Showing posts with label සංසාර ආරණ්‍යය. Show all posts
Showing posts with label සංසාර ආරණ්‍යය. Show all posts

Wednesday, November 16, 2011

සංසාර ආරණ්‍යය : නිසසල නවාතැන

පළවෙනි කොටස
දෙවැනි කොටස
තෙවැනි කොටස
සිව්වැනි කොටස


"අපි ඇයි මෙහෙට ආවේ?" ආදිත්‍ය අවස්ථාව තේරුම් ගැනීමේ උවමන්වෙන් ඇහුවා.
"දන්නෑ"
"දන්නෑ?"
"පොඩ්ඩක් කටවහන් ඉන්නවද?" මගේ ඒ ප්‍රකාශය ආදිත්‍යව නිහඬ කළා.
මම ආදිත්‍යට පේරාදෙණිය මල් වත්තට යමු කිව්වේ ඇයි කියන ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් නෑ. ඒක මගේ හිතට සහනයක් ලබා ගැනීම, ආදිත්‍යගේ ලියුමට ප්‍රතිචාරයක් දැක්වීම, නැතිනම් නිකම්ම නිකන් අලස රස්තියාදුවක් වගේ කරුණක් වෙනුවෙන් විය හැකි යි. ඇත්තෙන්ම හේතු හොයන්න යන එකේ තේරුමකුත් නෑ. අවශ්‍ය වුණේ ඉදිරිය පැහැදිලි කර ගැනීම පමණයි. ආදිත්‍යට දෙන්න ඕනේ කොයි වගේ පිළිතුරක් ද කියල මම දැනගෙන හිටියේ නැති වුණාට එයා කියපු විදිහේ පිළිකුලක් නම් ඇති නොවුණු බව විශ්වාස යි. ඒත් එතනින් එහා දැනුණු හා හැඟුණු දේ වචන වලට පෙරලීමේ අපහසු කටයුත්තේ මම අතරමන් වෙලා.

සංසාර ආරණ්‍යයේ ස්වභාවය තුලින් මේ ප්‍රශ්නයට උත්තර ලැබුනත් ඒකට හාත් පසින්ම වෙනස් ලෝකෙක ප්‍රශ්නවලට උත්තර සෙවීම පහසු නෑනේ. අනිත් එක හැමදාම ෆැන්ටසියක් තුල ජීවත්වෙලා තමන්ටම බොරුකරගත්තත් සැබෑවට මුහුණ දෙන්න දවසක් උදා වෙනවනේ. සමහරවිට ඒ මේ පරිවර්තනයේ ආරම්බය වෙන්න පුළුවන්. සාර්ථකත්වය සාපේක්ෂයි වුණත් මට ජීවිතය සාර්ථක කරගැනීමේ උවමනාව හොඳටම තිබුණා. ඒත් ආදිත්‍ය ඒ සාර්ථකත්වය එක්ක ගැලපෙන්නේ කොහොමද කියන එකයි ගැටලුව.
"අපි කතාකරන්න ඕනේ..." මම ආදිත්‍යට කිව්වම එයා ඔලුව වැනුවා."කෙටියෙන්ම කිව්වොත් උඹ බලාපොත්තු වෙන දේ වෙන්නේ නෑ."
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ උඹ ජීවත් වෙන්නේ හීන ලෝකෙක, ඒ හීන කවදාවත් හැබෑ වෙන්නේ නෑ"
"ඒත් උත්සහ කරන්න පුළුවන්නේ"
"ඔව්, ඒත් කවදාහරි තේරේවි කරපු දේවල් වැඩක් නෑ කියල."
"එහෙම වෙන්නත් පුළුවන්, ඒත් කමක් නෑ."
"ජීවිතේ නාස්තිකර ගත්තට කමක් නෑ?"
"හීන පස්සේ ගිහින් නොලැබුනත් ඒක හීන නොබලා ඉන්නවට වඩා හොඳයි."
"ඒ උඹ හිතන විදිහ..."
"දැන් රවීන් හිතන්නේ කොහොමද?"
"මම හිතන්නෙද? මම හිතන්නේ අපේ යාළුකම මෙතනින් ඉවර යි."
"මොකද්ද?"
"උඹ මීට පස්සේ මගේ යාලුවෙක් නෙමේ යි." මම වචන කඩමින් උච්චාරණය කළා.
මම ආදිත්‍යගේ ප්‍රතිචාරය ලැබෙනකන් හිටියේ නෑ. ප්‍රතිචාරය දැන ගන්න ඕනේ කමක් තිබුනෙත් නෑ. ඒක එක්තරා විදිහක ළදරු වැඩක් වුණත් එහෙම හරි ප්‍රශ්න වලින් පැනල යන්න මට ඕනේ වුණා. අනිත් අතට මේ ප්‍රශ්නේ විසඳ ගත යුත්තේ කොහොමද කියල තේරුමක් මට තිබුනෙත් නෑ. දැනන් හිටියේ නොවිය හැකි යමක් කියල විතර යි. මම ආපහු හැරිලා යන්න ගත්තා. අතින් ආදිත්‍ය නවතින්න කියල කෑගැහුවත් මම නැවතුනේ නෑ. මම නෑහුනා වගේ දිගටම ඇවිද්දා.

"උඹ මහ බයගුල්ලෙක් රවීන්!" ආදිත්‍ය එහෙම බෙරිහන් දෙනවත් එක්කම මම නැවතුනේ මොන හේතුවකට කියල හරියටම කියන්න අමාරු යි. සමහරවිට මම බයගුල්ලෙක් කියල හඳුන්වනවාට ඇති අකමැත්ත නිසා වෙන්න පුළුවන්. නැත්තම් මගේ හොඳම යාළුවව මෙහෙම මගහරින්න බැහැ කියල හිතුන හින්ද වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ප්‍රශ්නයට විසඳුමක් ආ යුත්තේ අපෙන්මයි කියල හිතුන හින්ද. කොයි හේතුව වුණත් නැවතුන එක ගැන මම අදටත් සතුටු වෙනවා.
* * * * * *

අපි වැල් පාලමේ මැදට වෙලා යටින් ගලා යන මහවැලි ගඟ දිහා බලන් හිටියේ පරිසරයේ නිස්කලංක බව හා සුන්දරත්වය විඳින ගමන්. පරිසරය හා මුසු වෙච්ච ළා සුළඟ අපිව සුවපත් කළා. ඒ ශාන්ති දායක සුවය වඩා වැදගත් වෙන්න ඇත්තේ මට යි.
"මට ඕනේ වුනේ මට දැනෙන දේ රවීන්ට කියන්න විතර යි." ආදිත්‍ය කතාව ආරම්බ කළා. "රවීන්ට මෙහෙම හිතෙන්නේ නැත්තන් කමක් නෑ. එහෙනම් ඒක මගේ ප්‍රශ්නයක්. එත් අපි තවදුරටත් යාලුවෝ නෙමෙයි කියන එක අසාධාරණයි..."
"මම එහෙම හිතන්නේ නැත්තේ නෑ." මම අමාරුවෙන් වචන එකතු කළා.
"මොකද්ද?"
"අ,,, උඹට හිතෙන විදිහ. එහෙම මටත් හිතෙනවා..." ආදිත්‍යට හිනා ගියා, අර ළා හිනාව තවත් හිත් පැහැරගන්න තරම් සුන්දර වෙලා. ඒ නිසාම මටත් හිනා නොවී බැරි වුණා.
"ඉතින් එහෙනම්?"
"මම හිතන, ඇත්තමට කිව්වොත් හිතාගන්න තැනක් තියනවා සංසාර ආරණ්‍යය කියල" ආදිත්‍යට උත්තර දෙන්නේ නැතුවම මම කියන් ගියා. "එතන තියෙන්නේ උපරිම නිදහසක්. කිසිම දෙයකට කිසිම කෙනෙක් බාධා කරන්නේ නෑ. ඒ වගේ තැනක අපි දෙන්නට ඉඩක් තිබුනට, සැබෑ ලෝකෙදි අපි දෙන්නට අනගතයක් නෑ. අපි ආදරය කරන්නේ පුද්ගලයාට මිසක් භාහිර දේට නෙමේ යි කියන එක තේරුම් කරගන්න එකකුත් නෑ. ඒකයි මම කියන්නේ අපි මේ දකින්නේ හීන විතරයි කියල."
"හ්ම්ම්,,, හරි මෙහෙම හිතමු ඔය සංසාර ආරණ්‍යය කියන්නෙත් ඇත්ත ලෝකෙම තමයි. සැබෑ ලෝකෙත් කිසිම බාධාවක් නෑ, සම්පූර්ණයෙන්ම නිදහස්. සීමා මායිම්, බාධක, සම්මතයන් සේරම හදාගන්නේ මිනිස්සුම මිසක් හැමදාම පැවතුන ඒවා නෙමෙයි නේ. අනුන් හිතන, කරන දේ අපි ප්‍රශ්නයක් කර නොගන්නා තාක් අපිට ඔය කියන සංසාර ආරණ්‍යයේම ජීවත් වෙන්න පුළුවන්..."
වෙන කවුරුවත් ඔය දේම එවෙලාවේදී නැත්තම් ඕනෙම කෙනෙක් වෙන වේලාවකදී මට ඔය කතාව කිව්වොත් මම කරන්නේ ඒ ගැන තවතවත් හිතල හිත බර කර ගැනීම. ඒත් ඒ වෙලාවේදී පුදුමෙකට වුණේ එකේ අනිත් පැත්ත. මගේ හිත සැහැල්ලු වුණා. පිහාටුවක් වගේ පාවෙලා යන තරමටම නොවුණත් ඒ තරමටම ලංවෙන්න. ආදිත්‍යට යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු වුණත් මට කියන්න දෙයක් එක පාරටම හිතට ආවෙත් නෑ. ආදිත්‍යත් එක දැනගෙන වෙන්න ඇති බලකරලා මොනවත් දැන ගන්න ඕනේ වුණෙත් නෑ.

අපි දෙන්නා පරිසරයේ සන්සුන් බවත් එක්කම එකතුවෙලා ඒ නිහඬ බවේ සුන්දරත්වය විඳගත්තා. ඒක නියගයකට පස්සේ වැටෙන වැස්සක්, අසනීපයකට ලැබෙන රස ඔසුවක්, දාහයට හමන මද පවනක් තරම්ම සුවදායි යි. අවශ්‍යතාවයක් තියනවනම් කරන්න බැරි දෙයක් නැති නිසාත්, ජීවිතය කියන අභියෝගය භාර ගෙන මම මම වෙනුවෙන් හා අපි අපි වෙනුවෙන් සටන් කළයුතු නිසාත් මම අපේ අනගතය ගැන සිහින මවමින් හිටියා. ආදිත්‍ය මගේ කර වටේට අත දාල එයාගේ ඔලුව මගේ උරහිස උඩින් තිබ්බෙත් ඒ එක්කම යි.

"දන්නවද? මට දැන් කලින් නොතිබුන දෙයක් තියනවා." මම කිව්වේ නිහඬ බවට හානියක් නොවෙන්න.
"මොකද්ද?"
"බලාපොරොත්තුවක්..."


-සංසාර ආරණ්‍යය මෙතැනින් නවාතැන් ගනී.-

Wednesday, November 9, 2011

සංසාර ආරණ්‍යය : පෙම්බර කුමරාණ

දෙවැනි කොටස
තෙවැනි කොටස

රවීන්,
පහුගිය අවුරුදු දාහතටම මට යාලුවෝ සෑහෙන ගණනක් හිටියා, තාමත් එහෙම්ම ම ගානක් ඉන්නවා. ඒත් 'හොඳම' කියල විශේෂණයක් ඉස්සරහට දාන්න තරම් කවුරුවත් මට හමුවෙලා තිබුනේ නෑ, එක්කෝ හම්බවෙච්ච අය තේරුම් ගන්න මම උත්සහ කළේ නෑ. සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන්, මම කොච්චර වැරදි වුණත් මාව හරිගස්සන්න උත්සහ කරන, බැන්නත් ගහගත්තත් මරාගෙන හරි අඬාගෙන හරි වුණත් යාළුකම නැතිකරගන්නේ නැති කෙනෙක්. කිසිම සැකයක් බයක් පැකිලීමක් නැතිව ඕනෙම දෙයක් කතාකරන්න, හිතේ තියෙන හැමදේම කියන්න කොටිම්ම කිව්වොත් මුළු ආත්මයම නිරාවරණය කරන්න පුළුවන් යාළුවෙක්. කලින් මම හිතුවේ එහෙම යාලුවෝ ඇත්තටම නැතිව ඇති කියල, හරියට පරිපූර්ණ වායු වගේ. ඒත් ඒ වගේ පරිපූර්ණත්වයේ අයිඩියෝලොජි එකක් විදිහට වෙන්න වත් උත්සහ ගන්න කෙනෙක් මට හමු වෙලා තිබුනේ නෑ. ඒත් මම වැරදියි, ඒ එක්කම මම වරද්දා ගත්තට සතුටුයි. මේ මම වැරදුනහම සතුටු වෙන පළවෙනි වතාව වෙන්න ඕන.

මට ඒ පරිපූර්ණ යාළුවාව මුණ ගැහුනා.

මම දැන් ලියන්නේ මගේ කාමරේ ජනේලේ ගාව මේසේ තියාගෙන. මේ හැන්දෑව පුදුම තරම් ලස්සනයි. කඳු අතරින් ඉර එළිය ගලාගෙන එන්නේ තැඹිලි, කහ, රතු පැහැයන්ගේ සංකලනයකින්. වලාකුළු වලට ඒ එළිය වැටිලා මවල තියෙන්නේ හිත නිසංසල කරවන විදිහේ චිත්‍රයක්. ජනේලේ ළඟ බලන් ඉන්න මමත් ඒ චිත්‍රෙටම ඇතුළු වෙලා ධ්‍යාන ගත වෙලා. මනස සමාධි ගත වෙලා තියෙන්නේ මගේ යාලුකම ගැන අලුත්ම සොයාගැනීම තුල. ඒක ඒක විදිහක පිස්සුවක්, ආදරණීය පිස්සුවක්! වැස්සේ තෙමෙන්න හිතෙන, නිකන් ඉන්න ගමන් සින්දු මිමිණෙන, කොලයක් දැක්කොත් මොනවා හරි කුරුටු ගෑවෙන, හිනා යන්නේ නැති ඒවටත් හිනා වෙන, නම මතක් වෙද්දීත්  ඇස දිලිසෙන තාලේ මේනියාවක්. කියවපු අහපු බලපු කතාවල නම් මෙහෙම වෙන්නේ මොකටද කියල මම දන්නවා. කවදාවත්ම බලාපොරොත්තු වුණේ නැති විදිහට මමත් ප්‍රේමයෙන් ආතුර වෙලාද?

උඹ අහස තරම්ම ගැඹුරුයි රවීන්.


රවීන්,
වසන්තය දැන් උදාවෙලා, ඒත් ඒක මට විඳ ගන්න ලැබෙන්නෙත් නැතිව අත්හරින්නයි වෙන්නේ. මොකද මගේ වසන්තය එළඹිලා තියෙන්නේ ගිම්හාන කාලයක නිසා. ඒත් ඒ මගේම වසන්තයනේ. ඒක හින්ද මම එකට ආදරෙයි. ඒත් සමහරු මම රැවටිලා කියල කියාවි, වසන්තය කියල මම අල්ලාගෙන තියෙන්නේ සිසිරය යැයි කියාවි, ඒත් නැත්තන් මගේ වසන්තය විනාශ කරලා දාවි. මේ විස්තර ලියද්දි මට මතක් වුණේ නන්ද මාලිනි කියන සින්දුවක්.

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න
මගේ හීනෙන් මා මුදන්න ලං නොවන්න

මටත් මගේ වසන්තය ඕනේ. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? මම ඉර ඉල්ලලා අඬන්නේ නෑ. හඳ මගේ කියල පම්පෝරි ගහන්නෙත් නෑ. මට ඕනේ වසන්තය විතරයි, ඉතින් එකත් ලැබෙන්නේ නැතිව ගියහම මට මොකද වෙන්නේ?


ඉතින් රවීන්,
ඉස්කෝලෙට ආව පළවෙනි දවසෙම මට ගුටි කන්න වෙච්ච එක ගැන උඹ පස්සේ දවසක මට මෙහෙම කිව්වා,
"සොරි මචන්"
"මොකටද?"
"උඹට ගහන්න වෙච්ච එකට. ඒ වෙලාවේ මට මොනවා උනාද මන්ද..."
"අවුලක් නෑ."
"සොරි ආදිත්‍ය"
"හරි හරි, දැන් අවුලක් නෑ කියල කිව්වනේ."
"ඒ වුණාට සොරි..."
"උඹට වෙරිද බං?"
"අනේ මන්ද බං..."
ඔය ප්‍රශ්නේ ඒ කිව්වේ 'උඹට වෙරිද' කියල මගෙන් ඇහුවත් මටත් උත්තර දෙන්න වෙන්නේ මම දන්නේ නෑ කියල තමයි. ඔව්, මම ආදරයෙන් මත් වෙලා. මේ මත කවදාවත් හිඳෙන්නේ නෑ, එන්න එන්න වැඩි වෙනවා විතරයි. ප්‍රේමයේ ඇල්කොහොල් ප්‍රතිශතය පරද්දන්න මොන බීමට වත් බැහැ. එහෙම වෙන්න ඕනෙත් නෑ. මම දන්නවා රවීන්, උඹත් දැන් මත් වෙලා ඉන්නේ කියල, ඒත් එක තාම උඹ දන්නේ නෑ. මටත් ඔහොම කාලයක් තිබුණා. ඒත් මං දැන් දන්නවා.

මම උඹට මත් වෙලා රවීන්.


රවීන්,
මේ ලියුම මම ලිව්වේ දෙන්න හිතාගෙන නෙමේ යි. ඒත් දැන් මම ඒක උඹට දෙන්න තීරණය කළා. ඇයි කියල කියන්න දන්නේ නෑ. සමහරවිට මගේ හිතේ තියන දේවල් උඹට දැන ගන්න අරින්න වෙන්න ඇති. අනිත් අතට උඹ මගේ හොඳම යාලුවනේ, අපිට කතා කරන්න බැරි දෙයක් තියෙන්න විදිහක් නෑනේ.
දැනට මගේ ආදරය මට විතරක් වුණාට පස්සේ කලෙකදී ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියනවා. ඒ මොකද මම ආදරේ කරන්නේ කොල්ලෙකුට හින්දා. මම ආදරේ කරන්නේ කෙල්ලෙක්ට නෙමේ යි කියන ඒක අනිත් එවුන්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල මට තේරුම් ගන්න අමාරු යි. අනිත් අතට මට අනිත් එවුන්ගේ මගුල් වලින් වැඩක් ඇත්තෙත් නෑ. ඒත් මට කිසිම ලෙඩක් නැතිව මානසික ලෙඩෙක් කියල අහගන්න, කිසිම හැදියාවක් නැති වනචරයෙක් කියල බැනුම් අහන්න, කිසිම දෙයක් කරගන්න බැරි නපුංසකයෙක් කියල කතා අහගන්න මම කරපු වැරැද්ද මොකද්ද. ආදරේ වැරද්දක් වෙන්නේ කොහොමද රවීන්? මම මහා පවුකාරයෙක් වෙන්න ඇති.
මම දන්නවා ආදරේ කරන්න ලේසි නෑ. ආදරේ කොහොමත් අමාරුයි. ඒත් මේ වගේ අවස්ථාවකදී ඒ අමාරුකම් වලට තවත් අමාරුකම් ගොන්නක්ම එකතු වෙනවා. මම ඒවාට බයත් නෑ, බය වෙන්න ඕනත් නෑ. ඒත් ඒක ඒකපාර්ශවීය වුණහම විඳව ගන්න අමාරුයි.මේ ආදරේ ඉල්ලලා කෑගහනවා නෙමෙ යි. මගේ හිතේ තද කරගෙන තියන ඒවා කියනවා විතර යි, ආදරෙයි කැස්ස යි හංගන්න බෑ වගේ කොහෙන්ම හරි ඒ හැඟීම් එලියට එනවා. මම දන්නේ නෑ මේ ලියුම කියවල උඹ මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. ගොඩක් වෙලාවට උඹ මාව පිළිකුල් කරයි. ඒත් කමක් නෑ. මම ඉවසන්නම්.

මම උඹට ආදරෙයි රවීන්.

මීට,
ආදිත්‍ය.



-ඉතිරිය මතුවට-

Tuesday, November 1, 2011

සංසාර ආරණ්‍යය : විකසිත ආදර ප්‍රාර්ථනා




වලාකුළු බැම්ම එපිටින් නුවර වැවේ කම්මැලි කමට වගේ රැලි ගහන අතරේ බැහැගෙන යන ඉර එලිය තරංග මත ආලෝක රටා මැව්වා. අපි, ඒ කියන්නේ මම හා ආදිත්‍ය ඇවිදමින් හිටියේ නුවර වැව වටා යන සංගරාජ මාවතේ පදික වේදිකාවේ. ඒක අර්ධ-අලස රස්තියාදුවක් වුණාට ඇත්තට ම නම් අපි අපේ හිත් සොයාගැනීමේ වීර චාරිකාවක්. ඔඩිසි වගේ කතාවක කියවෙන විදිහේ ආක්‍රමණ ශීලී යුද්ධ, නාවික ගමන්, දේව අනුග්‍රහයන් නැතිවුණත්, අටවක පුත්තු වල එන දමයන්ත තමන්ගේ මියගිය අඩහඳයාව තමන්ට හමුවෙන පුද්ගලයන් තුලින් සෙවීම වගේ ගවේශනයක් අප දෙදෙනා අතරේ නොවුණත් අපි අපිට තවත් සමීප වෙමින් තිබුණා. මගේ වචන වලින් කිව්වොත් සංසාර ආරණ්‍යය තුලට ආදිත්‍ය ආගමනය වීමේ ක්‍රියාවලිය ආරම්බ වුණා.

වසන්තය හේතුවෙන් ගස් වල මල් පිපිලා බිමට හැලිලා පදික වේදිකාව එක්තරා ආකාරයක මල් පලසක් කරලා තිබුණා. අපි ඇවිද්දේ ඔය මල් පලස උඩින්. ආදිත්‍ය මල් බේරලා අඩිය තියද්දි මම ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ. තැකීමක් කළේ නෑ කියන්නේ මට ඒ ගැන මතක් වුණෙත් නෑ. ඒ වගේ වෙලාවක බිම වැටුණු මල් පෑගෙයි කියල කරදර වෙන්නේ කව්ද.
"ඔය මල් පාගන්න එපා අපරාදේ..." ආදිත්‍ය කිව්වා.
"හ? කොහොමත් මේවා අපරාදේ තමයි."
"ඔව්, ඒත් පාගල දාන එක ඊටත් වඩා අපරාදයක්!"
ආදිත්‍ය ගේ කීම අහල මමත් මල් බේරමින් ඇවිදින්න ගත්තා. එහෙම ඇවිදින්න නම් කකුල තියන්න වෙන්නේ එක එක තැන වලින්. සමහර විට පනින්නත් වෙනවා, එක විදිහක අර පොඩි කාලේ කරන සෙල්ලමක් වගේ. කවුරුහරි අපිව දැක්කනම් පිස්සෝ දෙන්නෙක් කියල අපි හිතන්නත් ඉඩ තියනවා.

ඒ වෙනකොට අපි හොඳම යාලුවෝ වෙලා හිටියේ. ඉඳල හිටල 'තාම කම්මුල රිදෙනවද' කියල විහිලුවට අහනවා ඇරුණම අපි අතරේ ප්‍රශ්නයක් ඇති වුණෙම නැතිතරම්. අපි මුලිම යාලුවෝ ඊට පස්සේ පියවර විදිහට හොඳම යාලුවෝ බවට පරිවර්තනය වුණේ ඉබේටම වගේ. ඒ ක්‍රමයෙන්ම හොඳම යාලුවන් ගෙනුත් තව පියවරක් ඉදිරයට යැවුනේ අපිටත් නොදැනීමයි. ආදිත්‍ය ට මේ කියන දවසේ පන්ති ඉවර වුණාට ගෙදර යන්න කම්මැලි වුණා. මට ආරාධනා කළේ එයත් එක්ක ඔහේ රවුන් ගහන්න. මටත් ඒ අවස්ථාව මගාරින්න උවමනාවක් කොහෙත්ම නැති නිසා මම ආරාධනාව ඉහලින්ම පිළිගත්තා.

"කඩල කනවද?" වලාකුළු බැම්ම ඉවර වෙලා නාගරික තදබදය අඩු වුණාට පස්සේ කඩල විකුණන කරත්තයක් දැකල මම ඇහුවා. ආදිත්‍ය ඔලුවේ වැනුවේ 'හා' කියන්න. කඩල ගත්තට පස්සේ ඔහේ ඇවිදින එක නතර කරලා ගහකට හේත්තු වෙලා වැව දිහා බලාගෙන කඩල කන්න ගත්තා.

හිරු එලිය වැටීම ටිකෙන් ටික අඩු වෙලා අඳුරෙන් කඳු වැහෙන්න ගත්තත් එක්කම තැනින් තැන කෘතීම ආලෝක, ඒ කියන්නේ විදුලි බල්බ දැල්වෙන්න ගත්තා. පරිසරයේ උෂ්ණත්වය අඩුවෙලා සිසිලස ගලා එන්න පටන්ගත්තෙත් ඒ එක්කමයි.
"ප්‍රශ්නයක් අහන්න ඕනේ" ආදිත්‍ය කිව්වා. "ටිකක් විතර විකාර ප්‍රශ්නයක්..."
"මම, විකාර ප්‍රශ්න වලට කැමති යි."
"අපි කොහොමද යාලුවෝ උනේ?"
"හ්ම්,,, මාත් මේ හිතන්නේ මොකට යාලු උනාද කියල තමයි." මම හිනා වුණා. "නෑ මෙහෙම යි අඳුනගත්ත වෙලාවේ ඉඳල ඒක ඉබේම වෙච්ච දෙයක්."
"ඒක හින්ද වෙන්න ඇති ආපු ගමන් වලියක් ඇදගත්තේ?"
"ඕනේ නම් ඒක අඳුන ගැනීමේ උපක්‍රමයක් කියල හිතන්න පුළුවන්."
"නෑ, අපි සෑහෙන්න වෙනස්නේ"
"මම හිතන්නේ ඒක හොඳයි, අපි දෙන්න එක වගේ උනානම් කොහෙත්ම යාලුවෝ වෙන්නේ නෑ. අනික කොහොමත් මිනිස්සු එකිනෙකාට වෙනස් නේ. සමහර වෙලාවට අදහස් නොගැලපීම මත ඇතිවෙන සම්බන්ධය ශක්තිමත් වෙන්න පුළුවන්. මම හිතන්නේ මම අනිත් අයට යාලුවෙක් වෙන්න ඇත්තේ මම මාව අනික් පුද්ගලයන්ට ඉදිරිපත් කරන විදිහ වෙන්න ඇති. ඒ අනුව මාව විශ්වාසකරන මට්ටමට ඒ පුද්ගලයා මානසිකව සකස් වෙනවා ඇති, මම මාවම අගයකරගෙන උද්දච්ච විදිහට හිටියනම් එහෙම වෙන එකක් නෑ. ඒත් ඒකම තවත් කෙනෙක් මම කරන්නේ බොරු රඟපෑමක් කියල හිතන්නත් පුළුවන්. පුද්ගලයන් තමන්ව ඉදිරිපත්කරන සහ ඒ ඉදිරිපත් කිරීම අනෙක් අය බාරගන්න විදිහ විවිධකාරයිනේ. පෞද්ගලිකව මම ආදිත්‍ය ට කැමති උඹ හැමෝටම හොඳින් කතාකරන සලකන, බොහොම සැහැල්ලු, සතුටින් ඉන්න උත්සහ කරන චරිතයක් හින්ද. "
"හ්ම්,,, ඔය කියන දේවල් මම කරන්නේ හිතල නෙමෙයි. සමහර විට ඒ ඒ පුද්ගලයා කරන්නෙත් නොදැනුවත්වම, නැත්තම් සමහර විට ඒ එයාලගේ හැටි වෙන්න ඇති."
"ඔව්, වැදගත් වෙන්නේ තමන් තමන්ම විතරක් වීම."
"ඒක සෑහෙන්න පුදුමයි, මොකද සමහර වෙලාවට තමන් යාලු වෙලා තියෙන්නේ තමන්ට වෙන්න අවශ්‍ය පුද්ගලයා එක්ක."

ඔය විදිහේ ප්‍රශ්න වට, කතා තුලින් වුණේ අපි අපට ලංවෙනවාටත් වඩා මම මාවම තේරුම් ගැනීමක්. ඒ ආදිත්‍ය අහන ප්‍රශ්නවලට උත්තර දීමෙන් මම මාවම ප්‍රශ්න කරගන්න නිසා. කාලයත් එක්ක ඒක විශේෂ ප්‍රාගුන්‍යයකට හැරුණා. අර කලින් කිව්වා වගේ ඒකෙන් වුණේ ආදිත්‍ය සංසාර ආරණ්‍යයට ඇතුල්වීම, ඇතුලත් කරගැනීම කළේ මම වුණත් ආදිත්‍ය ඒකට නොදැනුවත්වම උදව් දුන්නා. මම අභ්‍යන්තරව හදා ගත්ත මනෝ ලෝකෙකට කෙනෙක් පැමිණීම පිටින් බලන්නෙකුට මහා දෙයක් නොවෙන්න පුළුවන්, ඒත් ඒක මට විශේෂයි. කාව්‍යාකාරව දක්වනවා නම් ඒක සමාන වෙන්නේ 'මගේ හදවතේ ප්‍රේමයක් හට ගැනීම හේතුවෙන් හදවත ප්‍රේමයට පුද කිරීම' වගේ අලංකාර අතිශයෝක්ති භාවිතයකට.

"දැන් යමුද? රෑ වෙලා ." මම ආදිත්‍යගේ කර වටේ අතදාන ගමන් ඇහුවා. ආදිත්‍ය ඔලුව වැනුවා. විදි ලාම්පු වල එළියෙන් ආදිත්‍යගේ ඇස් දිලිසුනෙත් ඒ එක්කමයි.


-ඉතිරිය මතුවට-

Thursday, October 27, 2011

සංසාර ආරණ්‍යය : වස්සානයට අවසරයි



විවේක කාලයෙදි පන්තිය සම්පූර්ණයෙන් ම වගේ හිස්. ආදිත්‍ය පේලි කිහිපයක් ඈතින් වාඩිවෙලා තනියම පොතක් කියවමින් (නැත්තම් කියවන බව පෙන්වමින්) හිටියා. අසාර්ථක රැග් එකෙන් පස්සේ සැලකිය යුතු තරම් දෙයක් සිද්ධ වුණේ නෑ. මං ළඟින් වාඩිවෙන්න ආවත් ආපහු වෙන තැනකට ආදිත්‍ය මාරු වුණා. පන්තියේ කවුරුත් ආදිත්‍ය එක්ක කතා කරන්න උත්සහ කළේ වත් ආදිත්‍ය ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ වත් නෑ. කොටින්ම කිව්වොත් ආදිත්‍ය එක්තරා විදිහකින් කොන් වෙලා හිටියා. අලුතින් ඉස්කෝලෙට ආපු පළවෙනි දවසෙම ඔහොම ඉරණමක ට මුහුණ දෙන්න කොහොමවත් නොහිතන්න ඇති. ඒත් මට කරන්න දෙයක් නෑනේ.

එක අතකින් ඒකට මමත් වගකිව යුතුයි තමයි.

මම ආදිත්‍ය හිටපු තැනට ගිහින් පිටට තට්ටුවක් දැම්මා. ඒකට එයා ගැස්සුනා. බලාපොරොත්තු නොවුණු වෙලාවක සිද්ධ වෙන දේවල් නිසා ගැස්සෙනවා තමයි. මට හිනා යන්න ආවත්, ඒක අසාර්ථක විදිහට පාලනය කරමින් හිටියා. ආදිත්‍ය තාමත් ගැස්සුණු ගමන් මා දිහා බලන් හිටියේ සැකෙන් වගේ.

"කැන්ටීන් එකට යමුද?" මං ඇහුවා, ඒක කොච්චර දුරට සාර්ථක ප්‍රශ්නයක් ද මන්ද, ඒත් මට අහන්න කටට ආවේ ඕක යි. මම පුළුවන් උපරිමයෙන් අවංකවම හිනා වුණා. සැකය තාමත් ඉවර නෑ. පුදුමෙන් වගේ මගේ මූණ දිහා බලන් හිටියා විතරයි, එක අතකින් පුදුම නොවී ඉන්නත් බැහැ නේ. ඒත් ඊළඟට පුදුම වෙන්න අවස්ථාව උදාවුනේ මට යි, ආදිත්‍ය ඔලුව වනල 'යමු' කිව්වා.

දවල් වුණත් පරිසරය ළා මීදුමක ගිලිලා තිබුණේ. වැහින්නේත් නැති නැත්තෙත් නැති වලාකුළු වලින් අහස බර වෙලා මහනුවරම අඳුරක පටලවලා. උදේ ඉඳන් ඉර එලිය නොවැටීම නිසාවෙන් උෂ්ණත්වයත් සිසිලස යි. අපි කැන්ටීන් එකට යන අතර තුරේදී අපි දෙන්නා ගෙන් කවුරුත් කතා කළේ නෑ. මට නම් කතා කරන්න උවනමාවක් තිබුණත් කතාව පටන් ගන්න අවස්ථාවක් නැති කමෙන් ලොප් වුණා.
"මොනවද කන්නේ මම ගන්නම්?" මම ඉදිරිපත් වුණා.
"එපා එපා, මම ගන්නම්."
"බෑ බෑ, මොනවද ගන්නේ කියන්නකො?"
"එහෙනම්, කැමති දෙයක් ගන්න." ආදිත්‍ය උත්තර දුන්නේ හිනා වෙලා. සමහර විට මේ එක්කන් යන්නේ තවත් රැග් එකකට කියල හිතන්න ඇති. නැත්තම් තාමත් මේ රැග් එකේම කොටසක් කියල හිතනවද දන්නෙත් නෑ. කොහොම වුණත් මට ඒ ප්‍රතිචාරය යම් සහනයක් ගෙනාවා.

නිශ්චිතවම කන්නේ මොනවද කියල ආදිත්‍ය කිව්වේ නැති හින්ද මම ගත්තේ මම සාමාන්‍යයෙන් ගන්න කෑම ම යි. වෙන දවසක් වුණානම් කැන්ටීන් එක පිරෙන්න ම ළමයි ඉන්නවා උනත් එදා කැන්ටින් එක සෑහෙන දුරට හිස්. ජනේලයක් ළඟ මේසයකට අපි එකතු වෙනකොට වැහිබර වලාකුළු වැස්ස නිදහස් කරලා තිබුණා.

"කම්මුල් පාර රිදුනද?" මම එහෙම ඇහුවේ නෑ. අහන්න උවමනාවක් නම් හොඳටම තිබුණා. ඒකට ලැබෙන ප්‍රතිචාර කොහොම වේවිද කියල හිතාගන්න බැරිව ලත වෙද්දී වැරද්දක් කළාට පස්සේ ඇතිවෙන කලකිරීමකුත් හිතේ දෝලනය වුණා. ඒත් එහෙම අහල මේ ගලා යාම නතරකරන්න බැරි ගතියක් දැනුනා. ඒ වෙනුවට මම ඇහුවේ "ආදිත්‍ය කොහෙද ගෙවල් කියල?" යි.

"කටුගස්තොට." තනිවචනයේ උත්තරයක්. ආදිත්‍යගෙන් දිගටම ලැබුනේ තනි වචනයේ පිළිතුරු. 'කලින් ඉස්කෝලේ ගියේ කොහෙද' 'ඇයි මේ ඉස්කෝලෙම තෝරාගත්තේ?' 'පන්ති යන්නේ කොහෙද?' 'පවුලේ විස්තර' වගේ හැම දෙයක් ගැනම මම ප්‍රශ්න ඇහුවා. ආදිත්‍ය උත්තර දුන්නේ අකමැත්තෙන් නොවෙයි කියල තේරුනත් වැඩි පුරාම කතා කෙළේ මම යි. ආදිත්‍ය වැඩි පුරාම කලේ ඔලුව හොල්ලන එක තමයි. එක අතකින් ඒක එයාගේ හැටි වෙන්නත් ඇති. පළවෙනි හමු වීමෙන් ම පුද්ගලයන් ගැන නිගමන වලට එන්න බෑනේ.

විවේක කාලය ඉවර වුණත් අපි (ඇත්තම කිව්වොත් මම) ඔහේ කතා කර කර හිටියා. ආදිත්‍ය ට ආපහු යන්න ඕනේ බවක් පෙනුනෙත් නෑ. වැස්සත් යම් තරමකින් අඩු වෙලා තිබුනත් ළා චිරි චිරිය අපිව කම්මැලි කරලා එක්තැන් කළා. එකපාරටම කැන්ටීන් එකට ඉක්මන් ගමනකින් ආව හරේන්, මම යි ආදිත්‍ය යි කතා කරමින් ඉන්නවා දැකල එතනට ආවා. මම මුලින් ම හිතුවේ පන්තියට කවුරුවත් ඇවිල්ලා ඇති කියලා. ඒත් එහෙම නෙමේ යි.
"රවීන්, උඹල දෙන්න පන්තියේ නැති හින්ද බලන්න ආවේ..." හරේන් කිව්වේ සැකෙන්.
"ඇයි?" මම ඇහුවා.
"නෑ මේ, වලියක්ද බැලුවා... දැන් ප්‍රශ්නයක් නෑ?" මම එහෙම නෑ කියන්න ඔලුව වැනුවා.
"වලියක් නෑ?" ඒ ප්‍රශ්නය යොමු වුනු මෙච්චර වෙලා කතා නැතිව හිටපු ආදිත්‍ය ගෙන්.
"නෑ, ඇයි දැන් වලියක් ඕනෙද?" මම ඇහුවේ විහිලුවට.
"අපරාදේ, මම හිතුවේ මටත් කම්මුලට ගහන්න චාන්ස් එකක් ලැබේවි කියලා." ආදිත්‍ය කට කොනින් හිනා වෙලා කිව්වා, මටත් හිනා. මේ කතා නොතේරුණු හරේන් අපි දිහා ඇස් ලොකු කර ගෙන බලන් හිටියේ අපිට පිස්සු යි කියන්න වගේ.

වැස්සේ සැර අඩුවෙලා යන්න පුළුවන් තත්වයට ආවත් එහෙන් මෙහෙන් ළා පොද වැටුනා. ඒත් ආයේ වැස්ස පටන් ගනීවිද කියලා දන්නේ නැති නිසා පන්තියට ආවේ හරේන් ඉස්සරහිනුත් ආදිත්‍ය හා මම එක පෙලට පිටිපසිනුත්. ආදිත්‍ය ගේ හැසිරීම දැන් කලින්ට වඩා සැහැල්ලු වෙලා තිබුණා. කලින් සැකෙන් ඉන්න ඇති මම මොනවද කරන්න යන්නේ කියලා හරියටම හිතාගන්න බැරිව.
"කම්මුල තාම රිදෙනවද?" පන්තියට යන අතර තුරේදී මම ඇහුවා.
"ඇයි රිදෙනවා නම් අතගාන්න ද?"
"ඕනේ නම් බැරි කමකුත් නෑ..."
"මෙහෙම කරමු, මම රවීන්ට කම්මුල් පාරක් ගහන්නම්, එතකොට රිදෙනවද නැද්ද කියලා බලාගන්න බැරියෑ" ආදිත්‍ය කිව්වේ විහිලුවට, කට කොනින් හිනාවෙන ගමන්. අර ළා හිනාව. මම හිතන්නේ ඒක ආදිත්‍ය හැම තිස්සෙම කරන දෙයක් වෙන්න ඕන. මාත් ඒ එක්කම හිනාවෙලා නිකන් හිටියට කල්පනා කළේ කම්මුල් පාරක් නොවුණා නම් අපි ඉන්නේ කොතනද කියන දේ. කම්මුල් පාරක් නිසා නේ අපිට මෙහෙම කතා කරන්න ඉඩ ලැබුනේ. සමහර විට ඒක විය යුතු ම දෙයක් වෙන්න ඇති.


-ඉතිරිය මතුවට-

Tuesday, October 25, 2011

සංසාර ආරණ්‍යය (ඇරඹුම)

ආයෙත් කතාවක් ලියන්න හිතුවා, කියවල බලන්න. පෙර සේම සියලු නම්, ගම්, සිද්ධි මනඃකල්පිත යි. සැබෑ ලෝකය හා සම්බන්ධය හුදු අහඹුවක් පමණයි.



මට ඕනේ වුණා මේ ලෝකේ තියන නේකවිධ රාමු අතරින් මිදෙන්න, සියලු දේටම ලේබල් ගහල වර්ගීකරණය කළ සමාජයක ඒක අභව්‍යය යි තමයි. ඒත් පුළුවන් උත්සාහයෙන් මම ලේබල් විරහිතව ඉන්න උත්සහ කළා, ඉදිරියටත් එහෙම යි. ප්‍රධාන හේතුව මට එක රාමුවකට කොටු වෙන්න කිසිම අවශ්‍යතාවක් නොවීම, මාව ලේබලයකින් කිසිවෙක් තේරුම් ගන්න උත්සහ කරනවානම් ඒක ඒ පුද්ගලයා දැන දැනම කරගන්නා වැරද්දක්. අවශ්‍ය වෙන්නේ මා තුලින් මාව හඳුනාගන්න තැත් දැරීම. අනිත් අතින් තවමත් මම මාවම තේරුම් ගනිමින් සිටිනා නිසා බාහිර පුද්ගලයකුට කලින් එය සොයාගත යුත්තේ මම ම යි.


සංසාර ආරණ්‍යය; ඒක තමයි මම දුන්න නම. එතන කොහොම තැනක්ද කියල විස්තර කරන්න බෑ, විස්තර කරන්න ඕනෙත් නෑ. එතකොට වෙන්නේ ඒ පිළිබඳව සිතේ යම් සටහනක් ඇඳෙන එකයි. ඒ කියන්නේ රාමු නිර්මාණය වීමක්. සංසාර ආරණ්‍යය කියන්නේ කිසිවකින් නිශ්චය කරන්න බැරි ස්ථානයක්. එතැන සාපේක්ෂව දක්වන්න අමාරු රාමු එතනට අදාල නැති නිසයි. ඒත් මේ විදිහට සංසාර ආරණ්‍යය හඳුන්වන්න පුළුවන්. සංසාර ආරණ්‍යය කියන්නේ මම හිතෙන් හිතාගත්ත ෆැන්ටසියක්. ඒ තුල මම නිදහස්. සියල්ලෙන්ම නිදහස්. රාමු, සීමා, බැඳීම් මේ කිසිවක් සංසාර ආරණ්‍යයේ අන්තර්ගත වෙන්නේ නෑ. මේ ආරණ්‍යය මට සංසාරය තුල නවාතැන් සපයනවා. ඒක හරියට ආරණ්‍යයවාසී ව ජීවත් වෙනවා වගෙයි. බාහිර ලෝකයෙන් වියුක්තයි. ඒත් ෆැන්ටසියක් පස්සේ පන්නන එකේ තේරුමක් නෑ, මොකද කවදාවත් නොලැබෙන දෙයකට ආශා වුණහම නවතින්න වෙන්නේ සිත් වේදනා මැද නිසා. ඒ බව දැන දැනත් සමහර වෙලාවට අපිට ඒ දේවල් අතාරින්න අපහසුයි. මම සංසාර ආරණ්‍යය තුලම ඇලෙන්නේත් ඒ නිසා වෙන්න ඕනේ.

මහනුවර, මගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් වලට පසුබිම් සපයනවා. ඒක එක අතකින් අර සින්දුවේ කියන 'මේ නගර මා ඔබ මුණ ගැසුණු නගරය යි' වගේ මගේ ජීවිතය ආදේශ කරන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ ගීතයම නෙමෙයි කොටසක් පමණයි. හැම කොටසක්ම ආදේශ කරන්න ගියොත් වෙන්නේ රාමු ගත වෙන එක, අර කලින් කිව්වා වගේ. පාසල, නිවස, ප්‍රේමය ආදී එකී නොකී දෑ මහනුවර වටා කේන්ද්‍ර ගත වෙලා පැවතුනා සහ පවතිනවා. ඒ නිසා මගේ ජීවිතයේ ප්‍රධාන ම අංගයක් විදිහට නුවර හැඳින්වුවාට වරදක් නෑ. සංසාර ආරණ්‍යය ට කවදාහරි බාහිර පෙනුමක් අවශ්‍ය වුණොත් ලැබෙන්නේ මේ සෙන්කඩගල ම තමයි.

වසරේ අරම්බක දිනය, උසස් පෙළ කරන්න පළවෙනි පාරට ඉස්කෝලෙට ගියේ මහා බලාපොරොත්තු ගොඩක් ඔලුවේ තියාගෙන නොවුණත් සාර්ථකව විභාගේ කරන්න අධිෂ්ඨානයක් තිබුණා. ඒත් වසර පටන් ගැන්මට යෙදුනු දවස කම්මැලි දවසක් වෙන පාටක් තිබුණේ, සෑහෙන තරම් පැමිණීමක් තිබුණත් වැඩක් කෙරුනේ නෑ. පන්ති වලට අපි විෂයන් අනුව වෙන්වෙන හැටි අපිට කලින්ම දැනුම් දීල තිබුණා. වාණිජ පන්ති හතරක් තිබුණ ඒ ගොඩනැගිල්ලේ උඩම, තෙවන තට්ටුවේ පන්ති අතරින් මහනුවර වැවට මුහුණලා, කෙලවරේ පන්ති කාමරය ස්ථානගත වුණා. එදා වෙන්වුණේ එකිනෙකාව අඳුන ගන්න කියල තමයි පන්ති භාර ගුරුතුමා කරුණු පැහැදිලි කළේ. ඒ වුණත් සර් හිටියේ එක පීරියඩ් එකයි, ඊට පස්සේ එයා යන්න ගියා අපිට අපිවම අඳුන ගන්න ඉඩ දීලා (සර් එහෙම කිව්වේ නැතත් අපි එහෙම හිතා ගත්තා). ඒත් එක වසරේ ඉඳල ඉස්කෝලේ ගිය මට අමුතුවෙන් අඳුන ගන්න කෙනෙක් නෑ. සමාවෙන්න, මම වැරදියි! අඳුර ගන්න කෙනෙක් හිටියා.

ඒ තමයි ආදිත්‍ය.

ආදිත්‍ය පන්තියට ආවේ කාල පරිච්ඡේද දෙක තුනක් විතර පහුවෙලා. ඒ අලුතින් ඉස්කෝලෙට අලුතින් ඇතුලත් වෙන ශිෂ්‍යයන්ට පවත්වපු දේශනයෙන් පරක්කු වුණු නිසයි. මම වාඩි වෙලා හිටියේ පන්තියේ මැද කොටසේ ජනේලයක් ළඟට වෙන්න. මට එහා පැත්තේ ඩෙස් එක හිස්, ආදිත්‍ය වාඩි වෙන්න තීරණය කළේත් එතන යි. තව හිස් තැන් කිහිපයක් තිබුණත් එතනටම පැමිණි හේතුව මම දන්නේ නෑ. සමහර විට එහෙම විශේෂ හේතුවක් තියෙන්නත් නැතුව ඇති.

"මෙතන කවුරුත් ඉන්නවද?" ආදිත්‍ය ඇහුවේ ළා හිනාවක් එක්කයි. මට උත්තර දෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ. පන්තියේ හැමෝම ආදිත්‍යව වට කර ගත්තේ සෑහෙන වේගෙකින්.

"නම මොකද්ද?" මගේ හොඳ යාලුවෙක් වන හරේන් ඇහුවේ ආදිත්‍ය ගෙන්. ආදිත්‍යගෙන් බය වුණු පෙනුමක් දිස් වුණේ නෑ, තිබුණේ අර කලින් නඟා ගත්ත ළා හිනාව ම යි. මේක අපේ කණ්ඩායමට ප්‍රශ්නයක් වුණා. හරේන්ට ඕනේ වුණේ ආදිත්‍යව ගැස්සිලා යන්නයි.

"ආදිත්‍ය නානායක්කාර." පැහැදිලි ගැඹුරු හඬකින් කිව්වා, ඒ මම නම අහපු පළවෙනි වතාව.

"හා, එහෙනම් යනවා පන්තිය ඉස්සරහට, ගිහින් අපිට උගන්නනවා! පේනවනේ අද උගන්නන්න කවුරුත් නෑ." හරේන් කිව්වේ අණ කිරීමේ ස්වරයෙන්. තාමත් අර ළා හිනාව, දැන්නම් ඒකට යම් විදිහක සියුම් උපහාසකුත් එකතු වෙලා. ආදිත්‍ය 'බෑ' කියන්න වගේ ඔලුව වැනුවා. මේ නම් හරේන් ඇතුළු රැග් කාරයන් කොහොමටවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමේ යි. කට්ටියම ඊළඟ පියවර ගැනීම සඳහා මොහොතක් දෙකක් වැය කළා.

"දැන් එතකොට යන්නේ නෑ?" හරේන්ගේ කටහඬේ තිබුණේ ආවේගයක්.

"නෑ." සන්සුන් පැහැදිලි ස්වරයෙන් ආදිත්‍ය උත්තර දුන්නා. හරේන් වට පිට බැලුවේ තිබුන ආවේගය සංසිඳවා ගන්න වුණත් ඒක සාර්ථක වුණ පාටක් නැහැ. ආදිත්‍ය ගේ ප්‍රතිචාරය එකට තවත් උදව් කළා විතරයි. හරේන් ආදිත්‍ය ළඟට යන්න ගත්තා, වටා වෙලා හිටපු කට්ටියම ඇතුළු මමත් වෙන්න යන්නේ මොකද්ද කියල බලන් හිටියේ ගල් ගැහිලා වගේ. හරේන් හෙමින් ළඟට ගිහින් ආදිත්‍ය ව පස්සට තල්ලු කළා. ඒක එතරම් ලොකු තල්ලුවක් නෙමේ වුණත් සෙල්ලමට කරන තල්ලුවකුත් නෙමේ යි. ආදිත්‍ය මොකුත් නොකර වෙන පැත්තක් දිහා බලන් හිටියේ මොනවත් වුණේ නෑ වගේ. හරේන් තව තවත් තරහ ගත්තා. ඊළඟ තල්ලු කිරීම කලින් වතාවට වඩා රළු වුණා. ඒත් ආදිත්‍ය ගෙන් ලැබුණු ප්‍රතිචාරය එම ම යි. හරේන් පිරුණු කෝපයත් එක්ක ආදිත්‍ය ව තල්ලු කළේ වඩාත් තදින්. ආදිත්‍ය පස්සට විසිවෙලා ගියත් සමබරතාව රැක ගන්න පුළුවන් වුණා. ඊළඟ සිදුවීම් වුණේ සෑහෙන ඉකමනින්, ආදිත්‍යගේ ඉවසීම පිපිරුවා, ඉස්සරහට ඇවිත් හරේන්ව තල්ලු කළේ බලාපොරොත්තු නොවුණු වෙලාවක. හරේන් පිටිපස්සට විසිවෙලා වැටුනේ ඩෙස් පුටුත් පෙරලගෙන. ඊළඟට මම කරලා තිබුනේ පුළුවන් උපරිම වැරෙන් ආදිත්‍ය ගේ කම්මුලට ගහපු එකයි.

'චටාස්' කම්මුල් පහර දසත පැතිරුණා. ආදිත්‍ය මම දිහා පුදුමෙන් වගේ බලාගෙන් හිටියා මිසක් මට ආයේ ගහන්න අවේ නෑ. එහෙම වුණානම් මොකද කරන්නේ කියල තීරණයක් මට තිබුනෙත් නෑ. හැමෝම මම දිහා බලන් හිටියේ විවිධ හැඟීම් මූණේ රඳවා ගෙන. 'එල, ඔහොම තම කරන්න ඕනේ' 'පිස්සුද බං?' 'හොඳ වැඩේ, අලුතෙන් ආවනම් ඒ විදිහට ඉන්න ඕනේ' 'පව් බං' වගේ ප්‍රතිචාර මුහුණු වලින් මට කියව ගන්න පුළුවන් වුණා. ඒත් කියවගන්න බැරි වුණේ ආදිත්‍යගේ මූණ විතර යි. කලකිරුණු ස්වභාවයක්, එපා වීමක් වගේම කේන්තියක් වගෙත් තිබුණා වගේ පෙනුනත් හරියටම හිතාගන්න අමාරුයි. මම ඔහේ හිටියා, මොකද්ද ඊළඟ පියවර කියල එක පාරට හිතාගන්න බැරිව, වරදකාරී හැඟීමක නිමග්න වුණා.

මම ආයේ සැබෑ ලෝකෙට එන කොට සර් පන්තියට ඇවිත්. ඩෙස් පුටු පෙරළීමයි, කම්මුල් පාරේ සැරයි පහළ ස්ටාෆ් රූම් එකට දැනිල තිබුණා. සර් ඇවිත් කෙලින්ම ප්‍රශ්න කළේ ආදිත්‍ය ගෙන්, සමහර විට රැග් එක ගැන සැක හිතිලා වෙන්න ඇති.

"නෑ, සර් මේ වතුර වගයක් වැටිලා තිබිල මම වැටුනා" ආදිත්‍ය උත්තර දුන්නා. සර් උත්තරේ විශ්වාස කරන බවක් වත් බාරගන්න බවක් වත් පෙනුනේ නැතත් 'හ්ම්,,, කට්ටිය තමන්ගේ වැඩක් බලාගන්න' කියල ආයේ යන්න ගියා. හරේන් මගේ දිහා බැලුවේ, මූණේ ප්‍රශ්නාර්ථයක් තියාගෙන. මම උත්තර දැනන් හිටියේ නෑ. මම ජනේලේ පැත්තට හැරිලා එලිය බැලුවා. මහනුවර කඳු මුදුන් මීදුමෙන් වැහිලා අතරමන් වෙලා හිටියේ දැන් ගැලවෙන්නේ කොහොමද කියල හිතාගන්න බැරිව.

-ඉතිරිය මතුවට-