Friday, July 22, 2011

ඒ පෙම්වතිය මගේම වෙයි.



උපේක්ෂාගෙන් ලියුමක් ලබන්න බලාපොරොත්තුවක් නොතිබුණාට එයාගෙන් ලියුම් සැහෙන ප්‍රමාණයක් ලබන්න මම වාසනාවන්ත වුණා. උපේක්ෂා ඉන්දියාවේ ගිහින් ලියුම් එවනවා කිව්වම මම ඇහුවේ 'ඇයි ලියුම් ලියන්නේ ඔයාට කතා කරන්න පුළුවන්නේ නැත්තම් ඊ මේල් කරන්න පුළුවන්නේ' කියලා, ඒත් එයා උත්තර දුන්නේ  'අතින් ලියන ලියුමක තරම් සමීප බවක් වෙන මොන මාධ්‍යක වත් නැහැ' කියල. එයා මව මගාරින්න එහෙම කිව්වද කියල හිතන ගමන් මම ඔලුව වනුවේ යාන්තමට. ඒ හින්දමද කොහෙද එයාගෙන් ලියුමක් ලැබුනම මගේ ඇස් උඩ ගියා. 

"හිරණ්‍ය, 
දැන් වෙලාව උදේ 5.30 යි. මේ මම දිල්ලි වල ඉඳල අග්‍රා වලට යන ගමන් බස් එකේ. මම හිතපු තරම් කරදරයක් මෙහෙ ගමනාගමනයට නැහැ. යන්න ඕනේ තැනට කොහොම හරි යාගන්න පුළුවන්. මම කලින් එක වතාවක් ටජ් මහල බලන්න ඇවිත් තියනවා, ඒත් ඒ හදිස්සියේ යෙදුන ගමනක් නිසා කිසිම නිදහසක් තිබුනේ නෑ. ඒ හින්දමයි මේ වගේ දවසක්ම ටජ් මහලට වෙන්කරලා ආසාවෙන්ම රස්තියාදු වෙන්නේ. මෙහෙම තනියම ඇවිත් ලොකු කුළුණු අතරේ, පලිඟු බිත්ති අතරේ අතරමන් වෙලා ලැබෙන සතුට වෙන කොහෙන් ලබන්නද? මට එහා පැත්තේ බස් එකේ වාඩිවෙලා යන කෙනා කියනවා ටජ් මහල බලන්න යන්න ඕනේ මගේ පෙම්වතාත් එක්කලු. මට හිතුනා මේ එයාට තමයි මේ ලියුම් ලියන්නේ කියල කියන්න, ඒත් විහිළුවටවත් බොරු කියන්න ඕනේ නෑනේ කියල මම කට වහගත්තා..."

ඔය විදිහට තව සෑහෙන විස්තරයක් ලියල තිබුනත් වැඩක් ඇති දේවල් මොනවත් ලියල නෑ. එහෙමයි කියලා මෙයාට බනින්න යෑ, මට කියන්න තියන දේ කෙලින්ම කිවනම් හරි කියන්න යෑ. අනිත් එක මෙහෙමවත් ලියුමක් එවන එකම ඇතිනේ. අනිත් එක මගෙත් වැරද්ද, උපේක්ෂා කොයිම වෙලාවකවත් මට බලාපොරොත්තු තියාගන්න විදිහට වැඩ කළේ නැහැනේ, මමමනේ එයා මට කැමති වෙයි කියල හිතාගෙන මනෝලෝකෙක හිටියේ. එක අතකින් මම අසාර්ථකයි කියන්නත් බැහැ, කොහොමහරි එයා මගේ හිතවතියක් බවට පත්වුණානේ. ඒක හින්ද මට අවශ්‍ය විදිහට පෙම් හසුන් නොඑවා මේ සංචාරක සටහන් ලැබුනට මට තරහ ගන්න, දුක් වෙන්න හේතුවක් නෑ.

මුදිතට ඔය ලියුම පෙන්නුවොත් හිනා වෙනවමයි කියල දැන දැනත් කියවන්න දුන්නම මුදිත හිනා වුණේ නෑ.
"දැන් ඉතින් උඹට සතුටුද?"
"ඔව් නෑ දෙකම"
"හඃ! දැන් උඹ උපේක්ෂා වගේ කතා කරන්නත් පටන් ගත්තද? දෙපැත්තටම නැති ගානට? මටනං ඔය කෙලින් වැඩ කරන්නේ නැති උන් අල්ලනේ නෑ."
"උඹ තේරුම් අරගත්තා වැරදියි, මට සතුටු එයා කියපු විදිහට ලියුම් එවපු එක ගැන, දුක ඒ මම බලාපොරොත්තු වුණ විදිහේ එකක් නොවුණු හින්දා."
"මෝඩයා, උඹ හිතුවද මෙහෙදී 'බෑ බෑ' කියකිය හිටිය කෙල්ල ඉන්දියාවේ ගියහම 'හා' කියයි කියල?"
"හිතුවා වෙන්න ඇති..."
"වෙන්න ඇති නෙමේ, එහෙම තමයි. ඉතින් දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ?"
"ආයේ භාවනා කරන්න යන්න ඕනේ."
"ඇත්තටම? මම හිතුවේ ඒ උපේක්ෂාව හම්බවෙන්න කරපු බොරුවක් කියල."

"මුලදී නම් එහෙම තමයි ඒත් දැන් නම් ඇත්තටම උවමනාවක් තියනවා." , මුදිත මුණ අමුතු කරලා මං දිහා බැලුවේ මව විශ්වාස කරන්නේ නෑ කියන්න වගේ. මම උරහිස් අකිලුවා.
"උඹ මාත් එක්ක යන්න එනවනේ"

උපේක්ෂා ඉන්දියාවේ යන්න කලින් කියල ගියේ ආයේ කවද ඒවිද කියන්න බැහැ කියලයි. ඒ වෙලාවේ මට දරාගන්න බැරි තරම් දුක හිතෙන්න ඕනේ උනත් එහෙම වුණේ නැත්තේ සදාකාලික එක්වීමක් අපිට නැහැයි කියල මගේ හිතේ කොනක හරි සටහන් වෙලා තිබුණ නිසා වෙන්න ඕනේ. නැත්තම් උපෙක්ෂගෙන් අහන්න දකින්න ලැබුන දේවල් වලින් මගේ හිතේ වෙනස් වීමක් ඇති වුණා වෙන්නත් පුළුවන්. ඔය කොයි දේ උනත් ඒ වෙන්වීම දරාගන්න පුළුවන් තත්වයකට මගේ හිත සංයමය වෙලා, සන්සුන් වෙලා. මේ දේවල් එකින් එක කල්පනා කරලා බලද්දී තමයි මට තේරුම් ගන්න පුළුවන් උනේ දැන් මම කොච්චර වෙනස් කෙනෙක් බවට පත් වෙලාද කියලා. කලින් හිටපු හිරණ්‍ය ව යටපත් කරගෙන නැගී හිටපු අලුත් හිරණ්‍ය කෙනෙක්. ඒ හිරණ්‍ය මට තවම ආගන්තුකයි, සමීප බැවින් තොරයි. ඒත් කලින් හිටපු නාට්‍යාකාර 'මම' ට වඩා දැන් 'මම' ට මම කැමතියි, ඒ මේ අලුත් හිරණ්‍ය ගේ උපතට මුල් වුණේ උපේක්ෂා නිසා. 

හැම සිද්දියක් අතරම මම තවමත් භාවනා කරන්න යනවා. මෙත්තා මෙහෙනියන්ගේ මෛත්‍රී ශක්තිය මට විතරක් නෙමේ මුළු ලෝකෙටම විහිදෙනවා. මුදිත මම කරන කියන හැම දෙයක්ම සතුටින් බලන් ඉන්නවා, උපේක්ෂා සියල්ලටම ඉහලින් මම දිහා බල ඉන්නේ උපේක්ෂාවෙන් කියලා මට හැඟෙනවා. මේ සේරමත් එක්ක මට තේරෙන්නේ මම සැහෙන්න වයසට ගිහින් වගේ, කවුරු හරි මගෙන් වාසය ඇහුවොත් දැන් මම උත්තර දෙන්නේ දෙසිය විස්සයි කියලා. එච්චර වයසක කෙනෙක් මේ ලෝකෙන්ම වැඩිහිටියා වෙන්න ඕනෙනේ. ඔව් දැන් මට හැමෝම මගේ දරුවෝ වගේ කියලා හිතන්න පුළුවන් වෙලා. ඉතින් හැම දරුවෙක්ටම මගෙන් කරුණාව ඉතිරෙනවා. ප්‍රභාකරන්ට උනත් හිට්ලර්ට උනත් අහලපහල ඉන්න නෑදෑයාට උනත් මගේ කරුණාව එක සමානයි. හැමෝටම සලකන්නේ එකම සුත්‍රයකින්. ඒ සුත්‍රය ලෞකික බවෙන් ඔබ්බට ගිය ලෝකෝත්තර දෙයක් කියලා යන්තම් දැනෙමින් තියනවා.

9 comments:

  1. මරු...කතාව නම් ලස්සනයි..මට මුල අග..මැද වැඩක් නැ..කතාවේ අන්තර්ගතය ගලන් යන ආකරයට වඩා එකේ සිතුවිලි වලට මම කැමතියි..ලස්සනයි.හැමෝටම එකම හිතින එකම ගාණට සලකන්න පුලුවන් නම් කොච්චර හොදද..එත් එක බොහෝම සුලු පිරිසකට හැරෙන්න හැමොටම කරන්න බැහැ..ඔයාට ඇත්තටම පුලුවන්ද හිරණ්‍ය...මම හිතන්නේ මේක මේ කතාව මනකල්පිත එකක් කියලා.,,.මමත් හුගක් ආස දෙයක් භාවනා කරන එක ..හිතට මහා නිදහසක් දැනෙන නිදහස්ම හැඟිමකින් හිත පීරිලා යනවා... කොහොම උනත් ඔයාගේ කවි නිසිදැස් වලට මම ප්‍රිය කරන්නේ එවා හරිම වෙනස්..සම්මතයෙන් ඔබ්බට ම නිසා..වෙනස්ම රාමුවක් මැවෙන නිසා..එ වගේ නිර්මාණ ලස්සනයි..දුර්ලභයි..දිගටම මේ වගේ කතා ත් ලියන්න..

    ReplyDelete
  2. උඹ අතරමං වෙලා ඉන්න මනෝ ලෝකෙටම අපිවත් ඇදල දාපු තවත් සාර්ථක අවස්ථාවක්! නියමයි!

    ReplyDelete
  3. ආදරය සැබවින්නම් ඒකත්වයක් විය යුතුයි. සෑම කෙනෙක් සහ සෑම දෙයක් වෙතම එකම විදියට ගලායන. ඒත් තවම අපි ආදරෙයි කියනව විතරයි. ආදරෙයි කියල හිතනව විතරයි. අපි තවම ආදරය නෙවෙයි. භාවනාව එයට මාර්ගය සකස් කරල දෙයි.

    ගොනු කල අදහස් ටික අපූරුයි...

    ReplyDelete
  4. @නිම්ශා: බොහොම ස්තුතියි, ඔය විදිහට ලොකුවට මාව අගය කරන්න එපා ඉතින්. හැමෝටම එක සමානව සලකන්න නම් මට බැහැ. ඒත් උපරිම උත්සාහය දරනවා.

    @hare: මම හිතන්නේ මේ මට හොඳක් කිව්වමද කොහෙද... ස්තුතියි :)

    @Outsider: බොහොම ස්තුතියි.

    @Yohan: ස්තුතියි :)

    ReplyDelete
  5. මොකක් කියල කියන්නද තේරෙන්නෙ නෑ බන්... හැබැයි අමුතුම සැහැල්ලුවක් දැනෙනව...

    ReplyDelete
  6. @සාතන්: සැහැල්ලුවක් දැනෙනවානම් සතුටුයි, ඒ වගේම ස්තුතියි.

    ReplyDelete
  7. හ්ම්ම්ම්..ඇත්තටම සාතන් කියපු සැහැල්ලුව මටත් ටිකක් විතර දැනුනා..මේ කතාව ඇත්තටම ලස්සන කතාවක් අයියේ..මේක කියවද්දී මගේ ඇස් ඉස්සරහ ඔය හැමෝම මැවෙනවා..

    ReplyDelete
  8. @දඩබ්බරී: බොහොම ස්තුතියි, සතුටුයි.

    ReplyDelete