ඔය උඩින් තියෙන්නේ මම ගත්ත සිංහල පොත් (දැන් ඉතින් කියවන්න තමයි තියෙන්නේ!). ප්‍රදර්ශනයේ විශේෂයෙන් සඳහන් කරන්න තරම් දෙයක් නැහැ. හැබැයි බණ්ඩාරනායක ප්‍රධාන ශාලාව වහල නිසා ප්‍රදර්ශන කුටි අඩුයි වගෙත් දැනුනා. ඒත් එහෙම නෑ සැහෙන්න තියනවා (කුටි 416 විතර). පොත් ගැන විස්තර දැම්මම කියන එකේ තේරුමක් නෑ. කියවලම විස්තර කියන්නම්.
එතකන් පොත් කිහිපයකින් ගත් යම් යම් උපුටගනීම් කිහිපයක් මේ,
"බෙරය මතට වැටුණු රතු රෙදිකඩ සෙමින් දරණය ගසන්නාක් මෙන් ඔහු දුටුවේය. කැරකි කැරකී රවුම් වෙමින් කැරකෙද්දී එතෙක් බෙරය වටා තිබු හම පටවල් ටිකෙන් ටික රත් පැහැ ගන්නට විය. නිලංකාර වූ දෑසින් ඔහු නැගිට ගන්නට උත්සහ ගත්තේ ය. දෙපා වෙව්ලා යමින් තමන් වැටෙන්නට යන්නේ යයි ඔහුට කෙමෙන් කෙමෙන් දැනී යන්නට විය." - චම්මින්ද වෙලගෙදර (සක්කාරං)
"සම්ප්‍රදායික විවාහය නමැති සංකල්පය හැරපියා දැමූ ඇහැළමලී වෘත්තීය ජීවිතයේ කාර්ය බහුල තත්වයකට පත්ව වෙහෙසකාරී ජීවිතයක් ගත කළාය. ඇගේ ජීවිතයට සම්බන්ධ වන්නට බොහෝ පිරිමි උත්සහ කළ ද ඇය කිසිඳු සම්බන්ධයක් පිළිබඳව උනන්දුවක් නො දැක්වී ය. ඒ පිලිබඳ ව විවිධ හේතුකාරණා කාලයෙන් කාලයට ඇය වටා සිටි මිනිසුන් ප්‍රකාශ කළද ඇහැළමලීට ඒ කිසිවක් අලුත් ඇහුම්කම් දීම් නො වුණු හෙයින් ම ඒ කිසිවකට සිය ශක්තිය අභිභවා යන්නට නො දුන්නෝය." - මනෝහාරී හේවාවසම් (ඇහැළමලී)
"දයාවතිගේ මඟුල දවසේ තමයි ගමේ ඉලන්දාරි කුසුමව හරියටම දැක්කේ ඒ කව්රුත් පුංචි සන්දියේ එකට සෙල්ලම් කරපු කට්ටිය. සමහරු පන්තියක් දෙකක් ඉහලින් හරි පහලින් හරි හිටපු අය. සමහරු එක පන්තියෙමයි. වත්තේ වැඩ නොකරන අය පතල් වැඩ කරනවා. හිමේ ලී කපන්න යනවා. පතල් වැඩ කරන අයට නං ජයයි වාගේ. සුදට සුදේ ඇත දිග කමිසෙයි සරමුයි ඇඳලා. අත්වල ඔරලෝසු හෙම බැඳලා. මඩට තැම්බිලා ඉදිමිලා වාගේ තියන කකුල් දැක්කම පතල් වැඩ කාරයන් නිකම්ම තෝරාබේර ගන්න පුළුවන්. 'අප්පේ කුසුම අක්කගේ ලස්සන,,,' කීප දෙනෙක් කිව්වා." - සුනේත්‍රා රාජකරුණානායක (සඳුන්ගිර ගිනිගනියි)
"නමුත් එය සිහිනයක් නොවීය. මගේ දෙසවන් වලට ගලා අවේ හිස් වායුවක් නොවේ. මා ඉදිරි පිට බිම වාඩිවී මා දෙස බල සිටියේ සබැ ගැහැනියකි. මගේ දෙසවන් තුළට ගලා ආ ඒ හඬ දොර ජනෙල් වැසූ සිර කුටිය තුල දෝංකාර දුන්නේය.ඒ හඬ ඇගේය,,,පිර්වඩුස් ගේ කටහඬ ය." සිසිර අලහකෝන් (වැලි කතරේ කුසුම) [Woman at Point Zero - Nawal El Saadawi පරිවර්තන]