Monday, March 5, 2012

සෙන් මොහොතක් අතර | Moment of Zen


මේ දවස් වල මම අහන වඩාත්ම කැමති සින්දුව තමයි ඔය. මම සිංදුවකින් බලාපොරොත්තු වෙන හැමදේම මෙතන තියනවා; සංගීතය, කටහඬ, ගායනය, පද රචනය, රූප රචනය (අවශ්‍යම නොවුණත්). ඒ වගේම ගායිකාව Lana Del Rey ලස්සන වීම බෝනස් එකක් විදිහට සලකන්න පුළුවන්. මේ සින්දුව මාව ඒ තුලට ඇදගෙන අපිව විනාඩි කිහිපයක සමාධියක තබා ගන්නවා. ඒක එක්තරා විදිහක ධ්‍යානයක්, සෙන් මොහොතක්. මේ කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් නිසා පිටින් බලන කෙනෙක්ට මේ අතිශෝක්තියෙන් කීමක් විදිහටත් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් තර්කය තමයි සංගීතය අපිව මේ මොහොතේ ජීවත් කරවන්න පුළුවන් කියන ඒක. මේ මොහොතේ සිහිය තබා ගැනීම භාවනාවේ ප්‍රධාන අංගයක්.



මේ සින්දුවේ තියෙන්නේ බොහොම අතීතකාමී ගුණයක්. ඇය අභාෂය ලබා ඇත්තේ හැටේ දශකයෙන්, ඒ වගේම ඇයම ලියු පදරචනා කාව්‍යාත්මක යි. ඇගේ පෞද්ගලික විස්තර ඇතුල් කරලා මේ විදිහට සින්දු කීමේ පසුබිම හැදුන හැටි හඳුනාගන්න පුළුවන් වුණත්, මම ඒවා කියන්න යන්නේ නෑ. මොකද එය අනවශ්‍යයි, උවමනා කළේ සංගීතයේ ඇති සංවේදනීය ලක්ෂණයක් කීම පමණ යි.

* * * * *

දවසක් මම කොටුවේ ඉඳල ගම්පහට යනකොට යන්න ලැබුනේ බොහොම හිමින් යන පරණ දුම්රියක්. ඒකෙ ඔය ගුණාංග නිසාම එක එක නම් හිටන් හැදිලා තිබුණ මම හිතන්නේ. කෝච්චිය කොටුවෙන් පිටත් වෙන්නේ 6.15 ට විතර. මට ඉඳගන්න ලැබුණා. කතාකරන්න යාලුවෙක් වත් කියවන්න පොතක්වත් තිබුනේ නැති හින්ද මට වුණේ ජනේලෙන් වට පිට බලන්න තමයි, අර ඉස්සර පොඩි කාලේ වගේ. කොහොමහරි ඉතින් කෝච්චියත් බැරි මරගාතේ යන්න පටන් ගත්තා. යන්නේ හිමින් නිසා වට පිට දර්ශන ග්‍රහණය වීමේ හැකියාව වැඩි යි. බලන්න දේවල් ඕනේ තරම් තියනවා, දුම්රිය ගමනකින් ලංකාවේ ආර්ථිකය, සමාජය, පරිසරය, හැදියාව වගේ නොයෙක් දේවල් බලන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඒක ලංකාවේ බොහෝදුරට සම්පූර්ණ වූ මුහුණුවරක්.

මට එහා පැත්තෙන් ගියේ ඒ සීට් ඒක අරක්ගත්ත කට්ටියක්. හැමදාම යන තැනට මම ඇවිත් හින්ද වෙන්න ඇති විනාඩියෙන් විනාඩියට එක්කෙනෙක් නැගිටලා තවත් එකෙනෙක්ට ඉඳගන්න දෙනවා. ඒ වගේම 'බුද්ධාගමට අනුව බුලත් විට කෑම අකැපද' 'එහා ගෙදර මිනිහ නැතිව ගෑනි වාහන එලවන්නේ ඇයි' 'හැම දෙමලෙක්ම කොටින්ට කැමතිද/අකමැතිද' වගේ බොහොම භාර සාර සාකච්චා වට පැවැත් වුවා. අනුන්ගේ කතා අහන ඒක හොඳ වැඩක් නොවුණත් කතා කළේ මුළු කොච්චි පෙට්ටියටම ඇහෙන්න හින්ද මට කරන්න දෙයක් තිබුනේ නෑ. ඕනෙනම් මටත් ඒ කතාවලට ලේසියෙන්ම එකතු වෙන්න හැකියාව තිබුණා, ඒ කණ්ඩායමේ තිබුනේ එතරම් මිත්‍රශීලි බවක්. ඒත් එහෙම එකතු වෙලා කතාකරන්න බැරි කමක් දැනුනා, අනික අපේ විස්තර හුමාරු කරගෙන කොහෙන්හරි නෑදෑ කමක් අල්ලගන්නත් ඉඩ තියනවනේ. ඔහොම යන අතර තුරේ මම කල්පනා කළේ මම මේ කිසි කුලකයකට අයෙත් වෙන්නේ නෑ නේද කියන එක.

කිසිවකට නො ඇලි ඉන්න එක තරම් අමාරු දෙයක් නැති වුණත් ඒ අවස්ථාවේ එහෙම ඉන්න පුළුවන් කමක් ඇතිවෙලා තිබුණා. දුම්රියෙන් පිට දේවල් වලටවත් ඇතුලත දේවල් වලටවත් මගේ ඇලීමක් හෝ ගැටීමක් තිබුනේ නෑ. ඒක එක්තරා ආකාරයකින් උපේක්ෂාව සමග සමාධිගත වීමක්, සෙන් මොහොතක්. ඒ මොහොතේ කූටප්‍රාප්තිය වුණේ වෙල් යායවල් අවසානයේ විශාලව තැඹිලි පාටින් පෙනුන ඉර. කහ ආලෝකයෙන් පරිසරය නැහැවිලා තිබුණා. සිහින් නල ධාරා පාවෙලා ගියා.

3 comments:

  1. මම අදයි ඉස්සෙලාම මේ සිංදුව ඇහුවේ.. ලස්සනයි..

    ReplyDelete
  2. සිංදුව ලස්සනයි.

    මම නම් හැම තිස්සෙම ජීවත්වෙන්නේ මේ මොහොතේ විතරයි.

    ReplyDelete
  3. සින්දුව අහන්නම් තව ටිකකින්...
    දවසක ගිහින් බලපන් කැලණි වැලි දුම්රිය මාර්ගයෙ (අවිස්සාවේල්ල ලයින් එක)...

    ReplyDelete