Showing posts with label උපේක්ෂා. Show all posts
Showing posts with label උපේක්ෂා. Show all posts

Friday, July 22, 2011

ඒ පෙම්වතිය මගේම වෙයි.



උපේක්ෂාගෙන් ලියුමක් ලබන්න බලාපොරොත්තුවක් නොතිබුණාට එයාගෙන් ලියුම් සැහෙන ප්‍රමාණයක් ලබන්න මම වාසනාවන්ත වුණා. උපේක්ෂා ඉන්දියාවේ ගිහින් ලියුම් එවනවා කිව්වම මම ඇහුවේ 'ඇයි ලියුම් ලියන්නේ ඔයාට කතා කරන්න පුළුවන්නේ නැත්තම් ඊ මේල් කරන්න පුළුවන්නේ' කියලා, ඒත් එයා උත්තර දුන්නේ  'අතින් ලියන ලියුමක තරම් සමීප බවක් වෙන මොන මාධ්‍යක වත් නැහැ' කියල. එයා මව මගාරින්න එහෙම කිව්වද කියල හිතන ගමන් මම ඔලුව වනුවේ යාන්තමට. ඒ හින්දමද කොහෙද එයාගෙන් ලියුමක් ලැබුනම මගේ ඇස් උඩ ගියා. 

"හිරණ්‍ය, 
දැන් වෙලාව උදේ 5.30 යි. මේ මම දිල්ලි වල ඉඳල අග්‍රා වලට යන ගමන් බස් එකේ. මම හිතපු තරම් කරදරයක් මෙහෙ ගමනාගමනයට නැහැ. යන්න ඕනේ තැනට කොහොම හරි යාගන්න පුළුවන්. මම කලින් එක වතාවක් ටජ් මහල බලන්න ඇවිත් තියනවා, ඒත් ඒ හදිස්සියේ යෙදුන ගමනක් නිසා කිසිම නිදහසක් තිබුනේ නෑ. ඒ හින්දමයි මේ වගේ දවසක්ම ටජ් මහලට වෙන්කරලා ආසාවෙන්ම රස්තියාදු වෙන්නේ. මෙහෙම තනියම ඇවිත් ලොකු කුළුණු අතරේ, පලිඟු බිත්ති අතරේ අතරමන් වෙලා ලැබෙන සතුට වෙන කොහෙන් ලබන්නද? මට එහා පැත්තේ බස් එකේ වාඩිවෙලා යන කෙනා කියනවා ටජ් මහල බලන්න යන්න ඕනේ මගේ පෙම්වතාත් එක්කලු. මට හිතුනා මේ එයාට තමයි මේ ලියුම් ලියන්නේ කියල කියන්න, ඒත් විහිළුවටවත් බොරු කියන්න ඕනේ නෑනේ කියල මම කට වහගත්තා..."

ඔය විදිහට තව සෑහෙන විස්තරයක් ලියල තිබුනත් වැඩක් ඇති දේවල් මොනවත් ලියල නෑ. එහෙමයි කියලා මෙයාට බනින්න යෑ, මට කියන්න තියන දේ කෙලින්ම කිවනම් හරි කියන්න යෑ. අනිත් එක මෙහෙමවත් ලියුමක් එවන එකම ඇතිනේ. අනිත් එක මගෙත් වැරද්ද, උපේක්ෂා කොයිම වෙලාවකවත් මට බලාපොරොත්තු තියාගන්න විදිහට වැඩ කළේ නැහැනේ, මමමනේ එයා මට කැමති වෙයි කියල හිතාගෙන මනෝලෝකෙක හිටියේ. එක අතකින් මම අසාර්ථකයි කියන්නත් බැහැ, කොහොමහරි එයා මගේ හිතවතියක් බවට පත්වුණානේ. ඒක හින්ද මට අවශ්‍ය විදිහට පෙම් හසුන් නොඑවා මේ සංචාරක සටහන් ලැබුනට මට තරහ ගන්න, දුක් වෙන්න හේතුවක් නෑ.

මුදිතට ඔය ලියුම පෙන්නුවොත් හිනා වෙනවමයි කියල දැන දැනත් කියවන්න දුන්නම මුදිත හිනා වුණේ නෑ.
"දැන් ඉතින් උඹට සතුටුද?"
"ඔව් නෑ දෙකම"
"හඃ! දැන් උඹ උපේක්ෂා වගේ කතා කරන්නත් පටන් ගත්තද? දෙපැත්තටම නැති ගානට? මටනං ඔය කෙලින් වැඩ කරන්නේ නැති උන් අල්ලනේ නෑ."
"උඹ තේරුම් අරගත්තා වැරදියි, මට සතුටු එයා කියපු විදිහට ලියුම් එවපු එක ගැන, දුක ඒ මම බලාපොරොත්තු වුණ විදිහේ එකක් නොවුණු හින්දා."
"මෝඩයා, උඹ හිතුවද මෙහෙදී 'බෑ බෑ' කියකිය හිටිය කෙල්ල ඉන්දියාවේ ගියහම 'හා' කියයි කියල?"
"හිතුවා වෙන්න ඇති..."
"වෙන්න ඇති නෙමේ, එහෙම තමයි. ඉතින් දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ?"
"ආයේ භාවනා කරන්න යන්න ඕනේ."
"ඇත්තටම? මම හිතුවේ ඒ උපේක්ෂාව හම්බවෙන්න කරපු බොරුවක් කියල."

"මුලදී නම් එහෙම තමයි ඒත් දැන් නම් ඇත්තටම උවමනාවක් තියනවා." , මුදිත මුණ අමුතු කරලා මං දිහා බැලුවේ මව විශ්වාස කරන්නේ නෑ කියන්න වගේ. මම උරහිස් අකිලුවා.
"උඹ මාත් එක්ක යන්න එනවනේ"

උපේක්ෂා ඉන්දියාවේ යන්න කලින් කියල ගියේ ආයේ කවද ඒවිද කියන්න බැහැ කියලයි. ඒ වෙලාවේ මට දරාගන්න බැරි තරම් දුක හිතෙන්න ඕනේ උනත් එහෙම වුණේ නැත්තේ සදාකාලික එක්වීමක් අපිට නැහැයි කියල මගේ හිතේ කොනක හරි සටහන් වෙලා තිබුණ නිසා වෙන්න ඕනේ. නැත්තම් උපෙක්ෂගෙන් අහන්න දකින්න ලැබුන දේවල් වලින් මගේ හිතේ වෙනස් වීමක් ඇති වුණා වෙන්නත් පුළුවන්. ඔය කොයි දේ උනත් ඒ වෙන්වීම දරාගන්න පුළුවන් තත්වයකට මගේ හිත සංයමය වෙලා, සන්සුන් වෙලා. මේ දේවල් එකින් එක කල්පනා කරලා බලද්දී තමයි මට තේරුම් ගන්න පුළුවන් උනේ දැන් මම කොච්චර වෙනස් කෙනෙක් බවට පත් වෙලාද කියලා. කලින් හිටපු හිරණ්‍ය ව යටපත් කරගෙන නැගී හිටපු අලුත් හිරණ්‍ය කෙනෙක්. ඒ හිරණ්‍ය මට තවම ආගන්තුකයි, සමීප බැවින් තොරයි. ඒත් කලින් හිටපු නාට්‍යාකාර 'මම' ට වඩා දැන් 'මම' ට මම කැමතියි, ඒ මේ අලුත් හිරණ්‍ය ගේ උපතට මුල් වුණේ උපේක්ෂා නිසා. 

හැම සිද්දියක් අතරම මම තවමත් භාවනා කරන්න යනවා. මෙත්තා මෙහෙනියන්ගේ මෛත්‍රී ශක්තිය මට විතරක් නෙමේ මුළු ලෝකෙටම විහිදෙනවා. මුදිත මම කරන කියන හැම දෙයක්ම සතුටින් බලන් ඉන්නවා, උපේක්ෂා සියල්ලටම ඉහලින් මම දිහා බල ඉන්නේ උපේක්ෂාවෙන් කියලා මට හැඟෙනවා. මේ සේරමත් එක්ක මට තේරෙන්නේ මම සැහෙන්න වයසට ගිහින් වගේ, කවුරු හරි මගෙන් වාසය ඇහුවොත් දැන් මම උත්තර දෙන්නේ දෙසිය විස්සයි කියලා. එච්චර වයසක කෙනෙක් මේ ලෝකෙන්ම වැඩිහිටියා වෙන්න ඕනෙනේ. ඔව් දැන් මට හැමෝම මගේ දරුවෝ වගේ කියලා හිතන්න පුළුවන් වෙලා. ඉතින් හැම දරුවෙක්ටම මගෙන් කරුණාව ඉතිරෙනවා. ප්‍රභාකරන්ට උනත් හිට්ලර්ට උනත් අහලපහල ඉන්න නෑදෑයාට උනත් මගේ කරුණාව එක සමානයි. හැමෝටම සලකන්නේ එකම සුත්‍රයකින්. ඒ සුත්‍රය ලෞකික බවෙන් ඔබ්බට ගිය ලෝකෝත්තර දෙයක් කියලා යන්තම් දැනෙමින් තියනවා.

Tuesday, June 28, 2011

සඳ පහන් රැයේ සිහිනයක...



"හිරණ්‍ය ඔයාට තව සැහෙන දුරක් යන්න තියනව, මටත් එහෙමයි. හැබැයි අපි ගමන් කරන්න ඕනේ එකට නෙවෙයි, ඒක බොහොම පෞද්ගලික ගවේෂණයක්", උපේක්ෂා මං දිහා බලල ආයෙත් වැව පැත්තට හැරුණා.

උපේක්ෂා තාවකාලිකව නැවතිලා හිටිය ආරමෙට ඇවිත් බලන්න කියල මෙත්තා මෙහෙණියෝ කරපු ආරාධනාවට ප්‍රතිචාර දැක්වුවේ එහෙ ගිහින් නැවතිලා. ටික කාලයක් ඒ කියන අධ්‍යාත්මික සුවය විඳින්න මට අවශ්‍ය වුණා. උපේක්ෂාව මුණගැහෙන්න උවනමාවක් නැතිවුනාමත් නෙමෙයි හැබැයි අපේ අන්තිම හමුවීමෙන් මට අමාරුවෙන් වුනත් පිළිගන්න වුණා අපි අතරේ ඇති වෙන්න පුළුවන් ලොකුම බැඳීම හොඳ මිත්‍රත්වයක් විතරයි කියල. 

ආරාමේ පිහිටලා තියෙන්නේ බොහොම නිසල භූමියක. මාර, පලු, වීර, කොහොඹ වගේ විවිධ ගස් තැනින් තැන හිටවල ඒවා අතරට තවත් ඖශධ පැළෑටිත් තව මොනවද ලස්සනට වවන කුඩා පඳුරු විශේෂයකුත් වවල. ඒ ආරමෙට සැහෙන තරම් දිගු ඉතිහාසයක් තිබුනත් භාවනා කරන්න කුටි හදන තත්වයට ඇවිත් තියෙන්නේ මෑතකදීයි. එතරම් විශාල නොවුනට සැලකිය යුතු තරම් ඉඩක් හිමිවුණු ඒ භූමිය අවසන් වෙන්නේ කුඩා වැවකින්. ඒ රාත්‍රියේ අපි අසුන් ගෙන හිටියෙත් වැවට යාබද කුඩා ගල් තලාවකයි.

ඈත පිහිටි කඳුගැට අතරින් හඳ හිනැහෙමින් තිබුණා. හුළඟ නිසා හටගත්ත වැවේ ළා දිය රැලි වලට හඳ එලිය වැටිලා දිලිසුනා විතරක් නෙමෙයි පරිසරයම අමුතු ළා නිල් පාට ආලෝකයකින් වහගෙන සුරංගනා ලෝකයක් මවන්න උත්සහ ගත්ත. ඒ පරිසරයේ තිබුණ හඳයි, තරුයි, වැවයි, ඈත කඳුවටියයි, අවට තුරුයි එකතුවෙලා අපිව ඇදල අරගෙන විචිත්‍ර චිත්‍රයකට ඔබ්බව ගත්තේ අපිත් ඒ සිතුවමට අයිතියි කියන්න වගෙයි.

"ඔයාට මං ගැන දුක හිතෙන්නේ නැද්ද උපේක්ෂා?"
"නැහැ, මට ඔය ගැන සතුටක්වත් දුකක්වත් නැහැ."
"ඒකියන්නේ ඔයාට මං ගැන කිසිම භැඟීමක් නෑ?"
"නැත්තේ නෑ, ඔයා ගැන කැමැත්තක් කියනව. හැබැයි ඒ ඔයා මේ ජීවිතේ මොකද්ද කියල හොයන කෙනෙක් වෙන නිසා මිසක් වෙන මොනවත් නෙමෙයි."
"හ්ම්ම්,,,"
"ඇයි? ඔයාට ඔයා ගැන දුකද හිරණ්‍ය?"
"ඇත්තටම ඔව්. මම මේ තරම් කවදාවත් දුක් වෙලා නැතිව ඇති."
"වෙන්නත් පුළුවන්, ඒත් මේ අවසාන වතාව නොවෙන්න පුළුවන්, අනික් අතට ඔයාට එහෙම හිතුන එකත් හොඳයි එතකොට ඔයාට ඔයා යන ගමනට උදව්වක් වේවි... එන්න අපි අර පැත්තට යමු...", උපේක්ෂා මාවත් ඇදන් කොහෙද යන්න සැරසුණා. මමත් ඉබේටම වගේ අවනත වුණා. 

උපේක්ෂා මාව ගස් අතරින් අරන් ආවේ පිට්ටනියක් අසල ළමා උද්‍යානයකට. හඳ එළිය අපේ පස්සෙන් ඇවිල්ල මුළු පිට්ටනියමත් මේ ළමා උද්‍යානයත් ඒකාලෝක කළා, පිට්ටනියේ තණ කොළවල පිනිබිඳු දිලිහෙන්න සැලැස්සුව. උපේක්ෂා ගිහින් ද්විත්ව ඔන්චිල්ලාවක වාඩිවුණේ මටත් අනිත් ආසනේට එන්න කියන්න වගෙයි. මමත් ගිහින් වාඩිවෙලා යන්තමින් පැද්දෙන්න උත්සහ කළා. උපේක්ෂා ඉදිරියට පැද්දෙනකොට මම පිටිපස්සටත් මම ඉස්සරහට යද්දී උපේක්ෂා පිටිපසටත් විදිහට රටාවකට අපි මුසුවුණා.

"මම ලබන මාසේ විතර ඉන්දියාවේ යන්න ඉන්නේ, එහෙ යාලුවෙක් මාව ආශ්‍රම කීපයකටම එක්කන් යන්න පොරොන්දු වුණා. මම ගිහින් ඔයාටත් විස්තර කියන්නම්.", උපේක්ෂා කතා කළා, මම ඔලුව වැනුවා.
"ආයේ කවද්ද එන්නේ?", මට යන්තමින් ප්‍රශ්නයක් අහන්න කටහඬ ශක්තිමත් කරගන්න පුළුවන් වුණා.
"කියන්න බෑ හිරණ්‍ය, මාසයක් නැත්තම් අවුරුද්දක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මම නෑවිදින් ඉන්නේ නෑ... බය වෙන්න මම ඔයාව මගාරින්නේ නෑ...", උපේක්ෂා හිනා වුනේ ඇස්දෙකෙන් ඒ හින්ද ඒ කියන්නේ ඇත්තමයි කියල හදවතටම දැනුණා. 

ඊට පස්සේ උපේක්ෂා කළේ හරිම බොලඳ වැඩක්. ඔන්චිල්ලාවෙන් නැගිටලා ගිය ඇය තණ කොළ අතර වැතිරිලා අහස නිරීක්ෂණය කරන්න පටන් ගත්ත.

"මේ මොකද, ඔන්චිලි පැද්දට පස්සේ චූටි බබෙක් වෙන්න පටන් ගත්තද?", මම හිනා වේවි ඇහුවා. එයත් හිනාවෙලා ඔලුව වැනුවා. මමත් ගිහින් එය ලඟින්ම දිගාවෙලා අහස බලන්න පටන් ගත්තා. හොඳටම හඳ එළිය තිබුණ නිසා තරු පෙනුනේ අඩුවෙන් උනත් අහස මනහර විදිහට හිටියා.
"අහස හරිම ලස්සනයි නේද හිරණ්‍ය.", උපේක්ෂා ප්‍රශ්නයක්මත් නොවෙන ප්‍රකාශයක් කළා. ඒ මුහුණට හඳ එළිය වැටිලා බැබලුවා, ඇස් කාන්තිමත් වුණා. උපෙක්ෂාගෙන් දිස් වුනේ මනුෂ්‍ය දුවකට එහා ගිය සුන්දරත්වයක්. 
"හ්ම්ම්,,, හරියට ඔයා වගෙයි." ආයෙත් ඒ ඇස් දිලිසුණා.

Tuesday, June 21, 2011

ප්‍රේමයටම ප්‍රේම කරමි.


මම කණ්ඩායමක් එක්ක ට්‍රිප් යන්න කැමති නෑ. විශේෂයෙන් පොඩි ළමයි ඉන්නවා නම්. ඒ ළමයින්ට අකමැති නිසා නම් නෙමෙයි, ළමයි එක්ක ට්‍රිප් ගිහාම තියන ප්‍රශ්න නිසා, එක්කෝ ලෙඩ වෙයි නැත්තම්  'මහන්සියි මාව වඩාගන්න', 'අනේ දැන් ඇති ගෙදර යං' වගේ මොනවහරි කියයි ඔය වගේ ජන්ජාල ගොඩයිනේ. ඕවා අතරේ බලන්න යන තැන හරියට බලාගන්න වෙන්නේ නෑනේ. කලබලේට දුවන්න තමයි වෙන්නේ. කොහොමහරි ඉතින් මගේ හොඳම මිත්‍රයා මුදිත, පොළොන්නරුවේ යන්න කතා කලහම නොයා ඉන්න හේතුවක් හොයාගන්න බැරි කමටම යන්න වුණා. කලින් කියපු වගේ කණ්ඩායමක් ගියත් ඒ ප්‍රශ්න මගේ ප්‍රශ්න නොවෙන්න මම උපරිම උත්සහ ගත්තා. 

"මේවා ඒ කාලේ කොහොමට තියෙන්න ඇත්ද? මටනම් හිතාගන්නවත් බැහැ", පරාක්‍රම මාලිගාවේ නටඹුන් අතරේ ඇවිදමින් හිටපු මුදිත කිව්වා.
"මොකද බැරි, මේ තියන නටඹුන් වලට ඉතිහාසයේ කියවෙන දේයි තව අපේ නිර්මාණාත්මක අදහසුයි එකතුකරලා සෑහෙන තරම් පැහැදිලි චිත්‍රයක් මවාගන්න පුළුවන්." මම උත්තර දුන්නේ ධර්ම දේශනාත්මක ස්වරුපයෙන්.
"ඒත් එහෙම බැලුවත් චිත්‍ර එකකට එකක් වෙනස් වේවි. කාගේ ෆැන්ටසියද නිවැරදි කියන එක ප්‍රශ්නයක්"
"ඔව් එකත් ප්‍රශ්නයක් තමයි, ඒත් වෙලාවකට හිතෙනවා ඇත්ත දැන නොගෙන ඉන්න එක වඩා හොඳයි කියල. හදිස්සියෙන්වත් ඇත්ත චිත්‍රය අපි නොහිතනම විදිහක නම් එකෙක්කෙනාගේ ෆැන්ටසි කඩා වැටේවි." 

ඔය විදිහට දෙපැත්තට ප්‍රශ්න කරකර ආයේ ඒවාට  ප්‍රතිතර්ක ඉදිරිපත් කරමින් නටඹුන් අතරේ ගැවසෙන එක වෙනමම විනෝදයක්. අමුතුම ප්‍රීතියක්. මේ විදිහට ඔහේ රස්තියාදු වෙමින් ඉන්න අතරේ ඇස ගැටුනේ නොසිතු දසුනක්. ඒ උපේක්ෂා. මේ කාලේ වෙනකොට අර කලින් හමුවීම වෙලා මාස කිහිපයක්. ආයේ හමුවෙන්න අවශ්‍ය තොරතුරු මොනවවත් අපි හුවමාරු කරගත්තේ නැති නිසා මට ආයේ එයාව කවදා මුණ ගැහෙයිද කියල කිසිම අදහසක් තිබුනේ නෑ. ඈතින් දැක්ක කෙනා උපෙක්ෂමයි කියල හිතුනේ කොහොමද කියල හිතන ගමන් මම මුදිත වත් අඬ ගහගෙන එයා ඉන්න පැත්තට ගියා.

"හිරණ්‍ය ඔයා?", මාව දැකල පුදුම වෙච්ච උපේක්ෂා ඇහුවා.
උත්තර නොදීම මම හිනා වෙලා ඔලුව වැනුවා. උපේක්ෂා ඇවිත් තිබුනේ තව කෙනෙක් එක්ක, ඒ මෙහෙණින් වහන්සේ නමක්. 
"අපි මේ ට්‍රිප් එකක් ආවා, ඔයාත් එහෙමද?" උපේක්ෂා, මෙහෙණින් වහන්සේ නමක් එක්ක මේ නටඹුන් බලන්නේ ඇයි කියල දැන ගන්නත් එක්ක මම ඇහුවා.
"මම මේ දවස් වල මේ ළඟ ගමක මෙහෙණි අරාමෙක භාවනා කරන්න නැවතිලා ඉන්නවා. ඉතින් අපි හවසට ඇවිත් මේ පැරණි නගරේ ගොඩ නැගිලි අතර සැරිසරනවා.", උපේක්ෂා කාව්‍යමය විදිහට උත්තර දෙනකොට මම මොනවද කියන්නේ කියල හිතාගන්න බැරිව මම අමාරුවෙන් හිනා වෙන්න හැදුවා.
"මේ යාලුවෙක් ද?", මෙහෙණින් වහන්සේ මගේ දිහා බලල උපෙක්ෂගෙන් ඇහුවා. 
ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න උපේක්ෂට ටිකක් කල් ගත වුණා. අන්තිමේදී ඔව් කියන්න ඔලුව වනුවේ යන්තමින්.

තව කතාරන්න උවමනාව හොඳටම තිබුනට පරිසරය එකට බාධා වෙලා. උපෙක්ෂටත් මොනවහරි කියන්න ඕනෑ බව පෙනුන වුනත් එයත් වෙනම ලෝකෙක ඉන්න බවක් දිස්වුණා.
"ඉතින් උපේක්ෂා මේ යාලුවන්ටත් ආරාමේ පැත්තේ ඇවිත් යන්න එන්න කියන්නකෝ", මෙහෙණින් වහන්සේ අපි දිහා මන්දස්මිතියකින් බලල සන්සුන් ස්වරයෙන් විමසුවා.
උපේක්ෂා එක පාරටම හීනෙකින් අවදිවෙලා වගේ " ආ ඔව්, ඔයාලත් එන්න. අපි දැන් යමු නේද? " කියල මං දිහාවත් බලන්නේ නැතිව හැරිලා යන්න ගියා. ඒ දිහා බලල පුදුම වුනු මෙහෙණින් වහන්සේ  කලබලයක් නැතිවම අපිට ආරමෙට යන පාර කියල යන්න හැරුණා.

මම මුදිතට උපේක්ෂා ගැන කලින් කියල තිබුනේ, ඒ හින්ද මම උපේක්ෂට නම කියල කතා කලේ නැතිවත් ඒ කව්ද කියල හිත ගන්න ඇති.

"උඹ මේ සැරේ මොකද්ද බං අල්ලගත්තේ?", ආපහු අපි නැවතිලා ඉන්න තැනට එන ගමන් මුදිත ඇහුවා. දෙන්න උත්තරයක් මං ළඟ තිබුනේ නෑ. මම උරහිස් අකුලලා කරබගත්තා.

ඔය තමයි එයාව හමුවුන දෙවැනි දවස.

Saturday, June 11, 2011

මගේ අලුත්ම පෙම්වතිය



පොතක් හොයන්න කියල පුස්තකාලයේ රස්තියාදු වෙද්දී තමයි මට මුලින්ම එයාව මුණගැහුනේ. පොත් රාක්ක අතරේ ඉඳිමින් පොතින් පොතට අත තිය තිය ඇය මොකද්දෝ පොත් සෙවීමේ ව්‍යාපාරයක නියැලෙමින්  හිටියා. ඒ දර්ශනය හරියට චිත්‍රපටියක කොටසක් වෙලා මම ම නොදැන මම රංගනයක නිරත වෙලා. නිල් පාට ඩෙනිම් කලිසමකිනුයි සුදුපාට කුර්තා කමිසයකිනුයි ඇය සැරසිලා හිටිය ඇයට මගේ පැමිණීම වැටහෙන්න එච්චර කල් ගතවුනේ නෑ. ඇගේ ඒ තිබුන පුදුමාකාර ආකර්ෂණය නිසාවෙන්ම මට හිනා නොවී ඉන්න බැරි වුණා.

"මම හිරණ්‍ය, පොතක් හොයාගන්නයි ආවේ ඒත් ඒක නෑ වගෙයි. උදව්වක් දෙනවද?", මම පරිස්සමෙන් වචන එකතු කළා.
"මම උපේක්ෂා, ඉතින් මොකද්ද හොයන පොත?", ඈ ළා සිනහවකින් සංග්‍රහ කරන ගමන් ඇහුවා.

උපේක්ෂත් එක්ක පොත් හොයන එක අමුතුම අත්දැකීමක්, ඇත්තෙන්ම කිව්වොත් ඇය ඒ පොත හොයද්දි ඒ දිහා බලා ඉන්න එකයි මම කළේ. ඒක එයාට තේරෙන්නත් ඇති, ඒත් එයා සෙවීම දිගටම කරන් ගියා. අතරින් පතර අපි කියවන පොත් මොනවද, කැමතිම කතෘ කව්ද, කවදාහරි පොත් ලියන්න බලාපොරොත්තුවක් තියනවද වගේ සරල ප්‍රශ්න වලින් අපි අපේ තොරතුරු හුවමාරු කරගත්තා. සැහෙන වෙලාවක් පොත හොයන්න මහන්සියි උනත් පොත තිබුනේ නෑ. හැබැයි උපේක්ෂා අදුනගන්න ලැබීම එක්ක සලකා බලද්දී ඒක කාලය වැය වෙච්ච එක බොහොම සුළු පාඩුවක්.

"හ්ම්, වැඩක් නෑ වගෙයි. කඩේකින් වත් අහල බලන්න වෙයි. ඒක නෙමේ අපි කොහෙටහරි ගිහිල්ල තේ බොමුද?", ඒ කරපු යෝජනාව කොයි විදිහට බාර ගනීවිද කියල හිතන්නත් කලින්ම මම ඇහුවා.
පුදුමෙකට වගේ එයා ඔලුව වැනුවා. අපි ළඟ තැනක් හොයන්න පිටත් වුණා.

"ආ,,, ඔයා හොයන්න ආපු පොත ඒකට මොකද කරන්නේ?", මට පස්සේ මතක් වෙලා ඇහුවා.
"එහෙම විශේෂයෙන් පොතක් බැලුවෙත් නෑ, පස්සේ හොයාගන්න පුළුවන්. අනික අන්තිමේදී හැම කතාවකින්ම කියවෙන්නේ එකම දෙයක්. එකම මන්ත්‍රයක්. එක එක කතුවරු ඒක විවිධ විදිහට ජප කරනවා." 

වෙන කවුරුහරි මට ඔය විදිහට කිව්වනම් මම හයියෙන් හිනා වෙලා 'උඹට පිස්සුද?' කියල අහයි. ඒත් උපේක්ෂා එහෙම කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන්ම යි  කියල තේරුම් ගියා. ටික වෙලාවකින් අපිට ගැලපෙන විදිහේ 'තේ කඩයක්' හම්බවුණා. සාමාන්‍යට වඩා වෙනස් විදිහට සකස් කරපු ඒ තැන, එළිමහනේ මේස පුටු තියල තිබුනා.මල්වැල් වලින් කුඩා පොකුණු වලින් අලංකාර වුණුඒ පරිසරය අර කලින් කියපු චිත්‍රපටි ස්වභාවය අල්ලලා තියාගන්න සමත් වුණා.

ඊළඟට වුනේ හිතාගන්නත් අමාරු දෙයක්; කොතනින් ආරම්බ වුනාද කියල දන්නෙම නැතිව මම උපේක්ෂට මගේ කලින් තිබුන ඒක පාර්ශවීය ආදරයෙන් විඳපු වේදනා ගැන විස්තර කරමින් හිටියා. බොහොම සාවදානව මට සවන් දුන්න ඇය මගෙන් හරස් ප්‍රශ්න එකක්වත් ඇහුවේ නෑ. කොහොමින් කොහොම හරි මගේ ප්‍රේම කතා ඉවර වෙද්දී සැහෙන වෙලාවක් ගත වෙලා තිබුණා. මේ වගේ අහම්බෙන් මුණ ගැහෙන කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන්න කවදාවත් බෑනේ. කොහොම වුනත් මගේ සමහර හිතවතුන්ටත් වඩා ඇය මට මේ පැය ගණන තුල සමීප වෙලා.

"අපි කාලෙන් කාලෙට එක එක හීන පස්සේ එලවනවා, ඒ හීන සැබෑ වෙන්නේ නෑ කියල දැනුනම එක ඇත හැරලා තවත් එකක් හොයා ගන්නවා. දැන් ඔය ඔයා කියපු ප්‍රේම කතාවත් මම හිතන්නේ අකලංක එකක් නෙවයි. නිකන් ආසාවක් විතරයි. කාලෙකට දැකපු හීනයක් වගෙයි. ඒ හීනෙන් හෙම්බත් වුනාම දැන් ඔයා තවත් එකක් හොයා ගනියි." , ඒපාර ගෑණි කිව්ව කතාවෙන් මම හොල්මන් වුණා. මම හොරෙක් වංචාකාරයෙක් කියල හිතනවද දන්නේ නෑනේ. 

"බය වෙන්න එපා, මම මේ කිව්වේ හැම කෙනෙක්ගෙම ස්වභාවය.", හරියට එයා මගේ හිත කියෙව්වා වගේ උත්තර දුන්නා.
"එතකොට ඔයා, ඔයත් එහෙමද?"
"ඔව්, ඒත් එහෙම නොවෙන්න උත්සහ කරනවා. දැන් මම යන්න ඕනේ", උපේක්ෂා යන්න නැගිට්ටා. යම්තමින් හිනා වෙලා ඔලුව වනල ඇය යන්න ගියා. 

ඔන්න ඉතින් ඔය විදිහට තමයි මගේ අලුත්ම පෙම්වතිය මට මුණගැහුනේ.