Monday, May 22, 2017

අපේ ලොකුම ලොකු වැරදි 5ක්



1. අපිට පුරුද්දක් තියනවා අපි වැරැද්දක් කරාම "ඇයි අරයත් කළානේ" කියල තවත් ඊට සමාන වැරැද්දක් කරපු අයෙක්ව හරි අවස්ථාවක් හරි පෙන්නලා දෙන්න. මේක වෙන්නේ මෙහෙම පෙන්නලා ඒ මොහොතෙන් ගැලවිල යන්න හිතාගෙන. සමහර විට මේ මනුශ්‍ය ස්වභාවය වෙන්න ඇති. කොහොම වුණත්, කවුරු කළත් වැරැද්ද ම යි. තවත් අයෙක් කළ පමණින් හෝ ඒක සමාන්‍යය වූ පමණින් එය නිවැරදි දෙයක් වෙන්නෙ නෑ.

පාරේ කුණු නොදැමිය යුතු තැනක, නැත්තම් කුනු දැමීම බල්ලන්ට පමණක් සීමා වුණු තැනක කවුරුහරි කුණු දාල තියෙද්දි තව තවත් එතැනටම කුණු දාන්නේ, මාර්ග නීති කඩකරමින් යන වාහනයක් පස්සෙන් ඔවුන්ට බනින ගමන් තමනුත් නීති කඩකරමින් ඒ විදිහටම වාහන ධාවනය කරන්නේ, එක දේශපාලනඥයෙක් ගේ වැරදි දැකල ඔවුන්ව ගෙදර යැව්වට පස්සේ ඊට අලුතින් පත් කරපු කෙනාගේ වැරදි දකිද්දි කලින් ගෙදර යවපු කෙනාගේ වැරදි අමතක වෙන්නේ මේ පුරුද්ද නිසා.

2. අපිට අපි ගැන නැත්තම් අපි කළ හෝ නොකළ දේ ගැන වගකීමක් ගන්න බැහැ. මේක පිට කොන්දක් නැති කම ප්‍රශ්නයක් වෙන්න ඕන බොහෝ දුරට. ගෙදර, කාර්යාලය හෝ පාර්ලිමේන්තුව වෙනකල්ම කතාව මෙහෙම යි. තමන් අතින් වුණ හොඳ හෝ නරක ක්‍රියවක් ගැන ඒ වෙනුවෙන් පෙනීහිටල "මගේ අතිනුයි උනේ" කියල කියන්න අපේ තියෙන්නේ මැලි කමක්. වැරද්දේ ප්‍රතිඵල බරපතල වෙන තරමට මේ පෙනී සිටීම අනුලෝමව අඩු වෙවී යනවා. ඇන්තිමේදි එක් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බොලේ පාස් කරනවා.

මීතොටමුල්ලේ සිද්ධිය අන්තිමට වැරදි කරුවෝ නැති "ස්වභාවික විපතක්" ගණයට වැටුණා. මේ කියන්නෙ ටොපි කොලේ කින් අපිත් මේකට දායක වුණා කියන කතාව නෙවෙයි. ඊට වඩා එහාට ගිහින් මේ අපද්‍රව්‍ය කළමනාකරනය වෙනුවෙන්ම සිටින සහ පත්කළ අයගෙන් මේ සම්බන්දව ප්‍රතිඵල ගෙන දෙන යමක් සිද්ධියෙන් පස්සෙ වත් වුණේ නෑ කියන එක. වැරැද්ද පිළිගැනීම වැරැද්ද නිවැරදි කර ගැනීමේ පළවෙණි පියවර. වැරැද්ද "නොවුණු" තැන නිවැරදි වීමකුත් නෑ. මේ නිසා ආයෙත් අලුතෙන් අලුත් තැනක කුණු කඳු කඩා වැටෙන දවසක් එන්න වැඩිකල් යන්නේ  නෑ.

3. නරියා මිදි තිත්තයි කිව්වේ මිදි ඇත්තටම තිත්ත රහ නිසා නෙමෙ යි. නරියා කොච්චර උත්සහ කළත් මිදි කන්න බැරි වුණ නිසා. තමන් ඉතාම ආශා කරපු දෙයක් ලබා ගැනීමට බැරි වීමෙන් ඇති වුණ හිඩස වැහෙන්න කෝපය පැමිනීම නිසා. අන්තිමේදී ආශාවේ වස්තුව වෛරයේ සංඛේතය වෙනවා. සමහර පිරිමි ලස්සන කෙල්ලන්ට "බඩුව" කියන්න හේතුවත් ඒකයි. ඒ කෙල්ල එක්ක යහන්ගත වෙන්න අවස්ථාවක් නොලැබුනු, බොහෝ දුරට නොලැබෙන නිසා. කෙල්ලන්ගෙ කන්‍යාභාව ය යි, චරිත සහතිකයි හොයන්නේ තමා තුලම හිරවුණු සැඟවුනු ආශාව නිසා. ඒ ආශාව මුදාහරින්න වෙනත් ක්‍රමයක් උවමනා නිසා.

මේ මෑතකදි ලොකුවට කතා බහට ලක්වුණු නීතිඥවරිය ගැන අදහස් වල තියෙන්නෙත් මේකම තමයි. තවත් දිගට කිව්වොත් මේක ඕනවට වඩා ලොකු සිද්දියක් වෙන්නෙත් මේ නිසාම යි. ඇය "බඩුවක්" හෝ එහිම අනිත් පැත්ත "වීරවරියක්" වෙන්නේත් මේ කතාවෙම දිගුවක් විදිහට. ඇය අමාරුවෙන් කැපවීමෙන් ඉගෙන ගත්ත පලමු කාන්තාව වත්, කාය වර්ධනය කළ පලමු කාන්තාව වත්, ඇඟ පේන්න ෆොටෝ ගත්ත පලමු කෙල්ලවත් නොවුනට මේතරම් ප්‍රතිචාර ලැබුනේ අර යටපත් ආශාවට තට්ටුවක් මේ සිද්දියෙන් ලැබුන නිසා. ඇයට හොඳ හෝ නරක කියමින් උවමනාවට වඩා  කෑගහපු අය දෙපිරිසෙම දකින්නට තියෙන්නෙ මේ ලක්ශන.

4.පහුගිය දවසක තිබුන සයිටම් විරෝධතාවය හා ඊට විරුද්ධව ගත් ප්‍රතිචාරය නිසා සෑහෙන්න පිරිසක් අපහසු තාවයට ලක්වුණා. අහල පහල ගමන් කරපු ගැහැණු මිනිස්සු ළමයි විතරක් නෙවෙ යි සත්තුන් වත්. ඊට පැය කිහිපයකට පස්සේ මුණ ගැහුණු ටුක් ටුක් රියදුරා රතු වුණු ඇස් ඇතිව කිව්වේ "සත්තුන්ට වගේ ගහනවා පව්!" කියල. පසුබිමින් ගමන් ගත්ත අය එහෙම කම්පනයට ලක් වුණා නම් එහි සිටි අය ගේ තත්වය හිතා ගන්න පුලුවන්. තමන් විශ්වාස කරන හරි දෙය වෙනුවෙන් පෙනී සිටින එක ඒ වෙනුවෙන් සටන් කරන එක වීරකමක් විදිහටයි මම දකින්නෙ. මෙහි "හරි දෙය" නිරපේක්ශවම හරි ද යන්න වෙනම කතාවක්.

විරෝධතා නොකරන්න උසාවි නියෝග ගැනීම කොච්චර සදාචාරත්මක කියන එකත්, නියෝගය ගත්තට පස්සේ ගහල එලවන එක කොච්චර නිවැරදිද කියන එකත් අපි සයිටම් විරෝදයට පක්ශ විපක්ශ හැමෝම හිතල බලන්න ඕන. මොකද මේ වැඩේම අපි නිවැරදි යැයි කියල හිතන විරෝදතාවයකටත් වෙන්න පුලුවන් හින්ද. ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න ඕන තරම් හැකියාව තිබෙන නිසා.

කොහොම උනත් මේ හතරවෙනි වැරද්ද ඒ ගැන නෙවෙයි. මේ අන්ධ අනුකරණය, අන්ධ භක්තිය නැත්තම් කරන්නන් වාලේ පිළි ගැනීම ගැන. මේ කියන්නේ ආගමික භක්තිය ගැන නෙවෙ යි, මට අනුව නම් හැම ආගමකම තියෙන්නේ අඩු වැඩි වශයෙන් ඕක. ඒ නිසා විශේෂයෙන් ඒ කියන්න උවමනාවක් නෑ. මේ කියන්නේ දේශපාලන මතවාද වෙනුවෙන් පෙනී සිටින එක ගැන. සිරසෙන් කරපු වීඩියෝවක සයිටම් විරෝධය වෙනුවෙන් යන සරසවි සිසුන්ගෙන් අදහස් විමසද්දි කවුරුවත්ම ඒ වෙනුවන් වචනයක් වත් කියන්නේ නෑ. සමහර වෙලාවට එහෙම නොකර ඉන්න කියල ඉහලින් ඔර්ඩස් ලැබුනා වෙන්නත් හැමොම කතා වෙලා සිරස (නැත්තම් සමස්ත මාධ්‍යයන් ) වර්ජනය කිරීමක් හැටියට වෙන්නත් පුලුවන්. කොහොම වුනත් කාටවත්ම මුකුත් කීයා ගන්න බැරි වීමෙන්පෙනෙන්නේ අන්ධ අනුකරණය නෙවෙයිද

සයිටම් විරෝධය ගැන හෝ සයිටම් පක්ශපාතී වීම ගැන මට පෙනෙන්න තියෙන්නේ මතුවී පෙනෙන චරිත පෙනීසිටින්නේ ඒ ඒ පුද්ගලයන්ගෙ පෞද්ගලික උවමනාවන් හා න්‍යාය පත්‍රයන් මත කියන එක. පක්ශ වීමට හෝ නොවීමට ඔවුන්ට විවිද හේතු දකින්ට ලැබුනත් ඒ ඒ පුද්ගලයන් පසු පස යන පිරිස්, ශිෂ්‍ය පිරිස් කරන්නේ, ඔවුන් පෙනී සිටින්නේ ඇත්තටම තමන්ට උවමනා දේට කියල මට ඔවුන් කරන කියන දෑ වලින් පෙනෙන්නේ නෑ. කාගෙවත් අත්කොලුවක් වීමට වඩා එයින් ඉවත් වී සිටීම ගුණ දායක යි.

5. මමත් ඇතුලුව අපි අනුන්ව විවේචනය කරන්න හරි කැමති යි. යමක් සිද්ද උනාට පස්සේ මත අදහස් දක්වන්න, වෙන අයට ඇඟිල්ල දික්කරන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. තමන් වියුක්තව බාහිර ව ලෝකය දිහා බලලා අනිත් අයට මොනවහරි කියල තමන් පැත්තකට වෙන්නයි හැමෝම බලන්නේ. තමනුත් ඒ වැරැද්දෙම කොටසක් ද කියල හිතල බලන්න උත්සහ ගන්නේ නෑ. තමන් බනින දේශපාලකයන් තම්න් විසින් ම පත් කරපු තමන්ගෙම නියෝජිතයන් බව ගොඩක් අයට අමතකයි.

ක්‍රමයේ වැරද්දක් ගැන කියන, දේශපලනය හා දේශපාලනඥයන් ගැන ද්වේශයෙන් කතාකරන, පාලකයන් හා වගකිය යුත්තන්ටම ඇඟිල්ල දික්කරන අය හැමොටම අමතක වෙන දෙයක් තම යි තමනුත් ඒ ක්‍රමයේ ම පුරුකක් බව. තමනුත් ඒ වැරැද්දම කරන දැන හෝ නොදැනුවත්ව දායක වෙන්න පුලුවන් බව අපි නොසලකා හරිනවා. තමන් වැරැද්දක් කරන ගමන් අනුන්ගෙ වැරැදි හොයන්න යාම කුහක කමක්, කපටි කමක්. සමාජයක් ගොඩනැගෙන්නේ ස්වාධීන පුද්ගලයන් රාශියකගේ එකමුතු වෙන් නිසා තම තමන් වඩා නිවැරදි වෙන්න උත්සහ කිරිමෙන් හැමෝම හිතන වඩා හොඳ සමාජය, වඩා හොඳ රට හදන්න පුලුවන් වේවි.

පසු සටහන: මේ වැරදි බොහෝ විට එකිනෙකට සම්බන්ද යි. එකිනෙක අත් අල්ලගෙන තමා පිටතට එන්නේ. සමහර විට එකක් නිසා එකක් ඇති වෙනවා වෙන්නත් පුලුවන්. කොහොමහරි මේ උත්සහය වැරදි කියල ඍනාත්මක වීම නෙවෙ යි. මේ කියන්නේ ස්වයං විවේචනයක් කරනගන්න පුලුවන් තරමට අපි නිහතමානි වෙන්න ඕඅන කියල. විවේචන වලින් පාඩමක් ඉගෙන ගන්න ඕන කියලා. තමන්ගෙ වැරදි අඳුන ගැනීම නිවැරදි වීමේ පලවෙනි පියවර වන හින්දා. ඉතින් හැමෝටම නිවැරදි වීමේ ගමනට සුබ පතුම්.   

No comments:

Post a Comment