Friday, November 30, 2012

අමා (විෂ) ඵලය | Intoxicated Life


අපායට මුල් ඇද එයින් ජීවය ලද
පැළවුණු කුඩා ලොවි ගස
හුළඟින් ද පහර වැද වැද
ප්‍රාණවත් විය, ඵල නෙලන තරමට

නමුත් එක ගෙඩියකි එහී
වෙන කිසිවකුත් නැති
මවු මරා උපන් කුමරෙකි
ලොවි ගස අභාවයට යතී

රුහිරු පැහැයෙන් සැරසී එය
විෂ බින්දු එන්නත් කළෙමි මම
කල් යල් බලා හනිකට
පිළිගන්වමි පසමිතුරු හට

මරණයෙන් එය සංතෘප්ත
හුස්ම තද කරයි බිඳ බිඳ
හද ගැස්මේ අවසන් හඬ
අසා සැනසුනෙමි මම

රුදාවකින් හිස බමන්නට විය
ක්ලාන්ත වී වැටෙන්නට විය
අත තිබූ පැන් බඳුන කැඩී
හාත්පසම පැතිරෙන්නට ගතී

මා ගත් තැතම ඔහුත්
ගෙන ඇත මා මරුමට
ඵලක් නැත්තේ නැත මෙය
අවසන් වේ නම් මින් මතු

"මිනී මරන්න තහනම්; ඒ නිසා මිනීමරුවන්ට දඬුවම් ලැබෙනවා, හැබැයි ඒ ඔවුන් මරන්නේ බෙර සද්ද මැද්දේ විසල් සංඛ්‍යා වලින් නෙවෙයි නම්." - වොල්ටෙයාර්

Wednesday, November 21, 2012

පාරාදීසයක අතරමංව | Lost In Paradise


ලංකාවේ ජීවත්වෙනවා කියන්නේ ප්‍රථම ත්‍යාගය දිනපු ලොතරැයියක් තමන් ම නැතිකරගන්නවා වගේ වැඩක්. ජයග්‍රහණ කොච්චර ලැබුවත් අන්තිමට දිනලා නෑ. එතකොට පරාජිතයෝ? එහෙම උන් ඇත්තෙත් නෑ. පරාජිතයෝ නැති වීම සතුටට කාරණයක් වෙන්න ඕනේ වුණත්, පරාජිතයෝ අතුරුදන් වීම සැක කරන්නේ ජයග්‍රාහිකයන්ගේ දිනුම. අන්තිමට කවුරුවත් දිනලා නැත්තේ ඒකයි. ජයපරාජයෙන් තොර තැනක් සාමකාමී නිසසල විය යුතු වුණත් ලංකාව එහෙම නෑ. සාධාරණ තරඟ නැතිකොට සාධාරණ දිනුම් ඇත්තෙ නෑ.

ගොඩක් අයට උත්ප්‍රාසය කියන දේ තේරෙන්නේ නෑ, ඒ හින්ද උත්ප්‍රාසයෙන් ලියපු යමක් සැබෑවට අරන් තමන්ම තමන් විහිළුවක් කරගන්නවා දැක්කම හිනා යනවා. ඒත් ජාතිවාදී කතා උපහාසයට ලක් කරමින් ලියූ යමකට එකතුවුණු 'පොරටෝක්' දැක්කහම "අනේ මෝඩයෝ!" කියල හිනාවෙන්න බැරිවුණා. පුරවැසියෙකුට තමන්ගේ රටේ ජීවත් වෙන්න තියන අයිතියට ගරු කරන්නේ නැති අයට වචනයකින් පවා අනෙක් ජාතියක අයෙක්ට රිදෙන්න පුළුවන් කියල කීම විහිළුවක් බව තේරුම් ගන්න මට කල් ගියා.

ඇමරිකාවේ විසිවෙනි සියවසේ මැදක් වෙනකම්ම තිබුණු ජාතිවාදය අත්හැරලා ඔවුන් මේ වෙනකට සෑහෙන දුරක් ඇවිල්ල. වචන බාවිතයේදී පවා ඔවුන් සැලකිලිමත් වුණේ නැතිනම් සමාජයෙන් බැනුම් අහන්නට වෙන්නේ නිතැතින්ම යි. ඒ විතරක් නෙමෙ යි; කලා නිර්මාණ වලදී පවා විවිද ජාතින් නිරූපණය කරන්න ඔවුන් උත්සහ ගන්නවා. ලංකාවේ කිසියම් කලා නිර්මාණයක සිංහල නොවෙන අනෙක් ජාතියක අයෙක් නිරූපණය වෙන නැත්තම් අඩුම තරමේ ඔවුන් ගැන කතාවෙන අවස්ථා කීයක් ගණින්න පුලුවන්ද? සුළුතර ජනවර්ග නියෝජනය වුණොත් අකමැති වෙන නැත්තම් පුදුම වෙන තරම ට ම ඒක සාමාන්‍යකරණය වෙලා. එහෙම වෙන්නේ භාෂාමය ප්‍රශ්නයක් නිසා කියල මම මාවම සනසවා ගන්න ගත් උත්සාහය සාර්ථක වුණේ තාවකාලිකව යි.

ජාතිවාදය ගැන, එහි ඇති වැරැද්ද ගැන කියන එක තේරුමක් නැති තැන මම ඒ ගැන කතාකරන එක නැවැත්තුවා. මම දන්නවා ඒක කම්මැලියෙක්ගේ නැත්තම් බයගුල්ලෙක්ගේ ලක්ෂණයක් තම යි. ඒත් අනිත් අයගේ මතය අහන්නවත් උවමන්වක් නැති, තමන්ට වඩා වෙනස් මත දරන්නන් මරල දානකන් බලන් ඉන්න අයත් එක්ක කතාව බොහොම වෙහෙසකර යි, රළු යි. මම ඉස්කෝලෙදි පරිසර සංරක්ෂණ සංගමයක සාමාජිකයෙක් වෙලා හිටියා. ඒ සංගමය ගැන ඉස්කෝලේ ළමයි අතරත් සමහර ගුරුවරුන් අතරත් පිළිගැනීමක් තිබුනේ නෑ. කොටින්ම කිව්වොත් අපද්‍රව්‍ය කළමනාකරණය වගේ ව්‍යාපෘති හින්ද ඒක එක්තරා විහිලුවකට භාර අරන් තිබුනේ. කොහොම වුණත් අපි ඉස්කෝලේ අතුගාන කුණු එකතු කරන අයත් එක්ක පවා එකට වැඩ කළා, කරන් ආපු ව්‍යාපෘති දිගටම කරගෙන ගියා, ආරාධිත පාසල් එක්ක වැඩමුළු පැවැත් වුවා, අන්තර් පාසැල් තරඟ වලින් දිනපු අවස්ථාත් තිබුණා. ඔය කොච්චර දේ කළත් අපිව විහිල්ලුවකට ගත්ත අය නැති වුනේ නෑ. කොච්චර බාධක තිබුනත් තමන් නිවැරදි යැයි පිළිගත් දේ වෙනුවෙන් පෙනීසිටීම ගැන ඉගෙන ගත්තේ එහෙමයි. ඒ නිසා මගේ ගොළු බව ගිමන් හරින කම් විතර යි.

රටක බහුතරය, සුළුතරය තමන්ව අවරෝධනයට ලක්කරනවා කියල කෑගහන එක විකාරයක් තම යි. ඒත් නොයෙක් විකාර අතරේ ඕකත් විශ්වාස කරන අය අඩු නෑ. කිසිම තාර්කික බවක් නැති තොරතුරු, නිගමන අනෙක් අයෙක් කියූ පමණින් පිළිගන්නේ තමන් තමන්ටම හිතන්න හැකියාවක් නැති හින්දද, නැත්තම් කවුරුවත් කියූ පමණින් දෙයක් පිළිගන්නට හුරු කරපු නිසාද? කොහොම වුණත් ලංකාවේ අනන්‍යතාවය මොකද්ද, ලාංකිකයන්ගේ අනන්‍යතාවය මොකද්ද කියන දේට ඇති උත්තරය හොයන්න පුළුවන් කාටද. ස්වාධීනත්වය ගැන නොදන්නා අයගෙන් අනන්‍යතාවයක් බලාපොරොත්තු වෙන්නේ අමාරු යි. තමන් වෙනුවෙන් තමන් සිතනවා නම් ඇති විය හැකි ප්‍රශ්න කීයක් වලක්වා ගන්න පුලුවන්ද.

පාරාදීසයක ඉඳලත් එහි සුන්දරත්වය විඳින්න බැරි අවාසනාව නිසා කියල හිත හදාගන්න පහසු නෑ, අනෙක එහෙම කරන්න උවමනාවකුත් නෑ. වැරැද්ද වැරද්දක් බව තේරුම් ගන්න කොතරම් කල් යනවද කියන දේ තමයි ප්‍රශ්නය. සමහර විට කොතරම් කල් ගත වුණත් කොතරම් අත්දැකීම් ලැබුවත් නොපිළිගන්නා උදවිය නොඉන්නවා නෙමෙ යි. ඒත් තාම බලාපොරොත්තු හිඳිලා ගිහින් නෑ. වඩා යහපත් අනාගතයකට ඇති හීන තම එහෙම්ම ම යි. එතකම් මම රස්තියාදු වෙනවා, පාරාදීසයක අතරමං වෙලා වෙලා ඉන්නවා. එතකන් -කව්රු බිම දැම්මත් කාට අහුලන්න නියම වෙලා තිබුණත් පරිසරය වෙනුවෙන් කොළ අහුලපු (විටෙක තවමත් අහුලන) මට- මම විශ්වාස කරන දේ වෙනුවෙන් හැම වෙලාවකම කතාකරන්න අපහසු වෙන එකක් නෑ.

Monday, November 5, 2012

සඟවන කැස්ස


"මට කැස්ස!" මම කැහැල පෙන්නුවා.
"හාං?"
"ඇත්තටම මට කැස්ස"
"ඉතින්? මට මොනවද කරන්න කියන්නේ..."

ඊට පස්සේ මම එයාට කැස්ස ගැන කියන්න ගියේ නෑ. එයා ඇහුවෙත් නෑ.

"මේ ඔයාට මතකද දවසක් මට කිව්වා ඔයාට කැස්ස කියලා" කාලෙකට පස්සේ එයා ඇහුවා.
"ආං එහෙමද?"
"ඔව්වොව්, අහන්නකෝ ඉතින් දැන් මට කැස්ස වගේ"
"ඉතින් මම දැන් මොකද කරන්නේ?"

එයා මොනවත් කිව්වේ නෑ, ලජ්ජාවෙන් වගේ හිනාවුණා විතරයි.

"ඔයාට මතකද අපිට කැස්සක් හැදුණා, කාල දෙකකදි"
"ම්, ඔව් ද කොහෙද, ඉතින්?"
"අපි දෙන්නටම එකම කාලෙකදී කැස්ස හැදුනානම්?"
"ඔයා කියන්නේ වෙනසක් වෙන්න තිබුන කියලද?"

මම ඔලුව වැනුවා.

"මේ" මම කතා කළා.
"ම් ඇයි?"
"මිනිස්සුන්ට කැස්ස නැතුව ජීවත් වෙන්න අමාරුයි"
"මම නම් ඕවා දන්නේ නෑ"
"බොරුකාරි!"
"හරි හරි, මම ටිකක් විතර දන්නවා ඉතින්..."
"ඒකනේ, ඉතින් කියන්නකෝ"
"වැඩක් නෑ"

එයා උත්තර දුන්නේ නෑ, මම බලකළෙත් නෑ.

"ඔයාට දැන් කැස්සක් ඇත්තෙම නැද්ද?"
"නෑ මම හිතන්නේ..." එයා අවිශ්වාසයෙන් උත්තර දුන්නේ.
"ඔහොම කියල බෑ, හරියටම කියන්න."
"මේවා හරියටම කියන්න බෑනේ"
"මටනං පුළුවන්"
"මටත් පුළුවන් ලූ..."

එයා මාව තල්ලු කරලා දුවන්න ගත්තා, මට හිනා.