Wednesday, October 5, 2011

"මම නරක වචනයක් කියන්නයි යන්නේ"



"දූ... දැන් ඔය වැලි ගොඩේ නැටුවා ඇති. යන්න, ගිහින් අද ටීච දුන්න හෝම්වර්ක් කරන්න." සඳුනිගේ අම්මා සඳුනිට කිව්වේ හත් වෙනි වතාවට වුණත් සඳුනිට නම් ගානක් වත් නැහැ. වැලි ගොඩේ සඳුනි අතරමන් වෙලා හිටියේ හරියට එයා අලුතින් හොයාගත්ත දූපතක අසිරිය බලනවා වගේ. වෙරළට ගොඩ වදින රළ සුදු පාට පෙන විසිරුවමින් සඳුනිගේ කකුලේ වදින හැටි, මද පවනට සඳුනිගේ කෙස් රූස්ස පොල් ගස්වල කොලත් එක්ක තරඟෙට නැළවුණු හැටි, ගලක් උඩට වෙලා කොන්ඩෙ පීරමින් හිටි දිය කිඳුරියෝ සඳුනිට කතන්දර කියල දුන්න හැටි, ඔය ඔක්කොම සඳුනි හිතින් මවාගෙන එයාගෙම ලෝකෙක ඈ තනිවුණා. 
එකපාරටම දුවගෙන ආපු ගෙදරටම සුරතලා පපියා වැලි ගොඩ හාරන්න ගත්තේ සඳුනිගේම හීන ලෝකෙටම එකතුවෙලා වගේ. හැබැයි වැලි දූපත හැඩි කරන්න පපියට එච්චර වෙලා ගත වුනේ නෑ. සඳුනි වැලි වලින් නෑවිලා.


"සඳුනි! මෙහෙට එනවා, මොකද ඔය කරන්නේ? යන්න ගිහින් ඇඟ හෝදගන්න." සඳුනිගේ තාත්තා කෑගැහුවම සඳුනි හීන ලෝකෙන් මිදිලා ගැස්සිලා නැගිට්ටා. ඒත් තාත්තගේ මූණේ තිබුනේ ලා හිනාවක්, ඒකට සඳුනිට තරහ ගියා. සෙල්ලම් කරන්න දෙන්නෙත් නෑ. දැන් හිනත් වෙනවා.


"මට ඕනේ නැහැ එහෙම කරන්න." සඳුනි ප්‍රකාශ කළා.
"ඔන්න මගේ හොඳ දූ දැන් ගිහින් ඇඟ හෝදනවා." වෙනදා තාත්තා සඳුනිට ඔහොම ආදරෙන් කතා කලහම සඳුනි ඒ කිව්වා දේ කරන්න යන්නේ තාත්තට උම්මා එකකුත් දීලයි. ඒත් මේ වෙලාවේ නම් සඳුනිට තවත් තරහ ගියා. සඳුනි තාත්තා දිහා බලලා රැව්වා.


"ඔයා ඔහොම කළොත් අර ආච්චිලගේ ගෙදර තියන වෙස්මූණක් වගේ වේවි." තාත්තා බරපතල කටහඬක් මවාගෙන කිව්වම සඳුනිට බය හිතුනත් ඒක පෙන්නුවේ නෑ. ඒත් ඈ රවන එක නම් නතර කළා. ඔය කතා අහන් හිටිය පුටුවකට වෙලා පොතක් බලමින් හිටි සඳුනිගේ අයියට හිනාවක් ගියා.
"මෝඩයා!" සඳුනි කෑගැහුවා. අයියා නංගිට දිව දික්කරලා විරිත්තුවා.
"සඳුනි නවත්තනවා, පුතා ආයේ කියන්නේ නෑ." ඒ පාර තාත්තා කිව්වේ දෙන්නටමයි.
"ඔයත් මෝඩයා එයත් මෝඩයා"


"සඳුනි! ඔයාට ඔහොම කතාකරන්න බැහැ." ගේ ඇතුලේ ඉඳන් ආපු අම්මා සඳුනිට අවවාද කළා.
"නැහැ, මට ඕනේ එකක් මම කියනවා."සඳුනිට මේ වැඩේ එපා වුණා. ඇයි දෙයියනේ හැමදාම මෙහෙම අනිත් අයට කීකරු වෙන්නේ කොහොමද. ඈට ඕනේ වුණේ ලොකු ළමයෙක් වගේ වැඩ කරන්න. අයියට ඔහොම හැමතිස්සෙම අම්මයි තාත්තයි අවවාද උපදෙස් දෙන්න යන්නේ නෑනේ. සඳුනිට එයාගේ වැඩ එයාට ඕනේ විදිහට කරගන්න ඕනේ වුණා. අම්මලාගේ තාත්තලාගේ කතාවලට එකතුවෙන්න ඕනේ වුණා. කොටිම්ම කියනවා නම් ඇයට ඕනේ වුණේ නිදහස් වෙන්න. ඒත් ඒක මේ ලොකු අයට නොතේරෙන හැටි. මහා ලොකුවට ඇඟ විතරයි මොලේ නැතිව ඇති.
"මම නරක වචනයක් කියන්නයි යන්නේ" සඳුනි කිව්වේ හයියෙන් අඩි පොළවේ හප්පන ගමන්.

එතකොටම මුළු පරිසරයම නිශ්ශබ්ද වුණා. තාත්තගේ මූණේ තිබුන ලා හිනාව අතුරුදන් වුණා. අම්මගේ ඇස් පිපිරෙන්න තරම් වුණා. අයියා පොත පැත්තකට දැම්මා විතරක් නෙමේ නැගිට්ටවුණා. පපියත් වැලි හාරන ඒක පැත්තකට දාල සඳුනි දිහා බැලුවේ කන් දෙක උස්සන ගමන්. 
"හොඳයි, ඔයාට කියන්නම ඕනෙනම් කියන්න." තාත්තා සන්සුන් ස්වරයෙන් කිව්වා.

සඳුනි ලොකු හුස්මක් අරන් අත මිට මොලවා ගත්තා.
"තමුසේ!" සඳුනි බෙරිහන් දුන්නා "තමුසේ තමුසේ තමුසේ"
ඔන්න, දැන්වත් හැමෝම ඇගේ තරම දැන ගනීවි.