Friday, March 16, 2012

සමාජවාදියා ස්වයං වින්දනයේ යෙදෙ යි.

නලාව නාද වෙයි. එය සෑම දිනකම සුපුරුදු වේලාවකදී හඬ නගයි. නලාවේ උපත කිසිවෙකුට මතක නැත, නැතිනම් ඔවුන්ට මතක තබා ගැනීමට උමනාවක් නැතුවාද විය හැක. කෙසේ හෝ ඒ ශබ්ධය ඒ ගම (එය නිශ්චිතව ම ගමක් යයි කිවහැකි කෙනෙකු නැත, එය නිවාස රාශියකින් පිරුණ සංවර්ධනය කිසිදා ලඟාවීමට අවශ්‍ය නොවූ පරිසරයකි) තුල ජීවත් වන්නවුන්ගේ ජීවිතය පිලිබඳ සංකේතය කි. නලාව ඔවුන්ගේ නුල් සෙලවූ සැනින් ඔවුන් නැටීමට පටන් ගනියි. රූකඩ ජීවිත ගත කිරීම ඔවුන්ට පහසුවක් බව පිටින් බලන්නෙකුට සිතෙන වාර අනන්ත වන අතර තමාගේ ජීවිතයේ වගකීම තමන් අතට ගැනීමට ඒ ගම්මු මැලිබවක් මෙන්ම බියක් දක්වති. නලාවේ ස්වරය (නැතහොත් ස්වරයක් නොමැති බව) මරණාසන්න තිරිසනෙකුගේ බෙරිහන් දීමට ඉතා ආසන්න වන අතර ඒ ගම තුල ජීවත් වන්නන්ගේ ජාතික ගීය එය වෙයි. ඔවුහු තමගේ ජාතික ගීයට ආශා කළහ.

ගම මධ්‍යයයේ විශාල කර්මාන්ත ශාලාවකි. ගම්මු සියල්ලෝම එහි සේවය කරති. මීට පෙර බොහෝ අවස්ථාවලදී අසා ඇති පරිදිම හාම්පුතුන් සේවකයන්ගේ ශ්‍රමය සූරා කන අතර ගම්මුන්ට කිසිවිටක තමන්ගේ වෙහෙස වීමට සරිලන වැටුපක් හිමි වුයේ නැත. එහෙත් මෙහෙදී අනෙක් කතාවන් අතරින් වෙනස් වන අංගයක් ඇත. එනම් මෙහි සිටින කිසිවෙක් මේ අසාධාරණ ක්‍රමය තුලින් නිදහස් වී සාධාරණය ළඟා කර ගැනීමට උත්සහ නොකරයි. නැත නැත. සමාවන්න, අසාධාරණය වෙනුවෙන් සටන් කරන්නට පෙළඹුණු පුද්ගලයෝ කිහිපදෙනෙක්ම සිටියහ. එහෙත් ඔවුහු සාධාරණය ළඟා කරගනු වෙනුවට අසාධාරණය වෙතටම එක් වුහ, දෙවියන්ට ස්තුති වේවා! අනුන්ට කෙසේ වෙතන් තමන්ට සාධාරණය ඉෂ්ට කරගැනීමේ අදහසක් සමාජවාදියාගේ සිත තුල පහළ වුයේ මෙවැනි පසු බිමක් තුලය.

ඔහු එදින වැඩබිමට නොයා එක්වරම ගියේ කර්මාන්ත ශාලාවේ හිමිකරු හිඳින කුටිය වෙතය. එම 'කුටිය' ඉතා සැප පහසු පරිදි සකසා තිබු අතර කිසිවෙකුට පලක් නැති කුඩා නිර්මාණ වලින් හැඩගැන්වී ඇත. හිමිකරුවාගේ කාමරය තුලට යාමට වන්නේ හමුදා බටයන් පෙළක් පසු කරගෙන නිසා ප්‍රභූවරුන් හැරුණු විට සාමාන්‍ය පුද්ගලයන්ට යාමට අවස්ථාවක් උදා වුයේ නැත. එහෙත් මේ සමාජවාදියා වාසනාවන්තයෙකි, එදින ආරක්ෂක නිලධාරීන්ගේ ස්වභාවය සැහැල්ලු වී තිබුණි. ඔහු කෙමෙන් කෙමෙන් හිමිකරු වාඩිවී සිටි මේසය හා පුටුව වෙත ඇදුනි. හිමිකරුට මුහුණක් තිබුනේ නැත, වත තිබිය යුතු තැන හිස් තැනකි. සැබෑවට නම් කිසිවකුගේ මුහුණ අතුරුදැන් විය නොහැක, එහෙත් විටක මෙසේ වන්නටද හැකිය; වැඩබිමෙහි වැඩ කළ තම වයසක මාමාගේ අත අබලන් වූ යන්ත්‍රයකට හසුව තුවාල ලැබූ විට ඒ සඳහා කිසිඳු උපකාරයක් හිමිකරුගෙන් නොලැබිණ, නිවාඩු අවශ්‍යනම් ගතහැකි වූ නමුත් ඒ පඩි රහිත ඒවා විය. කම්පනයට පත් වූ සමාජවාදියා වර්ජනයක් සංවිධානය කළ නමුත් හිමිකරු ඇවිත් කළ තර්ජනාත්මක කතාවට බිය වුවන් නිසා එය අසාර්ථක විය. එතැන් පටන් ඔහු හිමිකරු කෙරෙහි ඇති කරගත් වෛරය නිසා ඔහුට ඒ මුහුණ දැක ගත නොහැකි වන පරිදි දෘෂ්ටි දෝෂයක් ඇති වූවා වන්නට ඇත.

"මට මෙතනින් නිදහස් වෙන්න ඕනේ" සමාජවාදියා තම කට හඬ අවදි කළේය.
"නිදහස ඉල්ලුවට ලැබෙන්නේ නෑ, හොයාගන්න ඕනේ"
"ඔය කිව්වේ මට මෙතනින් අස් වෙන්න බෑ කියලද?"
"පුළුවන්. ඒත් දැන් උඹ මෙතනට ආවේ අස් වෙනවා කියන්න නෙමෙයිනේ."
"නෑ, අස් වෙනවා කියන්න තමයි."

සමාජවාදියා එතැනින් පිටව ගියේ තමා හැසිරුණු බොළඳ ස්වභාවය ගැන තමාටම දොස් පවරගෙනය. ඔහුට මීට වැඩ වැඩි යමක් කිරීමට උවමනා විය. හිමිකරු කෙතරම් ආත්මාර්ථ අන්දමින් කෘර අයුරින් හැසිරෙනවාද යන වග මතක් කර දී ඔහුට රිද වීමට ඕනෑ විය. එහෙත් අනවශ්‍ය අන්දමින් කලබල වීම නිසා ඔහුගේ බලාපොරොත්තුව සපල වූයේ නැත. කෙසේ වුවද ඔහු දැන් නිදහස් මිනිසෙකි. කාගෙවත් අණට යටත් වියයුතු නැත. ඔහු කීකරු බවට වෛර කළේය. ඔහුගේ ශ්‍රමය සූරා කමට කෙනෙකුද දැන් නැත. එසේම ඔහුට දැන් රැකියාවක්ද නැත. රැකියාවකින් තොර අනාගතයක් ගැන සිතීම ඔහු පසකෙට දැමු ඔහු ටික වෙලාවකට පෙර උපයාගත් නිදහස සැමරිය යුතු යැයි සිතා අවන්හලට ඇතුළු විය.

අවන්හල සතුව තිබු වටිනාම බීර වර්ගය ඉල්ලුම් කළ ඔහු එයා තොල ගාන්නට වූයේ නිදහස ලැබීම ගැන සතුටු වෙමිනි. අවන්හල් පාලකයා ඔහු දෙස පුදුමෙන් බලා සිටියේ ඔහු උන්මත්තක දැයි සිතා ගන්නට බැරිව මෙනි. සමාජවාදියා පාලකයාව නොසලකා හැරියේ තමා නිදහස සමරනවා යැයි කිසිවෙකුට කීම අනවශ්‍යය බව පිළිගත් නිසා වෙනි. වටපිටාවේ සිටි කිසිවෙක් සතුටින් සිටින බවක් නොපෙනුණි. සමාජවාදියාට ඔවුන් කෙරෙහි ශෝකයක් ඇති වී නැති වී ගියේය. නිදහස තමන් ළඟ කර ගත යුත්තක් මිස අන් අය ගෙනත් දෙන තුරු බලා නොසිටිය යුතු සේම එසේ ලැබෙන්නේ ද නැත. බීර වීදුරුවට මුදල් ගෙවූ ඔහු තම නිවාස වෙත පැමිණියේය. ඔහුගේ මව ඉදිරිපස ඇති එකම පුටුවට බරවී පාර දෙස ජීව ගුණය සිඳුණු ඇසින් බලා සිටියාය. තමා රැකියාවෙන් ඉවත් වුණු බව තමා මවට කියනවාද නැතිද යන වග ඔහුට සිතාගත නොහැකි විය. අවසානයේ එය කීම පසුවට කල් දැමිණ.

"කන්න දේත් ඉවරයි, පඩි ලැබුනමවත් ගමු." නිවසට ඇතුළුවන විට මව සමාජවාදියාට සැල කළාය. ඔහුට සුසුමක් පිට වූයේ අවිඥානිකව ය.

5 comments:

  1. ලස්සන කතාවක්..

    ReplyDelete
  2. මේවගේ පෝස්ට් ගැන කොහොමද බන් අදහස් දක්වන්නෙ :) තව තුන් හතර වතාවක් කියවද්දිවත් කොනක් අහුවුනොත් අදහසක් දාන්නම්..

    ReplyDelete
  3. ගෝර්කිගේ අම්මා කතාවෙ වර්තමාන වර්ෂන් එකක් වගේ! මරේ මරු!

    ReplyDelete
  4. දාවසානයේ නිදහස ලැබුනත් ඒක විදින්න බැරි වේවි.. අපුරු කතාවක්..

    ReplyDelete
  5. රුසියානු කතාවකට සමානයි.

    තමන්ට මොනවා ලැබුනත් ඒ දේ ලැබුනට පස්සේ අගයක් නැතිවෙනවා. නිදහස උනත් එච්චරයි:)

    ReplyDelete