Showing posts with label ප්‍රහර්ෂය. Show all posts
Showing posts with label ප්‍රහර්ෂය. Show all posts

Friday, October 14, 2011

ප්‍රහර්ෂය : කාම වියෝග සූත්‍රය

පළවෙනි කොටසට
දවස් හතකට පස්සේ මම ඇහැරුණා. නිදාගත්තේ කොතනද කියල මතක නැතත් අවදි වුණේ මගේම ගෙදර මගේම ඇඳින්. පහුගිය දවස් කිහිපය කොහොම කොයි විදිහට ගත කළාද කියල මතක් කරගන්න උත්සහ දැරීමෙන් වුණේ දැනෙමින් තිබූ හිසේ කැක්කුම උත්සන්න වීම පමණයි. ගතේ අපහසුවත් එක්ක ඔලුවේ අසහනය එකතුවෙලා හර්ද කැක්කුම බල රහිත කළා. පහුගිය දවස් ගණනේ මතක අතුරුදන් වීමට ඒ හදවත් වේදනාව බලපාන්න ඇතියි කියලා මතක් වුණේ එතකොටයි. ඇඳෙන් නැගිටලා මට හිටගන්න පුලුවන්ද කියල බලන්න ඕනේ වගේ කල්පනාවක් ආවත් ඇඳේම ඇලිල හිටියේ කම්මැලි කමකටත් වඩා උවමනාවක් නැතිවීම නිසයි. පහුගිය දවස් හත ගැන මතකයක් නැති වුණත් දවස් හතකට කලින් වුණ දේවල් මතක තිබුණා. ඒත් ඒ මතකයන් අවුස්සන එක එච්චර ඇඟට ගුණ නැති බවත් ඇවිස්සුවා නම් තව දවස හතකට විතරක් නෙමේ, මාස හතක් මට මම ම නොදැනී ගෙවන්න පුළුවන් බව දැනුණා.

මට උවමනා කරලා තිබුනේ ඇඳටම වෙලා ඉන්නයි, ක්ෂේත්‍රයේ ඇසුරම හොයන සමාජ සත්වයා අතුරුදන් වෙලා හිටියා. හොයාගන්න අවශ්‍යතාවත් නැතිවෙලා ගිහින්. ඇඳටම වෙලා කිසිවක් නොකර ඉඳල මොනව කරන්නද වගේ ප්‍රශ්නයක් හිතේ කොනක එල්ලිලා තිබුණත් ඒ ගැන නොසලකා හැරියා. කව්රුවත් නොබලන නොසලකන අත්හැර දැමු වයෝවෘදයන් මෙහෙම අසරණවම මැරිලා ගිය පුවතක් සිහියට නැගෙමින් තිබුණා. එතකොටයි මතක් වුණේ මට හරි හමන් මිත්‍ර සම්බන්ධතාවක් වත් නැහැ නේද කියන කාරණය. ක්ෂේත්‍රයේ හඳුනාගත් ව්‍යාපාරික සබඳතා, සෝබන හිනාවීම් කතාවීම් ඇරුණු කොට පෞද්ගලික ජීවිතේට එකතුවුණු කව්රුත් හිටියේ නෑ. එහෙම අවස්ථා උදා වුණත් මම ම මඟ ඇරියා මට අවශ්‍ය නැහැයි කියල.

වෙලාව බැලීමේ අරමුණෙන් ඇඳ ළඟ තිබුණු ඔරෝලොසුව දිහා බලද්දියි දැක්කේ එතන ලියුමක් තියනවා. නිකම් කොළයක හදිස්සියට ලියපු කලබල අත් අකුරු ඒකෙ සටහන් වෙලා. ලියුම ලියල තියෙන්නේ චමේලි. පහුගිය දවස්වල කොතැනක හරි ඒකිත් රැඳුනා කියල යන්තම් මතකයක් ආවා. මේ වගේ අවස්ථාවක ගණිකාවක ගෙන් ලියුමක් කියවන්න ලැබීම වාසනාවක්ද අවාසනාවක්ද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඉඩ නොදීම මම ලියුම කියවන්න පටන් ගත්තා.

අනුරුද්ධ,
මේ ලියුම ලියන්න කලින් කිහිප වතාවක්ම කල්පනා කළා ලිවිය යුතුද නැද්ද කියල. අන්තිම තීරණයේ ප්‍රතිපලය තමයි මේ ඔයා කියවන්නේ. ලියුම ලියපු හේතුව අහන්න එපා. ඇහුවත් කියන්නෙත් නෑ, අනික ඔයාට කියල වැඩකුත් නෑ. ඒවගේම ඕනෙම යක්ෂයෙක් ඇතුලේ උනත් මනුස්සකම් දන්න මිනිහෙක් හැංගිලා හරි ඉන්නවා කියල මම දන්නවා. එහින්ද ඔයාටම හේතුව තේරුම් ගන්න පුළුවන් වේවි කවදාහරි. අනිත් පැත්තෙන් ඔයා ආචාර්යවරයෙක් සමාජය හොඳින් දන්න කෙනෙක්. එහින්ද මානුෂික සබඳතාවල ස්වභාවය අමුතුවෙන් ඔයාට විතර කරලා දෙන්න උවමනා නැහැනේ.
එදා ඔයා මං ගාවට එද්දී හොඳටම බීලයි හිටියේ, හරියකට කෙලින් හිටගන්නවත් බැරිතරම්. ඔයාට අවශ්‍ය වුණේ මගේ ගතේ පහස නෙමෙයි. මගේ සෙනෙහස. ඔයාට ඕනේ වුණා මගෙන් සැනහෙන්න. මං ළඟට එන හැම මිනිහටම වගේ ඕනත් ඕකමයි. ලෝකෙටම පේන්න ලොකුකම් කියවන මිනිස්සු හිතින් හරි අසරණයි. මගේ නිරුවතට අවනත වෙන ඒ මිනිස්සු මගේ ආදරය ඉදිරියේ අඬන්න ගන්නවා. ඒ වෙලාවට උන්ගේ ඇස් වලින් පෙනෙන්නේ තනිකමින් පීඩාවෙන හදවත් වල විලාපය. ඔයගෙනුත් මම දැක්කේ ඒ තනිකම ම තමයි. මම දන්නවා මම ඔය කාගෙවත් පෞද්ගලික විස්තර දන්නේ නෑ තමයි. ඒ වගේම ඒ දේවල් නොදැන මිනිස්සුන්ව මණින එකත් මම අනුමත කරන්නේ නැහැ. හැබැයි මම දන්න දේ නම් මා ගාවට එන ගැනුම්කරුවන් ඉදිරියේ මම නිරුවත් වුණාට උන්ගේ නිරුවත් වෙන්නේ ගත නෙමෙයි, මුළු ආත්මයම. ඒ ආත්මයන් තැලිලා පොඩිවෙලා පීඩාවෙලා. එතකොට මට ඒ මිනිස්සු ගැන දැනෙන්නේ කලකිරීමක් නෙමෙයි දුකක්.
තවත් මේ විදිහට විස්තර කරන්න යන්න පුළුවන් වුනත් මම එහෙම කරලා ඔයා ඉන්න තත්වය තවත් පහළට ඇදල දන්න උවමනාවක් මට කොහෙත්ම නෑ. ඒත් ඔය දැන ගත යුතු දේ කියන්න ඕනේ. ඔයා වෙරිවෙලා ඉඳිද්දී ඔයා 'සඳා' කියල කියවන්න ගත්තා. මම දන්නවා ඔයා බැඳලා නැහැයි කියල, ඒ හින්ද මගේ ඊළඟ උපකල්පනය වුණේ ඔයාගේ හිටපු පෙම්වතියක් එවන්න ඇති කියල. ඔයා ඒ අවසිහියෙන්ම ඒ නම කියමින් අඬන්න පටන් ගත්තා. මම කොච්චර උත්සහ කළත් නැවතුනේ නෑ. මම දන්නවා ඔයා ඒ සම්බන්ධයෙන් සෑහෙන්න දුක්වෙන්න ඇති. අනිත් කෙලවරක් නැති සම්බන්ධතා වලට මූලික හේතුව වෙන්න ඇති. අනිත් කෙල්ලන්ගෙන් සඳාව හොයන්න මහන්සි වෙලා පසු තැවෙන්න ඇති. ආදරේ කියන්නේ ඔහොම තමයි. ආදරෙන් පීඩා විඳින්නෙත් ආදරේ කරන අයම තමයි. ඒ වගේම ආදරේ නිසාම අනිත් අයට පීඩා කරන්නෙත්.
ඔයා පහුගිය දවස්වල හිටියේ මා ගාව, මගේම ගෙදර. එතෙනට ගැනුම්කාරයෝ කව්රුවත් එන්නේ නෑ. ඒත් ඔයාව මම එතනට ගත්තා. කන්න බොන්න දුන්නා සැලකුවා. ඊට පස්සේ ඔයාව ගෙදරටම ගෙනත් ඇරලුවා. ඔයාට දැන් ඒවා අමතක ඇති. නැත්තම් අමතක කරන්න උත්සහ කරනවා ඇති. ඒක හොඳයි. ඔයා ඒ හිටපු තත්වය අනුව ඔයාව නිකන් අත ඇරලා දාන්න මට බැරිවුණා. ඔයා ඒ දවස් වල හැසිරුනේ මැරෙන්න දඟලන සතෙක් වගේ. මට ඔහොම තේරුමක් නැතිව ජිවිතේ විනාස කරගන්නවා බලන් ඉන්න බැහැ. මේ පළවෙනි වතාවත් නෙමෙයි. ඔය අවස්ථාවම නොවුනත් මීට සමානව මම ක්‍රියා කළ අවස්ථා තිබුණා. කොහොම වුණත් මෙච්චරයි කියන්න තියෙන්නේ මීට පස්සේ ඔයා මං ගාවට එන්න එපා. ආවට බාරගන්නෙත් නෑ. මම දන්නවා ගණිකාවකගෙන් උපදෙස් ගන්න උවමනාවක් නම් ඔයාට කොහෙත්ම නැතුව ඇති ඒත් පුළුවන් නම් මාව, මම කරපු දේවල් පහු කරලා ආයෙමත් ජීවත් වෙන්න උත්සහ කරන්න.

හිතුවට වඩා දේවල් ලියවුණා, දැන් නැවත්විය යුතුයි. අවසානයේදී කියන්න තියෙන්නේ මගෙන් ජීවිතයට සුබ පැතුම් අනුරුද්ධ කියලයි.

මීට, චමේලි.


-ප්‍රහර්ෂයේ නිමාවයි-

Wednesday, October 12, 2011

ප්‍රහර්ෂය : සූරතාන්තය



අනීශාට ඕනේවුණා මම යන යන හැම තැනකම යන්න. ඉඳිකට්ට පස්සේ නූල වගේ ගෑණු හැම වෙලේම ඇඟේ එල්ලෙන එකට මම කොහෙත්ම කැමති නෑ. ඒත් අපි අපිව අඳුන ගැනීමේ පියවරක් විදිහට ඒක එයා කරන බව පෙන්නුවා. ඒ විතරක් නෙමේ අනීශා එකෙන් සෑහෙන ඵල නෙලා ගත්ත කිව්වොත් මම වඩාත් නිවැරදියි. මගේ තිබුණ සිවිල් බලයේ වටිනාකම ගෑණි හොඳ හැටි තේරුම් ගනිමින් මගේ නම ප්‍රයෝජනයට ගත්තා. මා හරහා ක්ෂේත්‍රයේ විවිධ විදිහේ දැන ඇඳුනුම්කම් ඇති කරගත්තා, උපාධියක් කරන්න ඕනේ කිව්වම ඒකටත් මම උදව් කළා. ඔය විදහට ගෑණිට මීඩියා වල හොඳ නමක් ආවේ වැඩි කල් යන්න කලින්මයි. ඊට පස්සේ ඒ රූපවාහිනී ආයතනයේ උසස් තත්වයක් ලැබුනේ විවිධ වාර්තාමය වැඩසටහන් කරන්න, ඒවටත් අදහස් ලැබුනේ මගෙන්ම තමයි.
"ඔයා නම් අනුරුද්ධ අදහස් සාගරයක්" ඔහොම කිය කියා අනීශා තවත් හුරතල් වුණා.

අනීශාට මාව බඳින්න උවමනාව හොඳටම තිබුණා. මගෙන් කෙලින්ම ඇහුවේ නැති වුණත් නොකියා අහපු අවස්ථා එමටයි. අනීශාගේ කිසිම විශේෂත්වය නැහැ. අනිත් අතට මට එහෙම විශේෂ ලක්ෂණයක් අවශ්‍ය වෙලා තිබුනෙත් නෑ. අහිංසකකම, දඟකම, ක්‍රියාශීලීබව, දක්ෂතාවය, උගත්කම, උතුරා යන ලස්සන වගේ විවිධ ගති ලක්ෂණ වලින් හෙබි පෙම්වතියන් මම පහුකරගෙන අත්විත් තිබුණත් ඒ කාටවත් ඇලීමක් ඒ ලක්ෂණයන් නිසා විශේෂ කැමැත්තක් මට ඇති වෙලා තිබුණේ නෑ. අනිත් එක ඒවා බාහිර කරුණු මිසක් ප්‍රධාන කරුණු නෙමෙයි නේ. මෙතුවක් පෙම්වතියන් ගෙන් සැබෑවටම මම ආදරය කරපු කෙල්ලන්ගේ එහෙම විශේෂයක් තිබුණේ නෑ. අනිත් අතට ඒ දේවල් ගැන මම විශේෂයෙන් තියා කොහොමටවත් හොයන්න මහන්සි ගත්තේ නෑ. මට ඕනේ කළේ ප්‍රේම කරන්න විතරමයි. ප්‍රේමය අන්ධයි කියන කතාවේ ඇත්ත නැත්ත මට හොඳටම වැටහුනේ එතකොටයි. කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරනවානම් අනිත් ප්‍රශ්න ගැටළු නෙමේ. නිකම් පුහු දේවල් ආදරය හමුවේ අදිසි වෙන දූවිලි.

ඔයින් මෙයින් මට තේරුනේ මම අනීශාට කිසිම ආදරයක් නැති බව. අනාගතය ගැන ස්ථිරවම කියන්න බැරි වුණත් අනීශාට ආදරේ කරන්න අනාගතයේදී වුණත් පුළුවන් වේවිද කියන සැකය මගේ හිතේ කරනම් ගැහුවා. ඒත් එක්කම මේ හැම දේකම අවසානයක් උවමනා බවකුත් දැනෙමින් තිබුණා.
"උඹ බඳින්නේ කවද්ද?" මගේ හිත මගෙන්ම ඇහුවා.
"කවදාහරි."
"කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලපන්. අවුරුදු හතලිහ වෙන්න තව මාස කීයද? හැමදාම ජීවත් වෙනවා කියලද හිතන් ඉන්නේ?"
"ඉතින් මැරෙන්න කලින් බඳින්න ඕනේ කියල නීතියක් නෑනේ..."
"යකෝ, උඹ හැමදාම එක විදිහට ඉන්නවා කියලද හිතන් ඉන්නේ? බලපන් තවටික දසකින් උඹේ කොන්ඩෙත් සුදු වෙන්න ගනියි. ඇස පෙන්නේ නැතිවෙයි."
"දැන් එතකොට බඳින්න ඕනේ නාකිවෙනවා කියන බයටද?"
"නැතුව, උඹ මහා මෝඩයෙක්. සාකච්චා වලදී මුළු රටටම කියන විදිහට ආදරයේ නාමයෙන් බැඳපන්. ඔය බැඳලා ඉන්න උනුත් ආදරේ කරන එකක් යෑ. බොරුවට රටටම පෙන්න රඟපානවා මිසක්."

මම මට උත්තර දෙන්න ගියේ නෑ. හිත තව තව දේවල් ඔහේ කියාගෙන ගියා. මම කල්පනා කළේ අනීශා ගැන, අනීශාව බඳින එක ගැන. ඒකිගේ කියන්න තරම් වරද්දකුත් නෑ. අනිත් එක බැන්දට පස්සේ හරි ආදරයක් ඇතිවෙන්න පුළුවන් බව යන්තමින් දැනුණා. ඔය විදිහට මම මාවම එක්තරා විදිහකට රවට්ටමින් අනීශාව බැඳීමට අවශ්‍ය කරුණු සාධාරණය කරමින් හිටියා. ඒ ක්‍රියා මාර්ගය අසාර්ථකයි කියන්න බැහැ, සෑහෙන දුරට වැඩේ සාර්ථකයි. උච්ච අවස්ථාව ලංවෙද්දි මම අනීශාව බඳින්න සම්පූර්ණ සූදානමකින් හිටියා. ආයෙත් හිතල බැලුවොත්, කව්රුහරි මගෙන් හරහට ප්‍රශ්න කළොත් ඇත්ත කියවෙන්න පුළුවන් වුණත් මම ඒ සඳහා උපරිමයට සංයමයක දැහැන්ගත වුණා.

අනීශා ඒ වෙන කොට වැඩසටහනක් රූගත කරන්න දඹුල්ලේ ගිහින් හිටියේ, මම එයාගේ දුරකථන අංකය ඇමතුවේ මගේ තීරණය ගැන එයාට දැනුම් දෙන්නයි. ඒත් මට කතාකරන්න ලැබුනේ නෑ. ඒහින්ද මම ඒ කණ්ඩායමේ අධ්‍යක්ෂක වන මගේ යාලුවෙක්ට කතා කළා.
"කෝ අනීශා ඉන්නවද? මම එයාගේ ෆෝන් එකට ගත්තා වැඩ කළේ නෑ."
"දැන් නම් කොහෙද කියන්න දන්නේ නෑ. ඇයි අද අනීශා අපේ ටීම් එකේ ප්‍රෝඩියුසර්ව බැන්ද කියල දන්නේ නැද්ද?... මම හිතුවේ උඹ දන්නවා ඇති කියලා..."


-ඉතිරිය මතුවට-

Monday, October 10, 2011

ප්‍රහර්ෂය : සරාගී දෑස අතර

පළමු කොටසට


"ඔයා මට ආදරේද?" අනීශා ඇහුවා. මේ වගේ හදිසි එක්වීම් වලින් පස්සේ ගෑණුන්ට ඔය වගේ ප්‍රශ්න අහන්න හිතෙනවා. ඒක තමන් දැන් පත්වුණු තත්වය, ස්ථාවරය දැනගන්න කරන ස්ත්‍රී මායමක් වෙන්නත් පුළුවන්, නැත්තම් ස්වභාවිකව ගැහැණියට ආරක්ෂාව රැකවරණය දෙන්න පිරිමියා අවශ්‍ය බව පෙනෙන පරිණාමික ලක්ෂණයක් වෙන්නත් බැරි නැහැ. කොහොම වුණත් මම ඕක අහන බව දන්නවා, ඊට පස්සේ අහන ප්‍රශ්නත් අහනවා. ටිකෙන් ටික පිරිමියාව දැලේ දාගෙන කසාද බඳින්න තල්ලු කරන්නේ හීන් සීරුවේ. අන්තිමට නොදැනිම වලේ වැටිලා. මෙච්චර අත්දැකීම් රාශියක් එක්ක මාව තම්බන්න පුළුවන් කියල වෙන්න ඇති අනීශා හිතන් ඉන්නේ.

"ගෑණුන්ට ඔය ප්‍රශ්නේ හරි වැදගත් නේද?"
"ඔව්, ඉතින් උත්තර දෙන්නකෝ..."
"මෙහෙමයි, මට ඕනෙනම් ඔව් කියල උත්තර දීල ඔයාව රවට්ටන්න පුළුවන්. ඒත් මම බොරු කියන්න කැමති නෑ. ඔයාට ආදරේ කරන්න නම් ඔට ගැන කොච්චර දේවල් දැනගන්න තියනවද, අනිත් එක ඒකට තව කල් ඕනේ. තප්පරෙන් දෙකෙන් ආදරයක් ඇතිවෙන්න බැහැනේ. අපි මෙහෙම කරමු."මම සුපුරුදු ශේප් නියාය අනුගමනය කරමින් හිටියා. "අපි අපිව මුලින්ම අඳුනගන්න ඕන, ඊට පස්සේ ඕක කියන්න බැරියෑ"

"මාත් එක්ක නිදාගත්තට පස්සෙද ඒක මතක් වුණේ?"
"සෙක්ස් කියන්නෙත් ඒකෙම කොටසක් තමයි."

බලාපොරොත්තු වුණු විදිහටම අනීශා මගේ ඒ ප්‍රතිචාරයට කැමති වුණේ නෑ. ඒත් දැන් කරන්න කියල වෙන දේකුත් නැති හින්ද ගෑණිට එකඟ වෙන්නම වෙනවා. කෙල්ලෙක්ව දැනගන්න, තේරුම් ගන්න මම කැමතියි. ඒත් එහෙම ගත් උත්සාහයන් එකකවත් අවසානය සාර්ථක නැහැ, හැම අවස්ථාවකදීම මට සිදු වුණේ හර්ද කම්පාවකට ලක්වෙන්න. හදවතට දැනෙන කම්පා භුමි කම්පවකටත් වඩා භයානකයි. තැලිලා පොඩිවෙලා චෝප්පවෙලා ගිහින් හදවත කෑලි වලට කුඩු වුනාට පස්සේ ආයේ හාවෙන්න ලේසි නෑ. දැන් මගේ හදවත දොරවල් හතකින් වහල තියෙන්නේ. මොන කෙල්ල ආවත් ඔය හැම දොරකටම යතුරු උන් ගාව නෑ. නැත්තම් තියනවා කියල දන්නේ නෑ, මම හොයාගන්න උදව් කරන්නෙත් නෑ.

මම මුල්ම වතාවට ප්‍රේමයෙන් ආතුර වෙද්දී ස්වප්න මෝචනය වුණා විතරයි. මම ඒ සිද්ධිය අයියාට කිව්වට පස්සේ එයා 'උඹ දැන් ලොකු මිනිහෙක්' කියල හිනාවුණා. මට මුලින්ම කෙල්ලෙක්ට ලියුමක් ලියන්න ලැබුනේ මට ලැබුණු ලියුමක උත්තරයක් විදිහට. ඒකිට හොඳ හොඳ කතා හැදිලා තිබුනට මට අලුත් මම ගැන දැනගන්න ඒකි උදව් කළා. ඇත්තම කිව්වොත් සඳමාලි මට අවුරුදු දෙකක් වැඩිමල් අක්ක කෙනෙක්. මුලින් මුලින් මට මල්ලි කියමින් හිටියට මට පස්සේ අයියා වැඩ කරන්න පුළුවන් වුණා. කසාද බැඳලා යන්න හදද්දී සඳා අක්ක හොඳටම ඇඬුවා ඒකි යන්නේ අපායකට කියල. මට කරන්න කියලා කිසිම දෙයක් තිබුනෙත් නෑ, මම කරබාගත්ත. එදා තමයි මම කෙල්ලෙක් වෙනුවෙන් අඬපු පළවෙනි වතාව. ආයේ නම් කෙල්ලෙක් වෙනුවෙන් අඬන්නේ නෑ කියල මම මටම පොරොන්දුවක් දීගත්තට මොකද මම අතින් කීප වතාවක්ම ඒ පොරොන්දුව බිඳුනා. අර සිනමාවේ පෙන්නන විදිහේ නැත්තම් නවකතාවල තියන විදිහේ අකුණු වදින ගතියක්, මල්වෙඩි  පුපුරන ගැස්මක් නැති වුණත් මම සඳා අක්කට ආදරේ කළා. සමහර විට පෙම්වතියකටත් වඩා මගේම සහෝදරියක් විදිහට. ඒ වෙන්වීමෙන් පස්සේ මම මාස ගණනාවකටම අක්‍රීය වුණා. කෙල්ලෙක් ගැන යන්තම්වත්  උනන්දුවක් ඇතිවුණේ, අවුරුද්දකින් විතර පස්සේ. සඳමාලිව මුණ ගැහෙන්න කියල එක එක ප්ලෑන් ගැහුවට එක ක්‍රියා කරවන්න මට මානසික ශක්තියක් තිබුනේ නෑ, අනිත් එක ප්‍රශ්න ඇති කරගන්න ඕනේ වුණෙත් නෑ. අයියාට මගේ වෙනස තේරුණා උදව් කරන්නත් හැදුවා ඒත් මම ඕනේ නෑ කිව්වා. මම ඒ උදව් බාර ගත්තනම් මම දැන් ඉන්නේ බොහොම වෙනස් තැනක් කියන එක ස්ථිරයි. ඊට පස්සේ වුණේ කවදාවත් කෙල්ලන්ට මගේ හදවතේ ඉඩක් නොදෙන්න උත්සහ කරපු එක. ඒත් මම අසාර්ථක වුණා, කිහිප වතාවක්ම. එහින්දම දැන් ඒ ගැන මම හොඳටම සැලකිලිමත්.

අනීශාට මම, අපි අපිව හඳුනාගන්න ඕනේ කියල කිව්වේ බොරුවටමත් නෙමේ. මේ යාමට අවසානයක් තියෙන්නත් ඕනෙනේ. හැමදාම මෙහෙම නිදාගන්න විතරක් ගෑණු පස්සේ යන එකත් එපා වෙන කාලයක් ඒවි කියල මම දැනන් හිටියා. ඒත් ස්ථිර වශයෙන්ම තැම්පත් වීමක් ගැන මම විශ්වාස කළේ නෑ. එක ගෑණියෙක්ට කොටුවෙන්න උවමනාවක් තිබුණෙත් නෑ. ඒත් යම් අවසානයක් අවශ්‍ය බව විතරක් දැනන් හිටියා. ඒ අවසානයට ගැලපෙන්නේ කොයි විදිහේ කෙල්ලෙක්ද කියල මට යම්තම්වත් අදහසක් තිබුණේ නෑ. අනික එක එක විදිහේ පෙම්වතියන් ඉඳලත් ඒ ගැන නොදැනීම මහා පුදුම දෙයක්.

එකවතාවක් රූපවාහිනී සාකච්චාවකදී රැඩිකල්වාදියෙක් කිව්වා "මිනිහෙක් ගෑණු සියගානක් එක්ක වුණත් නිදාගෙන ඊට පස්සේ හැබෑ ආදරේ හොයාගන්න පුළුවන් කියල." මම ඒකට එකඟ වුණාම මගේ පාර්ශවයේ අනිත් උන් පුදුම වුණා. එකෙක් වැඩසටහන තුලදීම මට කිව්වා මම කටුස්සෙක් කියල. තව එකෙක් පාවාදෙන දෙන්න කීයක් ගත්තද කියලත් ඇහුවා. කොච්චර වංක මිනිහෙක්ට වුණත් ආත්මයක් තියනවනම් එක වතාවක් හරි අවංක වෙනවා කියල කියන්න හිතුනත් මම කියන්න ගියේ නෑ. ඕකුන්ට ඕව කියල වැඩකුත් නෑ.

අනීශා මං දිහා බලල හිනා වුණා. මමත් හිනා වුණා.
"හරි එහෙනම් හොඳ උත්සහයක් දෙමු." මම ඔලුව වැනුවා. මම අනීශාව තුරුළු කරගත්තේ මටවත් නොදැනීමයි. 


-ඉතිරිය මතුවට-

Saturday, October 8, 2011

ප්‍රහර්ෂය : රතු දෙතොල් (උද්භවය)

අලුත් කතාවක්, 'කතාව කතාව වෙනුවෙනි' කියල කතාව කියවල බලන්න. සියලු නම් ගම් මනඃකල්පිතයි. මෙම කතාව හා සැබෑ ලෝකය අතර සම්බන්ධතාව හුදු අහඹුවක් පමණයි.


මම ආචාර්යවරයෙක්, ඔය එක එකාට වගේ මට උපාධිය ලැබුනේ පිනට නෙමේ මගේම මහන්සියෙන්. මම මාධ්‍යකරුවෙක්, ඒකත් මට අම්ම අප්පගෙන් ලැබුණු දායාදයක් නෙමේ. මම දවසකට එකොලොස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙනවා. ඒ වගේම අතිශෝක්තිය කියන්නේ මගේ ඇඟේම තියන දෙයක්. මම මේ සමාජයේ තරමක ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා මට විවිධ ආකාරයේ ආරාධනා ලැබෙනවා. එදා සාදයට සහභාගී වුණෙත් එහෙමයි.

ඒවුණත් මම ගියේ එතරම් කැමැත්තකින් නෙමේ. එදා හැන්දෑවේ මගේ එකසිය අසුහත්වෙනි පෙම්වතිය මගෙන් වෙන්වුණා ඒකිට ගෙදරින් බඳින්න බලකරනවා කියල. ඔච්චර අත්දැකීම් ගණනාවක් තිබුණත් මට ඒ ප්‍රතික්ෂේප වීම දරාගන්න අමාරු වුණා. මට ඕන කරලා තිබුණේ මගේම ගෙදරට වෙලා ජනෙල් දොරවල් සේරම ඇරගෙන නිරුවතින් ඇඳේ පෙරළිලා මළා වගේ නිදා ගන්න. ඒත් එහෙම ඉන්න බැරි ගතියක් දැනුණා. සාදයට යායුතුයි කියල හිතුනේ කව්රුහරි ඒක මගේ ඔලුවට බලෙන් ඔබ්බවනවා වගේ. මම ඒ සමාජ සත්වයාගේ හැඟීමට යටත් වුණා. ඒත් සාදයේ හිටිය කව්රුවත් එක්ක කතාකරන්න බැරිවුණා, කතාකරන්න උවමනාවක් තිබුණෙත් නෑ. මේ දවස්වල මීඩියා වල ප්‍රසිද්ධ සිද්ධි වුණු නාගරික මන්ත්‍රියෙක්ගේ හොර අඹුවගේ අභිරහස් මරණය, කවදාවත් අහල නැති මාධ්‍යවේදියෙක්ගෙ දේශපාලන ආගමනය, ලබන ජන්දෙට ව්‍යාපාරිකයන්ගේ බලපෑම වගේ දේවල් කතාවුණා. මම කළේ ඇල්කොහොල් තොලගාමින් ඔලුව හෙල්ලීම හා මද සිනහ පෑම පමණයි.

ඔය අතරෙදියි මට ඒ රතු දෙතොල් ඇස ගැටුනේ. සුදු මතුපිටක රතු පැල්ලමක් වගේ පැහැදිලව මට ඇය දිස්වුණා. ඇය ඇඳලා හිටියේ හොඳට ඇඟ කැපිල පෙනෙන කළු කොට සාද ගවුමක්. හැසීරීම සුපිරි පොහොසත් කාන්තාවක් ලෙසට වුණත් එකී කොයි වගේද කියල හඳුනාගන්න මට අමාරු වුණේ නෑ. ඇයගේත් ඇස් මා හරහා ඉඳහිට වැටුණා.
"කොහොමද?" සාදයේ කොනක තිබුණු බාර් එකේ උස පුටුවකට වෙලා ඉන්න අතරේ ඇය මගේ ලඟට ඇවිත්.
ඒ තොල්. සරාගී ඇස්. මම ගල් ගැහුනා. ඇයගේ හිනාව හදවත කිතිකවල ඉඹින ආකාරයේ හිනාවක්. මම මත් වුණේ ඇල්කොහොල් වලට නෙමේ.
ඇය - ගිනි උඳුන
මම - ජල බඳුන
ඇය තව තවත් ගිනි පිඹල මාව රත් කරන්න ගත්තා, මම රත්වුනේ තව රස්නේ මදි කියමින්. ඇය මගේ පපුවට ඇඟිල්ල තියල හෙමිහිට පහලට අරන්ගියා, මට දැනුනේම මගේ පපුව විවර වෙලා හදවත ඉවතට පනිවි කියල.
"ගාන කීයද?"
"ගාන වැඩියි"
"අපි යමු" ඒකි මගේ අතින් ඇඳන් ගියා. අපායට ඇදන් යන මාර දූතිකාවක් එක්ක වුණත් යන්න පුළුවන් කමක් දැනුණා නිසා මාත් ඇයටම ඉඩ දුන්නා.



පළමු හමුවීමෙන් මට අහිමි වුණු මුදල සැලකිය යුතු තරම් වුණත් මම කිහිප වතාවක්ම ඇය හමුවීම මත ඇය මගේ නිල නොවන පෙම්වතිය බවට පත්වුණා. ඉඳහිට අපි කතා බස් කළා, විනෝද වුණා, තැන තැන ඇවිදින්න ගියා. ඒත් ඒ සේරම බොහොම තාවකාලිකයි කියල අපි හොඳට දැනගෙන හිටියා.
"ගෑණු හැමවෙලේම හිම බෝලයක් වගේ පිරිසිදු වෙන්න ඕනේ කියලද අනුරුද්ධ කියන්නේ?" චමේලි එකපාරටම එහෙම ඇහුවහම මම පුදුම වුණා. ඔය අහන්නේ ඊට කලින් දවසක මම එක්තරා නාලිකාවක 'සංස්කෘතිය හා ගැහැණිය' කියන මාතෘකාවට කළ කතාවක් ගැන.
"මම දැනන් හිටියේ නෑ නේ ඔයා ස්ත්‍රීවාදිනියක් කියල"
"මම ස්ත්‍රීවාදී තමයි, අනික් ගැණු ඔයාට සෙක්ස් පිනට දුන්නට මම ඒකට අය කරනවනේ" මට එකපාරට උත්තරයක් හිතාගන්න බැරිවුණා. එනිසාම මම ඒකට මුකුත් කියන්න ගියේ නෑ.
"ඉතින් ඔයා මොකද්ද ඒ ගැන කියන්නේ?"
"කියන්නේ මේකයි, මතු පිටින් සුදු හුණු ගෑවට මිනිස්සුන්ගේ චරිත ගැන කව්රු කව්රුත් දන්නවා!"
"ඊළඟ දවසේ ඔයත් එන්න සාකච්චාවට" මම හිනාවුණා.
"එන්න පුළුවන් තමයි, ඕවට එන උන්ට වඩා වැදගත් දෙයක් මට කියන්න පුළුවන්. ඒත් මගේ බල්ලවත් එන්නේ නෑ." චමේලි කියන් ගියේ කේන්තියෙන්, මම මුකුත් කියන්න ගියේ නෑ. ඔහේ හිටියා. එක අතකින් ඒකි කියපුවත් වැරදීම නෑනේ. 



මට වැඩ අධික කාලයක් ආව, අනිත් එක චමේලිට එච්චර සල්ලි වියදම් කරන්න ලොබ වුණා. ඒනිසාම චමේලි එක්ක ආශ්‍රය අඩුවුණා. ඔය අතරෙයි, අර රූපවාහිනී වැඩසටහනට අලුතින් නිවේදිකාවක් ආවේ. අනීශා, ලස්සනයි හැඩයි, හැබැයි මෝඩයි. ඒකි සාකච්චාවේදී මගෙන් වැඩිපුර ප්‍රශ්න අහද්දී, මං දිහා බලද්දී, මගේ කතාවට තව තව කාරණා එක්කරද්දී මට තේරුණා ඒකිට ඕන කාරණය. මම අනීශාට කතා කළා කොපි බොන්න.
"ඉතින්?" මම මනමාල හිනාවක් දාන ගමන් ඇහුවා.
"ඉතින් ඉතින්?" ඒකිට අහගන්න බැරිව ලතවුණා. මට හිනා.
"ඉතින් ඉතින් ඉතින්?" 
"පිස්සා, මොකද දැන්ද ඒ වචනේ ඉගෙනගත්තේ?"
"ඔයත් එක්ක ඉන්නකොට දන්න දේවල් අමතකයි."
"අර අහස ලස්සනයි නේ?" අනීශා අහස දිහා බලාගෙන කිව්වා. අපි කොපි බිව්ව තැන හදල තියෙන්නේ මුහුද ආසන්නයේ නිසා පරිසරය පැහැදිලිව පෙනෙන්න සකසල තිබුණා. එදා අහස වෙනද අහසම තමයි, විශේෂයක් නෑ. ඒත් මම එකඟ වුණා.
"ගෙදරට අහස මීට වඩා ලස්සනයි, යමුද බලන්න?" මම ඇහුවහම අනීශා ඔලුව වැනුවේ දඟ හිනාවක් පාමින්.


-ඉතිරිය මතුවට-