Wednesday, July 18, 2012

බඩු වනාහි? | Miss Independent


කාන්තාවක් ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරන අවස්ථාවලදී හෝ වෙනත් වේලාවන්හිදී හදිසියෙන්වත් ලිංගික අතවරයකට ලක්වුනොත් කාන්තාව 'වැරදිකරුවා' වන අවස්ථාවන් මම පෞද්ගලිකව ඕනෑතරම් අහලා දැකල තියනවා. ඒ කාන්තාව ඊනියා වැරදිකරුවා බවට පත්කරවන එක සාධයක් තමයි ඇය ඇඳ සිටි ඇඳුම්. එසේ කාන්තාව වැරදියි කියල තීන්දුව දෙන්න කඩිනම් පුද්ගලයන්, ඇය තමාව අතවරයට ලක්කරගන්න උවමනාවෙන්ම යම් ආකාරයකින් ඇඳුම් ඇන්දා කියන්න තරම් පහත් මට්ටමට පත්වෙන අවස්ථාත් දුලබ නැහැ. කුමන ආකාරයේ, කොතරම් සම නිරාවරණය ඇඳුම් ඇන්දත් එසේ කරන්නියන් අතවරයට ලක්විය යුතුයි කියල සිතීම කොයි පදනමකින් පණ ලද සිතුවිල්ලක්ද? වැරදිකරුවාගේ වරද සාධාරණිකරණය වෙද්දී වරදට ගොදුරු වූ පුද්ගලයා පිට වරද පැටවෙන අවස්ථා රාශියක් අතරින් තවත් එකකියි මේ.

'Slut Shaming' කියන පදය භාවිත වෙන්නේ ගැහැණියක් තම ලිංගිකත්වය ගැන ස්වාධින නම් සහ තමන්ට කැමති ඕනෑම ආකාරයක (සම නිරාවරණය වන පවා) ඇඳුම් ඇඳීම ප්‍රශ්නයක් නොකර ගැනීම පහත් කොට/ අපහාසයක් කොට සලකද්දීයි. 'Slut' (සිංහලෙන් වඩාත් ආසන්න වචනය, 'බඩුව') පාවිච්චි වෙන්නේ සමාජ සම්මතයන් අනුව ඇය වෙනස් කියා බාහිර පුද්ගලයන් සිතනවානම් ඇයව පහත් කොට සැලකීමට වුණත් බොහෝ දෙනෙකුට අමතක වෙන කරුණක් තමයි 'ලිංගිකත්වය' මානුෂික අවශ්‍යතා වලින් එකක් බව. මේ කාරණාවේදී කුහකත්වයත් ප්‍රධාන බලපෑමක් එල්ල කරනවා. ද්විත්ව මිමි (double standards) බොහෝ සමාජවල දක්නට ලැබෙන දෙයක් වගේම සමහර රටවල ඒ සඳහා නීති පවා ස්ථාපිත කරලා තියෙන්නේ කිසිම පදනමකින් තොරවයි.

දෙදෙනාගේම කැමැත්ත ඇතිව නම්, කායිකව හා මානසිකව සුදානම් නම්, නිසි ආකාරයෙන් සුරක්ෂිත නම්, තමගේ සහකරු/සහකාරිය තමන්ට ගැලපෙනවා නම් ලිංගික එක්වීමෙහි කිසිඳු ප්‍රශ්නයක් නැහැ. ලිංගිකව එක්වන වාර ගණන හෝ පුද්ගලයන් කීදෙනෙක් සමග එකතුවෙනවාද යන්නේ එසේ කරන්නියගේ මිස අන් අයගේ කාර්යක් නෙමෙයි වගේම එවැනි කරුණු කිසිවෙකු පහත් කොට සලකන්න හේතුත් නෙමෙයි. කිසිවෙකුගේ ලිංගික ජීවිතය ඒ කෙනාට ඉතා පෞද්ගලික දෙයක් මිස බාහිර කිසිවෙකුට ඇඟිල්ල දික්කරන්න කාරණයක් වෙන්නේ නෑ.

ඇඳුම් ගැන කියනවා නම් කෙනෙක් ඇඳුමක් තෝරාගන්නේ තමන් කැමතිනම්, තමන්ට අවශ්‍යනම් හා ගැලපෙනවා නම්. ඇඳුමකින් තමන්ගේ ආත්ම විශ්වාසය, පෞරුෂත්වය ගොඩ නැගෙන්නට/වැඩි වෙන්නට හේතුවක් විදිහට, එහෙමත් නැත්නම් එක්තරා  ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් විදිහට හඳුන්වන අවස්ථාත් තිබෙනවා. තමන් තමන්ට හොඳින් දිස්වෙන්න තමන්ට කැමති ඇඳුමක් ඇඳීම ඒ පුද්ගලයාගේ සතු කාර්යක් මිස බාහිර බලපෑම් එල්ල විය යුතු කාරණයක් නෙවේයි වගේම ඇයගේ ඇඳුම ඇයට අපහාස කරන්න නැතිනම් පෙර සඳහන් කල පරිදි අවස්තාවක ඇය පිට වරද පටවන්න කිසිවිටකත් හේතුවක් වෙන්නේ නෑ.

කොහොම වුනත් සමාජය පොදුවේ කාන්තාව කෙතරම් වාස්තවිකරණයට (objectification) ලක් කරලද කිව්වොත් ගැහැණියක් හඳුන්වන වචයක් තමයි 'බඩුව'. කොටින්ම කාන්තාවකට භාවිත කරන සෑම නමක්ම පාහේ ඇයව පණ නැති වස්තුන්ට සමාන කරනවා. සමහර විට එසේ කියන්නේ කාන්තාව පහත් කොට සලකන්න නෙමෙයි වෙන්න පුළුවන් වුනත් අප්‍රාණික ද්‍රව්‍යයක් පණ ඇති හැඟීම් දැනීම් ඇති පුද්ගලයකුට කීම අපහාසයක් වෙන්නේ ඉබේටමයි. පිරිමියෙකුට භාවිත කරන නම් වර්ගත් (කුකුළා, ඇඹලයා) කාන්තාවකට භාවිත කරන නම් වර්ගත් (බඩුව, කෑල්ල) ඇසුරෙන් අවිඥානික හෙලිවෙන්නේ සමාජය තුල කාන්තාවකට ඇති පිළිගැනීමද? ඇයට ඇති තත්වයද? උත්තරය කුමක් වුණත් 'බඩුව' වචනය භාවිත කළ යුත්තේ අප්‍රාණික ද්‍රව්‍ය හැඳින්වීමට පමණයි.

''If you are a strong female you don't need permission.''

ප.ලි. : තමන්ට කැමති දේ කෙලින් කියන, ස්වාධින අදහස්/ක්‍රියා ඇති ස්ත්‍රීවාදී සිංහල බ්ලොග් ලියන්නියන් වන අරුණි ශපිරෝවජිරදේවිපොඩි කුමාරිහාමි, රමේෂා ඇතුළු සැමට මගේ ආචාරය!