සහ කරන්නන්ට). ඒ නිසාම කතාවෙන් කියවෙන්නේ එක පන්තියකට යුද්ධය බලපාන (හෝ බල නොපාන) හැටි විතර යි. යුද්ධයට ඍජුව මුහුණ නොදුන් ඔවුන් යුද්ධයට විවිධ අර්ථකතන දෙනවා, විසඳුම් ඉදිරිපත් කරනවා, යුද්ධයම විවේචනය කරමින් එය වෘත්තියක් කරගන්නවා.

සෞම්‍යාලෝකයේ පාත්‍ර වර්ගයාගෙන් බහුතරය යුද්ධයට ඍජුවම මුහුණ දී බැට කෑ අය. කොටින්ගෙන් බිහිසුණු ලෙස පීඩා විඳින සිංහල මායිම් ගම්මාන වැසියන්, ඊට ආසන්නයේ අනිත් ගම්මානයේ සිටින ගිරයට හසුවුණු දෙමල වැසියන් ගෙන් පටන් ගෙන කොළඹ බර්ගර් ජාතියන්, දෙමළ කොට්ටාශ, මහනුවර සිංහල භික්ෂුන් වෙනකම් පුළුල් පරාසයක චරිත මෙහි හමුවෙනවා. ඒ වගේම ඔවුන් බොහෝවිට පහල පාන්තිකයන්. ඒ නිසා එක අතකින් පොදු පුරුෂයා ලියද්දි මග අරුණු කොටසක් ඇය ලියනවා වෙන්න පුළුවන්. ඒත් ඇය ලියන්නේ එකම තේමාවක් මුල්කරගෙන නිසා එකම දේ නැවත නැවත කියවීම වෙහෙස කර යි.

පාවාදීම්, වංචාවන්, කපටිකම්, කුහකකම් සියුම්ව පෙන්වන පොදු පුරුෂයා ස්ථර ගණනාවකින් සමන්විත වූවක්. උදාහරණයක් විදිහට මනොරම්‍යාගේ දරු සෙනෙහස, සාෂා වෙත ඇති ප්‍රේමය/ක්‍රෝධය, ආත්ම අනුකම්පාව ආදී සංකීර්ණ මානුෂික හැගීම් රැසක් පොදු පුරුෂා තුලින් පෙන් වන්න සුනේත්‍රා සමත්. සෞම්‍යාලෝකය සරල යි, ඍජු යි සුනේත්‍රා ලියන හැම කතාවක වගේම තියන අතුරු කතා එහිත් තිබුනත් වෙන්කර දැක්විය හැකි තල කිහිපයක් සියුම් බවක් නෑ. සරලවම හා මුලිකම කතාව යුද්ධයේ තුවාල් සුව කරගැනීම වෙනුවන් කියල ඇය ඍජුව කියනවා. සාහිත්‍යාත්මකව සෞම්යාලෝකය පොදු පුරුෂයාට වඩා පහතින් ඉන්නේ ඒ නිස යි. පොදු පුරුෂයා තුල ඇති විවිධ මාන සෞම්‍යාලෝකය තුලින් ගිලිහි ගිහින්. එහි සිටින්නේ බොහෝ විට පැතලි චරිත.

මම හිතන්නේ නෑ සෞම්‍යාලෝකය අසාර්ථක කතාවක් කියල. ඒත් මට සෞම්‍යාලෝකය සුනේත්‍රා ලියපු එකක් නෙවෙයි වගේ. වැඩි පරාසයක පාඨක පිරිසක් ඉලක්ක කරගෙන ලියු නිසා එහි සුනේත්‍රා නෑ. සුනේත්‍රාගේ අනන්‍යතාවය පෙනෙන තැන් නැත්තෙමත් නැති වුනත් සුනේත්‍රාගේ කැපී පෙනෙන ස්වභාවය ලිවීම ඇතුලේ අතුරුදැන් වෙලා. කොටිම්ම කියනවා නම් මේ පොත මට ඍජු වැඩි යි. එයින් අදහස් වෙන්නේ නෑ ඍජු වීම වරදක් කියල, එයින් අදහස් වෙන්නේ සෞම්‍යාලෝකයේ සාහිත්‍ය (අව)භාවිතාවට මම අකමැතියි කියන එක.

Tuesday, November 22, 2011

සුනේත්‍රාගේ පහස ලැබ | To Sunethra, with Love.



මේ කියන්න යන්නේ සුනේත්‍රා ගැන, එහෙමත් නැත්තම් සුනේත්‍රා රාජකරුණානායක නම් සම්මානනීය ලේඛිකාව ගැන. මට සුනේත්‍රා ව මුණගැහුනේ මීට අවුරුදු හය හතකට කලින්. ඒ මගේ අක්කා කෙනෙක් ළඟ තිබුණු 'පියනි මණ්ඩපය' කියවීම හරහා. සුන්දර සිහිනමය චීන නාඩගමක් ආශ්‍රයෙන් ලියවුණු එය මම සුනේත්‍රාගේ කැමතිම පොත්වලින් එකක්. ඒත් එතනින් එහාට සුනේත්‍රාගේ පොත් කියවීමේ අවස්ථාවක් කාලයක් යනකම් ලැබුනේ නෑ. ඊළඟට ඇයව හමුවෙන්නේ 2008 වසරේදී, ඒ ඇය සම්මාන ගණනාවක්ම 'පොදු පුරුෂයා'ට හිමි කරගත්තට පස්සේ. පොදු පුරුෂයා මම තුලින්ම දකිමින් මම ඒකට බැඳෙන්න ගන්නවා. ඔන්න ඉතින් මමත් සුනේත්‍රා සින්ඩ්‍රෝමයෙන් ආතුර වෙනවා. අමුතුවෙන් කියන්න ඕනේ නෑ, සරසවියේ තියන සුනේත්‍රාගේ පොත් කන්දරාවම මගේ පොත් ගොඩටත් එකතු වෙනවා. වහින වෙලාවට ඇඳට වෙලා කොපි බිබී ඒවා කියවනවා, නිදිමත වුණහම එහෙම්ම ම ඇයත් එක්ක නිදා ගන්නවා. සුනේත්‍රා මගේ ජීවිතේට එකතු වෙන්නේ ඔහොමයි. දැන් ඇය සැලකිය යුතු තරම් මට බද්ධ වෙලා. ඕනෙනම් දැන් මට යම් සිද්දියක් ගැන ඇය මොන මතයක් දරාවිද කියල උපකල්පනය කරන්න පුළුවන්. මේ කතාබහත් ඒවගේ. සැබෑවට ඇයව මුණගැහෙන්න අවස්ථාවක් මට ලැබිල නෑ (ලැබෙනවා නම් කොච්චර හොඳද!). මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්නෙත් මම ම යි, හැබැයි ඒ මම ඇයගේ ප්‍රතිරූපයට ආරූඪ වෙලා.

මම: ඔබ කැමතිම ඔබේ පොත මොකද්ද?
සුනේත්‍රා: ඕක තමන්ගේ ළමයි කිහිප දෙනෙක්ගෙන් වැඩිපුරම ආදරේ මොන ළමයටද කියල අහනවා වගේ වැඩක් නේ. මෙහෙමයි, එක එක නිර්ණායක අනුව මගේ නිර්මාණ වර්ග කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට මුලින්ම රාජ්‍ය සම්මාන ලැබුණු 'රිදී තිරංගනාව' වඩා හොඳයි කියල කෙනෙක්ට කියන්න පුළුවන්.
මම:  හරි ඒ ප්‍රශ්නෙම මෙහෙම ඇහුවොත් ඔබට අනුව වඩාත්ම සාර්ථක නිර්මාණය කුමක්ද?
සුනේත්‍රා: සම්මාන ලැබීම සාර්ථකත්වය කියල සලකනවා නම් රිදී තිරංගනාව, පොදු පුරුෂයා, කවි කඳුර සාර්ථකයි කියල කියන්න පුළුවන්. ඒත් මට අනුව සාර්ථකත්වය තීරණය වෙන්නේ පාටකයාට ඒ කෘතිය කරන බලපෑම හරහා. ඒක ඇත්තෙන්ම බොහොම සාපේක්ෂ දෙයක්.
මම: ඔබේ බොහොමයක් නිර්මාණ වල තියෙන්නේ පරාජිත ප්‍රේමය නැත්තම් තාවකාලික ආදරය. ඔබ කියන්න හදන්නේ සදාකාලික ආදරයක් නෑ කියලද නැත්තම් ඔබට අත්දකින්න ලැබුනේ එහෙම සම්බන්ධතා විතරද?
සුනේත්‍රා: නැහැ, මම කතාකරල තියනවා. පොදු පුරුෂයා කියන්නේ සදාකාලික ප්‍රේමයක් ගැන කතාකරන නිර්මාණයක්. ඒ සදාකාලික ප්‍රේමය තමයි මමංකාරයෙන් තොර මෛත්‍රිය. ඒ කියන්නේ සියලුම ප්‍රේමයන් එකිනෙකට සම්බන්ධ වෙන සියුම් හුයකින් බැඳෙන මෛත්‍රී සුත්‍රය. ඒක එක අතකින් භාවනාවක් වගේ. තමන්ට තමන් ආදරේ කරන අතරේ ඒ ආදරය අනෙක් පුද්ගලයන්ටත් විහිදෙනවා. ඒක බොහම විරාගි යි, එනිසා කාලයෙන් ප්‍රශ්නයක් එන්න විදිහක් නෑ. අකාලිකයි. බුදුහාමුදුරුවෝ නාලාගිරි මෙල්ල කරන්නෙත්, අංගුලිමාලට රහත්වෙන්න පාර කියන්නෙත් ඔය මෛත්‍රී සුත්‍රයම යි. ඒ සදාකාලික ආදරය අවෛරයම යි. ප්‍රභාකරන්ට වුණත් ළඟම නෑයට වුණත් සමානව සලකන්න පුළුවන් වෙන්නේ ඒ මෛත්‍රී සූත්‍රයෙන්.

ඔය විදිහට තව තවත් ඉදිරියට කතා කරගෙන යන්න පුළුවන් වුණත් මම මෙහෙම කරන්නේ නෑ, මොකද මගේ හිතේ ඇඳුනු සුනේත්‍රා සැබෑ සුනේත්‍රා සමග කොච්චර දුරට සමපාත වෙයිද දන්නේ නැති නිසා. කොච්චර නොගැලපීම් තිබුණත් දෙන්නා කෙහෙවලු පටලව ගන්න එකක් නෑ කියලනම් විශ්වාස යි. කොහොම වුණත් දැන් මේ ලියන්නේ මම වඩාත්ම ප්‍රිය කරන, සුනේත්‍රා විසින් රචිත කෘති කිහිපයක් ගැන කෙටි සටහන්.

රිදී තිරංගනාව
මෙය ඇය ලියූ, මා වඩාත්ම ප්‍රියකරන පොත කියල හැඳින්වූවාට වරදක් නෑ. ඒ මනුශිගේ කතාව, නැත්තම් මාශලා මානෙල් නම් බෞතිස්ම ලද්දියගේ ජීවිත කතාව. පොත ආරම්බයේදී ඇති ප්‍රවේශ කතා වස්තුවේදී ඇය මෙහෙම කියනවා,
මට මුණු පහක් තියනවා
අත් දහයක්
පංච මූර්තියක්...
මේ ඒ පංච මුර්තියේ කතාව, මාශලා අත්දැකීම් සමග පරිවර්තනයේ රංගනය. එක අතකින් මෙය සිනමා නිර්මාණයක්. රංගන ශිල්පිනියක් අලලා සෑදු චිත්‍ර පටයක්. එනිසාම වෙන්න ඕනේ කතාවේ තියෙන්නෙත් නිකම් සිනමාත්මක බවක්. ඒක එක පැත්තකින් යථාර්ථවාදයත් අනෙක් පසින් ෆැන්ටසියත් අරගෙන ඒදණ්ඩ තරණය කරනවා වගේ. හිමිවීම, ඒ සමගම එන අහිමි වීම, ප්‍රේමය හා විරහව, අතීතකාමය, සතුට දුක ආත්ම අනුකම්පාව එක්ක බැඳුනු මනුෂී නම් නිළිය ධර්ම චක්‍රය හරහා නොනවතින ගමනක යන්නේ විටක ශ්‍රී දේවිය වෙලා තවත් වෙලාවක කාලි යක්ෂණිය වෙලා. හැම කතාවක වගේම සුනේත්‍රාගේ ස්ත්‍රීවාදී දෘෂ්ටිය තුලින් බලන සමාජය, ප්‍රේමය, පිරිමියා, මිනිසුන්, දේශපාලනය, කලාව, මාධ්‍ය මෙහිත් වඩාත් පුළුල්ව විවරණය කරන්න ඇය සමත් වෙලා (මේ පොතේ වඩාත් හොඳින් ගුණාගුණ පිරික්සන්නට නම් වෙනම ලියන්න වෙනවා, එය පස්සට තබමු).

ප්‍රේම පුරාණය
කතෝලිකයට බයිබලය වගේ මෙය සෑම සුනේත්‍රා පාටකයෙක් සතුවම තිබිය යුතු පොතක්. ඕනෙනම් මේ සුනේත්‍රාගේ සාරය ලෙස හැඳින්වූවාට වරදකුත් නෑ, ඒ ඇය සෑම කෘතියකින්ම කියන්න හදන පණිවිඩය මේ හරහා අඩු/වැඩි වශයෙන් කියවෙන හන්ද. උවමනා නම් කෙනෙකුට කෙටිකථා සංග්‍රහයක් කියල හැඳින්විය හැකි සුනේත්‍රාට අනුව නම් නවකතාවක් වන මෙහි ඇත්තේ නිර්මලා තම ජීවිතයේ මුහුණදෙන අත්දැකීම් කිහිපයක්. පොතේ පසු කවරයේ මෙහෙම තියනවා,
නිර්මලා තම ජීවීන අත්දැකීම් පමණක් නොව අනුන්ගේ ජීවන වෘත්තද නව ශාන්ති මාර්ගයකට විලක්කු එළි බවට පත් කර ගන්නීය. ඇය පෞද්ගලික පරාජයන් ශක්ති ප්‍රවාහයක් බවට පත් කරන්නට තැත් කරන්නීය. නිර්මලා ශුද්ධ ස්වරයක්, බ්‍රහ්ම සංකේතයක් හා ගැඹුරු දේශපාලන වන කැළැල් සුවයට ප්‍රේමයේ නව බසක් සොයන්නීය.
නිර්මලා සොයන්නේ පුණ්‍යවන්තයන්ට හා පිළිගත් සුචරිත නියමයන්ගේ වෙස් මුහුණු පැළඳ සිටින්නන්ට පමණක් නොව සියලු පව්කාරයන්ටද ප්‍රේම කළ හැකි මාර්ගයකි.
කලින් කිව්වා විදිහට මෙය මට බයිබලය වගේ හින්ද මම සෑහෙන වතාවක් කියවල තියනවා. ඉදිරියටත් ප්‍රශ්නයක් නැතුව කියවන්න පුළුවන් වේවි.


විස්තර කරනවා නම් සුනේත්‍රාගේ පොත් හැම එකක්ම වුණත් ගන්න පුළුවන්. ඒත් අවශ්‍ය නෑ, මේ දෙකෙන් යම් අදහසක් ලැබෙනවා. තවත් මම කැමති කෘති ලෙස මේවා නම් කළ හැකි යි. පොදු පුරුෂයා, හර්ද සූත්‍රය, සුබෝධාලංකාරය, කවි කඳුර, සඳුන් ගිර ගිනි ගනියි, මතක පොත හා පූර්ව ජන්ම අපූර්වය. අවසානයේ කියන්න තියෙන්නේ මේ ලිපිය සුනේත්‍රට භක්ත්‍යාදරය දැක්වීම සඳහාම ලියූ බව. මේ ලිපිය අවසානයට ප්‍රේම පුරාණයේ ඇය ලියූ පිදුම ගැලපේවි කියල හිතනවා.

ප්‍රේමයෙන්ම හුස්ම ගනිමි
ප්‍රේමයෙන්ම හුස්ම හෙලමි
ප්‍රේමයේ ඔසු වනයේම සරා ඵල නෙලමි
සිත් චිත් ආනන්දයෙන්
ප්‍රේමයේම සුවය සොයමි
මම මා ප්‍රේමයෙන්ම
ශුන්‍ය ප්‍රීතියට මුසු කරමි
අසංග වූ ප්‍රේමයෙන්
මේ ප්‍රේම පුරාණය 
ප්‍රේමයටම පුද කරමි

Saturday, October 29, 2011

දෙමළුන්ට ප්‍රශ්න තියනවද?

ඔය ප්‍රශ්නෙට උත්තරේ ඔව්, දෙමළාට විතරක් නෙමේ සිංහලයාට, මුස්ලිමානුවන්ටත් ප්‍රශ්න තියනවා. ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකේ හොයා ගන්න නෑනේ. ඒත් මෙතන අදහස් කෙළේ ලංකාව තුල දෙමළෙක් වීම නිසා වෙනම ම මතු වුණු ගැටළු තියනවාද කියන දේ. ඒ ප්‍රශ්නෙටත් උත්තරේ ඔව් ම තමයි.
මේ කියන්න යන්නේ පොතක් ගැන විස්තරයක්. ඒ කෙටි කරපු දිග කතා ලියල තියෙන්නේ කුමාරි (කුමාරි කුමාරගමගේ) නම් කෙනෙක්. ඇය නැගෙනහිර පළාතේ සිටින විට 2007 වසර ඇතුලත ලබා ගත් අත්දැකීම් මත, විවිධ පුද්ගලයන් මුල්කරගත් කෙටි කතා කිහිපයක එකතුවක් තමයි මේ පොතේ ඇතුලත් වෙන්නේ. පොත කියවන්න පටන් ගත් වෙලාවේ ඉඳල ඇති වුණු කම්පනය නම් දරුණු යි. කියවල ඉවර වෙලා කිහිප දවසක් ම ගත වුණත් තාමත් ඒ අකුරු අතරින් ගලා ආපු කෘර බව හිතට වද දෙනවා. මම මේ කරන්න යන්නේ විචාරයක් නෙමේ, අනික සැබෑ අත්දැකීම් මත ලියපු යමක් විචාරය කරන්නත් බැහැ කියලයි මම හිතන්නේ. ඒ නිසා යම් යම් උපුටා දැක්වීම් කිහිපයක් පමණක් දක්වන්නම්.

කතාව ගැන යමක්
දිනක් ත්‍රිකුණාමලයේ සිට නුවර බලා යමින් සිටි මා ගමන් ගත් රථය පිපිරුම් ශබ්දයකට පාරේ නැවතිණි. ඒ තම්පලකාමම් / තඹලගමුව මංසන්ධිය යි. ඉදිරියේ නාවුක හමුදා බසයක් බිම් බෝම්බයකට හසුව පුපුරා ගොස් පසෙක තිබු කුඹුරකට පෙරළී ගිනි ගෙන තිබුණි. මළ සිරුරු හා සියලු සුන් බුන් ලහි ලහියේ ඉවත් කොට පැයකට පමණ පසු මාර්ගය විවෘත විය. නාවුක හමුදා බටයෙකුට අයත්ව තිබු ඔප දැමු කළු පැහැ සපත්තුවක් අයිති කරුවා අහිමිව තනිවී පාර අයිනේ රැඳී තිබුණි. එය මට පැවසුයේ අත්හරිනු ලැබූ තවත් එක් කතාවකි.

පාර්වතී
තනිවම ඇවිද ගන්න බැරිව පැනල එන්නේ කොහොමද? අනික ඒ කඳවුරු වටවෙලා තියෙන්නේ හමුදා කඳවුරකින්. අනිත් පැත්තෙන් මුහුද, තව පැත්තක ගඟ. කොහොම හරි පැනල ආවමයි කියමුකෝ. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් උස්සගෙන් ගිහින් පැනල ගියාට දඬුවම් දෙයි. නැත්තම් කවුරුහරි වෙඩි තියල දායි. ඒත් නැත්තම් ළමයා වෙනුවට ගෙදර කාවහරි අරන් යයි. කරදර විතරයි. එහෙම වෙන්නේ නෑ කියල කාටද සහතික වෙන්න පුළුවන්. අන්තිමට පාර්වතී තීරණය කළා බලා ඉන්න. කවදාහරි දවසක කවුරු හරි පුතාව ගෙදර ගෙනත් ඇරලවයි.

පොන්නුදුරෙයි
"පුතාව හම්බ වුණාද?"
"ඔව්, අපි ඉන්න තැන හොයාගත්තා. කතාබහ කරන්නත් හම්බ වුණා. ළමයා අඬනවා ගෙදර එන්න. අපි මොනවා කරන්නද නෝනා. දෙවියෝ තමයි අපිට ඉන්න එකම පිහිට."
"දෙවියෝ! දෙවියෝ ඉන්නවනම් ඉතින් ඇයි ඔයාලට මෙච්චර කරදර වෙන්නේ..."
"නෝනා එහෙම කියන්න එපා. ජීවිතේ පටන් ගත්ත දා ඉඳන් අපි වෙනුවෙන් කිසිම කෙනෙක් මොනවත් කළේ නැහැ. ඉස්සරහට කරන්නෙත් නෑ. බලයේ හිටපු අයයි බලය ගන්න හදන අයයි කවුරුත් කළේ අපිට නිදහසේ ඉන්න දුන්නේ නැති එක. අපිට ඉන්නේ දෙවියෝ විතරයි නෝනා. දෙවියෝ මගේ පුතාව ගෙදර එන්න සලස්වාවී"
පොන්නුදුරෙයිලගේ ගෙදරට පිටිපස්සේ ගෙදරින් වයසට ගිය අම්මෙක් එබිකම් කළා. " ඒ මගේ අක්කා, එයාගේ පුතාවත් එල්.ටී.ටී.ඊ. එකෙන් අරන් ගියා. දැන් අවුරුදු දෙකකට විතර ලොකු පුතා පැනල ආපු කාලෙ ඒ ළමයාත් පැනල ආවා. කරුණා පාටිය ඇවිත් මේ ගේ ඉස්සරහ... අන්න අර අඹ ගහ ළඟදී ඒ දරුවට වෙඩි තිබ්බා. මැරෙනකොට අවුරුදු 18 යි වයස. යන්තමින් දැලි රැවුල ආවා විතර යි..."
පොන්නුරෙයි ගේ අක්කා කම්බි වැට උඩින් අපි දිහා බලලා එක දතක් වත් නැති ලොඹු කටින් හිනා වුණා.
"දෙමළ වෙලා ඉපදුන පාපෙට දෙයියෝ මොනවා කරන්නද?"
අපි එන්න හැරෙනකොට ඒ කතාව ඇහුනේ පොන්නුදුරෙයි ගේ අක්කගේ ගෙවල් පැත්තෙන්.

මව්වරු සහ දරුවන්
"එදා හවස එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් පැලේ හේත්තු කරලා තිබුණ බයිසිකලේ ඉල්ලලා. එයා කියල අනේ ඒක නම් දෙන්න බැහැ ඒක නැතුව කොහොමද මම ගෙදර යන්නේ කියල. උන් ඒක අහන්නේ නැතිව බයිසිකලේ ළඟට යද්දී බල්ලා ගොරවලා. එතකොටත් එයා කිව්වලු බල්ලට මොනවත් කරන්න එපා බයිසිකලේ මම අරන් දෙන්නම් කියල. ඒත් උන් බයිසිකලේ අත ඇරලා බල්ලාගේ කනට වෙඩි තියල..."

සිත්තාන්ඩි
"කවුද ඉතින් වෙඩි තියල තියෙන්නේ?"
"දන් නෑ"
"එල්.ටී.ටී.ඊ. ද?"
"නෑ"
"කරුණාද?"
"නෑ"
"වෙන කණ්ඩායමක්ද?"
"නෑ"
"හමුදාවද?"
"දන් නෑ"
-------------------
"හමුදාවේ පොලිසියේ අය ආවේ නැද්ද ශිව කුමාරගේ මරණෙට?"
"පහුවදා ආවා"
"ඉතින්?"
"කවුද වෙඩි තිබ්බේ ඇහුවා අපි කිව්වා දන්නේ නෑ කියල"
"එතකොට එයාල මොකද කිව්වේ?"
"ඔව්, ඔයාල දන්නේ නෑ. එල්.ටී.ටී.ඊ. එකෙන් වෙන්න ඇති කිව්වා."
"ඔයගොල්ලෝ කිව්වද නෑ කියල?"
"එක නැන්දෙක් කිව්වා ඇඳුම් ඔයාලගේ වගේ, දිග තුවක්කු තිබුණා කියල"
-------------------
"කව්ද ගමට ෂෙල් ගැහුවේ?"
"දන්නේ නෑ"
"ඇයි? කවුරුත් ඔයාලට කිව්වද ඔයාල දන්නේ නෑ කියල?"
"ඔව්..."

කුහන් - ත්‍රීවිල්කාරයා / දේශපාලනඥයා
"ඇත්තටම සිංහල දෙමළ අතර ඉරි අඳින්න පුළුවන් කාටද අක්කා... කොහෙන් කොහොමද ඒක පටන් ගන්නේ? මම දෙමළ වෙලා ඉන්න කැමතියි. ඇත්තම කිව්වොත් දෙමළ කියාගන්න ආඩම්බරයි. හැබැයි ඒක මාව මරණයට තීන්දු කරන්න හේතුවක් වෙන්නේ කොහොමද? ඒක අක්කව මරන්න මට ලැබෙන ලයිසන් එකක් වෙන්නේ කොහොමද? ඒක මම කතා කරන භාෂාවට, මම ජීවත් වෙන විදිහට, මම අදහන ආගමට, මම ජීවත් වෙන ප්‍රදේශයට හේතුවක් විතරක් කරගන්න පුළුවන් නම්... එහෙනම් අපි කොච්චර වසනාවන්තද නේද අක්කා... දැන් බලන්න කඳවුරේ හිටපු අර මල්ලි... එයාගේ අම්මා සිංහලද දෙමළද? එය දෙමළ කියල කවුරු හරි කියනව නම් එයාගේ සිංහල කෑල්ලට තියන අයිතිය එහෙම්පිටිම්ම නැති වෙනවද? එතකොට ඒ අම්මගේ ළමයි... උන් කවුද? ඒ ළමයින්ට ජීවිතේ කවදාවත් සතුට කියන එක විඳින්න බැරි වෙන්න කරපු පාපය මොකද්ද? අපේ මිනිස්සුන්ට මේවා තේරෙන කාලෙ වෙද්දී අනිත් ඒවා කෙසේ වෙතත් ලොකු කනත්තක් නම් ඉතිරි වේවි."


ආයේ අමුතුවෙන් මට කියන්න දෙයක් නෑ, මේ වචන ඒවා වෙනුවෙන්ම කතා කරනවා. මේ පොතේ නැවත නැවතත් කියවෙන්නේ යුද්ධයේ කුරුරි බව හා සාමයේ වැදගත්කම ගැනම තමයි. ඒ වගේම 'දෙමළුන්ට ප්‍රශ්න තියනවද' කියන ප්‍රශ්නෙටත් සාධාරණ උත්තරයක් මේ පොතෙන් ලැබෙනවා. ඇය කියල තියන විදිහටම මේ මහා චිත්‍රය නෙමේ යි, මේ ඉතාම කුඩා කොටසක් පමණයි. මේ කොටසින් මහා රූපය බලන්න බෑ වගේම මේ කොටස නැතුව මහා චිත්‍රය සම්පූර්ණ වෙන්නෙත් නෑ. අවසානයේදී කියන්න තියෙන්නේ නොකියවුණු කතාවක් දැනගන්න මේ පොත පුලුවන්නම් කියවන්න කියල තමයි.

සියොතුනේ උතුරින් මෙහි එන පියඹා 
සියොතුනේ දකුණින් එහි යන පියඹා 
දකුණේ දිනු ගම් පීරා
උතුරේ උන් හා.. 
අහසේ හමුවන තැන කොතැනේ....