Saturday, December 31, 2011

මේඝයක් සේ හුදකලා වී | Lonely as a Cloud


නිවාඩු දවසකත් උදේ පාන්දර ඇහැරුණ හේතුව දන්නේ නෑ. හරියටම කියල නිදාගෙන හිටියේ නැති හින්ද 'ඇහැරුණා' කියන වචනය කෙතරම් සුදුසුද මන්ද. අසල්වැසි ගෙදරක රේඩියෝවකින් ඉලෙක්ට්‍රොනික පිරිත් සද්දයක් ඇහුනේ යාන්තමට. ඒ වගේම එහෙන් මෙහෙන් වාහන සද්දෙත් එක්ක කුරුල්ලන්ගේ කතාබහ නෑහුනා නෙමේ. වෙනද ඇඳෙන් නැගිටින්නේ කම්මැලිකමෙන් වුණාට අද එහෙම උවමනාවක් නැතුවම ඉන්න පුළුවන් වුණා. මම ගෙදර දොරත් ඇරගෙනම එලියට ආවේ සිහිල් සුළං ඇඟේ වැදෙද්දී යි.

අත්‍යවශ්‍ය උවමනාවකට ඇරුනම මේ වෙලාවට (උදේ පහට විතර) හේතුවක් නැතුව ගෙදරින් ගිහිල්ලම නෑ. ඒ හින්දම මට මේ වෙලාවේ රස්තියාදු වෙන්න ආසාවක් ආවා. ඉතා සීමිත වගකීම් ගණනක් ඇතිව ජීවත්වීමේ වාසී මම මට ම මතක් කර දෙන ගමන් මම ඇවිදින්න ගත්තා. වෙනද යන පාරේම හිමින් හිමින් ගෑටුවේ වට පිට බලන ගමන්. මම හිතුවේ වෙනද දකින දේ වල වුණත් වෙනසක් දකින්න ඒ වෙලාවේදී පුළුවන් වේවි කියල. ඒත් එහෙමම වෙනසක් ඇත්තෙත් නෑ, කරුවලත් එක්ක එහෙන් මෙහෙන් ආ එළි එකතු වෙලා හැදුවේ හැන්දෑවේ දකින පරිසරයම නොවෙයි වුණත් ඊට සමාන යමක්. 

නිශ්චල පරිසරයට චලනය වෙන දෑ විදිහට,
  • වාහන
  • රාජකාරි නිමවී එන්නන් හා රාජකාරි සඳහා යන්නන්
  • ව්‍යායාම කරන්නන් (තනිවම, යාලුවෙක් සමග හෝ බල්ලෙක් සමග)
  • කුරුල්ලන් (හොඳින් පෙනුනේ නැතත්)
  • අම්මෙකුයි පොඩි ළමයෙකුයි (කොහේ යනවද මන්ද?)
එකතු වෙලා තිබුණා.

නොයෙක් උවමනාවන් සඳහා ක්‍රියාකරන්නන් අතරින් කිසිම අවශ්‍යතාවක් වෙනුවෙන් නොගිය එකම පුද්ගලයා මම වෙන්න ඕනේ. සමහර දේවල් කරන්න පැහැදිලි හේතුවක් තියෙන්න අවශ්‍ය නෑ. අනික යමක් කරද්දී හේතු හොයා බැලීම එක අතකින් අවස්ථාවාදී කමක්. ඒ වගේම හේතු කියල හොයන්නෙත් ප්‍රයෝජන හා වාසී පමණ යි. ඒ කාරණයේදී ඒක ගැන වැරද්දක් කියන්නත් බෑ. අලස රස්තියාදුවකත් එක්තරා ආත්මීය ප්‍රීතියක් තියනවා. එය හඳුනාගන්න නම් එහෙම ගමන් ගිහින්ම බලන්න වෙනවා. ඒත් සමහර විට ගිහින් බැලුවත් එය නො දැනෙන්නත් පුළුවන්. සමහර විට එය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්නත් හැකියි.

තනිකම කියන්නේ තමන්ට තමන් ලංවෙන අවස්ථාවක්. සමහරු තමන්ට තමන්ව මුණගැහුනහම බය වෙන්න, පුදුම වෙන්න, දුක් වෙන්න, කේන්ති ගන්න වගේ විවිධ ප්‍රතිචාර දක්වන්න ගන්නවා. මම ගැන කියවන්නම් මම උත්සහ කරන්නේ කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න. ඒක තමන් තමන්ව මග ඇරීමක් වගේ පෙනුනත් එහෙම නෑ. ඇලීමත් ගැටීමත් අතරේ යමක්. උපේක්ෂාවක්.

උපේක්ෂා! හිරණ්‍යට ඇයව මතක් වුණා. දැන් ඇය මොනවා කරනවා ඇත්ද? මාව මතක් වෙනවා ඇත්ද? ආයේ මුණගැහෙන්න අවස්ථාවක් ලැබේවිද? මුණගැහුනොත් මොකද කරන්නේ? එතකොට ඇයගේ ප්‍රතිචාරය මොනවගේ වේවිද....

"මෙච්චර බෑ කියලත් තාමත් ඒකි මත්තේ නැහෙන්නේ උඹට ලජ්ජා නැද්ද බං?" මම හිරණ්‍ය ට හිනා වුණා.
"ආදරේදී ලැජ්ජාවක් නෑ."
"ආදරේ? කෙහෙම්මල! උඹට තියන අමාරුව එකිත් එක්ක නිදාගන්න  බැරි වෙච්ච එක..."
"නෑ."
"උඹ ගැන දන්නේ උඹ මිස වෙන කව්ද?"
"එහෙනම් ඉතින් ඒ ආදරේ කියල දැනගන්න ඕනෙනේ" මම හිරණ්‍යට උත්තර දෙන්න ගියේ නෑ. අනුන්ට පිළිතුරු සපයන එකට වඩා තමන්ටම උත්තර දෙන එක සෑහෙන අපහසු කටයුත්තක්.

පරිසරය යන්තමින් එළිය කරමින් සුර්යාලෝකය පැතිරෙන්න ගත්තා හින්ද මම ආපස්සට හැරුණා. ඉර එළිය වැටීමෙන් අවට පරිසරය වර්ණවත් වෙලා ප්‍රාණවත් බවකින් දිස්වුණා. ඒත් මම බලාපොරොත්තු වුණේ වැස්සක්. වැස්සක් පතිත වුණානම් මේ අවස්ථාව මීට වඩා නාට්‍යාකාර වෙලා භාවාත්මක ස්වභාවයක් උසුලන්න තිබුණා. පරිසරයෙන් මගේ හිතේ ස්වභාවය ගම්‍ය කරවන්න උදව් ගන්න තිබුණා. ඒත් හැමවෙලේම අපිට අවශ්‍ය බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ නෑ. නොහිතන දෙයක් ලැබෙන කොට එයින් අපට උවමනා දේට යන්න පාර කපාගන්න වෙනවා. යාමට හෝ නොයෑමට, එය තමා අභියෝගය.

මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ …

නොදැන මඟතොට බලා වටපිට

අයාලේ යන ගමන කොතැනටදෝ…



5 comments:

  1. හැමදේ දිහාම උපේක්ෂාවෙන් බැලුවා නම් හරි. එතකොට උපේක්ෂා ලඟ ඉන්නවා වගේ දැනේවි. අවුරුද්ද ගෙවිලා අලුත් අවුරුද්දක් ලබන වෙලාවේ උපේක්ෂාව මතක් වෙනවද?...:D

    හිරණ්‍යට බලාපොරොත්තු හැම එකක්ම ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
  2. කොහෙද යන්නෙ කියල ඇහුවොත් දෙන්න උත්තරයක් නැති ගමන් මටත් හරියට තිබ්බ ඒ කාලෙ. ඇත්තටම මොකටද හේතුවක්?

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා යාලුවා !...

    පෝස්ටුව ගැන කියන්න ඕන නෑනෙ.. උඹ ඔය කිව්ව වෙලාවට පට්ට පාලු, වටපිටාව ගැන තමුන් කිසිම දෙයක් නොදන්න පාරකත් ගිහින් බලපන්.. ගති :)

    ReplyDelete
  4. උඹට මොකෝ උනේ?... කාලෙකින් සද්දයක් නෑ..

    ReplyDelete
  5. හැමෝටම සුබ නව වසරක් වේවා! අදහස් වලට ස්තුතියි.
    @සාතන්: ඉන්නවා, මේ යන්තරේ කැඩිලා හින්ද ලියන්න අවස්ථාවක් ලැබුනේ නෑ.

    ReplyDelete