Thursday, April 4, 2013

විසඳුම

ලැබුණු සාක්ෂි සලකා බැලීම් පසුව නැවත ගොඩනගන ලද සිදුවීම.

"චානක ඊළඟට ලියන්න ඉන්න කතාව මොනවගේද?" රශ්මි චනකගෙන් ඇහුවා.

"කතා ගොඩක් හිතේ තියෙනවා. හැබැයි එකක්වත් හිතට හරියන්නේ නෑ."

"හිතේ තියන එක කතාවක් කියන්න, මම පුලුවන්නම් උදව් කරන්නම්."

චානක කෝපි කෝප්පේ අතට අරන් එහෙට මෙහෙට හැරෙව්වා. ඊළඟට පිම්බා. කෝපි රස්නේ නැති වුණත් බොන්න කලින් පිඹින පුරුද්දක් චානකට තිබුණා. රශ්මි සිය දීප්තිමක් ඇස් දෙක හීනි කරමින් බලාසිටියේ චානක උත්තර දෙනකම්. මීට කලින් චානක ඔහොම ප්‍රශ්න වලට උත්තර දෙන්න හොරයි. රශ්මි බලකරලා උත්තර ගන්න නොගියත් හිතේ තියන කුතුහලය රශ්මිව චානකගේ ප්‍රතිචාරයක් ලැබෙනකම් සාගින්නෙන් යුතුව බලාගෙන හිටියා. රශ්මි චානකට කෙලින්ම කිව්වේ නැති වුණාට රශ්මි චානක ලියපු හැම කතාවක්ම අකුරක් නෑර කියවලයි තිබුණේ. පළවෙනි කතාව කියවද්දී රශ්මි තමන්ටම හිනාවුණා බොළඳ රහස් පරීක්ෂක කතා කියවනවට. දෙවැනි පොත කියවද්දී රශ්මිට තමන් ගැනම තරහයි. තුන්වෙනි හතරවෙනි පොත වෙද්දී අමාරුවෙන් වුනත් රශ්මිට පිළිගන්න වුණා චානකගේ ලිවීමට ඇය ඇබ්බැහි වෙලා ඉන්න බව.

"මේක ටිකක්- නෑ ගොඩක්- පිස්සු අදහසක්. ඔයා ඒක ගැන මොනවා හිතයිද දන්නේ නෑ." චානක තෙපර බෑවා. "මගේ හිතේ අදහසක් තියනවා මැදි වයස පහුකරන ගෑනියෙක් මිනීමරන කතාවක් ලියන්න. කොටින්ම කිව්වොත් මට ඒ අදහස ආවේ මිසිස් මුණසිංහ අනුව."

රශ්මි ඔලුව වැනුවේ කියන් යන්න කියන්න.

"ඒත් ප්‍රශ්නේ මේකයි, ඒකට ප්‍රබල හේතුවක් මට හිතාගන්න බෑ. හැබෑ ජීවිතේදී ඕනෙම මිනිමරුවෙක්ට පිළිගන්න පුළුවන් හේතුවක් තියෙන්න ඕනේ නෑ මිනීමරන්න, ඒත් කතාවකදී එහෙම බෑ. මිනිස්සුන්ට ඒක දැනෙන්න ඕනේ."

"ඉතින් මිසිස් මුණසිංහව මානසික ලෙඩෙක්ව කරන්න. සිරියල් කිලර් කෙනෙක්."

"මම ඕක ගැන හිතුවා, ඒත් මම මේ දවස්වල පත්තරේට ලියන කතාවකත් මිනීමරුවා මානසික ලෙඩෙක්. ඉතින් එක විදිහේ කතා මම ආයේ ලියන්න කැමති නෑ." චානක ආයෙත් කොපි කෝප්පේ අතට ගත්තා. කෝපි බීලා ඉවර වුණත් කෝප්පේ ආයෙත් තොල ගෑවා. එක පාරටම චානක රශ්මි දිහා බැලුවේ බලාපොරොත්තුවේ සේයාවක් තමන්ගේ ඇස්වල රඳවා ගනිමින්. "ඔයාට කරන්න පුළුවන් උදව්වක් තියනවා. මට දැනගන්න ඕනේ මිසිස් රණසිංහ මිනිමරුවෙක් වෙනවා නම් ඒ ඇයි කියන හේතුව."

"අයියෝ ඕක අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. උත්තරේ තමන්ගේ පුතා. මිසිස් මුණසිංහ එයාගේ පුතාට හරි ආදරෙයි, සමහර වෙලාවට ඒක පිස්සුවක්. එයාට ඕනේ එයාගේ පුතාව රූකඩයක් වගේ තමන්ට ඕනේ විදිහට නටවන්න. පුතා දැන් ඉන්නේ රට, මෙයාගේ වදේට කියන්නෙත් නැතුවයි ගිහින් ඉන්නේ. කතා කරන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේ. ඒ වුණාට කියන්නේ නම් එයත් යන්න ඉන්නේ කියල. අර වයසක මනුස්සයටත් හරියකට සලකන්නේ නෑ, එයාට ඕනේ හැමෝවම පාලනය කරගෙන ඉන්න. වෙලාවකට මහා ඇණයක්. මගෙත් වැඩවලට ඇඟිලි ගහනවනේ." රශ්මි කියාගෙන යද්දී තමන්ගේ හිතේ මිසිස් මිනසිංහගේ වැඩ ගැන තිබුණ තරහත් පිටවුණේ නොදැනුවත්වම. අනුන්ගේ වැඩවලට ඕනෙවට වඩා ඇඟිලි ගහනවට, ඉවරයක් නැති ඕපාදුප හෙවිල්ලට, මිනිස්සුන්ව අල්ලේ නටවන්න හදනවට රශ්මි කේන්තියෙන් හිටියේ.

"ඉතින් මම දැන් මොනවද කරන්න ඕනේ?" රශ්මි චානක ගෙන් එහෙම ඇහුවහම චානකගේ ඇස් දිලිසුණා.

"මම කියන්න ඕනේ නෑනේ. ඔයාටම ඕක කරන්න පුළුවන්."

* * * * *

හිතපු වෙලවටම වගීෂ ආවේ කාර් එකේ. අලුත්වැඩියා කරන්න දීල තිබුණු වාහනේ හදන්නත් කලින්  අරන් එන්න විදිහට පෙළෙඹවීමක් කරන්න රශ්මිට පුළුවන් වුණා. රශ්මිගේ අතාර්කික තුරුම්පුව වුණේ වගීෂගේ ඇය ගැන තිබුණු කැමැත්ත. අනෙක් අයගේ අවධානයට ලක්වෙන්න, ආදරය ලබන්න කවුද අකමැති. වගීෂගේ විශේෂ සැලකීම් වලින් රශ්මි සතුටටත් ආඩම්බරයටත් පත්වුණා. වගීෂ පිස්සුවෙන් වගේ රශ්මි පස්සේ වැටිලා ඉන්න කොට කාර්යාල මිතුරියක් කිව්වේ, "පව් බං. ඌ මෝඩය වගේ උඹේ පස්සෙන් එන්නේ ආදරේටනේ, ඒකෙන් ප්‍රයෝජන ගන්න එපා" කියලා. රශ්මි එවෙලාවේ මහා හයියෙන් හිනා වුණාට තමන්ට ලැබිලා තිබුණු අවස්ථාව ගැන ඇය උද්දාමයට පත්වුණා.

"මොකද්ද ඕනේ කිව්ව උදව්ව, හදිස්සියක්ද? කරදරයක්ද?" වගීෂ කර එකෙන් බැහැල ඇවිත් ගේ ඉස්සරහින් හිටගෙන ඇහුවේ කලබලෙන්.

"නෑ නෑ, එහෙම මුකුත් නෑ. ගේ ඇතුලට එන්නකෝ මම කියන්න."

වගීෂ පුටුවෙන් වාඩිවුණේ නුහුරු විදිහට. කලින් තිබුණු කලබල ස්වභාවය සම්පූර්ණයෙන්ම නැතත් තරමක් හිඳිලා තිබුණා. රශ්මි වාඩිවුණේ ඒ පුටු ඇන්දේ වගීෂගේ ඇඟේ හැපෙන විදිහට. රශ්මි ටික වෙලාවකට කලින්  ඉහ ගත්ත සුවඳ විලවුන් වල ලා සිට්‍රික් ඝන්ධය වගීෂගේ නාසයේ ඇතිල්ලිලා පපුව ඇතුලටම කිඳා බැස්සා. රශ්මි වගීෂ දිහා බලලා යන්තම් හිනාවුණා.

"මේක මේ යාලුවෙක්ට කරන විහිළුවක්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චර යි. මේ නම්බර් එකට කතා කරන්න, කවුරු ආන්සර් කළත් කමක් නෑ, එයාට කියන්න ඔයා රුවන් මුණසිංහගේ යාලුවෙක් කියල. ඊට පස්සේ වැඩේ ලේසියි. මේ කොලේ බලාගෙන ඉතිරි ටික කියන්නයි තියෙන්නේ. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න එපා. ඔයා ඔය ටික කිව්වම ඇති."

වගීෂ රශ්මි දුන්න කොලේ කියවන්න පටන් ගත්තා,

විශේෂ පණිවිඩයක් තියනව කියන්න, ඔයාට කරන්න තියෙන්නේ ප්‍රශ්න අහන්නේ නැතුව මම කියනදේ හොඳට අහගෙන ඉන්න. තමුන්ගේ පුතා රුවන් මුණසිංහ ඉන්නේ රට නෙවෙයි ලංකාවේ ම යි. තමුන්ගේ වදේට බොරු කියල පැනල ගිහින්. දැන් ඉන්නෙත් බැඳපු තමුන්ගේ ලේලිත් එක්ක නෙවෙයි, මතක් කරලා බලනවා අන්තිමට ලේලි කතා කළේ කවද්ද කියල, දැන් තමුන්ගේ මහා ලොකු පුතා ඉන්නේ ළමයි දෙන්නෙක් එක්ක අනාත වෙච්ච නාකි ගෑනියෙක් එක්ක. මෙච්චර කල් තමුන්ට කරලා තියෙන්නේ ලොකු බොරුවක්. බයවෙන්න එපා මම මේවා කාටවත් එලි කරන්නේ නෑ. ඒත් මට උදව්වක් ඕනේ. මේ කෝල් එක ඉවර උනාට පස්සේ පුතාට කතා කරලා කියන්න ඕනේ තමුන් ඔක්කොම රහස් දන්නවා කියල. සරලයි, එච්චරයි, සුබ රාත්‍රියක්.

"මේ විහිලුවක්ද? නැත්තම් තර්ජනයක්ද?" වගීෂ ඇහුවේ සැකයෙන්. වාඩිවෙලා හිටපු පුටුවෙන් ඔහු නොදැනීම නැගිට්ටවිල තිබුණා.

රශ්මි වගීෂ ගේ කම්මුල සියුම්ව අතගෑවා. වගීෂට ඇස් පියවුණේ ඉබේටම. තප්පර කිහිපයක් රශ්මිගේ සියුමැලි පහස විඳමින් ඔහු සිහින ලෝකයක පාවුණා. නැවත ඇස් අරිද්දීත් රශ්මි වගීෂ දිහා බලාගෙන හිටියේ. රශ්මිගේ බැල්ම වගීෂව පසාරු කරගෙන ගියා. වගීෂ වීදුරුවක් වෙලා රශ්මිගේ තියුණු නෙත් තුලින් ආලෝක කිරණ ගමන් කළේ වර්තනයක් වෙන්නේ නැතුව ම යි. රශ්මි ඔලුව වැනුවේ තමන් එක කළ යුතු ම බව පවසන්න. අවසානයේ වගීෂත් එය අනුමත කරන්න ඔලුව වනමින් හිටියා.

"හරි එහෙනම් ඔයා කෝල් එක දෙන්න. මම ටක් ගලා මිසිස් මුණසිංහ බලල එන්නම්." රශ්මි පහත් හඬින් කිව්වා. "ආ තවත් එකක්, ඔයාට කූල් ඩ්‍රින්ක් එකක් ඇති ඒකත් බොන්න."

* * * * *

රශ්මි ගෙයින් එළියට බහිද්දී හඳ එළිය පරිසරය නහවල ලා නිල් පාට ආලෝකයකින් බාහිර ලෝකය වර්ණ ගන්වලා තිබුණා. රශ්මි සඳ පහස වින්ද ගනිමින් වටපිට බැලුවා. චානකගේ ගෙදර කළුවරේ තනිවෙලා, මිසිස් මුණසිංහගේ ගෙදර ඇතුලින් එක තනි එළියක් විතරක් දිස්වුණා. වගීෂ කතා කරලා මිසිස් මුණසිංහ ට විස්තරේ කියද්දී ඇය පුදුමයටත් කලබලයටත් පත්වෙන හැටි සිහිවෙලා රශ්මිට හිනා ආවා. එතන වරදකාරී හැංගීමක් නැහැ. වගීෂ දැන් කියන ඒවා බොරුමත් නෙවෙයි නේ, සුළු සංස්කරණ ටිකක් සහිත ඇත්තනේ. ඒ පාර රශ්මිට සිනහ පහල වුණේ තමන් ගැන ම යි. ඇය චානක අතින් ලියවෙන්න පුළුවන් විදිහේ කතාවක චරිතයක් වෙලා හිටියා.

නැවත ගෙට ඇතුළු වෙද්දී වගීෂ හිටියේ සෝපාවේ සිහිසුන්ව. සිසිල් පැන් තිබුණු වීදුරුව හිස් වෙලා වගීෂ ගේ පසකින් බිම වැටිලා තිබුණා. රශ්මිගේ සිසිල් පානය නියම ලෙසම වැඩකරලා. වගීෂව නැවත වාහනේට දාන එක හිතුව තරම් අමාරු වුණේ නැහැ. වගීෂ රශ්මිගේ උපකල්පිත බරට වඩා අඩු නිසා කරදරයක් නැතිවම වාහනේ ළඟට ගෙනියන්න ඇයට හැකිවුණා. හඳ එළියෙන් පමණක් ඔප වැටුණු පරිසරයේ රශ්මි කුමක් කරනවද බලන්න හැකියාව ඇත්තෙක් ඒ අසල හිටියේ නෑ. පසුපස ආසනයට වගීෂව වත්තම් කරගත් ඇය කාර් එක පණ නොගන්වා රියදුරු අසුනේ හිඳ බලා හිටියේ පාරේ වාහනයක් යනකම්.

රශ්මිට පුළුවන් වුණා, කරදරයක් නොවෙන්න වගීෂ ව නැවත ඔහුගේ ගෙදර ගිහින් ඇරලවන්න. සිසිල් පැන් වලට එක්කල බෙහෙත නිවැරදි නම් ඔහුට මේ කිසිවක් වූ බවට ඇති මතකය නැතිවෙන්න ඕනේ. රශ්මි වගීෂ ගේ වාහනය පදවාගෙන ඇවිත් නතර කළේ චානකගේ ගෙදර. කලින් සුදානම් කරගත්ත විදිහට ගේට්ටුවට යතුරක් ඇය සතුව තිබුණා. රශ්මි කාර් එකෙන් බැහැල අඩි ගණන් කළේ මිසිස් මුණසිංහගේ ගේ දෙසට. ගේ තුලින් විශ්‍රාමක විදුහල්පතිනියගේ තනිවම කරන වාග් හරඹ අසමින්ම (ඇත්තෙන්ම මුණසිංහ බිරිඳ පුතාගේ තතු දැන ගැනීමෙන් ලොකු කම්පනයකට පත්වෙලා තිබුණා. පුතාට කතා කරලා ඇත්ත නැත්ත ඇහුවහම පුතා වරද පිළිගත්ත එකනේ වැඩේ!) ඇය වගීෂට දුන් බෙහෙතේ ඉතිරිය තම අතට ගත්තා. වැඩි මාත්‍රාවක් ගැනීම මරණීය වෙන එය සම්පුර්ණයෙන්ම කටේ හලාගත් රශ්මි මුණසිංහ ගෙදර මල්පොච්චියකට හිස් බෙහෙත් කුප්පිය විසි කළා.

හිස බමද්දී, ගුරුත්වාකර්ෂණය පිස්සු නටද්දී, හඳ එළිය ගස්වල රටා මවද්දී රශ්මි නැවතත් චානකගේ ගෙදර මිදුලේ නතර කළ වගීෂ ගේ වාහනය වෙත පැමිණියා. බෙහෙත ඉතා ඉක්මනින් ක්‍රියා කරවමින් රශ්මිව අක්‍රීය කළා. ඇයට දැනුනේ කාලය ගතවෙන්නේ වෙනදට වඩා සීයකින් එකක වේගෙකින් කියල. රශ්මිට කාර් එකේ දොර වහගන්න අපහසු වුණා. අතේ ඇඟිලිවත් ඇස්වල දෘෂ්ටියවත් නියමිත පරිදි වැඩකළේ නැතුව රශ්මිව අඩාල කළා. ප්‍රකාශ කරගන්න අමාරු වේදනාවකින් මුළු සිරුරම ගැහෙද්දි, හදවත අපහසුවෙන් ලැබ-ඩබ් ශබ්ද නගද්දී, වමනේ යන්න ලොකු උවමනාවකින් බඩ පෙරලෙද්දී රශ්මි මේ කිසිවක් ගැනම නොසිතන්න ගත් උත්සහයකින් ඇය ඇස් පියාගත්තා.

චානකට උවමනා වුණාටත් වඩා සාර්ථක කතාවකට සාධක සපයන්න රශ්මිට පුළුවන් වීම ගැන ඇය සියුම් තෘප්තියකින් සැනසුණා.

අවසානයි.

11 comments:

  1. මුල කෑලි ටික හොඳට ආවා. ඒහ් මේ අන්තිම කොටසේ පට්ට අතාත්වික ගතියක් දැනුනා.

    ReplyDelete
  2. ඒක තමා... මේ පෝස්ට් එක මකල දාපං ;-)

    ReplyDelete
  3. පූසා කිව්ව එකමයි මටත් හිතුනෙ... මුල් කොටස් 3වගේ සාර්ථක නෑ බන්... උඹට මීට වඩා හොඳට මේක ඉවර කරන්න හැකියාව තියෙනව...

    ReplyDelete
  4. අනෙක් අය එක්ක කණගාටුවෙන් උනත් එකඟ වෙන්ට සිද්ධවෙනවා.

    රශ්මිගේ මේ හැසිරීම තාත්වික නෑ. එයා ගැන මවාගෙන තිබුනු (ඔයා මවපු ) ප්‍රතිරූපය එහෙම පිටින්ම බිඳ වැටුනා.:)

    ReplyDelete
    Replies
    1. ප්‍රතිරූප කැඩුවේ නම් උවමනවෙන් ම යි. අනිත් හැම කොටසකම තියෙන්නේ රශ්මිව බාහිරින් අනෙක් අය දැකපු හැටි, මෙතන ඇත්තේ රශ්මි මුලික කරගත් ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලිවීමක්.

      Delete
  5. බලාපොරොත්තු වුණු විදිහේ අවසානයක් දෙන්න බැරි වුණාට කණගාටුයි. :(

    අතාත්වික වෙන්නේ ඇයි කියන්න පුලුවන්ද, රශ්මිගේ දිවිනසා ගැනීම නිසාද? රශ්මි එහෙම කරන්න වුණු පෙළඹීම අපැහැදිලිද? වෙන කෙනෙක් මිනීමරුවා කියල හිතන් හිටිය නිසාද?

    ReplyDelete
    Replies
    1. රශ්මිට සියදිවි නසා ගන්න තරම් ඇතිවූ පෙළඹවීම විශ්වාස කරන්න බැරි නිසා වෙන්න ඇති කියලා හිතෙනවා හිරණ්‍ය..ඒක පිළිගත නොහැකි තරමට අතාත්විකයි..

      Delete
    2. රශ්මිගෙ චරිතෙ ගොඩනැගුන විදිහත් එක්ක අවසානය ඔය විදිහට වෙන්න කිසිම අවස්ථාවක් දකින්නෙ නැති නිසා බන්... කට්ටිය රශ්මි ගැන හිතපු විදිහට වඩා රශ්මිගෙ හැසීරීමෙන් මැවුන චරිතෙ මාර ස්ට්‍රෝං... මට දැනුන විදිහට නම් රශ්මි අපරාධකාරයෙක් වෙන්න හැකියාවක් තිබුනත් ඔය වගේ මානසිකත්වයකට යන්න හැකියාවක් තිබුන කෙනෙක් නෙමෙයි...

      Delete
    3. මට පෞද්ගලිකව දැනිච්ච දේවල් ටික කියන්නම්......
      ප්‍රධානම කාරණාව උඩ දෙන්නා කිව්ව දේම තමා. ඒ කිව්වේ මේ වගේ දිවි නසා ගැන්මට පෙළඹෙන විහිහේ මනෝභාවයක් ඇති කෙනෙක් ගැන විස්තරයක් කලින් කොටස් වලින් කියවුනේ නෑ. එතකොට එකපාරටම රශ්මි මෙහෙම කරගත්තේ ඇයි කියන එක අපැහැදිලියි.

      'සිහි නැති වෙච්ච කෙනෙක්ව' වත්තම් කරගෙන යනවා කියන එක පිරිමියෙක්ට උනත් අමාරු දෙයක්. සාමාන්‍යය කෙල්ලෙක් එහෙම කළා කිව්වම ඒක විස්වාස කරන්න අමාරුයි.

      Delete
    4. පිළිතුරු දුන්නට ස්තුතියි. කියපු කාරණා වලට මට නිදහසට කරුණු දක්වන්න පුළුවන්, ඒත් එහෙම ඕනේ නෑ කතාවේම කියනවා වගේ කියවන්නාට කතාව ආයාසයෙන් තොරව පිළිගත හැකි විය යුතු යි. ඊළඟ වතාවේ මීට වඩා හොඳ උත්සහයක් දෙන්නම්.

      Delete
  6. ඈ. මේ මොකද උනේ ?????

    ReplyDelete