උපේක්ෂාගෙන් ලියුමක් ලබන්න බලාපොරොත්තුවක් නොතිබුණාට එයාගෙන් ලියුම් සැහෙන ප්‍රමාණයක් ලබන්න මම වාසනාවන්ත වුණා. උපේක්ෂා ඉන්දියාවේ ගිහින් ලියුම් එවනවා කිව්වම මම ඇහුවේ 'ඇයි ලියුම් ලියන්නේ ඔයාට කතා කරන්න පුළුවන්නේ නැත්තම් ඊ මේල් කරන්න පුළුවන්නේ' කියලා, ඒත් එයා උත්තර දුන්නේ 'අතින් ලියන ලියුමක තරම් සමීප බවක් වෙන මොන මාධ්‍යක වත් නැහැ' කියල. එයා මව මගාරින්න එහෙම කිව්වද කියල හිතන ගමන් මම ඔලුව වනුවේ යාන්තමට. ඒ හින්දමද කොහෙද එයාගෙන් ලියුමක් ලැබුනම මගේ ඇස් උඩ ගියා.
"හිරණ්‍ය,
දැන් වෙලාව උදේ 5.30 යි. මේ මම දිල්ලි වල ඉඳල අග්‍රා වලට යන ගමන් බස් එකේ. මම හිතපු තරම් කරදරයක් මෙහෙ ගමනාගමනයට නැහැ. යන්න ඕනේ තැනට කොහොම හරි යාගන්න පුළුවන්. මම කලින් එක වතාවක් ටජ් මහල බලන්න ඇවිත් තියනවා, ඒත් ඒ හදිස්සියේ යෙදුන ගමනක් නිසා කිසිම නිදහසක් තිබුනේ නෑ. ඒ හින්දමයි මේ වගේ දවසක්ම ටජ් මහලට වෙන්කරලා ආසාවෙන්ම රස්තියාදු වෙන්නේ. මෙහෙම තනියම ඇවිත් ලොකු කුළුණු අතරේ, පලිඟු බිත්ති අතරේ අතරමන් වෙලා ලැබෙන සතුට වෙන කොහෙන් ලබන්නද? මට එහා පැත්තේ බස් එකේ වාඩිවෙලා යන කෙනා කියනවා ටජ් මහල බලන්න යන්න ඕනේ මගේ පෙම්වතාත් එක්කලු. මට හිතුනා මේ එයාට තමයි මේ ලියුම් ලියන්නේ කියල කියන්න, ඒත් විහිළුවටවත් බොරු කියන්න ඕනේ නෑනේ කියල මම කට වහගත්තා..."
මුදිතට ඔය ලියුම පෙන්නුවොත් හිනා වෙනවමයි කියල දැන දැනත් කියවන්න දුන්නම මුදිත හිනා වුණේ නෑ.
"දැන් ඉතින් උඹට සතුටුද?"
"ඔව් නෑ දෙකම"
"හඃ! දැන් උඹ උපේක්ෂා වගේ කතා කරන්නත් පටන් ගත්තද? දෙපැත්තටම නැති ගානට? මටනං ඔය කෙලින් වැඩ කරන්නේ නැති උන් අල්ලනේ නෑ."
"උඹ තේරුම් අරගත්තා වැරදියි, මට සතුටු එයා කියපු විදිහට ලියුම් එවපු එක ගැන, දුක ඒ මම බලාපොරොත්තු වුණ විදිහේ එකක් නොවුණු හින්දා."
"මෝඩයා, උඹ හිතුවද මෙහෙදී 'බෑ බෑ' කියකිය හිටිය කෙල්ල ඉන්දියාවේ ගියහම 'හා' කියයි කියල?"
"හිතුවා වෙන්න ඇති..."
"වෙන්න ඇති නෙමේ, එහෙම තමයි. ඉතින් දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ?"
"ආයේ භාවනා කරන්න යන්න ඕනේ."
"ඇත්තටම? මම හිතුවේ ඒ උපේක්ෂාව හම්බවෙන්න කරපු බොරුවක් කියල."
"මුලදී නම් එහෙම තමයි ඒත් දැන් නම් ඇත්තටම උවමනාවක් තියනවා." , මුදිත මුණ අමුතු කරලා මං දිහා බැලුවේ මව විශ්වාස කරන්නේ නෑ කියන්න වගේ. මම උරහිස් අකිලුවා.
"උඹ මාත් එක්ක යන්න එනවනේ"