සදා චලිත අග්නි චක්‍ර තුල
දියවෙමින් නැවත දළුලමින්
වැඩෙමින් නැවත පණ ලදින්
ගිලන් වූ කෘෂ රෝස ගස
ලෝහිතය අත හැරී අරක්ගත්
කාළ වර්ණ හුදකලා මල මතට
පාවී ආවෙම් අහම්බෙන් මෙන්
අකාලයේ හමන සුළං මග
කඩාගත් තියුණු කටුවකින්
පසාරු කළෙම් ලේ නහර
ජීවය පොවන්නට බිඳු බිඳු
කාළ රෝස මල තුලට
ගිම්හාන දාහයෙන් බැට ලද
මල නැවත පණ ලද්දේ නැත
පිටාර ගලන රුධිර දහරා හමුවේ
ගිලුණා මිසක යාන්ත්‍රිකව
අවසන් ඉකිගැස්ම සමග ඔබ
මරණය සිපගත් රෝස මල
සමුදෙන්නම් යලි හමුවන්නට
මේ චක්‍රයේ කොතැනක හෝ සිට
ප්‍රේමයෙන්ම ගත් හුස්ම
හෙළීමට තවම නොහැකිව
කටු පොකුරු සිප ගනිම්
ආයේ හමු වනු පිණිස