Sunday, April 29, 2012

රස්තියාදුකාරයා - I

සොම්බි ආක්‍රමණයකින් මුළු ලෝකෙම හිටපු මිනිස්සු මැරිලා මළ මිනී ඇවිදින්න ගත්තම මම දන්නා තරමින් ඉතුරු වෙලා හිටියේ මම විතරයි. තව මම වගේ බේරුණු අය ඉන්න පුළුවන් වුණත් හරියටම දැනගන්නවත් කිසිම සම්බන්ධතාවක් පවත්වන්න වත් අවස්ථාවක් තිබුනේ නෑ. කොළඹ පාරවල් පාළුවෙලා තිබුණා. වාහන අන්තිමට නවත්තල තිබුණු තැන්වලම නවත්තල තිබුණා. එහෙන් මෙහෙන් මැරුණත් නොමැරුණු සදහටම පැරඩොක්සයක හිරවුණු දිරාපත් මිනිස් ශරීර ඉබාගාතේ ඇවිද්දා. 'ජීවය' කියන වචනෙත් එක්ක මේ ලෝකය පෑහුණේ නෑ. කෙනෙකුට ඕනෙනම් මේ ලෝක අවසානය කියල හඳුන්වන්න පුළුවන් වුණත් විනාශ වෙලා තිබුනේ මිනිස් සංහතිය විතරයි. සොම්බිලගේ අතින් මැරුණු සත්තු ඇරුනම සත්තුන්ට මේක බලපෑවේ නැති තරම්. මිනිස්සු පෘථිවියට කළ හානියත් එක්ක බලද්දී එකේ පුදුමෙකුත් නෑ.

මම හිටියේ තට්ටු ගණනක් උස ගොඩනැගිල්ලක ඉහලම තට්ටුවට වෙලා. බිම ඉඳන් එපමණ ඉහලට සංවේදනයක් සොම්බිලට තිබුනේ නෑ. මගේ අත්දැකීම් අනුව නම් කොහොමත් උන්ට සංවේදන හැකියාව ජීවමාන මිනිසුන්ට වඩා සැහෙන අඩුයි. ක්‍රියාදාම චිත්‍රපටයක වගේ තුවක්කුවක් හොයාගෙන මුන්ට වෙඩි තියාගෙන යන්න උවමනාවක් හිතේ කැරකි කැරකි තිබුණා. ඒ අදහස ක්‍රියාත්මක කරන්න නම් මෙතනින් යන්න වෙනවා. ඒත් ඒකම තමයි ප්‍රශ්නේ, මෙතනින් යන්න නම් සොම්බිලගේ අවධානය ලබන්නේ නැතිව වාහනයක් හොයාගන්න වෙනවා. මම හිමිහිට පහල බහින්න ගත්තා, ගොඩනැගිල්ල යුද්දෙකට මැදි වෙලා වගෙයි. හැබැයි විනාශ වුණු බිත්ති මේස පුටු ඇරුනම මිනිස් සලකුණක්වත් තිබුනේ නෑ. අහ්! සමාවෙන්න හැම අතම විහිදුනු ලේ සලකුණු නම් ඕනෙතරම්. ගොඩනැගිල්ලේ බිම්මහල වෙන්වුණේ  වාහන නවත්වන්න. බිම්මහලේ වාහන කිහිපයක් අතරින් මම තෝරාගත්තේ වැඩිපුරම ආරක්ෂාවක් තියෙන්න පුළුවන් කියල හිතල ජීප් එකකට ඇතුල් වුණා. ඒත් එක්කම තිබුණ වාහනය මම ගොඩක් කැමැත්තෙන් හිටපු කාර් එකක් වුණත් ඒ ගැන තිබුණු ආශාව දැන් සම්පූර්ණයෙන්ම වගේ හිඳිලා තිබුණා.

දැන් තමයි අමාරුම කොටස; තුවක්කුවක් හොයාගැනීම. පොලිසියකට ගියොත් ඒක කරගන්න පුළුවන් වේවි කියල හිතාගෙන පුළුවන් තරම් අඩුවෙන් ශබ්ද වෙන විදිහට වාහනේ එලවන්න ගත්තා. තැන් තැන් වල වාහන නැවතුනු පාරක යාම පහසු නෑ, සොම්බිල තැනින් තැන ගැවසෙන නගරයක වාහන එළවීම කොහෙත්ම පහසු නෑ. වාසනාවකට හෝ අවාසනාවකට මට පොලිසියකට යන්නත් මියගිය නිලධාරියෙකුගේ විය හැකි තුවක්කුවකුත් හමුවුණා. නැවතත් වාහනේට නැගල අතුරු පාරෙන් ප්‍රධාන පාරට එද්දිම මුහුණ දෙන්න වුනේ සොම්බිලා සිය ගණනකට, නැත්තම් ඊටත් වඩා. කොහොම වුණත් පාර පිරෙන්නම උන් හිටියා. වාහනේ පුළුවන් තරම් වේගෙන් ආපස්සට අරන් හරවල ආපහු හිටපු පැත්තටම එන්න හැදුවත් ඒ පාරත් සොම්බිලාගෙන් පීරලා තිබුණා. දෙපැත්තෙන්ම වට වෙලා හින්ද කරන්න තිබුනේ වෙඩි තියන එක විතරයි. ඒ එක්කම මම කළේ ආසන්නයට ආ එකෙක්ට වෙඩි තැබීම, ඒ හඬ මම හිතුවට වඩා තියුණුයි. කොයිතරම්ද කිව්වොත් දවල් හීන බලන මිනිස්සුන් නැගිට්ටවන තරම් ශක්තිමත්.

මම ඇස්දෙක විවර කළාට පස්සේ කළේ මම ඉන්නේ කොහෙද කියල බලපු එක. ඉන්නේ ගෙදර මගේ කාමරේ ඇඳේ වැතිරගෙන බවත් අතින් ගෙදර අය කතාකරන නිසා සොම්බි ආක්‍රමණයක් වෙලා නැති බවත් තේරුනේ තප්පර කිහිපයක පමාවකින් පස්සේ. ඇඳ ළඟ තිබුණු මේසේ ලොකු පොතක් දිග ඇරපු ගමන් එහෙම්මම තිබුණා. දාඩිය වැඩිකම හින්ද පවන් ගහන්න ඒ පොතෙන් පිටු කිහිපයක් කඩා ගත්තා. පොත වැහුවහම තමයි දැන් ගත්තේ ඒ බයිබලය බව, නොදැනුවත්වම සුසුමක් පිටවුනේ ඒ එක්කමයි. සෑහෙන වෙලාවක් (ඔරලෝසුවක් ළඟපාතක තිබුනානම් කොච්චර වේලාවක්ද කියන්නත් තිබුණා) නිදාගත්තට පස්සෙත් මහන්සියේ අඩුවක් තිබුනේ නෑ. ඒක මානසික මිසක් කායික විඩාවක් වෙන්න බෑ.

ඇඳෙන් නැගිටලා මේස ලාච්චුව ඇදල බලද්දී පැරසිටමෝල් පෙති ගණන් කරන්නේ නැතිව කිහිපයක් අතට හලගත්තේ බොන්න. බෙහෙත්වලින් මේ අසනීපය හොඳ කරන්න බැරිබව දැනගෙනත් ඒවා බිව්වේ තාවකාලික හිරිවටිමකට. කොහොමත් මම හිරිවැටුණු මිනිහෙක් වගේ තමයි. අනිත් හැමෝම වුවමනාවට වඩා කලබල වෙද්දී වෙලාව ගැන මට ගානක්වත් නෑ. කාලය හෝ අවකාශය කියල දෙයක් ඇත්තටම නෑ කියල පිළිගනිද්දී අනිත් පුද්ගලයන්ගේ ක්‍රියාවන් ගැන මට ඇතිවුනේ අනුකම්පාවක්.

"උඹට ඔය විදිහට ජීවත් වෙන්න අමාරු වෙයි" දවසක් මට යාලුවෙක් කිව්වා. මම උත්තර දෙන්න ගියේ නෑ. එහෙම හිතෙන්නේ පිටින් බලන පුද්ගලයට විතරයි, හැමදේම සාපේක්ෂ නිසා ජීවත් වෙන විදිහ කියල දෙයක් නෑ, උඹ හිතන්නේ මේ මම ජීවත් වෙනවා කියලද වගේ ප්‍රතිචාර දැක්විය හැකි වුණත් මේවගේ ප්‍රශ්න දහස් ගානකට උත්තර දීල මම වෙහෙසිලා හිටියේ. මගේ ජීවිතය, ජීවත්වෙන විදිහ තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඇයි? ඇයි මිනිස්සුන්ට අනුන්ගේ ජීවිතවලට ඇඟිලි නොගහ ඉන්න බැරි? දැන් ඒවා මට ප්‍රශ්නත් නෙමෙයි. පොදු මිනිස් ගති නිසා තියෙන්නේ උපේක්ෂාවක් විතරයි.

සොම්බිලාගෙන් පිරුණු ලෝකය මේ අවදිවුණු ලෝකෙට වඩා සාර්ථකයි. ඒ ලෝකෙදි මම තරමක වීරයෙක්. මගේ හරි වැරදි හොයන්න කවුරුවත් නැති හින්ද කරදරයකුත් නෑ. සැබෑ ලෝකය ඒක වෙලා මේක හීන ලෝකය වුනානම් හොඳයි. නෑ, කලින් කිව්ව වාක්‍යයේ කිසි තාර්කික හෝ දාර්ශනික බවක් නෑ. 'සැබෑව' මොකද්ද කියන එකත් ප්‍රශ්නයක් වෙද්දී හීන වලින් මිදීම කියල දෙයක් තියෙන්නත් බෑනේ. මම මේට්‍රික්සයක හිර වෙලා ඉන්නවනම් කවුරුවත් කෙනෙක් ඇවිත් දෙන තොරගතයුතු රතු හෝ නිල් බෙහෙත් කරලකුත් නැත්තම් මම 'සැබෑව' තුල හිර වීමේ තේරුමක් නෑ. පැරසිටමෝල් අධි සාන්ද්‍රණයක් ලේවලට එකතු වීමෙන් මත් ගතියක් එක්ක ආපු සමබරතාව නැතිවීම නිසා මම ආයෙත් ඇඳේ වැතිරිලා ඇස දෙක පියාගත්තා. සොම්බි ලෝකය හිතින් මවාගන්න ගත් අසාර්ථක උත්සාහයන් කිහිපයකට පස්සේ නැවතත් නැගිටලා ඇඳේ වාඩිවුණා. බයිබලය අතට අරන් අහඹුවෙන් පිටුවක් පෙරලුවෙත් කිසිවක් කියෙව්වේ නෑ. පොත පුළුවන් තරම් වැරෙන් විසිකළා, එය බිත්තියේ වැදිලා බිම වැටුනා.

මම තීරණය කළා මගේ ආත්මය යක්ෂයාට උගස් කරන්න.




-ඉතිරිය මතුවට-

Wednesday, April 25, 2012

කාම දෙවොල් | Temples of Erotica



ඛජුරාහෝ (Khajuraho) ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශයේ නව දිල්ලියට ගිනිකොන දෙසින් දෙසින් පිහිටි නගරයක් වන අතර ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක නැවතුමකි. එහි පුරාණ හින්දු හා ජෛන ආගමික දේවාල විශාල ප්‍රමාණයක් පිහිට ඇති අතර ඒවාහි ඇති කාමුක මුර්ති නිසා වඩාත් ප්‍රචලිතව ඇත. "ඛජුරවාහක" යන පැරණි වචනයෙන් බිඳී ආ - ඉඳි රැගෙන යන්නා යන අරුත් දෙන- ප්‍රදේශය බ්‍රිතාන්‍ය පාලන සමයේ නැවත සොයාගන්නා ලදී. වර්තමානය වන විට ඛජුරාහෝ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද ඉන්දියාවේ පුදුම හතෙන් එකක් ලෙසද සලකයි.

චන්දෙලා රාජ්පුත්වරුන් (Chandel Rajput) නම් හින්දු රජ පරපුර ඉන්දියාවේ මේ ප්‍රදේශය 10 වැනි - 12 වැනි සියවස් අතර කාලයේ පාලනය කළ අතර ඛජුරාහෝ ඔවුන්ගේ සංස්කෘතික අගනගරය විය. මෙම කාම දේවාල වසර දෙසීයක කාලයක් (950 සිට 1050 දක්වා) තුල ඉදි කළ බවට සලකයි. වර්ග කිලෝමීටර 20ක් පමණ වෙන සම්පූරණ භූමියම වටකොට තාප්පයක්ද ඇතුල් වීමට දොරටු 8ක් ද ඒ දොරටු දෙපස තල් ගස් දෙක බැගින්ද තිබු එහි දේවාල 80ක් පමණ පැවති බව සඳහන් වුනත් දැනට යථා තත්වයෙන් පවතින්නේ දේවාල 25ක් පමණයි.

වැලිගල් (sandstone) වලින් නිමවූ මේ දේවාල ඇතුලත හා දෙවියන් අසල ලිංගික චර්යා පෙන්නුම් වන මුර්ති කිසිවක් අඩංගු වෙන්නේ නෑ. මෙසේ මුර්ති නිර්මාණය වීම ගැන විවිධ නිර්වචන තියනවා. එකක් තමයි දෙවියන් වන්දනා කිරීමට පැමිණෙන විට තමන්ගේ රාගික බව අත්හල යුතු බව පෙන්වීමට, තවත් නිර්වනයක් තමයි තාන්ත්‍රික ලිංගික හැසිරීම තුලින් දෙවියන් හා එක්විය හැකි හෝ ඒ තත්වයට ළඟා විය හැකි පෙන්වීමට (එක්තරා ආකාරයක කාම සුඛල්ලිකානු යෝගයක් ලෙස). මේ ආකාරයේ මුර්තිවලට අමතරව ආලේපන තවරන ගැහැනුන්, සංගීතවේදීන්, ගොවියන් ආදී අනෙක් එකල පොදු ඉන්දීය මිනිසුන් පිළිබිඹු වන මුර්තිද ඇත. සමහර වෙලාවට මේ දේවාල කාමසුත්‍ර දේවාල ලෙස හැඳින්වුවත් එහි නිවැරදිතාවක් නැහැ. වත්ස්‍යයනගේ දර්ශනය හා මෙහි පෙන්නුවන දෑ අතර වෙනස් කම් බොහොමයක් තියනවා. කෙසේ වුවත් මේවා ඉදි වූ කාලයේ තරුණයන් පුරුෂයන් ලෙස හඳුවන්නට පෙර බ්‍රහ්මචාරීව වාසය කර මේ මුර්ති ඇසුරින් තම ගෘහ ජීවිතය හැඩ ගස්වා ගන්නට ඇතැයිද විශ්වාසයක් ඇත.

සුනේත්‍රා රාජකරුණානායක ලියු මතක පොතේ මෙහෙම තියනවා,

"[The Thousand Years ලියු ආචාර්ය ශෝබිතා පුන්ජා] තර්ක කරන්නේ මේ කාම දේවල වලින් නිරුපනය වෙන්නේ ශිව පාර්වතී විවාහය වගයි. තවමත් මේ දේවල වලින් මාතංගේශ්වර දේවාලයේ සෑම දෙසැම්බරයකම සිව පාර්වතී විවාහය උත්සවාකාරයෙන් පවත්වනවා. මේ දේවාල කැප්ටන් බර්ට්ගේ [ඉංග්‍රීසි පාලන සමයේ ඔහු මේ භූමිය නැවත සොයා ගනියි] ඇහැ ගැහෙන කලෙත් මිනිස්සු දකුණු ඉන්දියාවේ ඉඳල පවා මේ මහා මංගල්‍යයට ඇවිත් තියනවා. හැමෝම සාමාන්‍ය මගුල් ගෙදරකට වගේ ත්‍යාගයක් අරගෙනයි එන්නේ.

"මාතංගේශ්වර දේවාලේ තියෙන ශිව ලිංගය මනාලයෙක් වගේ සරසල පාර්වතී පිළිමයකට විවාහ කරවන්නේ සියලු මංගල චාරිත්‍රත් එක්කයි. ආචාර්ය පුන්ජා මේ වාර්ෂික මංගල්‍ය යතුර හැටියට අරගෙන සිව පුරාණයෙන් හා වෙනත් පුරාණ ග්‍රන්ථ වලින් සාධක සපයමින් මේ විශ්වකර්ම මුර්තිවල රහස හෙළි කරනවා."

මේ දේවාල ඉදිකළේ ඇයිද යන ප්‍රශ්නයට සම්පූර්ණ නිවැරදි පිළිතුරක් නෑ, බොහෝ දුරට එහෙම පිළිතුරක් ලැබෙන එකකුත් නෑ. කොහොම වුණත් එයින් මෙහි ඓතිහාසික, කලාත්මක හා අධ්‍යාත්මක ගුණයට නම් කිසිම හානියක් නෑ. කවදාහෝ මේ දේවාල අතර ඇවිදමින් ඒවා නිපදවූ හැටි, චාරිත්‍ර ඉටුකළ හැටි, වන්දනා කළ ආකාරය ගැන සිතේ සිනමා පට යවමින් විඳගැනීමේ ආසාවක් තියනවා, බලමු සමහර විට එය සැබෑවක් වේවි.

අවවාදයයි : ඔය පහලින් තියන රූප බබාල නැත්තම් බබාල වෙන්න යන අය ඒත් නැත්තම් බබාල කියල හිතන් ඉන්න අය බලන්න එපා.

























Sunday, April 22, 2012

වලව්වේ මෙහෙයුම | Mission Impossible

අපේ වලව්වේ පොඩි අප්පොට මගුලක් කතා කෙරුව නෙව. පොඩි අප්පෝ තරම් අංග පුලාව ඇති කෙනෙක් මේ හතර අතේම නැතුවා. ආයේ කිව්වම මොකද රතට රතේ තාලෙට පාද තියල යනකොට දිස්නේ දෙනවා. අනේ ඔය තරමට අලංකාරේට පොඩි මැණිකේ කිසි ආඩම්බරයක් නම් නැති වෙච්චි. අලුත් නිලමේ ඇවිදින් අප්පොව බලා ගියාට පස්සේ අපේ ලොකු මැණිකේ මට ඇවිදින් කිව්වේ මටත් ඒ අලුත් වලව්වට යන්ට සුදානම් වෙන්ටය කියල. මං ඔලුව වැනුවා.

කාරණා කාරණා ඔහොම වුණාට කවුරුත් නොදන්නා රහසකුත් මේ වලව්වේ හැංගිලා තිබුණා. අපේ පොඩි අප්පේ මේ ගමේම නැඩ ඉලන්දාරියෙකුට බහ දීලයි හිටියේ. අර යෝජනා වෙච්ච නිලමේත් එක්ක බලද්දී නම් මේ හාදය හොරි බල්ලට පෙරහැරේ යන ඇත්රාජා වාගේ. ආරංචියේ හැටියට නම් අපේ මැණිකෙව දැකල තියෙන්නේ ඔයේ නාන්න යද්දී. හවහ වෙලාවක නාල, මල් වලින් කොන්ඩේ සරසල, සින්දුවක් මුමුණ මුමුණ එද්දී කොයි පිරිමියගේද හිත ගැස්සෙන්නේ නැත්තේ. එක සැරේට පොඩි අප්පොගේ අතින් ඇල්ලුවලු, තදෙටත් නෙමෙයි. මැණිකේගේ කටට වචන ඇවිත් නෑ. ඒ ඉලන්දාරියා කතා කරලත් නෑ. අන්තිමට මැණිකේගේ අත අත්හැරලා හිනා වෙලා යන්ට ගියාලු.

අර නිලමේ යෝජනාව ගෙනා දා ඉඳලා පොඩි මැණිකෙ හිටියේ හිතේ අමාරුවෙන් කියල තේරුම් ගන්ට මට අමාරු වුනේ නැතුවා. කලින් දිලිසි දිලිසි තිබුන ඇස් දෙක මලානික වුණා. ගමන බිමන අඩු වෙලා ඇඳටම වුණා. ඇඳට වෙලා 'බණ්ඩාරේ අයියේ' කියල කොඳුරනවත් ඇහුනා. ලොකු මැණිකේට නම් ඔවා ගානක් නැතුවා. උන්දැ හිතන්ට ඇත්තේ පොඩි අප්පෝ වලව්ව දාල යන දුකට කියල ඒ වුණාට මම නෙව හැබෑව දන්නේ.

දවසක් දා පොඩි මැණිකෙ මට කාමරේට අඬ ගැහුවා. ඊට පස්සේ කිව්ව කතාවෙන්නම් මම ගල් ගැහිච්චි.
"හින්නිහාමියේ, උඹ මට හොඳටෝම හිතවත් එකී වෙච්චි. මට උඹෙන් උදව්වක් ඕනෑ..."
"අනේ මොකද්ද මැණිකෙ?"
මැණිකෙ එකපාර උත්තර දෙන්ට ගියේ නැතුවා. වට පිට විපරම් කරලා කාරිය මා දිහා බැලුවා.
"අර අයියා, බණ්ඩාරේ අයියා, උඹ දන්නවා නෙව. ඒ අයියා කිව්වා මට උන්දැත් එක්ක පාතරටට යන්ට එන්ට කියාල."
"දළදා හාමුදුරුවනේ! ඉතින්?"
"ඉතින් මං ඔලුව වැනුවා..."
"අනේ මයේ දෙයියෝ, මහ නිලමේගෙන් නම් බේරුමක් නැති වෙයි."
"අම්ම අප්පච්චිට කියන්නේ නැතුවා."
"හනේ, මැණිකේට නුහුගුනේද මන්ද, ඉතින් කවදද යන්ට ඉන්නේ?"
"අද, අද රෑ..."

මම ආයෙත් මැණිකේගේ රවුන් මුණ බැලුවා. කලින් නැති වෙලා තිබුන දිස්නේ ආයෙත් ඇස් වලට ඇවිත් ඒවා හිනා වුණා. මට කියන්ට දෙයක් හිතට ආවෙත් නැතුවා. ඔය ගමේ ගෑනුන්ට නම් මම නිකම්ම නිකම් වලව්වේ වැඩකාරි වෙච්චි. එත් ඉතින් උන් මයේ මැණිකෙ මට සහෝදරි වාගේ කියාල දන්නේ නැතුවා. මගේ සහෝදරීට උදව් නොකර කොහොමද.

එදා රෑ තියන ඇදුම් කැඩුම් ටිකත් ඔතාගෙන මම මැණිකෙත් එක්ක කොළඹ පාරට ගෑටුවේ බොහොම පරිස්සමෙන්. අර ඉලන්දාරියා නුවරට වෙළඳාමේ ඇවිත් යන ජා කරත්ත නඩයක් එක්ක නැවතිලා බලාන උන්නා. ඒ උන්දැට නම් හිනා, අනේ ඒ වුණාට පොඩි මැණිකෙ මාව බදාන වරුවක් විතර ඉකි ගැහුවා. ලොකු මැණිකෙව බලාගන්ට කියාල දහස් වතාවක් උපදෙස් දුන්නා. අප්පච්චිට සත්තු කරන්න කියාල අඬා වැටුනා. අන්තිමට එළිවන ජාමේ තමා පිටත් වෙනකොට. දැන් මම කරන්ට ඕනෑ දේ දන්නේ නැතුවා, අහන්ට කෙනෙකුත් නැතුවා. මමත් හිමින් හිමින් වලව්ව දිහාට යන්ට සැරසුනාට මට යාගන්න බැරි වෙච්චි. මම ඔය දිහාට හැරුණා. මේ මල පාන්දර ඔයේ කවුරුත් නැතුවා. මම ගලක් උඩට වෙලා බැහැගෙන යන හඳ දිහා බලන්ට වුණා. හැමදාමත් දැකල තියල තරම්ම නැත්තම් ඊටත් වඩා ලස්සනට උන්දැ බැබළුණා. වතුර ඩිංගක් මුණේ තවර ගත්තේ සනීපෙට. මාව කැන්දන් යන්ට නිලමේ කෙනෙක් නැතුවට අපේ පොඩි මැණිකෙ හත් දවසක් මගුල් කනවා නෙව කියාල මම සතුටිනුයි උන්නේ. ඒත් ඉතින් දැන් එහෙම බැරි වෙච්චි. කාරී නැතුවා, පොඩි අප්පෝ සතුටින්නම් මට ඒ ඇති. මම ගලෙන් නැගිටලා ගහගෙන යන සීතල වතුරට බැස්සා.

Tuesday, April 17, 2012

ස්තූතියි : සුනාමි සමග අවුරුදු


අවුරුදු දවසට කලින් දවසේ මළ ගෙදරකට සහභාගී වෙන්න වුණා. මට නෑදෑකම අනුව සීයා වෙන කෙනෙක්, ඔහුගේ දුව ජීවත් වෙන්නේ මුහුද ආසන්නයේම නොවුණත් ඊට කලින් දවසේ ඇතිවුණ සුනාමි අවධානම නිසා ඇතිවුණ කම්පනය ඔහුගේ හදවතට අනතුරක් කරන්න සමත්වෙලා තිබුණා. අන්තිමට සුනාමි ආවේ නැතත් ඒ මරණයට ආසන්නම හේතුව වෙන්නේ එය.

ඔහු නිසා මට සහ අපේ පවුලේ අයට විවිධ තැන්වල ඇවිදින්න යන්න අවස්ථා උදා වුණේ ඔහු සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිසා. එක් වතාවක් ඔහුගේ අවසරයෙන් මට නානුඔය ඉඳල නාවලපිටියට එනකම්ම දුම්රිය එන්ජිමේ යන්න පුළුවන් වුණා. මළ ගෙදරදී නම් ඕවා මතක් වුණෙත් නෑ. වැඩිපුරම වුණේ තම තමන්ගේ දුකසැප විමසීම, ඒකෙ වරදකුත් නෑ. ඒ විනෝදකාමී පුරුෂයා බලාපොරොත්තු වෙන්නෙත් ඒවැනි ප්‍රතිචාරයක් තමයි.

අවුරුද්ද ගෙවුනේ බොහොම උදාසීනව.

බ්ලොග් ලිවිමටවත් ඒ කම්මැලිකම නවත්තන්න බැරි වුණා. කොටින්ම කිව්වොත් බ්ලොග් ලියන්නත් දැන් කම්මැලියි. ඒ ලියන්න දේ නැතුව නම් නෙමෙයි. ඕනේ තරම් තියනව ඒත් කොච්චර ලිව්වත් බ්ලොග් අවකාශය තාම එතන ගතියක් තමයි පෙන්න තියෙන්නේ. අනික් අතට එතනත් නෙමෙයි ආපස්සට යනවා වගේ. අතීතකාමියෙක් වගේ කලින් හොඳයි දැන් හොඳ නෑ කියන්න උත්සහයක් නැති වුණත් ප්‍රතිගාමී ස්වභාවයක් නම් දකින්න නෑ.

දැන් මම කරන්නේ මගේ වැරැද්ද/නොහැකියාව වහගන්න අනුන්ගේ කුණු හොයන එක, ඒ හින්ද බ්ලොග් ගැන කතාව ඇති.

රොක් ශානාරයේ රසිකයෙක් හැටියට මාව හඳුන්වා ගැනීම නිවැරදි නෑ. Linkin Park, Evanescence, Nightwish, Nirvana වගේ කණ්ඩායම් කිහිපයක් ඇරුනම රොක් ගැන මගේ දැනුම අල්පයි. කොහොම වුණත් පහුගිය දවසක මැරිලින් මන්සන් ගේ වීඩියෝවක් බැලුවේ අහම්බෙන්. ඔහු ඒ සාකච්චාවේ අන්තිමට කිව්ව කතාවට මම මොහොතකට ගල් වුණා.

ඔබට දරුවන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් යමක් කියන්න තියනවද?
- මම මොනවත් කියන්න යන්නේ නෑ. ඔවුන්ට කියන්න තියනදේට ඇහුම්කන් දෙනවා. මොකද ඒක තමයි කිසිවෙක් නොකළේ.

දැන් මම කරන්න යන්නේ අනුන්ට ඇහුම්කන් දීමද? මම හරියටම කියන්න දන්නේ නෑ. සමහරවිට මෙය උදාසීනබවට පිලියමක් වෙන්නත් ඉඩ තියනවා.

අනුන්ට ඇහුම්කන් දෙන්න කලින් මම මට ඇහුම්කන් දෙනවද? ඒකත් ප්‍රශ්නයක් තමයි.

මේ විදහට තවත් ලියාගෙන ගිහින් දැනටමත් තියන අච්චාරු ගතිය වැඩිකරන්න ඕනේ නෑ. ලියන්න උනන්දු වුණු වෙලාවට වැදගත් යමක් ලියන්නම්. එතකන් මේ සින්දුව අහන්න. 


ප.ලි. : තවදෙයක් තියනවා, මම මේ වෙනකොට ලිපි 102 ක් පල කරලා තියනවා. ඒ වෙනුවෙන් ඒ බ්ලොග් ඒකත් එක්ක රැඳුනු හැමෝටම ස්තුතියි. මුලින්ම කමෙන්ට් කරපු වත් (සොඳුරු සිත), සඳරු, නිම්ෂා, කොට ජීවිතේ, දිනේෂ්, හරේෂ්, outsider, සාතන්, කුමාරිහාමි ඇතුළු නම නොකිව්ව හැමෝටමත් ඇවිල්ල කියවල බලපු හැමෝටමත් බොහොම ස්තුතියි. ලාංකීය සිතුවිලි සින්ඩියටත් අඹ ගහටත් මගේ ප්‍රණාමය. තවත් ලිපි සියක් වෙනුවෙන් උත්සහ කරමු.

Monday, April 9, 2012

ඔබ මගේ හයිකු කවිය



මේ හයිකු කවි කිහිපයක්. එකකට එකක ගලාගෙන යාමක් ගැන හිතල නැහැ. අහඹු තෝරාගැනීම්වල එකතුවක්. උපුටගන්නේ 'බෂෝ ගේ හයිකු කවි' නම් විමලදාස ගමගේ පරිවර්තනය කළ පොතින්. ඒ පොතේ මෙහෙම සඳහන් වෙනවා,

"බෂෝගේ පුරෝගාමිත්වයෙන් වර්ධනය වුණු හයිකු කවිය ලෝකයට අලුත් අත්දැකීමක් විය. ලෝකය පුරා කවීහු එය මහත් උද්‍යෝගයෙන් භාර ගත්හ. එහෙත් ලෝකය පුරා පැවති කාව්‍ය සම්ප්‍රදායන්ට  වඩා එය අලුත්ම කාව්‍යය සම්ප්‍රදායක් විය. ලෝකයේ බොහෝ කවීහු හයිකු කවි නිර්මාණය සඳහා යොමු වුණේ ඒ නිසාය. හයිකු කවියේ පවතින සුවිශේෂත්වය ජපානයේ අනෙකුත් බොහෝ කලාවන්ගේද පවත්නා සුවිශේෂත්වයටම සමාන්තර ය."

හයිකු කවි නිකම්ම වචන ටිකක එකතුවක් නෙමේ. ඉතාම සංගත ලෙස අදහසක් ඉදිරිපත් කිරීමේ හොඳම ක්‍රමය. අඩුම වචන ගණනකින් සිය හැඟීම ප්‍රකාශ කිරීමයි හයිකු කවියන්ගේ උත්සාහය. හයිකු කවියට මාත්‍රා  5, 7, 5 ලෙස පේලි තුනකින් මාත්‍රා 17 යි. මෙතරම් කවි කෙටිවෙන්න සෙන් බුදුදහම බලපාල තියනවා. ජපන් කවියේ ප්‍රධාන අංගයක් වෙන ව්‍යංගය මේවයෙත් ඇතුලත්. ඒ නිසාම තේරුම් ගැනීම අපහසු වෙන්නත් පුළුවන්.

බෂෝ හා ඔහුගේ සෙන් ගුරුතුමා බුචෝ අතර වෙච්ච කතාවක් මෙහෙමයි,
බුචෝ: මේ දවස් වල කොහොමද?
බෂෝ: ළඟදි ඉඳල වැස්ස හින්ද කවදාටත් වඩා කොළ පාටින් පාසි හැදිලා.
බුචෝ: පාසිවල කොළ පාටට කලින්  තියෙන්නේ මොනවගේ බුද්දාගමක්ද?
බෂෝ: මැඩියෙක් වතුරට පනිනවා, ඒ හඬට ඇහුම්කන් දෙන්න...

-------------------------------------------------------------------

මගේ අලුත් ලෝගුව තුල
මේ උදෑසන-
වෙනත් කෙනෙක්

කුඹුර හායි
චෙරි - හන වගාවන් වෙනුවෙන්-
කුණාටුව දෝංකාර දෙයි

වසන්තයේ නික්ම යාම-
කුරුල්ලෝ හඬ නගති
මින් රැල ඇසිපිය ගසා කඳුළු සලති

යතිවරුන්ගේ පා ගැටෙයි
අයිස්මය අඳුර හරහා
අදිමින් ළිඳෙන් මිහිරි දිය

වහල අගුවේ ගිරවුන්-
සිලිම තුල මීයන්-
දිව්‍යමය සංගීතය

මයිල දහයක් දොළහක් ඇවිදීම
චෙරි මල් වැඩම සොයා-
කොතරම් උද්දාමයක්ද

දීප්තිමත් සඳ; මම
පොකුණ වටා සක්මන් කරමි
හා, සන්ද්‍යාව පැමිණ ඇත

නොදන්නා වසන්තය-
පිපුණු ප්ලම් මල්
කැඩපතට පිටුපසින්

තවමත් හුස්ම ගනී
අයිස් කුට්ටියක් තුල
මුහුදු බෙල්ලන්

සුළඟින් ගෙනැවිත්
අසිය් කූරක එල්ලී
මේපල් කොළයක්

අපි එහෙ මෙහේ ඇවිදිමු
හිම දසුන් රස විඳිමින්
මා ලිස්සා වැටී යන තුරු

වසරින් වසර
වඳුරාගේ වෙස් මුහුණ
පැහැදිලි කරයි වඳුරා

පැරණි පොකුණ
මැඩියෙක් පනියි-
දිය විසිරේ.

Thursday, April 5, 2012

සිංහලබෞද්ධයන්ගේ™ ෆෝබියා දශකය

ෆෝබියා යන්නේ සරල තේරුම බිය යන්න යි. මනෝවිද්‍යාවේදී එය යම් වස්තුවක්, සිදුවීමක්, තත්වයක් කෙරෙහි ඇති නොනවතින භීතියකි, චිත්ත වියවුලකි. එහෙත් මා මෙහිදී ෆෝබියා යන්න භාවිත කරන්නේ මනෝ-චිකිත්සක අරුතකට වඩා සමාජයීය අරුතකිනි. ඒ නිසා මෙහෙදී ෆෝබියා යන්න වඩාත් ගැලපෙන්නේ ආකල්ප, අගතීන්, නොරිස්සිම් හා වෛරය යන වචන වලටයි. මේ මා දක්නා ලද ප්‍රධාන ෆෝබියා දශකය වන අතර විටක මට මග ඇරෙන්නට ඉඩ ඇති ඒවාද තිබෙනු ඇත. එසේම මෙහි සඳහන් සමහර ෆෝබියා සිංහලබෞද්ධයන්ට™ පමණක් විශේෂයෙන් ඇති ඒවා නොවේ.

10. බුද්ධිමත්ෆෝබියාව
මේ නම් බුද්ධිමතුන් කෙරෙහි ඇති බියයි. බුද්ධිමතුන් සොයාගැනීමේ අපහසුව වෙනම කතාවකි. පවතින ඕනෙම රජයකට හා එහි බත් බැලයන්ට ඕන කර ඇත්තේද 'සියල්ලම ඉතාම අගනේය හාමුදුරුවනේ' කියනා ජනතාවක් නිසා මේ ෆොබියාවට දේශපාලඥයන් ද කැමැත්තක් දක්වයි. ඕනෑම දෙයක් විචාර බුද්ධියෙන් බලන්නන්ට ඉතා පහසුවෙන් ලේබල් වැදෙනා නිසා හදුනා ගැනීමද දුෂ්කරය. මෙයට ආසන්නම හේතුව විය හැක්කේ ලංකාව ආගම මුල්කරගත් දේශයක් වීම විය හැක. විද්‍යාව හා විශ්වාසය සමාන්තරව ගලා යාම අපහසුය.මේ කරුණු කෙසේ වුවත් අප රටේ ජනතාව "බුද්ධිමත් ජනතාවකි".


9. ධනවත්ෆෝබියාව
ධනවත් වූ සියල්ලෝම ශ්‍රමය සූරා කන යක්ෂයන් බවත් මුදල් තම ජීවිතය කරගත් පරිභෝජනවාදීන් බවත් සිතීම මෙයට අයත් වේ. ධනවතුන්ගේ දේපල විනාශ කිරීම, ව්‍යාපාර බිඳ දැමීම වීර ක්‍රියාවක් සේ සලකන අතර විශාලම හානිය කළ කෙනා වීර පුරුෂයෙකි. පුද්ගල සංවර්ධනය හා ව්‍යාපාරික දියුණුව ලැබූ/ලබන ව්‍යාපාරිකයන් නිසැකවම හොරුන් හා අපරාධකාරයන් බවට පත්වේ.


8. වැඩදායකෆෝබියාව
බහුතරයක් රැකියාවට යන්නේ තමන්ට අයත් කාර්ය කිරීමට නොවෙන බව කවුරුත් දන්නා කරුණකි. නිකරුනේ කාලය ගත කිරීමට බොහෝ දෙනා ප්‍රවනතාවක් දක්වන අතර වැඩදායක පුද්ගලයන්ට ඉතා බියක් දක්වයි. අයිස් නොගසන්නන්ට බොහෝ අවස්ථාවලදී උපහාස/අපහාස විඳ ගැනීමට සිදුවන අතර ඔවුන්ම අවැඩදායක පුද්ගලයන් අතින් සිදුවන පාඩුව පියවිය යුතුද වේ. විශාල මට්ටමෙන්ද මෙය සිදුවන අතර මිහින්ලංකා ගුවන් සමගම හා හම්බන්තොට වරාය සාර්ථක නිදසුන් වේ.


7. මුස්ලිම්ෆෝබියාව
ජාතිවාදයේ නවතම මුහුණුවර මෙයයි, ප්‍රසිද්ධ ෆෝරමයකට ගිය විට මුස්ලිම් ජාතිකයන්ට අපහාස කරන ඉස්ලාම් ආගමේ වැරදි සොයා ජාතිවාදී උණ විකාරයෙන් දොඩවන්නන් ඕනෑ තරම් සොයා ගත හැක. නවතම තත්වය වන; මුස්ලිම් ජාතිකයන් ටොපි මගින් සිංහලයන්ව වඳ කිරීමේ සංවිධානාත්මක වැඩ පිළිවෙලක නියුතු නිසා මුස්ලිම් ජාතිකයෙක් ගැවුණු තැනකින් ඇඳුම් මිලදී ගැනීම කිසිසේත්ම නොකළ යුතුය. ගෝත්‍රය අනෙක් සියල්ලටම ප්‍රථමයෙන් පැමිණෙන නිසා ඔබත් මුස්ලිම් කඩ වර්ජනය කරන්න.


6. බෞද්ධෆෝබියාව
බෞද්ධයන් ලංකාවේ සිටින්නේ ඉතා අඩු ප්‍රතිශතයකිනි. මේ කියන්නේ නමට බෞද්ධ වූවන්, දෙමාපියන් බෞද්ධ නිසා ඒ ආගම ම අනුගමනය කරන්නන්, ප්‍රොතෙස්තන්ත කරණය වූ වික්ටෝරියානු බෞද්ධයන් හෝ හින්දු-බෞද්ධයන් නොව සැබෑවටම බෞද්ධයන් ගැනයි. සැබෑ බෞද්ධයන්ට ඊනියා බෞද්ධයන්ගේ මතවාද රීති බලෙන් පටවන අතර, සිංහල යන විශේෂණය බෞද්ධ යන පදයට එකතු විය හැක්කේ අනන්‍යතාවය හුවා දැක්වීමට පමණක් බව ඔවුන් නොදනිති. සිංහලබෞද්ධයන්™ බුදුන්ගේ දේශනාව වන හරි වැරැද්ද කුමක්ද යන්න තමන්ම විනිශ්චය කිරීමේ අයිතියට ගරු නොකරයි.


5. කාන්තාෆෝබියාව
බොහෝ සිංහල පිරිමින් කාන්තාවට බිය ය. කාන්තාවගේ නිරුවතට බිය ය. ඒ බිය වසාගන්නට උත්සහ දරන්නේ ප්‍රචණ්ඩත්වය මගින් හෝ කාන්තාව යටපත් කිරීමෙනි. කාන්තාවකට හදිසියේ අතවරයක් වුණහොත් එය එම කන්තාවම කළ (කොට ඇඳුම් පැළඳීම වැනි) අනුබලයක් නිසා සිදුවූ බවට සපත වන්නේත් අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදේශ ගතවීමට ඉඩ නොදෙන්නට නීති සම්මත වන්නේත් එබැවිනි. කාන්තා ඇඳුම් සම්බන්දයෙන් දක්වන බිය වෙනම මාතෘකාවක් වන අතර එහි වැඩි විස්තර මෙතැනින් කියවිය හැක.


4. බටහිරෆෝබියාව
මෙය සුලබ ෆෝබියාවකි (phobia) . ඇමරිකාව, එංගලන්තය ඇතුළු මුළු යුරෝපාකරයම (western counties) බල සිටින්නේ අප රටට වින කිරීමට (doing jinx) නිසා ඔවුන් නිරන්තරයෙන් (always) (ඒ කියන්නේ ඔවුන්ගේ අනෙක් වැඩ සියල්ලම පැත්තකට දාල) අපේ රටේ කුණු (garbage) ඇවිස්සීමට බලා සිටියි. ඒ නිසා මින් ඉදිරියට ලංකාවේ සිදුවන සෑම වැරද්දකටම නිසැක හේතුව (cause) බටහිර වේ. ඒ නිසා අපි බටහිර කුමන්ත්‍රණ වලට එරෙහිව (against) නැගී සිටිමු. "We Sri Lankans are condoming America!"


3. ඉන්දියන්ෆෝබියාව
බටහිර ෆෝබියාවට වඩා මෙය සංකීර්ණය. ළඟම ඥාතියා කියා වැළඳ ගන්නත් නරකම සතුරා කියා මුනුමුනු ගාන්නත් වැඩි වෙලාවක් අවශ්‍ය නැත. ලොකු අයියට කීකරු නංගි දඟ වැඩ කළ විට අයියගෙන් තරවටු ලබා අඬයි, එහෙත් කිසිවක් තනියම කරගත නොහැකි නිසා නැවත්තත් හුරතල් වන්නට අයියා ළඟටම දුවයි. එනිසා ඉන්දියාව පිළිබඳ කිසිවක් ප්‍රසිද්ධියේ නොකියා සිටීම ඇඟට ගුණය.


2. සාමෆෝබියාව
යුද්දයක් පවතින විට සාමය යන වචනය ඇසීම පවා ඇඟ කිලිපොලායන තරම් භීතියක් ඇති කර වීමට සමත්ය. "වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත, අවෛරයෙන් අවෛරය සංසිඳේ" යන බෞද්ධ පාඨය සිංහලබෞද්ධයන්™ අසා නැත, ඇසුවත් සත පහකට ගණන් ගන්නේද නැත. ඇයි යකෝ, අරෙහෙන් ගහද්දි අපිට උඩ බලන් ඉන්න කියලද කියන්නේ. මේක අපේ සිංහල රට බොලව්!


1. මානවහිමිකම්ෆෝබියාව
අප රටේ මිනිසුන්ට මානව හිමිකම් නැත, තිබුනත් අපට ඒවා උවමනා නැත කියනා පිරිසක්ද සිටියි. වර්තමානයේ ජාතින් වෙනසක් නොමැතිවම මානව හිමිකම් කඩවන අවස්ථා ඕනෑ තරම් දක්නට ඇතත් ඒවට සාධාරණයක් ඉටුවන බවක් පෙනෙන්නට නැත. එසේ කරනා පාලනයටම ආවඩන පිරිසකුත් ඇත. පෙළපාලි, උද්ගෝෂණ යනුද ඇත. (රූපවාහිනී වැඩසටහන් වලට කතාකොට තමන්ට මානව හිමිකම් නැතිව ජීවත් විය හැකියි කියනුද ඇත, රු 2500/= කින් මාසයක් නොමැරී සිටිය හැකියි කිව්වා සේ) තමන්ට මානව අයිතිවාසිකම් එපා යැයි නොකියා කියනා ජනතාවක් සිටිනා රට ආශ්චර්යක් හැර වෙන කුමක්ද?