Sunday, February 17, 2013
බුර්කා - Burqa
අතේ ඇඟිලි වෙව්ලන්න ගත්තේ නොදැනුවත්ව ම. මම කුරාණය පැත්තකින් තියල මගේ හිස් වැස්ම ගැලෙව්වා. මට ලස්සන කොණ්ඩයක් තියනවා කියල හිතෙනවා. ඒත් ඒක දැකල තියෙන්නේ මගේ අම්මයි නංගියි විතර යි. අඩුම තරමේ තාත්තවත් දැකල නෑ. මම මගේ කොන්ඩේ ලස්සනයි කියල අහගන්නවට කැමතියි. කොන්ඩේ මලක් ගහගෙන යන්න, කොන්ඩ මෝස්තරයක් දාගන්න එහෙම නැත්තම් අඩුම තරමේ කොන්ඩේ ගොතාගෙන ගමනක් යන්න ආසයි. ඒත් ඒක හීනයක්, හැබෑනොවෙන හීනයක්. කොන්ඩේ විතරක් නෙමෙයි මට ඇස් දෙකවත් ඇරගෙන ඉන්න අවසර නෑ.
මම බඩු අහුරන්න ගත්තා. හෙට 'මගේ' විවාහය නිසාත් එයින් පස්සේ මම බැඳපු කෙනා ගාවට යන්න වෙන නිසාත් මගේ බඩු ඇසිරීම කාටවත් සැක කරන්න කාරනයක් වුනේ නෑ. මීට සති දෙකකට කලින් ආපු මිනිහෙක්ට මාව 'බන්දලා' දෙන්න මගේ තාත්තා ගිවිසගෙන තිබුණා. ඒ මිනිහා කීයක් මං වෙනුවෙන් දෙන්න පොරොන්දු වුනාද කියල මම ඇහුවේ නෑ. නොවටිනා දෙයක් වෙනවට වඩා අඩුම තරමේ යම්කිසි අගයක් වත් මට ලැබීම ගැන සතුටු වෙන්න මම උත්සහ කළා. ඒ මිනිහගේ මූණවත් නොබලා වචනයක් වත් කතා නොකර හෙට මම විවාහක කාන්තාවක් වෙනවා. සමහර විට මගේ කොන්ඩේ දැකල තමන් මිලදී ගත්ත භාණ්ඩේ ගැන ඒ මිනිහ සතුටු වේවි. මම එහෙම හිතාගන්න ගත උත්සහය සාර්ථක වුනේ පොඩි වෙලවක ට යි.
"දුවේ සති දෙකකින් කසාදෙ" අර මිනිහ ආවට පස්සේ දවසේ අම්මා කිව්වා. මම ඔලුව හෙල්ලුවා විතරයි. මොනවහරි දෙයක් කිව්වහම ප්‍රශ්න අහන්නේ නැතිව ඒක කරන්න කියලයි මට පොඩි කාලෙම කියල තියෙන්නේ. 'ඇයි' කියන්නේ අපේ ගෙදර තහනම් වචනයක්.
මම පොඩි කාලෙ දවසක්, මට වයස අවුරුදු අටක් විතර වෙන්න ඕනේ, මම ඇහුව තාත්තාගෙන් ඇයි මල්වලට සමනල්ලු එන්නේ කියල.
"ඒ අල්ලා මවපු හැටිනේ ළමයෝ, මේ මල්, සමනල්ලු, අපි, ලෝකේ හැමදේම ඇති උතුම් අල්ලාගෙ නිර්මාණ" තාත්තා එහෙම කිව්වේ බැතිබර ගයනාත්මක ස්වරූපයෙන්.
"ඇයි ඉතින් අල්ලා එහෙම මැව්වේ ඇයි සමනල්ලු මල්වල විතරක් වහන්නේ?"
"මම කියල තියනවනේ අල්ලාගෙ බලය ප්‍රශ්න කරන්න එපා කියල!" තාත්තට තරහා ගියා.
"මට බැහැ, මට අල්ලාට කතාකරල දැනගන්න ඕනේ" එක පාරම මගේ කම්මුල පුපුරලා ගියා. තාත්තා මගේ කම්මුලට ගැහුවා කියල තේරුම් ගන්න මට වෙලා ගියා. ඊට පස්සේ දවසක්ම මට ඉන්න වුනේ කළුවර කාමරයක් ඇතුලට වෙලා තනියම.
හවස තාත්ත නැති වෙලාවක අම්මා ඇවිත් මාව එලියට ගත්තා. අම්මගේ ඇස් රතුවෙලා. සමහර විට තාත්තා අම්මටත් බනින්න ඇති. ආයේ තාත්තාගෙන් තියා වැඩිහිටි කාගෙන්වත් ඇයි කියල අහන්නේ නෑ කියල අම්ම මාව පොරොන්දු කරගත්තා. මට අම්මට වදයක් වෙන්න, මම හින්ද කරදර වෙන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. මම ඇයි කියල අහන්නේ නැතුවම ඔලුව වැනුවා.
ඒ පොරොන්දුව කාලයක් යනකම්ම ආරක්ෂා වෙලා තිබුණා. දවසක් මගේ ඥාති සහෝදරියකගේ විවාහ උත්සවයකට අපිට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබිල තිබුණා. එදා හැන්දෑවේ මම ඒ අක්කලාගේ ගෙදර කාමරේකට වෙලා කණ්ණාඩිය ඉස්සරහට වෙලා වැඩිවෙලා කොන්ඩේ පීරමින්. එක පාරටම කව්ද කාමරේට ආවා.
ඒ බැඳපු අක්කගේ මල්ලි. එයා මට වඩා අවුරුද්දක් විතර වැඩිමල්. මේ තමයි පිට කෙනෙක් මාව හරියටම දැකපු පලවෙනි අවසථාව. ගැස්සුන නිසා මට එක පාරටම ඔලුව වහ ගන්නත් අමතක වුණා. මම ඉක්මන් කරලා හිස්වැස්ම අතට ගත්තා.
"එපා!" එයා කිව්වා. "ඔයාගේ කොන්ඩේ ලස්සනයි"
මම හිනා වුණා. මම කවදාවත් පිරිමි ළමයෙක් එක්ක කතා කරලා නැති හින්ද මට කියන්න දෙයක් හිතා ගන්න බැරි වුණා. ඒ අයියා කඩවසම්. ඒත් මට "ඔයත් ලස්සනයි" කියල කියන්න බැරි වුණා. එයා හිනාවෙලා යන්න ගියා. මගේ ජීවිතේ පළවෙනි වතාවට යහපත් කරුණාවන්ත පිරිමි ඉන්න පුළුවන් කියල හිතුණා.
එදා හමුවීමෙන් පස්සේ අපි දෙන්නා ආයේ කවදාවත් මුණ ගැහුනේ නෑ. එයාගේ කාසදෙ ට ත් අපේ පවුලටම ආරාධනා ලැබුනේ ඊට අවුරුද්දකට විතර පස්සේ. මට යන්න ඕනේ වුණේ නෑ. ඒහින්ද අම්මත් ඒ එක්ක නංගිත් හිටියා. ඒකට මම දුක්වුණා අම්මට නිදහසේ සතුටු වෙන්න ලැබුණු අවස්ථාවක් මම නිසා නැති වුන එක ගැන.
අපේ පවුලට වඩා නිදහස තියන පවුල් තියන හින්ද සමහර විට ඒ අයියට එය බඳින්න යන කෙනා එක්ක කතා කරන්න ඉඩ ලැබෙන්නත් ඇති. එදා ගෙදර ඇවිදින කොට මගේ කකුල පූසාගේ ඇඟේ කිහිප සැරයක්ම හයියෙන් වැදුනා. "අපේ අක්ක අද හරි නපුරු යි" නංගි කිව්වා. මම කාමරේට ගිහින් කණ්ණාඩිය දිහා බලද්දී ඇස් වල කඳුළු තිබුණා.
එදා හැන්දෑ වෙනකම්ම මම හිටියේ කණ්ණාඩිය ඉස්සරහ. තාත්තා ගෙදර ඇවිත් මට කතා කරලා තිබුණා. මට ඇහුනේ නෑ. මම උත්තර නොදුන් හින්ද තාත්තට හොඳටම තරහ ගිහින් තිබුණා. නංගි මට පස්සේ කියපු විදිහට තාත්තා මම කොහොද කියල නංගිගෙන් අහල තිබුණා. "අක්කා කාමරේ, කණ්ණාඩිය ඉස්සරහ" නංගි උත්තර දීල. ඊට පස්සේ වුණේ හිතාගන්නවත් බැරි දෙයක්. එක පාරටම කාමරේට ආපු තාත්තා කණ්ණාඩිය අල්ලලා පොලවේ ගැහුවා. වීදුරු කෑලි දහස් ගණනකට කණ්ණාඩිය බිඳිලා ගියා.
"උඹ වැඩ කරන්න ඕනේ මං කියන විදිහටයි, දැනගනින්!" තාත්ත කෑගැහුවා. "වයස ගියාට මහ ගෑනියෙක් කියලද හිතන් ඉන්නේ?"
"මහ ගෑනියෙක් වුණත් මට ඕනේ දේවල් කරන්න නිදහසක් නෑ කියල මම දන්නවා." මම එහෙම කිව්වේ නෑ. කිව්වනම් මොනවා වෙයිද කියන්න අල්ලා වත් දන්නේ නෑ. මම බිම බලාගත්තා. මට මාවවත් බලාගන්න තිබුණ කණ්ණාඩිය නැතිවුණා.
මම බඩු අහුරලා ඉවර වෙලා නිදා ගත්තේ වෙලාසනින් ම. ඒ හින්දම රෑ නැගිටින්න පුළුවන් වුණා. වෙලාව රෑ එකයි කාලයි. කුස්සියේ විතරයි සද්ද ඇහුනේ. කෑම හදන අය ඇරුනම අනෙත් ඔක්කොම නිදි. මම පැත්තකින් තියපු කුරාණය අරගෙන බිමින් තිබ්බා. ගිනිපෙට්ටියක් අතට ඇවිත් දැල්විලා පොත උඩට වැටුනේ හීනයකින් වගේ. මම ජනේලේ ඇරලා කලින් ලැහැස්ති කරගත්ත විදිහට ග්‍රිල් දැල ගලවලා අයින් කළා. මම ගෙයින් එළියට එද්දී පොත හොඳටම පිච්චිලා තිබුණා. ඒ එක්කම මේ හිර ගෙදරත් පිච්චිලා අළු වෙලා යනවනම් හොඳයි කියල හිතිලා ඒ ප්‍රාර්ථනාව නවත්ත ගත්තේ අම්මවයි නංගිවයි මතක් වෙලා.
කුස්සියේ වැඩකරන මිනිස්සුන්ට ගින්න පෙනෙයි කියල හිතන ගමන් මම පාරට ආවා. පාරේ තැනින් තැන එළියයි. කාත් කවුරුත් නැති වුණත් තනියම ගමනක් යන පලවෙනි වතාව වුණත් බයක් දැනුනේ නෑ. මට මම ගැනම පුදුම හිතුණා. මට තියන ආත්ම ශක්තිය ගැන ආඩම්බර හිතුණා. මම දන්නවා මට අල්ලා සමාව දෙනවා මොකද අල්ලා කියන්නේ ආදරය කරුණාව මිසක් වෛරය හිංසාව නෙවෙයි.
Subscribe to:
Posts (Atom)