Friday, November 29, 2013

සෞම්‍යාලෝකයට නිරාවරණය වුණෙමි.


මේ සටහන සුනේත්‍රා රාජකරුණානායක ලියූ සෞම්‍යාලෝකය නම් කෘතිය ගැන ලියැවෙන සරල කියැවීම ක් ගැන යි.

සෞම්‍යාලෝකය අලුත් කතාවක් නෙවෙ යි. පොදු පුරුෂයාහි සුනේත්‍රා කියන්නෙත් මේ කතාව ම යි. 'කිලිනොච්චි අහසයි කොළඹ අහසයි වෙනස් නෑ' කියල පොදු පුරුෂයා පටන් ගන්න තැන ඉඳලම ඇය මතුරන්නේ සාමයේ හා සහජීවනයේ ගාථාව. එක වංචනික පුරුෂයෙක් හා කායික මානසික සම්බන්දකම් පවත්වන මවක් හා ඇගේ දියණිය අතර ඇතිවන සිත් තැවුල්, සිත් බිඳීම්, ලජ්ජාවන්, ක්‍රෝධයන් ගැන ලියන සුනේත්‍රා මේ තුන්කොන් සම්බන්දය ලංකාවේ ජනවාර්ගික අර්බුධය ගැන ලොකු රූපකයක් කරගන්නවා. මේ ලොකු රූපකය අන්තිමට ඉවරවෙන්නේ සියල්ලන්ම තම තමන්ට සමාව දීමෙන්. රටම දෙදරවන භූමි කම්පාවක් ඇවිත් ඒ කම්පනයත් එක්ක මව මිය ගියාට පස්සේ ඒ ගැන දුව කම්පා වෙනවා. තමන්ගේ අම්මත් එක්ක ඇති කරගත් ආරවුල් ගැන පසු තැවෙනවා. භූමි කම්පාවෙන් අතරමන් වුනු කුඩා දෙමල දැරියක් රැකවරණයට ගන්න ඇය, කතාව අවසන් වෙද්දී වෙනසක් නැතිව ප්‍රභාකරන්ටත් මෛත්‍රී කරන්න ඉගෙන ගන්නවා.

පොදු පුරුෂයා සාන්ද්‍ර අම්ලයක් නම් සෞම්‍යාලෝකය කියන්නේ එහිම ඉතා තනුක කල අම්ලය. සුනේත්‍රා අම්ල තනුක කිරීමට බලපෑ හේතු හිතාගන්න පුළුවන්. පොදු පුරුෂයා ගැන විවිධ අයට විවිධ නිර්වචන තියෙන්න පුළුවන් වුනත් පොදුවේ පොදු පුරුෂයා එක පන්තියකට පමණක් සීමාවුණ එක පන්තියක් මුල් කරගෙන ලියු කතාවක් කියල නිගමනයකට එන්න පුළුවන් වේවි. පොදු පුරුශයාහි පාත්‍ර වර්ගයා ඇතුලත් වෙන්නේ ඉහල මැදි පන්තියට (නැත්තම් අඩුතරමේ ඒ පන්තියට පනින්නට උත්සහ කරන්නන්ට). ඒ නිසාම කතාවෙන් කියවෙන්නේ එක පන්තියකට යුද්ධය බලපාන (හෝ බල නොපාන) හැටි විතර යි. යුද්ධයට ඍජුව මුහුණ නොදුන් ඔවුන් යුද්ධයට විවිධ අර්ථකතන දෙනවා, විසඳුම් ඉදිරිපත් කරනවා, යුද්ධයම විවේචනය කරමින් එය වෘත්තියක් කරගන්නවා.

සෞම්‍යාලෝකයේ පාත්‍ර වර්ගයාගෙන් බහුතරය යුද්ධයට ඍජුවම මුහුණ දී බැට කෑ අය. කොටින්ගෙන් බිහිසුණු ලෙස පීඩා විඳින සිංහල මායිම් ගම්මාන වැසියන්, ඊට ආසන්නයේ අනිත් ගම්මානයේ සිටින ගිරයට හසුවුණු දෙමල වැසියන් ගෙන් පටන් ගෙන කොළඹ බර්ගර් ජාතියන්, දෙමළ කොට්ටාශ, මහනුවර සිංහල භික්ෂුන් වෙනකම් පුළුල් පරාසයක චරිත මෙහි හමුවෙනවා. ඒ වගේම ඔවුන් බොහෝවිට පහල පාන්තිකයන්. ඒ නිසා එක අතකින් පොදු පුරුෂයා ලියද්දි මග අරුණු කොටසක් ඇය ලියනවා වෙන්න පුළුවන්. ඒත් ඇය ලියන්නේ එකම තේමාවක් මුල්කරගෙන නිසා එකම දේ නැවත නැවත කියවීම වෙහෙස කර යි.

පාවාදීම්, වංචාවන්, කපටිකම්, කුහකකම් සියුම්ව පෙන්වන පොදු පුරුෂයා ස්ථර ගණනාවකින් සමන්විත වූවක්. උදාහරණයක් විදිහට මනොරම්‍යාගේ දරු සෙනෙහස, සාෂා වෙත ඇති ප්‍රේමය/ක්‍රෝධය, ආත්ම අනුකම්පාව ආදී සංකීර්ණ මානුෂික හැගීම් රැසක් පොදු පුරුෂා තුලින් පෙන් වන්න සුනේත්‍රා සමත්. සෞම්‍යාලෝකය සරල යි, ඍජු යි සුනේත්‍රා ලියන හැම කතාවක වගේම තියන අතුරු කතා එහිත් තිබුනත් වෙන්කර දැක්විය හැකි තල කිහිපයක් සියුම් බවක් නෑ. සරලවම හා මුලිකම කතාව යුද්ධයේ තුවාල් සුව කරගැනීම වෙනුවන් කියල ඇය ඍජුව කියනවා. සාහිත්‍යාත්මකව සෞම්යාලෝකය පොදු පුරුෂයාට වඩා පහතින් ඉන්නේ ඒ නිස යි. පොදු පුරුෂයා තුල ඇති විවිධ මාන සෞම්‍යාලෝකය තුලින් ගිලිහි ගිහින්. එහි සිටින්නේ බොහෝ විට පැතලි චරිත.

මම හිතන්නේ නෑ සෞම්‍යාලෝකය අසාර්ථක කතාවක් කියල. ඒත් මට සෞම්‍යාලෝකය සුනේත්‍රා ලියපු එකක් නෙවෙයි වගේ. වැඩි පරාසයක පාඨක පිරිසක් ඉලක්ක කරගෙන ලියු නිසා එහි සුනේත්‍රා නෑ. සුනේත්‍රාගේ අනන්‍යතාවය පෙනෙන තැන් නැත්තෙමත් නැති වුනත් සුනේත්‍රාගේ කැපී පෙනෙන ස්වභාවය ලිවීම ඇතුලේ අතුරුදැන් වෙලා. කොටිම්ම කියනවා නම් මේ පොත මට ඍජු වැඩි යි. එයින් අදහස් වෙන්නේ නෑ ඍජු වීම වරදක් කියල, එයින් අදහස් වෙන්නේ සෞම්‍යාලෝකයේ සාහිත්‍ය (අව)භාවිතාවට මම අකමැතියි කියන එක.

3 comments:

  1. මේක මේ විදිහටම මටත් දැනුනා. ඉබ තරම් හර බර සිංහලෙන් ඒක කියන්න මට නොතේරුනාට. සුනේත්‍රා කියන්නේ මගේ ආසම සිංහල ලේඛිකාව. ඇයගෙන් පොදු පුරූෂයාට හෝ මෙයිට වඩා වෙනස් යමක් මාත් බලාපොරොත්තු වුනා. සුනේත්‍රා කියන්නේ පවුලෝ කොයෙල්හෝ වගේ එකම දෙයක් ලියන කෙනෙක් වෙනවට මම අකැමැතියි. එතකොට අපි ලේඛකයාට මොන තරම් ආසා වුනත් කික් එකක් නෑ කියවගන යන්න. ඒත් ඇය කතාව අස්සේ දෙන්නේ හිස්ම හිස දෙයක් නෙමෙයි.එ අත් ඉතින් අපේ රටේ ඈයින්ට ඕක තේරුම් ගන්න තවා බොහෝ කල් යාවි.

    ReplyDelete
  2. පොත කියවලා නැති හන්දා ඉතින් උඹේ අදහස ඔළුවට දා ගන්නවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ මචං..

    ReplyDelete
  3. ඇයි දැන් ලියන්නේ නැත්තේ ? සිංහල බ්ලොග් කලාව දැන් වලපල්ලට යන්න වගේ හදන්නේ

    ReplyDelete