"සිගරට් එකක් බොනවද?" ඇය ඇහුවා.
මම ඔලුව වැනුවා. සිගරට් වල කිසිම කික් එකක් නෑ. ඇත්තටම ඒක කම්මැලි වැඩක්. කේ ජී වගේ නම් සලකා බලන්නවත් තිබුනා. බීම තරම් දුම මට ගැලපුනේ නෑ. නුවර එළියේ වහලක් රහිත කාර් එකක් පදවාගෙන යාම මිය යන්න ප්‍රථමයෙන් කළ යුතු වැඩ වලින් එකක්. ලස්සන කෙල්ලෙක් මට එහා පැත්තෙන් ඉන්න එක ඒකට උත්තේජනයක්.
"කෝ මේකේ වහල තිබුනා නම් අපිට මොනවා හරි කරන්න තිබුණා." ඇය මගේ කලවා අතගාමින් හුරතල් වුණා.
"ඒ හේතුව මීට කලින් ඔයාට බාධාවක් උනේ නෑනේ."
"ඒත් ඒ එදා රෑනේ"
මම හිනා වුනාට වහලේ වහන්න මහන්සි වුනේ නෑ. වැව වටේ මිනිස්සු පොදි ගැහිලා හිටියේ බෝට්ටු සවාරි යන්න. එතකොට මම තරමක් වේගයෙන් කාර් එක පැදෙව්වේ ඇයටත් බෝට්ටු පදින්න දොළ දුකක් එයි කියල බය වෙලා. ඒත් ඇයට ඒ වගක් තිබුනේ නෑ. වහලක් නැති වීම ගැන ඇය මුමුනුමින් හිටියා. ඇයගේ ඇත අරන් හාදුවක් දීමෙන් ඇගේ කතාව නතර වුණා.
ඇය ලොකු ඇස් ඇති සිහින් තොල් ඇති කෙල්ලෙක්. අහුලා ගත්තේ පාරෙන්. ගණිකාවක් නෙවෙයි. ගණිකාවකට මිලක් තිබුනට ඇයට මිලක් නෑ. මිල කරන්න බැරි නිසා නෙවෙයි, පුළුවන්. හැම කෙනෙක්ටම වගේ ඇයටත් මිලක් තියනවා. ඒත් ඒ මිල නියම කරන්න ඇය අකැමැති වුණා. මම ඒ ගැන දැක්වුවේ උදාසීන ප්‍රතික්‍රියාවක්. මගේ මිල ඇගේ මිලට වඩා අඩු වෙන්න තියන ඉඩ කඩ ගැන මම බය වුණා වෙන්නත් පුළුවන්.
"ඔයා ලිබරල් ද?" මම නිකමට ඇහුවා.
"ඔයා ලිබරල් කියල අදහස් කරන්නේ මට ඕන දේ මම කරනවා කියන එකට නම් උත්තරේ ඔව්, නැත්තම් ඔයා කියන්නේ අනිත් අයට ඕන දේ කරන්න ඉඩ දෙන එකනම් උත්තරේ නැහැ."
මම කට කොනකින් හිනා වුණා. කෙල්ල හිතුව තරම් මෝඩත් නෑ.
"නුවර එළියේ මොකද කරන්නේ?" ඇය ඇහුවා.
"රස්නේ සපයනවා"
"කොහොමද වැඩේ ආතල්ද?" ඒපාර ඇගේ කටේ සිනහවක්.
"වැඩි දෙනෙක් හිතන තරම් වැරද්දක් නෑ."
අපි කේක් කන්න ග්‍රෑන්ඩ් හොටෙල් එකට ගියා. ඇයට කැපචිනෝ එකකුත් මට ඇමරිකානෝ එකකුත් අරගෙන අපි ජනේලයක් ලඟට ගියා. රෙස්ටෝරන්ට් එක පිරිලා ඉන්නේ විදේශිකයන්ගෙන්. වැඩි හරියක් අරාබි ජාතිකයින්. හම්බයෝ ගැන විහිළුවක් කරන්නත් ගිහින් පස්සේ ඕන නෑ කියල කට වහගත්තා. ඇමරිකානෝ එකේ සැර තිත්ත ගතිය මට ඕන වටත් වැඩිය ගැලපුනා.
"ඔයාගේ ටෙලිනාට්‍ය එකක් වත් මම බලලා නෑනේ." ඇය බොරුවට දුක්වුණා.
"බැලුවයි නො බැලුවයි කියල වෙනසක් නෑ."
"ඇයි රඟපාන්න අකමැති ද?"
"අපෝ අකමැති කිසි දෙයක් මම කරන්නේ නෑ."
"එහෙනම්?"
"රඟපාන එකේ හිතුව තරම් කික් එකක් නෑ."
ඇය ඒ පාර හිනා වුණා. "ඔහොම ඉන්න මම ඔයාගේ කතාව මට හිතන හැටියට මුල ඉඳල කියන්නම්. ඒක සත්‍යයට කොච්චර ආසන්නද කියල ඔයා තීරණය කරන්න."
මම ඔලුව වැනුවා.
"ඔයා ගමේ කොල්ලෙක්." ඇය කතාව පටන් ගත්තා. "පවුල ගොඩක් දුප්පත්, අම්මා තමයි ඉන්න ළමයි ඔක්කොටම කන්න දෙන්නේ, ඔයා පවුලේ වැඩිමලා විදිහට ඔයාට ඒක ලොකු බරක්. වැඩි දුර ඉගෙන ගන්නේ නැතිවම ඔයා කොළඹ එනවා සල්ලි හොයන්න, ගෙදරට සල්ලි යවන්න. ටික දවසක් කුලී වැඩ කරනවා. සොච්චමකට කන්දක වැඩ කරලා එපා වෙනවා. ඊට පස්සේ යනවා මසාජ් පාලර් එකකට, ඒක කලින් රස්සාවට වඩා හොඳ යි. ඒත් නාකි පිරිමින්ගේ ඇඟවල් අතගාල ඔයාට එපා වෙනවා. දවසක් ලොකු අත්තක් එනවා පාලර් එකක්. ඔයා හොඳට උට සලකනවා. සමහර විට ඕනෑවටත් වඩා." ඇය පොඩ්ඩකට කතාව නවත්තල කොපි පොඩ්ඩක් තොල ගා ගත්තා.
"ඊට පස්සේ?"
"ඊට පස්සේ, අර මිනිහට ඔයාව හිතට අල්ලනවා. ඔයා උගේ නිත්‍ය සේවා දායකයෙක් වෙනවා. ඌත් එක්ක කනවා බොනවා නිදියනවා. කොළඹ දකිනවා. කොටින්ම ඔයා කොළඹ අඳුන ගන්නේ එහෙම. මිනිහගේ යාලුවෝ අතින් අතට ඔයා යනවා. ගෑනු පිරිමි බේදයක් නැතිව. දවසක් ඔයා ගිහින් නතර වෙන්නේ ෆිල්ම් ඩිරෙක්ට කෙනෙක් ළඟ. මුලින්ම ඇඩ් එකක දෙකක ඉන්නවා, පස්සේ අතුරු චරිතයක්. අන්තිමට ප්‍රධාන චරිතය. දැන් ඔයා මෙතන."
"ඔයාට තියෙන්නේ ලේඛිකාවක් වෙන්න."
"පොත් ප්‍රකාශ කරන්නත් කාත් එක්ක හරි නිදාගන්න වෙනවා නම් මට එක කරන්න බැරි වෙයි."
"හැම දේටම කාත් එක්ක හරි නිදා ගන්න වෙනවා කියල හිතන්නේ වැඩ බැරි මිනිස්සු." මම කිව්වා.
ටික වෙලාවක් යනකන් ඇය මුකුත් කිව්වේ නෑ. මම ඇමරිකානෝ එක ඉවර කරලා තිබුණත් ඇය කැපචිනෝ එක ඉවර කරන පාටක් තිබුනේ නෑ. කණ්නාඩියෙන් එහා පැත්ත බලන් හිටියා. මනුස්සයෙක් වත්තේ මල් අතර සෙල්ලම් කරන වගේම මල කඩල වනසන ළමයි දිහා ඔහේ බලන් හිටියා. උයන් පල්ලා විය යුතු යි.
"අපි යමුද?" මම අවසානයේ ඇහුවා.
කොහෙද යන්නේ කියලා අහන්නෙම නැතුව ඇය ඔලුව වැනුවා.
පොද වැස්සක් වැටෙමින් තිබුන නිසා වාහනයේ වහල අවශ්‍ය වුණා. ඒත් ඇය ඔහේ බලන් හිටියා මිසක් මොනවත් කිව්වෙවත් කළේවත් නෑ. ඇගේ උදාසීන බාවය මාවත් උදාසීන කරමින් හිටියා. මගේ කතාව කියල ඇය කියවගෙන ගියේ එයාගෙම කතාවද? මම එහම ඇහුවේ නැතත් හිතුනා. කොහොම වුණත් ඇගේ උපකල්පන වරදිමත් නෑ. අර්ධ සත්‍ය පරිපුන් සත්‍යත් අමුලික බොරුත් නෙවෙයිනේ, මම නැවතත් ඇය දිහා බැලුවා.
"අපි දෙන්න සමහරවිට ලෝක දෙකක උනත් එච්චර ලොකු වෙනසක් නෑ."
"වෙනස්, වෙනස්ම වෙනස්."
"වෙන්න ඇති. නොවෙන්නත් ඇති. ඒත් මිනිස්සු දෙන්නෙක්ගේ සමානතා තියෙන්න පුළුවන් තරමට අපි අතර ගොඩක් ඒවා තියනවා. අපි දෙන්නා එක්කෙනෙක් නෙවෙයි. ඒත් එකම පූර්වජයගේ පරිණාම දෙකක්."
"ඕවා කියල වෙන්න ඇති කලා කාරයෝ අල්ලගන්නේ." ඇය හිනා වුණා.
"ඔයත් නොදන්නා දේවල් නෙවෙයිනේ."
අපි කොහොමින් කොහොම හරි කන්දක් උඩ තිබුණු මගේ කොටේජ් එකට ඇවිත් තිබුණා. මුලින්ම කළේ මම වෙලාව බලන එක. අපිට විනාඩි හතලිහක් විතර තියනවා. ඊලග හතලිහ මැදිවියේ නිළියකට මම කලින්ම වෙන්කරලා ඉවර යි. කොටේජ් එක ඒ නිළියගේ නිසාත් වහනය නිළියගේ අධ්‍යක්ෂක සැමියාගේ නිසාත් මට සල්ලි හැර හිස් අතින් නැවත නගරයට යායුතු වුණා.
"මොකද කියන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගමුද?" මම ඇහුවා.
අගේ ඇස් දිලිසුනේ කාමයෙන් මත් නෙවෙයි.
කාලෙකින් මතක් වෙලා බ්ලොගේට ඔලුව දැම්මෙ පරණ පෝස්ට් එකක් හරි කියවන්න කියල හිතන්... උඹ ආයිමත් ලියන්න පටන් අරන්... ඒක එල... දිගටම ලියපන්...
ReplyDeleteකාලෙකින්... සුපිරියි.. නියමයි..
ReplyDeleteලියන්නේ නැතුව ඉන්න එපා බං.. උඹ ලියන ඒවයේ අමුතුම ගැම්මක් තියෙන්නේ..
පට්ට...... අමුතුම ගතියක් තියෙනවා..............
ReplyDeleteප්‍රබලයි!
ReplyDeleteමම බ්ලොග් කියවන්න අරගෙන ටික දවසයි. මේ ටිකේ කියවපු වඩාත්ම සිත් ගත්ත බ්ලොග් එක මේක. වෙලාවක් තියෙන විදිහට ලියන්න. මේ සටහනේ වඩාත්ම සිත් ගත්තේ මේ කොටස
ReplyDelete//ගණිකාවකට මිලක් තිබුනට ඇයට මිලක් නෑ. මිල කරන්න බැරි නිසා නෙවෙයි, පුළුවන්. හැම කෙනෙක්ටම වගේ ඇයටත් මිලක් තියනවා.//
අපි හැමෝටම මිලක් තියෙනව(ද?)
මෙන්න හිතන්න දේවල් !