Showing posts with label රස්තියාදුකාරයා. Show all posts
Showing posts with label රස්තියාදුකාරයා. Show all posts

Thursday, May 10, 2012

රස්තියාදුකාරයා - III

පෘථිවිය පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයකින් විනාශ වෙනකම් මම බලන් ඉන්නවා. ඒ වගේ ආක්‍රමණයක් ආවොත් පොදු සතුරා වෙනුවෙන් හැම මිනිහෙක්ම එකතුවෙන්නත් අවස්ථාවාදීන් මිනිස් වර්ගයාවම පෞද්ගලික වාසි ලබාගන්න පාවා දෙන්නත් ඉඩ තියනවා. මම පාවා දෙනවද නැද්ද කියනදේ තීරණය වෙන්නේ අවස්ථාව අනුව නිසා අනාගතය ගැන පූර්ව විනිශ්චයෙන් කටයුතු කිරීමෙන් වැඩක් නෑ. අනිත් අතින් අනෙක් ලෝක වලට යන්න තරම් දියුණුවක් ලබපු ජීවින් වර්ගයක් තවත් ලෝකයක් විනාශකරයි කියල හිතන්නත් අමාරුයි.

දොරටු 666 ක් විවර කරගෙන එන යක්ෂයාව පිළිගන්න සුදානමෙන් සෑහෙන දෙනෙක් හිටියත් ඔවුන් නොදන්නා කරණය තමයි ලුසිෆර් කොහොමත් කවදත් හිරවෙලා නෑ කියන කාරණය. සමහර විට තාවකාලිකව හිරවෙලා ඉන්න ඇති. ඒක ලෝක ස්වභාවය; හැම විප්ලව කාරයෙක්ටම අපහසු කාලයක් එනවා, එතකොට දුක් විඳිනවා, අපායේ යනවා. ඒක උත්ප්‍රසාත්මකයි, නැත්තම් විසංවාදීයි. සර්ව බලධාරී දෙවියා කියන්නේ "ප්‍රේමය" නෙමෙයි කියල දැන ගැනීම තමන් ආත්ම අනුකම්පාවෙන් පොඟවනවා, සදාකාලික අවිනිශ්චිත බවින් මිරිකනවා. ඒත් දැන් දෙවියන් ගැන කතාවෙන් වැඩක් නෑ මොකද අනාගතය යක්ෂයාගේ නිසා.

මගේ පපුව උඩින් දාල තිබුන අත පැත්තකට දාල මම ඇඳෙන් නැගිට්ටා, නාන කාමරයට ගිහින් දොර වහගත්තා. එතන එළියෙන් පිරිලා, හෙවනැල්ලක් හොයාගන්න ගත්ත උත්සාහය සාර්ථක වුණේ නෑ. හැම තැනම සුදු පාට. බිත්ති, ටයිල්, ටැප්, හැමදේම. මම විතරක්ම වෙන පාටකින් කණ්ණාඩියේ දිස් වුණා. කණ්ණාඩියේ හිටිය මම, මම හිතාගෙන හිටිය මට වැඩ වෙනස්. මම බලාපොරොත්තු වුණේ මීට වඩා අප්‍රසන්න මුහුණක් වුණත් තාමත් මුණේ ආකර්ශනීය බව යම්තමින් ඉතිරි වෙලා තිබුණා. අතට ගත්ත වතුර පොද මූණට විසිකළා. සාක්කුවේ බ්ලේඩ් එකක් තිබුණා, ඒක ඕන වෙන්නේ මේවගේ වෙලාවට; මම අහක බලාගෙන වම් අතේ ඉරි අඳින්න පටන් ගත්තා. සුදු පාට සින්ක් එකට රතුපාට ලේ බින්දු වැටුණා, ගලා යන වතුරින් වටයක් දෙකක් කැරකිලා නොපෙනී ගියා.

විනාඩි කිහිපයකට පස්සේ ආයේ කාමරේට එද්දී ඒ ගෑණි නැගිටලා හිටියා. තරුණ බව අත්හැරලා ගිය පියයුරු එල්ලා වැටුණා.
"මට දැන් යන්න වෙනවා." මම අහක බලාගෙන කිව්වා.
"පොඩ්ඩක් ඉන්න මම ඔයාට තෑග්ගක් ගත්තා, ඔරලෝසුවක්."
"තෑගි එපා, සල්ලි විතරක් ඇති."
"කැමැත්තෙන් දෙන එකනේ ගන්න, ඊළඟ දවසේ එද්දී දාගෙන එන්න."
මම මොනවත් කියන්න ගියේ නෑ. යද්දී ඔරලෝසුව බලන්නේ නැතුවම විසිකළා. 

* * * * *

ඒ පල්ලිය සුනාමි නිසා ගරා වැටිලා තිබුණා, ආයේ ඒක අලුතින්ම මුහුදින් ගොඩක් ඈතින් හැදුව හින්ද මේ පළාත පාළුවෙලා. ඉතිරු වෙලා තිබුණ බිත්තිවල කුණුහරප, නම්, කෙල්ලන්ගේ නම් එක්ක ධන ලකුණු අතරින් පතර බලාපොරොත්තු, ප්‍රාර්ථනා එහෙමත් ලියල තිබුණා. බැහැගෙන යන ඉරෙන් වැඩි බලපෑමක් නෑ. අඩි කිහිපයක් ඈතින් මුහුදු වෙරළේ කුරුල්ලෝ එකෙක් දෙන්නෙක් කැරකි කැරකි හිටියා, ලුණු රස දිවට දැනුනා. මගේ පිටිපස්සෙන් බයිසිකලයක් නැවැත්තුවා, දෙන්නෙක් බැස්සා. තවත් කව්ද මන්ද එකෙක් පයින් අවා. බයිසිකලේ ආව උන්ගෙන් එකෙක් කෙල්ලෙක් කියල දැන ගත්තේ ටික වෙලාවකට පස්සේ.

මම වගේම හැඩරුව ඇති යක්ෂයා ඇවිත් හිටියා. ටික වෙලාවක් යනකම් කවුරුවත් මොනවත් කිව්වේ නෑ. මට කතාකරන්න උවමනාවක් තිබුනෙත් නෑ. යක්ෂයා ඇවිත් හිටි හැම කෙනෙක් දිහාම විමසිල්ලෙන් බලන් හිටියේ ලෝකේ තියන හැම තප්පරයක්ම අයිතියි වගේ.

" ඇයි එන්න කිව්වේ?" කෙල්ල ඇහුවා.
"ඒකට උත්තරේ දැනටම දන්නවා නේද?" කවුරුවත් ටික වෙලාවක් යනකම් උත්තර දෙන්න ගියේ නෑ. ඇයි මම ආවේ කියන කාරණයට පැහැදිලි උත්තරයක් නොදන්නවා වුනාට යම් කිසි අදහසක් හිතේ එහෙ මෙහෙ කැරකුනා.
"වෙනස, එක තමයි හැමෝටම ඕනේ කරලා තියෙන්නේ. හැමදේකින් වියුක්ත යමක්..."
"ඕක හිතලුවක් විතරක් නෙමේ කියල විශ්වාසද?" පයින් ආපු එකා ඇහුවා.
"සමහරවිට, ඒත් උත්සාහය ගැනවත් සතුටු වෙන්න පුළුවන් වේවි."
"අපිට එන්න කිව්වේ? මේක කල්ට් එකක්ද?"
"නමට වඩා වැදගත් වෙන්නේ කරන දේ."

මම සිගරට් එකක් පත්තු කරගත්තා. ඉර එළිය හොඳටම අඩුවෙලා ඈත පාරේ කණුවක නිල පාට ටියුබ් ලයිට් ආලෝකය ලාවට විහිදිලා තිබුණා. අර කෙල්ල තව මොනවද ප්‍රශ්න අහනවත් ඒවාට උත්තර ලැබෙනවත් ඇහුනා. ලුසිෆර් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද? අවිශ්වාස නම් අයි ආත්මයම උගස් කරන්න හැදුවේ? ලුසිෆර් කියන වෙනස මොකද්ද වගේ ප්‍රශ්න මම මගෙන් ඇහුවේ නෑ, යක්ෂයාගෙන් අහන්න ගියෙත් නෑ. ඒත් මේ හමුවීමෙන්, එක්වීමෙන් මගේ ඇඟේ ඇඩ්රනලින් වැඩියෙන් වැඩ කරන්න පටන් අරන් තිබුණා. කවදාවත් නැති විදිහට ජවයකුත්, ආත්ම විශ්වසයකුත් ඇති වෙමින් තිබුණා. ඒ තමයි සාතන් සමග විප්ලවයේ ආරම්භය.

"හරි දැන් අපි කරන්න ඕනේ මොකද්ද?" මම ඇහුවා, යක්ෂයා කට කොනකින් හිනා වුණා.

මට අපායේ දැවෙන්න සිදුවන බවට විශ්වාසයි.


-අවසානයි-

Friday, May 4, 2012

රස්තියාදුකාරයා - II

And I find it kinda funny
I find it kinda sad
The dreams in which I'm dying
Are the best I ever had
I find it hard to tell you
I find it hard to take
When people run in circles
It's very, very mad world
            Gary Jules - Mad world


ඉස්සරහ වාඩිවෙලා හිටපු කෙල්ල මට ඇහැක් ගැහුවා. මම හිනා වුණේ නෑ. ඒ කෙල්ලගේ මොකක්හරි දැකල පුරුදු ගතියකුත් තිබුණා. ඒ වුනාට ඒ පළපුරුදුකම් හොයන්න බැරි ගතියක් දැනුනා. ඒත් ඒ වෑයම සාර්ථක වුණේ නෑ, ඒකි ඇවිත් මට එහාපැත්තෙ පුටුවෙන් වාඩිවුණා.

"මාව මතකද?" මම මොනවත් කිව්වේ නෑ.
"ඇයි අනේ..." කෙල්ල මගේ කනට කොඳුරන්න ගත්තා. "ඔයා මට රතු පාට පෑන්ටි හයක් අරන් දුන්න මතක නැද්ද? දැන් මම ඇඳලා ඉන්නෙත් ඒකක්."

මම කට කොනකින් හිනාවුණා. වෙන වෙලාවක නම් මම "ඇත්තද? හැබැයි මම දකින දේ විතරයි විශ්වාස කරන්නේ " වගේ උත්තරයක් දෙන්න ඉඩ තිබුණා. මතක ඇති විදිහට මීට මාස කීපයකට කලින් අපි වතාවක් දෙකක් නිදාගත්ත ද කොහෙද, ඒකිට මගේ ඇඟේම එල්ලෙන්න ඕනේ වුනහම පෑන්ටි අරන් දීලා බේරුනා. ඒත් කෙල්ලන්ගෙන් නම් සම්පූර්ණ ගැලවීමක් නැහැ.

පුස්තකාලයේ තියන පොත් වලින් අහඹුවෙන් එකක් තෝරාගෙන කියවන එක මගේ පුරුද්දක්. මම තෝරාගෙන තිබුනේ මිලාන් කුන්දේරාගේ 'ජීවිතය අන් තැනකි' පොත. මගේ ජීවිතය අන් තැනක වත් තියනවද කියල හිතාගන්න බැරිව ඉන්න කොට කෙල්ල මගේ දණහිසට අත තිබ්බා. තවත් පිටුවක් දෙකක් කියවන් යද්දී ඒ අත තිබුනේ කලින් තිබුන තැනට වඩා අඟල් කිහිපයක් ඉහලින්. කතා නායකයා තමන්ව තමන් තුලින් හොයා යාමේ නොනවතින ගමනක දී යෙදෙද්දී මගේ කලිසමේ සිප් එක අරුණා.

යක්ෂයාව හොයන්න ගත් උත්සාහයන් සාර්ථක වුණේ නෑ. ලුසිෆර් කියන්නේ හැම මනුෂ්‍යයෙක් තුලම ඉන්න 'නරක' බවට රූපකයක් විතරක් කියල පිළිගන්න මම අකැමති වුණා. ඒ නමින් මොනම විදිහක හරි පුද්ගලයෙක් සිටිය යුතු බවත් මම ඒ කෙනාව මුණගැසිය යුතු බවත් විතරක් දැනගෙන හිටියා. කලුපාට ස්ප්‍රේ එකක් අරගෙන තාප්ප වල යක්ෂයාට පණිවිඩ ලියන්න පටන්ගත්තෙත් ඒ එක්කමයි. මිනිසුන් අසලම ගැවසෙමින් මිනිසුන්ගේ ආශාවන් වලට පොහොර දමමින් ඉන්න කෙනා ඒවා දකියි කියලා තරමක විශ්වාසයක් තිබුණා.

"ඔය ඇති" මම කෙල්ලගේ අත අයින් කරලා සිප් එක වහගත්තා, පොත ආපහු තියල එලියට ආවා, කෙල්ලත් මගේ පස්සෙන්ම එනවා. වෙලාව හවස හයට විතර ඇති. හිරු එළිය අඩුවෙලා ගිහින් කළුවර තැනින් තැන ඇතිකරලා තිබුණා. පිස්සුවෙන් වගේ වාහන යන පාරවල් පහුකරගෙන වික්ටෝරියා පාර්ක් එකට ආවා. ගේට්ටුවෙන් ඇතුලට යන්න දෙන්නේ නැති වුණත් ඇතුලට යන්න පුළුවන් තැනක් හොයාගන්න පුළුවන් වුණා. ඒ වෙන කොට කෙල්ලට මාව මග ඇරිලා. උද්‍යානයේ තැනින් තැන විදුලි පහන් දැල්වල තිබුනේ උවමනාවට එපාවට, ඒකෙන් එක්තරා ආකාරයක ආලෝක රටාවක් මැවිලා තිබුණා. තාම එළියට ගිය නැති මිනිස්සුත් එහෙන් මෙහෙන් මතු වුණා, නැති වුණා.

ඇබෑර්තුවක් තියන ගහක් යටට වාඩිවෙලා බෙහෙත් පෙත්තක් කටේ දාගත්තා. එක්ස්ටසි, සදාකාලික ප්‍රහර්ෂය, නොනවතින සුරතාන්තය, නිර්වාණය. කවුරුහරි මගේ ඉස්සරහට ආවා වුණත් හරියට මුණ පෙනුනේ නැති නිසා අනන්‍යතාවයක් නෑ. ආඥාතයෙක් වෙන්න කාටවත් බැරි වුණත් එහෙම අයත් ඉන්නවා. හරියට මම වගේ? ඒ ප්‍රශ්නේ මම මගෙන් ඇහුවේ නෑ. ඒ ප්‍රශ්නේ යොමු වුනේ ඉස්සරහින් හිටිය පුද්ගලයට.

"ඒ, උඹ කව්ද?"
"මාව හෙව්වා නේද?"
"මම? මම හෙව්ව එකා උඹ වෙන්න බෑ." ඌ ඒකට උත්තරයක් දුන්නේ නෑ. මගේ එහා පැත්තෙන් වාඩිවුණා, මට අර කෙල්ල පව් කියල හිතුනා.
"ඇයි මාව හෙව්වේ?"
"නිකන්, නිකම්ම නිකන්, හරියට සුළඟ වගේ..."
"මොනවද ඕනේ? සල්ලි, බලය, ගෑණු?"
"බම්බුව, ඔය මඟුල් එපා!"
"එහෙනම් මම යනවා..."
"හිටපන්, මාත් එක්ක කතාකරපන්."
"එහෙනම් කියන්න අහන් ඉන්නම්."
"ඊට කලින් උඹේ මුණ බලන්න ඕනේ..." මම උගේ අතින් ඇද්දා. ඌත් නැගිටලා ආවා. ටිකක් ඈතින් ආපු එළියකින් මුණ බලාගන්න පුළුවන් වුණා. ඒ මුණෙයි මගේ මුණෙයි වෙනස දවස් කීපයකින් නොකපපු රැවුලයි, කොන්ඩේ පිළිවෙලයි, හමේ පිරිසිදු කමයි විතරයි. කෝට් එකත් එක්කම ඌ සම්පූර්ණ ඇඳුමක් ඇඳලා, පිටින් කව්රුත් බැලුවනම් අපි දෙන්නා ඉපදුනාට පස්සේ වෙන්වුන -මම හිඟන්නෙක් වුණ, ඌ පෝසතෙක් වුණ- නිවුන් සහෝදරයෝ කියල හිතන්න තිබුණා. ඌ මං දිහා බලල හිනා වුණා. මේක භ්‍රාන්තියක් වෙන්න බැරි බව විශ්වාසයි. මත් වෙන්න නම් තව වෙලා යනවා.
"උඹ මම ම ද? මේ ඇත්තට ම ද?"
"ඒවායින් වැඩක් නෑ, කතාකරන්න."

තප්පර කිහිපයක් ගතවුණා. ඌ කලබලයක් නැතිවම බලන් හිටියා.

මට ඇහුම්කන් දෙන එකෙක්? මට හිතාගන්න අමාරුයි.

මම කතාකරන්න පටන් ගත්තා.


-ඉතිරිය මතුවට-

Sunday, April 29, 2012

රස්තියාදුකාරයා - I

සොම්බි ආක්‍රමණයකින් මුළු ලෝකෙම හිටපු මිනිස්සු මැරිලා මළ මිනී ඇවිදින්න ගත්තම මම දන්නා තරමින් ඉතුරු වෙලා හිටියේ මම විතරයි. තව මම වගේ බේරුණු අය ඉන්න පුළුවන් වුණත් හරියටම දැනගන්නවත් කිසිම සම්බන්ධතාවක් පවත්වන්න වත් අවස්ථාවක් තිබුනේ නෑ. කොළඹ පාරවල් පාළුවෙලා තිබුණා. වාහන අන්තිමට නවත්තල තිබුණු තැන්වලම නවත්තල තිබුණා. එහෙන් මෙහෙන් මැරුණත් නොමැරුණු සදහටම පැරඩොක්සයක හිරවුණු දිරාපත් මිනිස් ශරීර ඉබාගාතේ ඇවිද්දා. 'ජීවය' කියන වචනෙත් එක්ක මේ ලෝකය පෑහුණේ නෑ. කෙනෙකුට ඕනෙනම් මේ ලෝක අවසානය කියල හඳුන්වන්න පුළුවන් වුණත් විනාශ වෙලා තිබුනේ මිනිස් සංහතිය විතරයි. සොම්බිලගේ අතින් මැරුණු සත්තු ඇරුනම සත්තුන්ට මේක බලපෑවේ නැති තරම්. මිනිස්සු පෘථිවියට කළ හානියත් එක්ක බලද්දී එකේ පුදුමෙකුත් නෑ.

මම හිටියේ තට්ටු ගණනක් උස ගොඩනැගිල්ලක ඉහලම තට්ටුවට වෙලා. බිම ඉඳන් එපමණ ඉහලට සංවේදනයක් සොම්බිලට තිබුනේ නෑ. මගේ අත්දැකීම් අනුව නම් කොහොමත් උන්ට සංවේදන හැකියාව ජීවමාන මිනිසුන්ට වඩා සැහෙන අඩුයි. ක්‍රියාදාම චිත්‍රපටයක වගේ තුවක්කුවක් හොයාගෙන මුන්ට වෙඩි තියාගෙන යන්න උවමනාවක් හිතේ කැරකි කැරකි තිබුණා. ඒ අදහස ක්‍රියාත්මක කරන්න නම් මෙතනින් යන්න වෙනවා. ඒත් ඒකම තමයි ප්‍රශ්නේ, මෙතනින් යන්න නම් සොම්බිලගේ අවධානය ලබන්නේ නැතිව වාහනයක් හොයාගන්න වෙනවා. මම හිමිහිට පහල බහින්න ගත්තා, ගොඩනැගිල්ල යුද්දෙකට මැදි වෙලා වගෙයි. හැබැයි විනාශ වුණු බිත්ති මේස පුටු ඇරුනම මිනිස් සලකුණක්වත් තිබුනේ නෑ. අහ්! සමාවෙන්න හැම අතම විහිදුනු ලේ සලකුණු නම් ඕනෙතරම්. ගොඩනැගිල්ලේ බිම්මහල වෙන්වුණේ  වාහන නවත්වන්න. බිම්මහලේ වාහන කිහිපයක් අතරින් මම තෝරාගත්තේ වැඩිපුරම ආරක්ෂාවක් තියෙන්න පුළුවන් කියල හිතල ජීප් එකකට ඇතුල් වුණා. ඒත් එක්කම තිබුණ වාහනය මම ගොඩක් කැමැත්තෙන් හිටපු කාර් එකක් වුණත් ඒ ගැන තිබුණු ආශාව දැන් සම්පූර්ණයෙන්ම වගේ හිඳිලා තිබුණා.

දැන් තමයි අමාරුම කොටස; තුවක්කුවක් හොයාගැනීම. පොලිසියකට ගියොත් ඒක කරගන්න පුළුවන් වේවි කියල හිතාගෙන පුළුවන් තරම් අඩුවෙන් ශබ්ද වෙන විදිහට වාහනේ එලවන්න ගත්තා. තැන් තැන් වල වාහන නැවතුනු පාරක යාම පහසු නෑ, සොම්බිල තැනින් තැන ගැවසෙන නගරයක වාහන එළවීම කොහෙත්ම පහසු නෑ. වාසනාවකට හෝ අවාසනාවකට මට පොලිසියකට යන්නත් මියගිය නිලධාරියෙකුගේ විය හැකි තුවක්කුවකුත් හමුවුණා. නැවතත් වාහනේට නැගල අතුරු පාරෙන් ප්‍රධාන පාරට එද්දිම මුහුණ දෙන්න වුනේ සොම්බිලා සිය ගණනකට, නැත්තම් ඊටත් වඩා. කොහොම වුණත් පාර පිරෙන්නම උන් හිටියා. වාහනේ පුළුවන් තරම් වේගෙන් ආපස්සට අරන් හරවල ආපහු හිටපු පැත්තටම එන්න හැදුවත් ඒ පාරත් සොම්බිලාගෙන් පීරලා තිබුණා. දෙපැත්තෙන්ම වට වෙලා හින්ද කරන්න තිබුනේ වෙඩි තියන එක විතරයි. ඒ එක්කම මම කළේ ආසන්නයට ආ එකෙක්ට වෙඩි තැබීම, ඒ හඬ මම හිතුවට වඩා තියුණුයි. කොයිතරම්ද කිව්වොත් දවල් හීන බලන මිනිස්සුන් නැගිට්ටවන තරම් ශක්තිමත්.

මම ඇස්දෙක විවර කළාට පස්සේ කළේ මම ඉන්නේ කොහෙද කියල බලපු එක. ඉන්නේ ගෙදර මගේ කාමරේ ඇඳේ වැතිරගෙන බවත් අතින් ගෙදර අය කතාකරන නිසා සොම්බි ආක්‍රමණයක් වෙලා නැති බවත් තේරුනේ තප්පර කිහිපයක පමාවකින් පස්සේ. ඇඳ ළඟ තිබුණු මේසේ ලොකු පොතක් දිග ඇරපු ගමන් එහෙම්මම තිබුණා. දාඩිය වැඩිකම හින්ද පවන් ගහන්න ඒ පොතෙන් පිටු කිහිපයක් කඩා ගත්තා. පොත වැහුවහම තමයි දැන් ගත්තේ ඒ බයිබලය බව, නොදැනුවත්වම සුසුමක් පිටවුනේ ඒ එක්කමයි. සෑහෙන වෙලාවක් (ඔරලෝසුවක් ළඟපාතක තිබුනානම් කොච්චර වේලාවක්ද කියන්නත් තිබුණා) නිදාගත්තට පස්සෙත් මහන්සියේ අඩුවක් තිබුනේ නෑ. ඒක මානසික මිසක් කායික විඩාවක් වෙන්න බෑ.

ඇඳෙන් නැගිටලා මේස ලාච්චුව ඇදල බලද්දී පැරසිටමෝල් පෙති ගණන් කරන්නේ නැතිව කිහිපයක් අතට හලගත්තේ බොන්න. බෙහෙත්වලින් මේ අසනීපය හොඳ කරන්න බැරිබව දැනගෙනත් ඒවා බිව්වේ තාවකාලික හිරිවටිමකට. කොහොමත් මම හිරිවැටුණු මිනිහෙක් වගේ තමයි. අනිත් හැමෝම වුවමනාවට වඩා කලබල වෙද්දී වෙලාව ගැන මට ගානක්වත් නෑ. කාලය හෝ අවකාශය කියල දෙයක් ඇත්තටම නෑ කියල පිළිගනිද්දී අනිත් පුද්ගලයන්ගේ ක්‍රියාවන් ගැන මට ඇතිවුනේ අනුකම්පාවක්.

"උඹට ඔය විදිහට ජීවත් වෙන්න අමාරු වෙයි" දවසක් මට යාලුවෙක් කිව්වා. මම උත්තර දෙන්න ගියේ නෑ. එහෙම හිතෙන්නේ පිටින් බලන පුද්ගලයට විතරයි, හැමදේම සාපේක්ෂ නිසා ජීවත් වෙන විදිහ කියල දෙයක් නෑ, උඹ හිතන්නේ මේ මම ජීවත් වෙනවා කියලද වගේ ප්‍රතිචාර දැක්විය හැකි වුණත් මේවගේ ප්‍රශ්න දහස් ගානකට උත්තර දීල මම වෙහෙසිලා හිටියේ. මගේ ජීවිතය, ජීවත්වෙන විදිහ තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඇයි? ඇයි මිනිස්සුන්ට අනුන්ගේ ජීවිතවලට ඇඟිලි නොගහ ඉන්න බැරි? දැන් ඒවා මට ප්‍රශ්නත් නෙමෙයි. පොදු මිනිස් ගති නිසා තියෙන්නේ උපේක්ෂාවක් විතරයි.

සොම්බිලාගෙන් පිරුණු ලෝකය මේ අවදිවුණු ලෝකෙට වඩා සාර්ථකයි. ඒ ලෝකෙදි මම තරමක වීරයෙක්. මගේ හරි වැරදි හොයන්න කවුරුවත් නැති හින්ද කරදරයකුත් නෑ. සැබෑ ලෝකය ඒක වෙලා මේක හීන ලෝකය වුනානම් හොඳයි. නෑ, කලින් කිව්ව වාක්‍යයේ කිසි තාර්කික හෝ දාර්ශනික බවක් නෑ. 'සැබෑව' මොකද්ද කියන එකත් ප්‍රශ්නයක් වෙද්දී හීන වලින් මිදීම කියල දෙයක් තියෙන්නත් බෑනේ. මම මේට්‍රික්සයක හිර වෙලා ඉන්නවනම් කවුරුවත් කෙනෙක් ඇවිත් දෙන තොරගතයුතු රතු හෝ නිල් බෙහෙත් කරලකුත් නැත්තම් මම 'සැබෑව' තුල හිර වීමේ තේරුමක් නෑ. පැරසිටමෝල් අධි සාන්ද්‍රණයක් ලේවලට එකතු වීමෙන් මත් ගතියක් එක්ක ආපු සමබරතාව නැතිවීම නිසා මම ආයෙත් ඇඳේ වැතිරිලා ඇස දෙක පියාගත්තා. සොම්බි ලෝකය හිතින් මවාගන්න ගත් අසාර්ථක උත්සාහයන් කිහිපයකට පස්සේ නැවතත් නැගිටලා ඇඳේ වාඩිවුණා. බයිබලය අතට අරන් අහඹුවෙන් පිටුවක් පෙරලුවෙත් කිසිවක් කියෙව්වේ නෑ. පොත පුළුවන් තරම් වැරෙන් විසිකළා, එය බිත්තියේ වැදිලා බිම වැටුනා.

මම තීරණය කළා මගේ ආත්මය යක්ෂයාට උගස් කරන්න.




-ඉතිරිය මතුවට-