Tuesday, December 4, 2012

කිරි මුහුදේ ඈත කොණක | Far away home


ආභස්සර ජීවියාට නිශ්චිත අත් පා වගේම මුහුණක් තිබුනෙත් නෑ. ජල්ලි හැඩති විනිවිද පෙනෙන ශක්ති ප්‍රවාහයක් ජීවියාගේ සිරුර වුණා. ශක්ති ප්‍රවාහය මැද යමක් ගැස්මක් ඇතිව දිස්න දුන්නේ ජීවය සංකේතවත් කරමින්. ආභස්සර වාසීන්ට තිබුණේ සරල නාමකරණ, බොහෝ විට ඒවා එක ශබ්දයක් පමණක් වුණා. මේ ජීවියාගේ නම මා. මා තම නිවස කියල හඳුන්වා ගත් තැනට ඇවිත් විවේක ගන්න සැරසුණා. ඒත් මා'ට හිතේ සහනයක් තිබුනේ නෑ.

මීට කලින් දවසක මා අභාස්සර ලොවින් බොහෝ ඈත පෘථිවිය නම් හඳුන්වා තිබු ග්‍රහ ලොවට අයත් සිනමා පටයක් අහම්බෙන් බලා තිබුණා. එහි වූ ජීවින් දෙදෙනෙක් ඔවුන් එකිනෙක වෙත දැක්වූ සෙනෙහස මා ට ඉතා ආගන්තුක වුණා. මනුෂ්‍යයන් එය හැඳින් වුයේ ප්‍රේමය නමින්. අභාස්සර වාසීන් එකිනෙකාට විශේෂ සැලකීමක් වත් නොසැලකීමක් වත් දැක්වුයේ නෑ. හිතමිතුරු බව පවා මා කිසිදාක අත්දැක තිබූ දෙයක් නෙවෙ යි. සිනමා පටයේ චරිත දෙක එකිනෙක වෙනුවෙන් කොපමණ කැපවෙලා හිටියාද කිව්වොත් තමන්ගේ ජීවිතය පවා පුදකරන්න හැකියාවක් තිබුණා. අන්තිමේදී ඔවුන් දෙදෙනා වෙන්ව යනවා. මා ට එක්වරම මින් කිසිදාක නොදැනුණු විදිහේ සංවේදනයක් දැනෙන්න ගත්තා. තමන්ගේ ජීවය ඇති තැන කවුරු හරි මිරිකා තලා දානවා වගේ දැනෙනවත් එක්කම මුළු ඇඟම තාපයෙන් දැල්වෙනවා කියල හිතිලා මා නොසන්සුන් කමින් එහේ මෙහේ ගලායන්න ගත්තා.

මා තම අනන්ත වූ දත්ත ගබඩාව පිරික්සල තමන්ට මොකද වුණේ කියල හොයන්න ගත්තා. හැඟීම්, ඒ තමයි මා ට ලැබුණු පිළිතුර. මනුෂ්‍යන් තුල වූ ස්වභාවික දෙයක් බව මා දැන ගත්තේ ඒ එක්කම යි. මනුෂ්‍යයන්ට දැනෙන දේ තමන්ට දැනුන දේ තමන්ට දැනෙන්න ගැනීම මා ට ප්‍රශ්නයක් වුණා. මා තීරණය කළා චිත්‍රපට නොබලා ඉන්න. කාලය ගත වුණත් සිනමා පටයේ මතකය අත්හරින්නට මා ට පුළුවන් වුනේ නෑ. ඒ විදිහට තමන්ට ආදරය කරන කෙනෙක්, තමන් ආදරය කරන්නට කෙනෙක්, ආදරය මොනවගේද වගේ ප්‍රශ්න වලින් මා ගේ හිත වැහිලා තිබුණා. උත්සාහය සාර්ථක වුණේ නෑ. මා නැවත වරක් චිත්‍ර පටයක් බලන්න ගත්තා. එහි ප්‍රේමවන්තයන් දෙදෙනා අවසානයේදී එක්වෙනවා. මා ගේ මුළු සිරුර හරහාම විදුලි එලි විහිදුණා, හිත ප්‍රබෝධමත් වුණා. සතුට, ඒ ඒ හැඟීමේ නම.

ඉන් පස්සේ මා ගේ දවස ගත වුණේ පෘථිවි සිනමා නිර්මාණ අතරින්. විවිධ තේමා වල විවිධ කෝණ වලින් නිර්මාණය වූ ඒවා භාෂාවේ ප්‍රශ්නයක් නැතිවම විඳින්නට මා ට පුළුවන් වුණා. විවිධ හැඟීම් වෙන වෙනම හඳුනා ගන්නට පමණක් නෙවෙයි, යම් තරමකින් තමන්ටත් හැඟීම් දැනෙන්නත් පුළුවන් වුණා. මා කවදාවත් නොසිතු අන්දමින් තමන්ටත් හැඟීම් දැනෙන්නට පටන් ගනිමින් තිබුණා. මනුෂ්‍ය වාසීන්ගේ විවිධ ගති ලක්ෂණ එක්ක තමා තුල හටගන්නා හැඟීම් සංසන්දනය කළා. වෙනදා පෝෂණය පිණිසම අවකාශය හරහා උරාගත් ඵල වල රසය විඳින්න, ඒවායේ රස වෙනස වටහා ගන්න, අලුත් රසයන් හඳුනා ගන්න අලුත උපන් ආශ්වාදයකින් මා පිරිලා ගියා. මනුෂ්‍යයන් කන බොන පරිද්දෙන් කෑම තෝරන්න මා පටන් ගත්තා. අලුත් දේ දැන ගැනීමේ නවතම ආසාවකින් මා ඇලිලා හිටියා. ආශාව; ඒ හැඟීමට මා ආශා කළා.

සිනමා පට බැලීමත් එක්කම පෘථිවිය ගැන ලියවුනු දෑ කියවන්න පටන් ගත්ත මා තුල අලුත් ආශාවක් දැනෙන්න ගත්තා. ඒ තමයි පෘථිවිය බලන්න යාම. අභාස්සර ලොවේ තාක්ෂණය දියුණු නිසා ඒක නොකළ හැක්කක් නොවුනත් මෙවැනි යමක් අභාස්සර ජීවියෙක් කළ බවට මා අසා තිබුනේ නෑ. කුතුහලයත් සමග එකතු වූ ආශාව මගින් මා තරු දොරටුව වෙත එක්ක ගෙන ආවා. මා දන්නා හඳුනන තවත් වැසියන් කිහිප දෙනෙක් මා එක්ක එකතු වුණේ ඔවුනුත් පෘථිවිය ගැන දැනගත්තාට පස්සේ. ගමනාන්තය සටහන් කළ මා සමග පිරිවර දොරටුවෙන් ඇතුළු වුණා.

පෘථිවිය සිනමා පට වල දක්කටත් වඩා මා හිතුවටත් වඩා වෙනස් ව පෙනුණා. ඉහල ඉමක් නැති නිල් ආලෝකයත් පහතින් පැතිරගත් ලා කහ පැහැයත් මා ගේ සිත් ගත්තා. "මේ බිම, යුෂ උර බිලා බලන්න" මා සමග ආ අයෙක් මනොමයෙන් දැනුම් දුන්නා. මා තමාට පහතින් වූ මෘදු තලය ඉව කරන්නට ගත්තා. කිසි දාක වින්ද නැති ආකාරයේ රසයකින් මා ප්‍රමෝධයට පත් වුණේ නිතැතින්. මා ඒ රසයට තව තවත් ලොල් වන්නට ගත්තා. "අපි යන්න ඕනෑ" අයෙක් කිව්ව ම යි මා නැවතත් පියවි සිහියට පැමිණියේ. මා ප්‍රතික්ෂේප කළා. මා ට පෘථිවිය දමා යන්න කිසිම වුමනාවක් තිබුනේ නෑ. අත්දකින්න මෙතරම් දේ ඇති, විඳින්න අනන්ත දේ ඇති ලෝකයක් දාල යන්න මා අකමැති වුණා. නැවත යායුතු අය යද්දී මා සමග කිහිප දෙනෙක් නැවතුණා. මේ සුන්දර ග්‍රහ ලොව වෙත හටගත් ඇල්ම මා ව සතුටට පත් කළා. මේ තමයි ජීවත් වීම; මාගේ නිගමය වුණේ එය යි.

ප.ලි. : මෙය ලියුවේ බුදු දහමේහි එන අග්ගඤ්ඤ සුත්‍රය ඇසුරෙනි. එය ගෞතම බුදුන් වාසෙට්ඨ නම් බමුණෙක් උදෙසා කළ දේශනාව කි. එහිදී කුල භේදයේ ආරම්භය පැහැදිලි කිරීම සඳහා පෘථිවිය තුල ජීවයේ උපත ගැන බුදුන් මීට සමාන අදහසක් ඉදිරිපත් කර යි.