Thursday, December 22, 2011

මරණය දැක සතුටු වෙන්නට | Die Happy!



මැරෙන්න තව විනාඩි දාහතයි. විනාඩි දාහතක් ගතකරන්න හොඳම විදිහ මොකද්ද කියන්න මම දන්නේ නෑ. ගතකරපු හැම විනාඩි දාහතකට ම වඩා ජීවිතේ අන්තිම විනාඩි දාහතට විශේෂයක් එකතු වෙලා තියෙන හේතුව නොදන්නවා වුණත් ඒක එහෙම වෙලා. මම හිතන්නේ මම හැසිරෙන්නේ තව සුළු කාලයකින් මැරෙන්න ඕනේ කෙනෙක් විදිහට නෙමේ යි. එක අතකට මැරෙන වෙලාව දන්නා කෙනෙක් හැසිරෙන්න ඕන නිශ්චිත විදිහක් ඇත්තෙත් නෑනේ. තමන් මැරෙන වෙලාව දැනගැනීම වාසියක්ද අවාසියක්ද මන්ද. මටනම් ඒකේ එතරම් වරදකුත් නෑ. ජීවිතේ අවසානය ගැන දන්නවා නම් ඒ ඒ වැඩ කලින්ම සැලසුම් කරන්න පුළුවන්නේ. ඒත් ඒ අවස්ථාව මට ලැබුනේ නෑ. ඒ මම අත්තඩංගුවට පත්වෙලා විභාග කළ නඩුවදී මට මරණ දඬුවම නියම වුනු හින්දා.

මිනිහෙක් මරණය හමුවේ කරන්න පුළුවන් මෝඩ ම වැඩේ තමයි තම ජීවිත කාලේ කළ වැරදි ගැන කම්පා වෙන එක. මෝඩයෙක් නොවෙන හින්ද මම එහෙම නොවෙන්න පුළුවන් උපරිම උත්සහ ගත්තා. ඒක එක අතකින් නොසලකා හැරීමක් විදිහටත් ආත්මාර්ථකාමී ක්‍රියාවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. සමහරවිට ජීවත් වෙන අන්තිම මොහෙතේදී තමන් තමන් ගැන හොයන්න එළඹෙන්නේ ඉබේම වෙන්න ඇති. නැත්තම් හැම වෙලාවේම වගේ මැරෙන්න ලං වුනහම ස්වයං අනුකම්පාවක් දැනෙනවා ඇති.

දැන් තියෙන්නේ විනාඩි දහතුනයි. දහතුන සලකන්නේ අවාසනාවන්ත අංකයක් විදිහට උනත් අංක හතට වඩා දහතුන වීම සැහැල්ලුවක් විදිහට දැනුණා. වෙන වෙලාවකනම් මම මැරෙන්න බයයිද කියල කවුරුහරි ඇහුවොත් දෙන උත්තරේ වෙන්නේ නැහැයි කියල. ඒත් මේ අවස්ථාවේ කියන්නේ තියෙන්නේ මම දන්නේ නෑ කියල. කුතුහලයක් එක්ක නොසන්සුන් කමක් විතරක් ඉතිරි වෙලා තියනව. හරියට මම සැබෑවටම ජීවත් වුණා ද යන්න දැන ගන්න මැරෙනවා වගේ. මම හිතන්නේ මම ජීවත්වුණා. ඒ ජීවත් විය යුතු විදිහට නොවෙන්න ඇති. ඒත් ජීවත් විය යුතු නිවැරදි ආකාරය මොකද්ද? ඒ නොදැනීම තමයි සමහර විට මට මම මැරෙන වෙලාව දැන ගන්න උදව් වෙන්න ඇත්තේ. 

හත්වෙනි විනාඩිය. කලින් කිව්වා වගේ මම අකමැති අංකය, හත. බන්ධනාගාරයේ නිලධාරීන් මාව එල්ලා මරණ තැනට එක්ක යන්න ගත්තත් එක්කම මගේ කුතුහලය වැඩි වුණා. මැරෙන්න ආසාවෙන් ඉන්නවා කියල පෙන්නන්න නෙමෙ යි. මම මැරෙන්න අකමැති යි, අනෙක් හැමෝම වගේම. ඒත් ඇත්ත, ඒකට හරස් වෙනවා. මේ වෙලාවේ ඇත්ත තමයි මම මැරෙන්න නියම වී සිටීම, තව විනාඩි හතකින් හුස්ම හිරවී මියයාම. ඒත් ඒක වෙනස් වුණොත්? විනාඩි හතකදී වෙන්න පුළුවන් දේවල් කොච්චර තියනවද. කාගේ හරි අනුකම්පාව මත මගේ දඬුවම ලිහිල් කිරීම, මම නිදහස් වෙලා පැනයාම, ප්‍රාතිහාර්යකින් මම මිය නොයෑම වගේ. මේ ඕනෙම දෙයක් විය හැකි නමුත් වෙන්න නෑ. ඒක එක අතකින් අධියථාර්තවාදී යි. ජීවිතය පැරඩොක්සීය යි.

ඇත්ත කතා කිරීම මරණීය යි. ජීවිතය අහිමි වෙන තරම්ම තර්ජනයන් ගෙන දෙන සුළුයි. ඇත්ත නිසා ජීවිතය නැතිවෙන පළමු කෙනාත් අවසන් කෙනාත් මම නෙමේ යි. මැරෙන මරන මිනිසුන් අතරේ තවත් එක් චරිතයක් විතරයි. නැහැ, සමහර විට මගේ මරණයට ඊට වඩා දේශපාලනික වටිනා කමක් එකතු වෙන්න පුළුවන්. මගේ මරණය මගේ පාක්ෂිකයන්ට ඒකරාශී වෙන්න හොඳ අවස්ථාවකුත් මට විරුද්ධ වුවන්ට සතුටු වෙන්න හොඳ අවස්ථාවකුත් උදා කරනවා. කොහොම වුණත් හොඳ අවස්ථාවක්, වාසියක්. මගේ මරණය ඔවුන්ට සතුටක්. එහෙම වෙනවට මම කැමතියි. මරණය දුක් වෙන්න හේතුවක් කරගන්න අවශ්‍ය නෑ.

මැරෙන්න තව විනාඩි තුනයි. හිතපු නැති විදිහට දාඩිය දාන්න ගත්තා. ඒ වගේම ටිකක් වෙව්ලන්න ගත්තේ නොහිතපු විදිහට. ඒක පාලනයෙන් තොරව වෙච්ච දෙයක් ද නැද්ද කියන්න දන්නේ නෑ. සමහර විට මම ජීවත් වෙන බව හඟවන්න මම මටම හොරෙන් දරපු උත්සාහයක ප්‍රතිපලයක් වෙන්න ඇති.
"මොනවහරි කියන්න තියනවද?" විනිශ්චයකාර වරයා මගෙන් ඇහුවේ අවසන් විනාඩියේදී.
මම මුකුත් නෑ කියන්න ඔලුව වන්න හදලත් ආයේ කට ඇරියා, "මේ ආරම්බය, ඉපදීමක්. නොනවතින ගමනක තවත් සංදිස්ථානයක් විතරයි. " මම හිනාවුණා. ඒ ඇත්තටම හදවතින්ම ආ හිනාවක්.

අලුගෝසුව මගේ ඔලුව වැහුවා. ඔලුව වැහුවා කියල මට අඳුරක් දැනුනේ නෑ. පරිසරයම ඒකාලෝක වුණා. සැබෑව බොරුවක් වුණහම, මායාව යථාර්තය බවට පත්වෙන්න මහා වෙලාවක් යන්නේ නෑ. මායාවත් සැබෑවත්  අතරින් මම ගිලිහිලා යන්න ගත්තේ විශාල ආලෝක කදම්බයක් ඔස්සේ. එක අවසානයක්. එක ආරම්බයක්.

8 comments:

  1. මැරුණ මිනිහෙක් කියන කතා හරිම හිඟයි. මොකද මැරුණ මිනිහෙක්ට කිසි දෙයක් කියන්න බැරි නිසා. මේක කියවගෙන එන්නෙත් අර පැරඩොක්සිය වැඩ කරයි කියල හිතාගෙන. නමුත් මැරෙණ මිනිහෙක්ට අවසන් තත්පර කීපයෙත් දැණෙන දේවල් තියෙනව. මම හිතන්නෙ ඒක සියල්ලේම අවසානයේ ඇරඹුම කියල. අපි මොනව ඉගෙනගෙන තිබුණත් මරණයෙන් පස්සෙ එන හිස්කම ආරම්භයක් විධියට දකින්න ඉගෙනගෙන නෑ...

    ReplyDelete
  2. උඹ ලියන ඒව කියෙව්වහම ගොඩක් හිතන්න ඕන බන්... මං වගේ එකෙක්ට ඒ ගතිය බඩගින්නෙ ඉන්න එකෙක්ට කෑමක් බීමක් හම්බුවුනා වගේ.. :)

    මම වැඩිය බර වචන දන්නෙ නෑ මිත්‍රය.. පැරඩොක්සීය යි කියන ව‍චනෙ තේරුම කියන්න පුළුවන් නම් වටිනව..

    ReplyDelete
  3. අපූරු පෝස්ටුවක්.. මට මතක් උනේ " අවසාන මොහොත මාගේ.. පෝරකය දෑස මානේ.." කියන සිංදුව..

    ReplyDelete
  4. මැරෙන්න යන කෙනෙක්ට ඔය වගේ සන්සුන්ව හිතන්න පුළුවන් වෙයිද? මට නම් හිතෙන්නේ මැරෙන්න යන කෙනෙක්ට සෑහෙන්න දේවල් එක පාර හිතිලා අන්තිමේ කිසිම දෙයක් හිතාගන්න බැරුව යාවි කියලා.... සමහර විට එහෙම නැති වෙන්න ඉඩ තියෙනවා!

    ReplyDelete
  5. හ්ම්ම්.... අලුත් මානයක්
    මේ තරම් මරණය ලඟට ගියාම දැනෙන දේ ඇත්තටම හිතා ගන්න බැරි උනත්, මම පැදපු බයික් එක හැප්පිලා මාව බිම දිගේ ඇදිල යද්දී, ලෝකය කැරකෙද්දී තරමක් වෙනස් හැඟීමක් දැනුනා
    ඒත් මරණය කියන එක දැනුනේ නැහැ....

    ReplyDelete
  6. රුසියානු සාහිත්‍යයේ එන කතාවක් මතක් උනා මේක කියවපුවාම. ඔයාගේ ලියවිල්ල නම් හරි අමුතුයි හිරණ්‍ය....මම නම් නිදනවා එල්ලලා මරලා දානකල්ම. එතකොට මරණයත්, හීනයක් වෙයි ජීවිතේ අනික් දේවල් වගේම....

    ReplyDelete
  7. ඇත්තට මැරෙන එක දන්නවනම් ලේසි වෙන්නෙ නෑ පෘථග්ජන අපිට. දවසක් හීනෙන් මේ වගේ මැරෙන්න ළං වෙනව දැකල බයේ පණ ගියා.

    ReplyDelete
  8. හැමෝගෙම අදහස් වලට බොහොම ස්තුතියි. :o)

    @සාතන්: පැරඩොක්සීය කියන වචනේ මම ගත්තේ Paradox කියන ඉංග්‍රීසි වචනයෙන්. සමහර වෙලාවට "විරුද්ධාභාසය" කියලත් සිංහල වචනයක් එයටම භාවිත වෙනවා. යම් ප්‍රකාශයක් එයම විසංවාදී කරන අවස්ථාවලදී පැරඩොක්සීය යි කියල කියන්න පුළුවන්.

    උදාහරණයක් විදිහට කවුරුහරි කිව්වොත් 'මම කියනදේ බොරුයි' කියල, මේ ප්‍රකාශය සත්‍ය නම් ඔහු කියන්නේ බොරු වෙන්න ඕනේ. ඒත් ඔහු බොරු කියනවනම් 'මම බොරු කියනවා' කියල ඇත්ත කියාවිද? ඒ ප්‍රකාශය අසත්‍ය නම් ඔහු කියන්නේ බොරු නෙමෙයි වෙන්න ඕනේ. ඒත් බොරු නොවන (ඒ කියන්නේ ඇත්ත) නම් ඔහු 'මම කියන දේ බොරු' කියල ප්‍රකාශ කරන්න බැහැනේ. ඒ නිසා මේ ප්‍රකාශය පැරඩොක්සීයයි කියල කියන්න පුළුවන්.

    ReplyDelete