Monday, March 26, 2012

වීරයා මැරිලා නෑ

වීරයා මැරිලා නෑ, ඒ වුණාට නිශ්චිත වශයෙන් ජීවත් වුණෙත් නෑ. මේ වෙලාවේ වීරයා හිටියේ නිදිගතව. ලනු ඇඳක පැද්දී පැද්දී අනාගත ජනධිපති වීමේ සිහිනයක ආශ්වාදය ලැබුවා. වෙනසකටත් එක්ක ඔහු දිව්රුම් දුන්නේ මහා ජනකායක් ඉදිරිපිට. අලුත පත්වුණ ජනාධිපතිවරය ට ඔවුන් ඔල්වරසන් දුන්නා. උපදේශකයෙක් ඇවිත් මංගල කතාව කරද්දී 'බුද්ධිමත් ජනතාව' කියන වචනය නිතර භාවිතා කළ යුතු බව මතක් කළා. දිවුරුම් දුන්නට පස්සේ ජනතාවට අතවනපු වීරයා කතාවට සුදානම් වුණා. අවුරුදු හතකට කලින් තිබුණු බෝම්බ බය තිබුනේ නැති වුණත් ආරක්ෂාව වෙනුවෙන් වෙඩි නොවදින වීදුරුවක් තැබිය යුතු බව කියා සිටියේ වීරයාගේ නිලි බිරිඳ. 

ඡන්දෙට කලින් පත්තරේ සාකච්චාවක් කළ බිරිඳ තමන්ගේ සැමියාගේ නම හැම උත්තරයකට ඔබ්බවන්න තරම් පරිස්සම් වුණා. වීරයා ඇයව විවාහ වෙන්නට ඉස්සර ඇයව පැහැරගෙන යාම සම්බන්දයෙන් ප්‍රශ්නයකට නිළිය මහා හයියෙන් හිනා වෙලා උත්තර දුන්නේ 'අනේ මේ අපේ එක්කෙනාගේ පිස්සු වැඩ' කියල. කොහොමින් කොහොමින් හරි ඒ සාකච්චාව සුදානම් කරලා තිබුනේ වීරයාගේ සංවිධායකවරයෙක් කියල දැන ගත්තම නිලියට කේන්ති ගියත් තරහ පිට කරගන්න අවස්ථාවක් නැති කමෙන් කට වහගත්තා. වීරයා ඡන්දේ දිනුවා කියල දැන ගත්තට පස්සේ ඒ කේන්තිය පිට වුනේ කඳුළු විදිහට. පාක්ෂිකයෝ කවුරුත් ඒ කඳුළු බාරගත්තේ සතුටු කඳුළු විදිහට. වීරයා ඇවිත් නිළියව අල්ලලා නළලට හාදුවක් දුන්නම නම් නිලියට ඇඬුනේ ඇත්තටම යි. ඒ ඇඬිල්ලෙන් වීරයාට කලින් එල්ල වුනු බාල දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව දිය කරන්න වුණත් පුළුවන් වුණා. ජනාධිපති ආර්යාව වීමේ සතුටින් හැම මාධ්‍ය ඡායාරූපයකටම පෙනේ සිටි ඇය හැම අමුත්තෙකුටම කෑම බීම සපයන්න තරම් නිරහන්කාර වුණා.

ඡන්දේ දිනන එක අමාරු වුනේ නෑ. ඒ වෙද්දී අනෙක් පක්ෂ නැත්තටම නැති වෙලා ගිහින් නිසා තරගයක් තිබුනේ තමන්ගේ පක්ෂයෙන්ම තමයි. වීරයාට කලින් ජනධිපති වේවිමයි කියල හිතපු දෙන්නා තමන්ගේ ඥාතිත්වයත් අමතක කරගෙන ඇනකොටා ගනිද්දී වීරයා නම් ඒවට මුකුත් කියන්න ගියේ නෑ. අන්තිමේදී එක්කෙනෙක් වෙඩි කෑමෙන් මිය යද්දී අනෙකා හිරේ යන්නේ නඩු අහන්නෙත් නැතිව යි. සිද්ධි ඔහොම වෙද්දී කවදාවත් වැටෙන්නේ නෑ කියල හිතගෙන හිටපු සහෝදරත්වයේ පාලනය කඩා වැටෙන්න ගත්තේ හිටපු රජතුමාට ආයේ පත්වෙන්න තිබු අවස්ථාව අහිමි කරමින්. ඔය ජල්තර අස්සේ එලියට එන වීරයාට පක්ෂ නායකයා වීමේ අවස්ථාව ලැබෙන්නේ වාසනාව නිසා කියලයි ගොඩක් දෙනෙක් කිව්වේ. ඔහුට අකමැති අය පක්ෂයේ ඕන තරම් හිටියත් ඔවුන්ගේ පශ්චාත් භාගය කෙලින් නොවීමේ රෝගය නිසා 'එසේය ස්වාමිනි' කියන්න ගෝලයෝ රොත්තක් නිර්මාණය වුණේ ඉබේටමයි. පක්ෂයේ නමට ලැබෙන ඡන්ද ගැන කිසි සැකයක් නැති වුණත් බරපතල විදිහට වීරයා තුලින් ජනාධිපති ස්වරූපයක් මතු කළ යුතු නිසා විවිධ ඡන්ද ව්‍යාපාර කළ යුතු වුණා. ඒ අතරින් 'වෙඩි උණ්ඩ තුනක් හිසට වැදිලත් රට වෙනුවෙන් බේරුණු නායකයා' කියල කළ රූපවාහිනී වාර්තා වැඩසටහන ගොඩක්ම ආකර්ශනීය වුණා.

ඒ වෙද්දී විපක්ෂයේ නම් ප්‍රශ්න සෑහෙන දුරට අඩු වෙලා තිබුනත් අලුත පත් වූ පක්ෂ නායකයට ජනතාව ඇද ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. පෞද්ගලික මාධ්‍යයක් ඒ සඳහා දිවා රෑ වෙහෙස වුණත් ඒවායින් කිසි ප්‍රයෝජනයක් ලැබුනේ නැති තරම්. එක කාලයක ජාතියක වීරයෙක් වූ කෙනෙක් කවුරුත් නොදැනම මියගියේ හිරෙන් නිදහස් වෙලා දින කිහිපයකට පස්සෙයි. හිටපු පක්ෂ නායකයි හිටපු ජනාධිපතිවරියකුයි වාමාංශික පක්ෂයක නායකයෙක් වෙනුවෙන් තැන තැන කතාකරව ඇහුනාට ප්‍රසිද්ධ වේදිකාවේ දකින්නවත් හිටියේ නෑ. ජනතා කැමැත්ත අඩු වේවි යද්දී රජතුමා කළේ තම බාල කුමාරයාගේ හඳට යෑමේ දොළ දුක සංසිඳ වන්න යැංකි රටට පිටත් වීම. ඔය කොයි කොයි දෙයිනුත් වුණේ වීරයාගේ ජය තහවුරු වීම ම තමයි.

තමන් ආපු දුර මතක් වෙලා වීරයාගේ නෙතට කඳුලක් නැගුනා. ඒකනම් හදවතින්ම ආ සුසුමක්. ඕනෙම පර බල්ලෙකුට වුණත් හර්ද සාක්ෂිය අත ගෑමෙන් ඔය වගේ කම්පාවීම ඇති වෙන්න පුළුවන් බව වීරයාට දැනුනා. ලැබුණු අවස්ථාවෙන් රටට ඇත්තටම වැඩක් කළ යුතුයි කියල හැඟීමක් ඇති වෙලා නැති වෙලා ගියේ ඒ එක්කමයි. ජනතාව ඔහු කතාව ආරම්බ කරන තුරු බලන් හිටියේ උපේක්ෂාවෙන්. තමන් පළාත් සභා මන්ත්‍රී කෙනෙක්ව සිටිද්දී තමන්ගේ පුතාට රස්සාවක් ඉල්ලගෙන ආපු වයසක අම්මෙක් ඉස්සරහිම්ම හිටගෙන හිටියේ මුහුණේ කිසිම හැඟීමකින් තොරව. තමන් ඔහුට රැකියාවක් දුන් බවත් ඡන්දේ දවසක වුනු සිදු වීමකින් තමන්ව බේරලා ඔහු හිරේට ගිය බවත් වීරයා අමතක කරන්න අසාර්ථක උත්සාහයක යෙදුනා. ඔය අතරේ එකපාරටම ඊළාම් කොඩියක් උස්සගෙන ජනතාව අතරෙන් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙක් මතු වෙනවත් එක්කම ආරක්ෂක නිලධාරීන් හතර අතටම වෙඩි තියන්න ගත්තා. කලබල වුණු වීරයා එකපාරම ඇදගෙන වැටුනේ ලනු ඇඳෙන් බිමට හීනෙත් ඉරාගෙන.

දාඩිය පිහමින් නාන්න යන්න සුදානම් වෙද්දී ඈත රටක නතර වෙලා හිටපු ගෙදර අක්කා කතා කළේ මුණේ හිනාවකුත් එක්ක "ආ මල්ලි ඔයා නැගිට්ටද?  අන්න ලොක්කා කතා කළා. තව මාසෙකින් විතර යන්න ලැහැස්ති වෙන්න කිව්වේ"

Saturday, March 24, 2012

සමලිංගිකයන්ව එල්ලා මැරිය යුත්තේ ඇයි?

1. සමලිංගිකත්වය ස්වභාවික නොවේ. සැබෑ සිංහලයන් දන්තාලේප, යට ඇඳුම්, රූපවාහිනිය වැනි අස්වාභාවික දේට ප්‍රියකරන්නේ නැත.

2. සමලිංගිකත්වය නීති ගත කිරීමෙන් මිනිසුන් සමලිංගිකයන් වීමට අනුබල දෙයි. ඒ කෙසේද යත් උස පුද්ගලයන් සමග රැඳී සිටීමෙන් කෙනෙකුට උස යාමට හැකිවාක් මෙනි.

3. සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් විවිධ ආකරයේ උන්මත්තක හැදියාවන්ට දොර විවර වේ. සතුන්ට නෛතික අයිතියක් හා මානුෂික අයිතිවාසිකම් ඇති නිසා මෙන්ම විවාහයට අත්සන් තැබිය හැකි නිසා සමහර මිනිසුන් තම සුරතල් සතුන් සමග පවා විවාහ වීමට උත්සහ දරනු ඇත.

4. විෂමලිංගික විවාහ රීති කිසිකලක වෙනස් වී නොමැත. කාන්තාව තවම චංචල දේපළකි, කල්ලන් තවම වහලුන් නිසා සුද්දන්ව විවාහ කරගැනීම පාප සහගතය, දික්කසාදය කියා දෙයක් නොමැත.

5. විෂමලිංගික විවහයන්ගේ අර්ථය සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් හීන වේ. දවසින් දෙකෙන් නිමවෙන විවාහ වල ගෞරවාන්විත බවට හානි වේ.

6. විෂමලිංගික විවාහ වලංගු වන්නේ ඔවුන්ට දරුවන් ලැබීමේ හැකියාව නිසා ය. සමරිසි ජෝඩු, වඳ ජෝඩු හා වයසක පුද්ගලයන්ට විවාහ වීමට ඉඩ ලබා දිය යුතු නැත. ලෝකයට තව දරුවන් විශාල ප්‍රමාණයක් අවශ්‍යවන අතර අනාථ නිවාස වල ඉඩ තව ඕනෑ තරම් ඉතිරිව පවතී.

7. පැහැදිලිවම සමරිසි ජෝඩු සමරිසි ළමුන් පමණක් හදනවා ඇත. මක්නිසාද යත් විසමරිසි ජෝඩු හදන්නේ විසමරිසි ළමුන් පමණක් නිසාවෙනි.

8. මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි. සිංහලබෞද්ධයන්ට අනුව සමලිංගිකත්වය කියා දෙයක් නොමැත. ලංකාවේ තිබිය යුත්තේ/සිටිය හැක්කේ සිංහලබෞද්ධයන්ගේ අනුමැතිය ලද දේ/අය පමණකි.

9. දරුවෙකුට සෑමවිටම මව හා පියා කියා පැහැදිලි ආදර්ශමත චරිත දෙකක් අනිවාර්යයෙන් සිටිය යුතු ය. තනි මව තම දරුවා සමග සිටින විට තාත්තලා වීමට සුදානම් පිරිමින් ඕනෑ තරම් ඉන්නේ එබැවිනි.

10. සමලිංගිකත්වය සමාජ සම්මතයන්ට පටහැනිය. අපට කිසිවිටක නවතාවන් බාරගත නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාධිපතිට 'රජු' කියා අමතන්නේත්, 'රජු' පසුපස යන වන්දිභට්ටයන් සිටින්නේත්, විවාහයකදී කුලය අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේත්, ස්ත්‍රීවාදය යක්ෂණියන් බිහිකරනවා යැයි සිතන්නේත් එබැවිනි.

Friday, March 16, 2012

සමාජවාදියා ස්වයං වින්දනයේ යෙදෙ යි.

නලාව නාද වෙයි. එය සෑම දිනකම සුපුරුදු වේලාවකදී හඬ නගයි. නලාවේ උපත කිසිවෙකුට මතක නැත, නැතිනම් ඔවුන්ට මතක තබා ගැනීමට උමනාවක් නැතුවාද විය හැක. කෙසේ හෝ ඒ ශබ්ධය ඒ ගම (එය නිශ්චිතව ම ගමක් යයි කිවහැකි කෙනෙකු නැත, එය නිවාස රාශියකින් පිරුණ සංවර්ධනය කිසිදා ලඟාවීමට අවශ්‍ය නොවූ පරිසරයකි) තුල ජීවත් වන්නවුන්ගේ ජීවිතය පිලිබඳ සංකේතය කි. නලාව ඔවුන්ගේ නුල් සෙලවූ සැනින් ඔවුන් නැටීමට පටන් ගනියි. රූකඩ ජීවිත ගත කිරීම ඔවුන්ට පහසුවක් බව පිටින් බලන්නෙකුට සිතෙන වාර අනන්ත වන අතර තමාගේ ජීවිතයේ වගකීම තමන් අතට ගැනීමට ඒ ගම්මු මැලිබවක් මෙන්ම බියක් දක්වති. නලාවේ ස්වරය (නැතහොත් ස්වරයක් නොමැති බව) මරණාසන්න තිරිසනෙකුගේ බෙරිහන් දීමට ඉතා ආසන්න වන අතර ඒ ගම තුල ජීවත් වන්නන්ගේ ජාතික ගීය එය වෙයි. ඔවුහු තමගේ ජාතික ගීයට ආශා කළහ.

ගම මධ්‍යයයේ විශාල කර්මාන්ත ශාලාවකි. ගම්මු සියල්ලෝම එහි සේවය කරති. මීට පෙර බොහෝ අවස්ථාවලදී අසා ඇති පරිදිම හාම්පුතුන් සේවකයන්ගේ ශ්‍රමය සූරා කන අතර ගම්මුන්ට කිසිවිටක තමන්ගේ වෙහෙස වීමට සරිලන වැටුපක් හිමි වුයේ නැත. එහෙත් මෙහෙදී අනෙක් කතාවන් අතරින් වෙනස් වන අංගයක් ඇත. එනම් මෙහි සිටින කිසිවෙක් මේ අසාධාරණ ක්‍රමය තුලින් නිදහස් වී සාධාරණය ළඟා කර ගැනීමට උත්සහ නොකරයි. නැත නැත. සමාවන්න, අසාධාරණය වෙනුවෙන් සටන් කරන්නට පෙළඹුණු පුද්ගලයෝ කිහිපදෙනෙක්ම සිටියහ. එහෙත් ඔවුහු සාධාරණය ළඟා කරගනු වෙනුවට අසාධාරණය වෙතටම එක් වුහ, දෙවියන්ට ස්තුති වේවා! අනුන්ට කෙසේ වෙතන් තමන්ට සාධාරණය ඉෂ්ට කරගැනීමේ අදහසක් සමාජවාදියාගේ සිත තුල පහළ වුයේ මෙවැනි පසු බිමක් තුලය.

ඔහු එදින වැඩබිමට නොයා එක්වරම ගියේ කර්මාන්ත ශාලාවේ හිමිකරු හිඳින කුටිය වෙතය. එම 'කුටිය' ඉතා සැප පහසු පරිදි සකසා තිබු අතර කිසිවෙකුට පලක් නැති කුඩා නිර්මාණ වලින් හැඩගැන්වී ඇත. හිමිකරුවාගේ කාමරය තුලට යාමට වන්නේ හමුදා බටයන් පෙළක් පසු කරගෙන නිසා ප්‍රභූවරුන් හැරුණු විට සාමාන්‍ය පුද්ගලයන්ට යාමට අවස්ථාවක් උදා වුයේ නැත. එහෙත් මේ සමාජවාදියා වාසනාවන්තයෙකි, එදින ආරක්ෂක නිලධාරීන්ගේ ස්වභාවය සැහැල්ලු වී තිබුණි. ඔහු කෙමෙන් කෙමෙන් හිමිකරු වාඩිවී සිටි මේසය හා පුටුව වෙත ඇදුනි. හිමිකරුට මුහුණක් තිබුනේ නැත, වත තිබිය යුතු තැන හිස් තැනකි. සැබෑවට නම් කිසිවකුගේ මුහුණ අතුරුදැන් විය නොහැක, එහෙත් විටක මෙසේ වන්නටද හැකිය; වැඩබිමෙහි වැඩ කළ තම වයසක මාමාගේ අත අබලන් වූ යන්ත්‍රයකට හසුව තුවාල ලැබූ විට ඒ සඳහා කිසිඳු උපකාරයක් හිමිකරුගෙන් නොලැබිණ, නිවාඩු අවශ්‍යනම් ගතහැකි වූ නමුත් ඒ පඩි රහිත ඒවා විය. කම්පනයට පත් වූ සමාජවාදියා වර්ජනයක් සංවිධානය කළ නමුත් හිමිකරු ඇවිත් කළ තර්ජනාත්මක කතාවට බිය වුවන් නිසා එය අසාර්ථක විය. එතැන් පටන් ඔහු හිමිකරු කෙරෙහි ඇති කරගත් වෛරය නිසා ඔහුට ඒ මුහුණ දැක ගත නොහැකි වන පරිදි දෘෂ්ටි දෝෂයක් ඇති වූවා වන්නට ඇත.

"මට මෙතනින් නිදහස් වෙන්න ඕනේ" සමාජවාදියා තම කට හඬ අවදි කළේය.
"නිදහස ඉල්ලුවට ලැබෙන්නේ නෑ, හොයාගන්න ඕනේ"
"ඔය කිව්වේ මට මෙතනින් අස් වෙන්න බෑ කියලද?"
"පුළුවන්. ඒත් දැන් උඹ මෙතනට ආවේ අස් වෙනවා කියන්න නෙමෙයිනේ."
"නෑ, අස් වෙනවා කියන්න තමයි."

සමාජවාදියා එතැනින් පිටව ගියේ තමා හැසිරුණු බොළඳ ස්වභාවය ගැන තමාටම දොස් පවරගෙනය. ඔහුට මීට වැඩ වැඩි යමක් කිරීමට උවමනා විය. හිමිකරු කෙතරම් ආත්මාර්ථ අන්දමින් කෘර අයුරින් හැසිරෙනවාද යන වග මතක් කර දී ඔහුට රිද වීමට ඕනෑ විය. එහෙත් අනවශ්‍ය අන්දමින් කලබල වීම නිසා ඔහුගේ බලාපොරොත්තුව සපල වූයේ නැත. කෙසේ වුවද ඔහු දැන් නිදහස් මිනිසෙකි. කාගෙවත් අණට යටත් වියයුතු නැත. ඔහු කීකරු බවට වෛර කළේය. ඔහුගේ ශ්‍රමය සූරා කමට කෙනෙකුද දැන් නැත. එසේම ඔහුට දැන් රැකියාවක්ද නැත. රැකියාවකින් තොර අනාගතයක් ගැන සිතීම ඔහු පසකෙට දැමු ඔහු ටික වෙලාවකට පෙර උපයාගත් නිදහස සැමරිය යුතු යැයි සිතා අවන්හලට ඇතුළු විය.

අවන්හල සතුව තිබු වටිනාම බීර වර්ගය ඉල්ලුම් කළ ඔහු එයා තොල ගාන්නට වූයේ නිදහස ලැබීම ගැන සතුටු වෙමිනි. අවන්හල් පාලකයා ඔහු දෙස පුදුමෙන් බලා සිටියේ ඔහු උන්මත්තක දැයි සිතා ගන්නට බැරිව මෙනි. සමාජවාදියා පාලකයාව නොසලකා හැරියේ තමා නිදහස සමරනවා යැයි කිසිවෙකුට කීම අනවශ්‍යය බව පිළිගත් නිසා වෙනි. වටපිටාවේ සිටි කිසිවෙක් සතුටින් සිටින බවක් නොපෙනුණි. සමාජවාදියාට ඔවුන් කෙරෙහි ශෝකයක් ඇති වී නැති වී ගියේය. නිදහස තමන් ළඟ කර ගත යුත්තක් මිස අන් අය ගෙනත් දෙන තුරු බලා නොසිටිය යුතු සේම එසේ ලැබෙන්නේ ද නැත. බීර වීදුරුවට මුදල් ගෙවූ ඔහු තම නිවාස වෙත පැමිණියේය. ඔහුගේ මව ඉදිරිපස ඇති එකම පුටුවට බරවී පාර දෙස ජීව ගුණය සිඳුණු ඇසින් බලා සිටියාය. තමා රැකියාවෙන් ඉවත් වුණු බව තමා මවට කියනවාද නැතිද යන වග ඔහුට සිතාගත නොහැකි විය. අවසානයේ එය කීම පසුවට කල් දැමිණ.

"කන්න දේත් ඉවරයි, පඩි ලැබුනමවත් ගමු." නිවසට ඇතුළුවන විට මව සමාජවාදියාට සැල කළාය. ඔහුට සුසුමක් පිට වූයේ අවිඥානිකව ය.

Monday, March 5, 2012

සෙන් මොහොතක් අතර | Moment of Zen


මේ දවස් වල මම අහන වඩාත්ම කැමති සින්දුව තමයි ඔය. මම සිංදුවකින් බලාපොරොත්තු වෙන හැමදේම මෙතන තියනවා; සංගීතය, කටහඬ, ගායනය, පද රචනය, රූප රචනය (අවශ්‍යම නොවුණත්). ඒ වගේම ගායිකාව Lana Del Rey ලස්සන වීම බෝනස් එකක් විදිහට සලකන්න පුළුවන්. මේ සින්දුව මාව ඒ තුලට ඇදගෙන අපිව විනාඩි කිහිපයක සමාධියක තබා ගන්නවා. ඒක එක්තරා විදිහක ධ්‍යානයක්, සෙන් මොහොතක්. මේ කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් නිසා පිටින් බලන කෙනෙක්ට මේ අතිශෝක්තියෙන් කීමක් විදිහටත් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් තර්කය තමයි සංගීතය අපිව මේ මොහොතේ ජීවත් කරවන්න පුළුවන් කියන ඒක. මේ මොහොතේ සිහිය තබා ගැනීම භාවනාවේ ප්‍රධාන අංගයක්.



මේ සින්දුවේ තියෙන්නේ බොහොම අතීතකාමී ගුණයක්. ඇය අභාෂය ලබා ඇත්තේ හැටේ දශකයෙන්, ඒ වගේම ඇයම ලියු පදරචනා කාව්‍යාත්මක යි. ඇගේ පෞද්ගලික විස්තර ඇතුල් කරලා මේ විදිහට සින්දු කීමේ පසුබිම හැදුන හැටි හඳුනාගන්න පුළුවන් වුණත්, මම ඒවා කියන්න යන්නේ නෑ. මොකද එය අනවශ්‍යයි, උවමනා කළේ සංගීතයේ ඇති සංවේදනීය ලක්ෂණයක් කීම පමණ යි.

* * * * *

දවසක් මම කොටුවේ ඉඳල ගම්පහට යනකොට යන්න ලැබුනේ බොහොම හිමින් යන පරණ දුම්රියක්. ඒකෙ ඔය ගුණාංග නිසාම එක එක නම් හිටන් හැදිලා තිබුණ මම හිතන්නේ. කෝච්චිය කොටුවෙන් පිටත් වෙන්නේ 6.15 ට විතර. මට ඉඳගන්න ලැබුණා. කතාකරන්න යාලුවෙක් වත් කියවන්න පොතක්වත් තිබුනේ නැති හින්ද මට වුණේ ජනේලෙන් වට පිට බලන්න තමයි, අර ඉස්සර පොඩි කාලේ වගේ. කොහොමහරි ඉතින් කෝච්චියත් බැරි මරගාතේ යන්න පටන් ගත්තා. යන්නේ හිමින් නිසා වට පිට දර්ශන ග්‍රහණය වීමේ හැකියාව වැඩි යි. බලන්න දේවල් ඕනේ තරම් තියනවා, දුම්රිය ගමනකින් ලංකාවේ ආර්ථිකය, සමාජය, පරිසරය, හැදියාව වගේ නොයෙක් දේවල් බලන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඒක ලංකාවේ බොහෝදුරට සම්පූර්ණ වූ මුහුණුවරක්.

මට එහා පැත්තෙන් ගියේ ඒ සීට් ඒක අරක්ගත්ත කට්ටියක්. හැමදාම යන තැනට මම ඇවිත් හින්ද වෙන්න ඇති විනාඩියෙන් විනාඩියට එක්කෙනෙක් නැගිටලා තවත් එකෙනෙක්ට ඉඳගන්න දෙනවා. ඒ වගේම 'බුද්ධාගමට අනුව බුලත් විට කෑම අකැපද' 'එහා ගෙදර මිනිහ නැතිව ගෑනි වාහන එලවන්නේ ඇයි' 'හැම දෙමලෙක්ම කොටින්ට කැමතිද/අකමැතිද' වගේ බොහොම භාර සාර සාකච්චා වට පැවැත් වුවා. අනුන්ගේ කතා අහන ඒක හොඳ වැඩක් නොවුණත් කතා කළේ මුළු කොච්චි පෙට්ටියටම ඇහෙන්න හින්ද මට කරන්න දෙයක් තිබුනේ නෑ. ඕනෙනම් මටත් ඒ කතාවලට ලේසියෙන්ම එකතු වෙන්න හැකියාව තිබුණා, ඒ කණ්ඩායමේ තිබුනේ එතරම් මිත්‍රශීලි බවක්. ඒත් එහෙම එකතු වෙලා කතාකරන්න බැරි කමක් දැනුනා, අනික අපේ විස්තර හුමාරු කරගෙන කොහෙන්හරි නෑදෑ කමක් අල්ලගන්නත් ඉඩ තියනවනේ. ඔහොම යන අතර තුරේ මම කල්පනා කළේ මම මේ කිසි කුලකයකට අයෙත් වෙන්නේ නෑ නේද කියන එක.

කිසිවකට නො ඇලි ඉන්න එක තරම් අමාරු දෙයක් නැති වුණත් ඒ අවස්ථාවේ එහෙම ඉන්න පුළුවන් කමක් ඇතිවෙලා තිබුණා. දුම්රියෙන් පිට දේවල් වලටවත් ඇතුලත දේවල් වලටවත් මගේ ඇලීමක් හෝ ගැටීමක් තිබුනේ නෑ. ඒක එක්තරා ආකාරයකින් උපේක්ෂාව සමග සමාධිගත වීමක්, සෙන් මොහොතක්. ඒ මොහොතේ කූටප්‍රාප්තිය වුණේ වෙල් යායවල් අවසානයේ විශාලව තැඹිලි පාටින් පෙනුන ඉර. කහ ආලෝකයෙන් පරිසරය නැහැවිලා තිබුණා. සිහින් නල ධාරා පාවෙලා ගියා.

Thursday, March 1, 2012

තමා තුල සිටින දෙවියා | Act of Contrition


http://lonelypierot.deviantart.com/


පහණින් සැදුම්ලත් හදවතේ
ඊයම් කැබලිති සිරව
ගිලීමට තව තවත් පතුලට
යත්ම හඬක් නොනගා ම
කියවෙන මුණු මුණුව,

මාගේ දෙවියණනි,
අයදිමි සමා කළ පාපයන්ට
ඔබට කළ දෝෂාරෝපණයනට
මක්නිසාදයත් මා ස්වර්ගයේ
අහිමිවීමට ශෝකවනවා සේම
අපායේ වේදනා ප්‍රතික්ෂේප
කරමින් මින් මතු ඔබ
ඉල්ලා සිටින දෙය පමණක්
කරනා බවට සපතවෙම්

ආමේන්!

තමන් තමන් තුලින්ම
දෙවියන් සොයා ගත්කල්හි
තමා ම දෙවියන් වී
ශුන්‍ය ප්‍රීතියකින් පවසම්
මම නම් ප්‍රේමය බව