Wednesday, March 16, 2016

අකුණු | Rays of Light


අඳුරු අහස ඉරාගෙන නියෝන් දම්පාට ලේසර් කිරන තීරු එක දිගට හතර සැරයක් අකුණු ගැහුවෙ කාට හරි දඬුවම් දෙන්න වගේ. පාරේ හිටියේ කැහුටු ගැහුනු බල්ලො විතරයි. උන් වැස්සෙන් බේරෙන්න පුලු පුලුවන් තැන් වලින් කොම්බු ගැහිලා හිට්යා, කන් එල්ලා හැලෙන බල්ලන් එල්ලා හැලුනු කන් වලින් තමන්ගෙ ඇස් වහගෙන හිටියා. සමහර විට අකුණු වලට උන් බය නැතුව ඇති.

වාහනයේ හිටියා වුනත් හිරිකඩ ටිකක් හරි මටත් දැනුනා. වීදුරු නියමාකරයෙන් වැහෙන්න නැතුව ඇති. කොහොම හරි හිරිකඩ මගේ මූණට වැටිලා දාඩිය වගේ තීරු තීරු මූණෙන් පහලට ගලන්න ගත්තා. වැස්ස වැටුනෙ රැලි විදිහට. රැල්ලෙන් රැල්ලට වතුර පොදි වීදුරු වලට වැටුනේ වැලි වැටෙනවා වගේ. ජල ප්‍රහාර නිසා වාහනයෙන් අඩි කිහිපයකින් එහාට මොනවත් පෙනුනේ නෑ.

මම වාහනය නතර කරලා තිබුනේ තාර්යාගෙ ගෙදරට ගොඩක් ලඟින්. මට කරන්න තිබුනේ වාහනයෙන් බැහැලා ගෙදරට දුවන්න විතරයි. ඒත් මම එහෙම නොකලේ මම වැස්සට තියන බය නිසාමත් නෙවෙයි. ඒත් මොකක් හරි හේතුවකට මට ඒක කරන්න අපහසු වෙලා තිබුනා. ඇත්තටම කිව්වොත් හේතුව මම නොදන්න එකක් මත් නෙවෙයි. හේතුව අමතක කරන එක හේතුව මතක් කරල මම වැරදි කරයා වෙන්න මම අකමැති වුණා. නොදන්නා කම ප්‍රහර්ශයට හේතුවයි.

තාර්යාව මට හමුවුනේ අහම්බයෙන් නෙවෙයි. ඒක දෛවයෙන් විය යුතුව තිබුනු දෙයක්. මොකද ඇය හමුවුනු ගමන්ම අපේ කිසිම වෙනසක් වුනේ නෑ. මොකද අපිට එහම කරන්න අවශ්‍යතාවක් තිබුනෙ නෑ. අපේ හැම දෙයක්ම අපිට ඕනවටත් වඩා ගැලපුනා. මේ කියන්නේ අපි දෙන්නටම එක සමාන රුචි අරුචි කම් තියන සමාන්තර අදහස් තියන අය කියන එක නෙවෙයි. කොහෙත්ම නෙවෙයි. මේ කියන්නෙ අපේ අසමානතා අපේ විරොධතා අපි දෙන්නව සමබර කලා කියන එකයි. විශමතා වල සංකලනය තමයි ඕනම ගැටලුවකට පිළිතුර වෙන්නෙ.

මම සිගරට් එකක් පත්තු කරගෙන හිතන්න ගත්තා. අපිට වැරදුනේ කොහොමද? අපිට වැරදෙන්න වැඩ සැලසුනේ කාගේ වරදින්ද? වුණු වැරදි හදාගෙන ඉදිරියට යන්න අපිට බැරිද? ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියනවා. බොහො දුරට ප්‍රශ්නයේ මයි උත්තරය තියෙන්නෙත්. ඒත් මෙතන තියන ගැටලුව ප්‍රශ්නය මොකක්ද කියන එක මට පැහැදිලි නොවීම. මම අතීතය අවුස්සන්න ගත්තේ චිත්‍රපටයක් පසුපසට ධාවනය කරනවා වගේ.

"මම ඔයාව දන්නවද?" තාර්යා මට මුලින්ම කතා කලේ එහම.  "දැකලා පුරුදුයි."
"මටත්, ඒත් මට විශ්වාසයි, ඒ මේ ආත්මයෙ වෙන්න බැහැ කියල." තාර්යා හිනා වුණා.

එතනින් එහාට වැඩ සිද්ද වුනේ ඉක්මනින්. බොහොම ඉක්මනින් අපි අඉව අඳුන ගන්න කල් ගෙව්වා. එයාගේ සමීකරණ මම විසඳුවා. එයා මගේ හර බැර සටහන් තුලිත කලා. කලින් කිව්වා වගේ අපි අපි දෙන්නගේ අඩුවැඩිකම් අඳුන ගනිමින් එවා සමබර කරමින් හිටියා. ඒ කාලය සුන්දරයි. තමන් ආදරය කරන තරමට තමන්ටත් ආදරය කරන්න කෙනෙක් ඉන්නවා කියල දැනගැනීම තරම් සතුටක් තවත් නෑ.

"අපි බඳිමුද?" මම දනහිසට බහින්නේ නැතුවම දවසක් ඇහුවා. ඒ වෙනකොට ඒ වගේ සංදර්ශන උවමනා නැතුවම ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුලුවන් කම අපිට ලැබිලා තිබුනා. තාර්යා මුකුත් නොකියම මගේ දිහා බලන් හිටියා. එයාගේ ඇස්වල තිබුනේ සතුට නෙවෙයි; වෙනත් දෙයක්. මට පැහැදිලිව ඒ මොකද්ද කියල පුලුවන් කමක් තිබුනේ නෑ. මොනවා තිබුනත් ඇය අපහසුතාවකට පත්වෙලා කියලා පැහැදිලියි.

"මට උත්තර දෙන්න තව කල් ඕන තිවංක." ඇය මොහොතකට පස්සෙන් කිව්වා.

මම එතනින් පස්සෙස් බඳින එක ගැන කතා කලේ නෑ. විවාහය, එකට ජීවත් වීම, අපි දෙන්නගේ පොදු අනාගතය එක්තරා විදිහකින් තහනම් මාතෘකා වලට පෙරලිලා තිබුනා. අපි දෙන්නම ඒවා මග හරිමින් කට්ටි පනිමින් පරන පුරුදු ජීවිතයට යන්න අසාර්තකව උත්සහ දැරුවා. ඒත් එවායින් වුනේ සීරුම් තුවාල වලට හැරිලා නොදැනීම ඒ තුවාල පැසවන්න ගත්ත එක විතරයි. හංගන්න යටගහන්න හදන හැම අවස්තාවකම ඒවා රබර් බෝල වතුර ගිල්ලනවා වගේ නැවත උඩට පැන්නා.

"ඔයාට මට කියන්න බැරි දෙයක් තියනවද?" නොසන්සුන් කම හිර කරන් ඉන්න බැරි තැන මම ඇහුවා.

තාර්යා මොහොතක් මම දිහා බලන් හිටියා. අපි දෙන්නා ඇස් දිහා බලාගෙන එකිනෙකාව තේරුම් ගන්න උත්සහ කලා. ඒත් හැබෑවටම කෙනෙක්ට තවත් කෙනෙක්ව තේරුම් ගන්න පුලුවන්ද. කෙනෙක් කොච්චර අවංකව තවත් කෙනෙක් එක්ක හැසිරුනත් ඒ කෙනා ගැන සීයට සීයක් ම දැන ගන්න, අදහස් උවමනා අසාවල් තෙරුම් ගන්න පුලුවන් කමක් නෑ. කොච්චර වුනත් තවත් දැන ගන්න දේවල් ඉතිරියි. පුද්ගලයො කියන්නේ අභිරහස්. සමහර විට තමන්ටමත්.

"තිවංක මම බැඳපු කෙනෙක්." ඇය උත්තර දුන්නා.

එතනින් එහාට වැදගත් යමක් අපි අතර හුවමාරු වුනේ නෑ. මම තාර්යාට එක එක නම් වලින් අපහස කරනවත් ඇය තමන්ව නිවරදි කරගන්න කරුනු සපයනවත් මට යන්තමින් මතකයි. කෝපය හා වේදනාව එකට මිශ්‍ර වෙලා සියලු සංවේදනයන් අඳුරු වලාකුලු වලින් වැහිලා තිබුනා. මම මගෙස් හදිසි කෝපයට ඉඩ දීලා බලාගෙන ඉඳිද්දි මම ඇයට කරන්න පුලුවන් සියලුම අපවාද කලා. ඇගේ ප්‍රතිචාර මට එක අතකින් වැදගත් වුනේ නෑ. අන්තිමට මම යන්න හැරුනා. මාව ගොනාට ඇන්දු, මාව පාවිච්චි කල, මගෙන් ප්‍රයොජන ගත් යක්ශනියගෙන් මට මිදෙන්න උවමනා වුනා.

ආදරය කියන්නෙ පුදුම දෙයක්. ඒක ක්ශනයකින් ඇතිවෙන්න පුලුවන් වුනාට ක්ශනයකින් මියැදෙන්න බැහැ. තුවාල සීරීම් පිලිකාවලට අසුවුනත් ආදරය පණ ඇද ඇද හරි අපිත් එක්කම ඉන්නයි සූදානම. මගේ ආදරයත් මගෙන් මිදෙන්න කැමත්තක් නැතිව මගේම ඇඟේ ඇලිලා හිටියේ දෙවෙනි හමක් වගේ. අවසානයේ මම ඇයට සමාව දෙන්න හිතාගත්තා. ඒ වෙද්දි ඇයෙන් තොර ලොවක් ගැන හිතන්න මට පුලුවන් වුනේ නෑ.

වැස්ස තරමක් අඩුවෙලා තිබුනත් අකුණු අඩුවෙලා තිබුනේ නෑ. කොහොම වුනත් මම තාර්යාව මුණගැහෙන්න යන්න තීර්නය කලා. අවසන් වෙමින් තිබුනු සිගරට් කොටය විසිකරපු මම වැස්සේ තෙමෙමින් තාර්යාගේ නිවස වෙත දුවන්නට වුනා. තෙමුනු පොලව මඩවෙලා දුවන වාරයක් පාසා මඩ "චක් චක්" හඬින් විසිවුනා. ලිස්සෙමින් වැටෙන්නට යමින් අවසානයේ ඇගේ දොරකඩට එන්නට මට පුලුවන් වුනා. ඇය විවාහක වුනත් ඇය ඇගේ සැමියගෙන් වෙන්වලා වෙනම ගෙදරක ජීවත් වුනා.

දොරට කිහිප වරක් තට්ටු කරල මම බලන් හිටියේ තාර්යා ඇවිත් දොර අරින කල්. කියන්න දෙවල් ගොඩකුත් අහන්න දෙවල් දහසකුත් ගන්න පොරොන්දු ගොන්නකුත් අතැතිව මම බලන් හිටියා. මට ඕන වුනා අපි අතර තියන බැඳීම නැවතත් අලුත් කරගන්න. තියනවටත් වඩා වැඩි කරගෙන අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරගන්න. තාර්යා දොර ඇරියේ නෑ, කොටින්ම තාර්යා ගෙදර ඉන්නවද කියන්නත් අමාරුයි. ඒත් ගෙදරින් ලයිට් එලිය විහිදුනා. සමහර විට ඇය මාව මගාරිනවා ඇති.

අවසානයේ මම වන්න හැරිලා දොරට තට් කරලා නිකමට වගේ අගුල අල්ලලා බැලුවා. දොර ලොක් කරල නෑ. මම දොර ඇරියා. ගෙදර එලිය හොඳින් තිබුනත් කවුරුවත් ඉන්න බව්ල් තිබුනේ නෑ. හැම දෙයම අප්‍රසන්න නිහඬ තාවකින් ගිලිලා හිටියා. මම ක්‍රමයෙන් ඇගේ කාමරය වෙත සකමන් කලා. මීට කලින් කිහිප වතාවක්ම මම ඇය පසුපසින් තාර්යාගේ කාමරය ගමන් කල හැටි මට මතක් වුනා. ඒ සතුටු කොඅල පරිච්ඡේදය මතක් වීමෙන් හදවත එක ගැස්මක් අතපසු කලා.

සමහර දේ දකින්න අපි ආසයි. සමහර දේ දකින්න අපි අකැමතියි. තවත් සමහර දේ දැක්කම අපිට මොනම දෙයක්වත් හිතාගන්න බැරිවෙනවා. ඊලඟට වුනු දෙයත් ඒ වගේ. වෙන්නේ මොනවද වෙලා තියෙන්නේ මොනවද මම කරන්න ඕන මොනවද කියල හිතගන්න බැරිව මම එකල මෙකල වුනා. කාලය ගතවීම නතර වෙලා මම තාර්යගේ නිසල සිරුර දෙස බලාගෙන හිටියා. එක අතකට හැරිලා කුදු වෙලා හිටිය ඇගේ පපු ප්‍රදේශයෙන් ලේ ගල ගිහින් බිම ලේ විලකට හැරවිලා තිබුනා.

මගේ දණහිස් පොළව සිපගත්තේ මම නොදැනුවත් ම යි. මම තාර්යාගේ අතින් අල්ලලා නාඩි පරික්ශා කලා. එවායේ ජීවය තිබුනේ නෑ. මම සීරුවෙන් ඇයව මාදෙසට හැරෙව්වා. ඇගේ ඇස් පියවිලා තිබුනේ නෑ. බලන්නෙ කොහෙද කියලා දන්නෙම නැතිව ඒවා මගේ දිහා එල්ල වීගෙන තිබුනා. තමන්ගේ අනාගත බිරිඳව ජීවිත සහකාරියව මරලා දාලා තියෙද්දි මිනිහෙක්ට දැනෙන්නේ මොනවද කියන්න මම දන්නේ නෑ. කිසියම් හිරිවැටීමකට ලක් වෙලා, ඔහේ වෙන දෙයක් වෙන්න ඉඩ දීල බලන් ඉන්න කෙනෙක් බවට මම පත්වෙලා තිබුනා. මම පහත් වෙලා ඇගේ නලල සිපගත්තා.

ක්‍රමයෙන් වෙලා තියන දේ බරපතල කම මට වැටහෙන්න ගත්තා. මම මේක අදල පාර්ශව වලට දැනුම් දිය යුතු බවත් ඔවුන්ගේ සහය ඇතිව කරන්න සුදුසු දේ කල යුතු බවත් පසක් වෙන්න ගත්තා. මම එතනින් නැගිටලා මගේ ජංගම දුරකතනය අතට අරන් අංක ඇමතුවා. ඉන් එහාට දේවල් වුනේ ස්වයංක්‍රීයව. මම සියලු විස්තර දැනුම් දෙනවත් මට කරන්න උපදෙස් ලැබෙනවත් මට අපිලිවෙලට මතකයි. මම ඔව්න් කියන හැම දේටම ඔලුව වනමින් අවනත වුනා.

පියවි සිහිය එන කොට මම නැවත තාර්යගෙ නිවසින් එලියට ඇවිත් මගේ කාරය දෙසට ඇවිද යමින් හිටියා. මේ වෙද්දි කොහොමත් වතුරෙන් පෙඟිලා හිටිය නිසා වැස්ස ගැන වගක් තිබුනේ නෑ. ඒත් තාර්යගේ ලේ මගේ ඇඟේ ගෑවිලා ඇලිලා තිබුනා, වැස්සට ඒවා හේදිලා ගියේ නෑ. මම ලේ පිහිද ගැනීමේ උවමනාවෙන් මගේ කාර් එකෙන් ඩිකිය ඇරියා. ඩිකියේ පරන තුවායක් තියනවා වගේ මට මතකයක් තිබුනා. ඩිකියේ තුවායක් තිබුනා. ඒත් ඒක පිරිසිදු එකක් නෙවෙයි මලකඩයි දූවිලියි වලින් පිරිලා තිබුනා. වෙන කරන්න දෙයක් නැති නිස මම තුවාය අතට ගත්තා. එතකොටම බිමට වැටුනෙ තියුනු පිහියක්. පිහියත් පිරිසිදු නෑ. පිහිය අපිරිසිදු වෙලා තිබුනේ ලේ වලින්. වැසි බිඳු වැටිලා වේලිලා තිබුනු ලේ දිය වෙන්න ගත්තා. දියවුනු ලේ දහරාවක් වෙලා ගලාගෙන ආවේ මා දෙසට.

2 comments:

  1. මොනවද මේකට කියන්නේ කියලා මම මේ කල්පනා කලේ.

    මේ ලිවිල්ල ඒ තරමටම අපූරුයි.

    ReplyDelete
  2. ගොඩාක් පරණ පාඨකයෙක්. හෙන කාලෙකින් ආපහු මේ පැත්තේ ආවේ.. ඒ දවස්වල වගේම තවමත් ලියවිල්ල අපුරුයි.

    ReplyDelete