I
ඇය අල්තාරය ඉදිරිපස දණ ගසාගෙන සිටියා ය. අත් එකිනෙකට බැඳී තිබුනද ඇය යාතිකා කළේ නැත. අගේ චෛතිසික ඒකාග්‍රතාව හාවෙකු මෙන් තැන තැන පැන පැන ගියෙන් ඇයට හාවා අල්ලා කූඩු කරගත නොහැකි විය. ඇය කුරුසයේ ඇණ වලින් පසාරු වූ ලේ ගලන අත් ඇති ජේසුස් දෙස දෑස් යොමු කළා ය; එසේ සිටිනා විට දැනෙන වේදනාව ප්‍රශ්න කිරීම මෝඩ කමකි. තමන්ටවත් උදව් කරගත නොහැකි මිය ගිය කෙනෙකුගෙන් ආධාර පැතීම නිෂ්ඵල බැවින් ඇය නැගිට ගත්තේ පිටව යාම සඳහා ය.
පල්ලියේ දීර්ග පුටුවක කෙළවරක ඇස්කොට් තොප්පියක් පැළඳි මිටි මහත මිනිසෙක් ඇය හමුවීම පිණිස හිඳ ගෙන සිටියේ ය. ඈ සෙමෙන් අඩි තබමින් පැමිණ ඔහු අසලින් වාඩිවිය. ඔහුගේ ඇස් තොප්පියේ සෙවනැල්ලට ලක්ව නොපෙනී ගොසිනි. චප්ප වූ නාසයේ තුඩ පමණක් පල්ලියේ මලානික ආලෝකයෙන් දිස්න දෙමින් පැවතියේ ය. නොසන්සුන් කමින් බර වූ ඇය තම අතැඟිලි දෙස බැලුවාය.
"මෙතනින් එළියට ගියහම ඉවරයි." ඔහු බැරෑරුම් හඬකින් කිවේය.
ඇය හිස සැලුවේ ඇය ඔහු කී දේ වටහාගත් බව පැවසීම ට යි. ඊළඟ ඔලුව සෙලවීම් ඇයගේ අනුමැතිය නොලබා සිදුවූ අතර සුළු මොහොතකින් එය සියුම් ඉකි ගැසුමකටත්, තවත් මොතොයකින් කඳුළු පෙරාගත් බෙරින්හන් දීමකටත් දක්වා පරිවර්තනය විය. කොහේදෝ සිට මතු වූ කන්‍යා සොයුරියක් ඇය වෙත පැමිණෙද්දී තොප්පි කාරයා සොයුරිය වෙත කුඩා පිස්තෝලයක් මාන්න ගත්තේ ය. සොයුරිය ක්ෂණයකින් සිටි තැනම ගල් වූවා ය.
II
ඒ ස්ථානය තනිකරම අන්ධකාරයෙන් මුදවා ගන්නේ එක් විදුලි බල්බයකින් පමණි. බල්බයට පහතින් පුටුවක් ද පුටුව මත සිහිසුන් අත් පා බැඳී මුඛය වැසි මිනිසෙක්ද සිටි යි. ඊට දෙපසින් නින්ජා ක්‍රමය අනුගමනය කරමින් උවමනාවෙන් කට වසාගත් තුවක්කු කරුවන් දෙදෙනෙක් ගල්පිලිම මෙන් සිටගෙන ඇත. උඩුකය බැනියමකින් පමණක් වසාගත් යෝධයා පැමිණෙන්නේ එවිට යි. යෝධයා පැමිණියේ වතුර බල්දියක්ද රැගෙනය; බල්දියේ වතුර එක්වරම රඳවාගත් තැනැත්තා මතට හිස්විය. ක්ෂණයෙන් විශාල හුස්මක් ගත් ඔහු නැවත සිහිය ලබා ගැන්මට සමත් විය.
"වල් පරයා!" යෝධයා ගුගුලේ ය. "තෝ ලෑස්තිද?"
රඳවාගත්තා හිස සැලීය.
"මොකද්ද කිව්වේ? ඔව් ද නැද්ද කියපිය..."
නැවත ඔහු හිස සැලීය.
"සිංහලෙන් කියපිය වේස බල්ලෝ, සිංහල!"
ඔහු 'ඔව්' යැයි සැලකිය හඬක් පිට කළේ ය.
නින්ජා අනුකාරකයෙක් ට සන් කළ යෝධයා රැඳවියාගේ මුඛ අවාරය ඉවත් කරන ලෙස අණ කළේ ය. මුඛය නිදහස් රැඳවියා සුසුමක් පිට කළේ ය.
III
එය සුඛෝපභෝගී පුස්තකාල කාමරයකි. ඔහු දුම් පයිප්පයක දුමෙහි සුවඳ අල්ලමින් සිටියේ ය. ඔහු ඉදිරියේ ඇති කුඩා බංකුව මත විවෘත කළ පොතට අසල චිමිනි ලාම්පුවේ ආලෝකය පතිත විනි. පොත් කියවන්නා සිටියේ පැරණි මතකයක් තුල නැවත ජීවත් වෙමිනි. ඔහු එයට ආශා කළ අතර පුරුද්දක් වශයෙන් මනෝලෝක වල සංචාරය කළේ ය. ඉඳහිට ඒ සංචාරක සටහන් කොළ වල කුරුටු ගා තම මිතුරන් හා හුවමාරු කරගනිමින් සතුටු වූ අවස්ථාද ඇත. මෙවර ඔහු සංචාරය කළ ලෝකය හරිත වනයකි. ඒ වනයේ ඉමක් පෙනෙන්නට නොවී ය. ශිෂ්ටාචාරයකට අසන්න ම දෙය එක්තරා ගෝත්‍රික ගම්මානයක් පමණකි.
ඔහු ගෝත්‍රිකයන් සමග ඉතා ඉක්මනින් කුළුපග විය. ගෝත්‍රිකයෝ ද ඔහුගේ පැමිණීම සතුටට කරුණක් ලෙස සැලකූහ. ඔහුගේ පාර භෞතිකයන් හැම විටම එසේම විය. සැවොම මිත්‍රශීලි මෙන්ම කාරුණික වූ අතර සෑම කතාවකම අවසානය සතුටක්ම විය. ඔහු ගෝත්‍රික දරුවන්ට ගණිත පාඩමක් කරමින් සිටින අතරතුර දුරකථනය නාද විය. ළමුන්ට ශබ්ද නොකරන ලෙස අවවාද කළ ඔහු දුරකථන ඇමතුම ලබාගත්තේය.
ඇමතුම ලබාදුන් තැනැත්තා මොනවාද කිව්වේ ය, ගණිත ගුරුවරයා ඒවාට හිස සැලීය. ඇමතුම විනාඩි කිහිපයකින් අවසන් විය. හුන් තැනම මොහොතක් ගත කළ ඔහු යම් කිසිවක් සොයන්නට මෙන් අසල තිබු මේස වල ලාච්චු හරින්නටත් අල්මාරි වල දොරවල් හරින්නටත් පටන්ගත්තේ ය. අවසානයේ ඔහුට උවමනා දේ සමුවිය. එය තම සාක්කුවේ හොව ගත් ගුරුවරයා 'තමන්ට වැදගත් රාජකාරියක් ඇති පවසා අද දිනට පාඩම අවසාන බව' ළමුන්ට පැවසුවේ ය. පුස්තකාල කාමරයෙන් යන්නට හැරුණු ඔහු අඩි කිහිපයක් තබා නැවත ආවේ තම දුම් පයිප්පය වෙතයි. දුම් පයිප්පය දත් අතර සිරකරගත් ඔහුට යම් සහනයක් දැනී සිනා පහල විය.
IV
කන්‍යා සොහොයුරිය ආපසු දිව ගියා ය. තොප්පිකරයා එවර පිස්තෝලය ඇය වෙත හැරවුයේ ය. ඇය එක්වරම නැගිට ගත්තා ය. තොප්පිකරයා පල්ලියෙන් ඉවත් වන මෙන් සන් කළෙන් ඇය ඔහුට අවනත විය. සෙමින් හා ඉක්මන් යන රටාවක් රහිත පරිද්දෙන් පා තැබූ ඇය පල්ලියෙන් පිටතට පැමිණියා ය. පිටත පරිසරය සැන්දෑ කහ/තැඹිලි හිරු එළියෙන් නැහැවී තිබිණ. යෝධයා හා ඔහුගේ නින්ජා ගෝලයෝ දෙදෙනා පසෙකින් සිටියේ තවත් මිනිසෙක්ද සමගයි. ඇය ඔහුව මීට පෙර හමුවී ඇති බවට මතකයක් නැති වූයෙන් ඇය තරමක් සතුටට පත් වුවාය.
නින්ජා ලා දෙන්නා අනෙක් මිනිසා සමග සිටිද්දී යෝධයා පැමිණ ඇයව ඉදිරියෙන් අනෙක් රැඳවියා සිටින සේ ස්ථාන ගත කළේය. ඒ මිනිසාට ඇයට තුවක්කුවක් බැගින් බෙදුවේ තොප්පිකරයා යි.
"ඔය තුවක්කුවල තියෙන්නේ එක උණ්ඩය ගානේ. ඒ තමන් ඉස්සරහ ඉන්න කෙනාට වෙඩි තියන්න. වෙඩි තියන කෙනාට දිනුම." තොප්පිකරු පැහැදිලි කළේ ය.
මේවන විට අනෙකාට වෙඩි තැබීමට ඇය තම සිත සදා ගෙන සිටියා ය. එසේ නැති වුවත් දැන් එයට කාලය ප්‍රමාණවත් නොවේ. තුවක්කුව ඉදිරියට දික්කර ගත් ඇය තම ඉදිරියේ සිටින පුද්ගලයා දෙස බැලුවා ය. ඔහු සිටියේ අසිහියෙනි, තමන් ඉන්නේ කොහෙද, කරන්නේ කුමක්ද යන වගක් ඔහු දන්නා බව ඔහුගෙන් දිස් වුයේ නැත. තොප්පිකරයා ගණන් කරන්නට පටන්ගත්තේය.
"එක..."
"දෙක..."
"තු-" ඔහුට ගණන් කිරීම අවසන් කිරීමට ඉඩ ලැබුනේ නැත. කොහේදෝ වෙඩි ශබ්ධයක් ඇසිනි, ඒ සමගම පයිප්පකරයා දර්ශන පථයට ඇතුල් විය. ඇයට එක්වරම හුස්ම ගැනීමට අපසුවක් ඇති වී ක්ලාන්ත විය. පයිප්පකරු යෝධයාට එල්ල කළ වෙඩි පහර එල්ලවී තිබුනේ ඇයට යි. "දෙවියනේ" ඔහුට කියවිණි. සිදුවූ දෙය තේරුම් ගත් වනම රැඳවියා උඩ පැන සතුට ප්‍රකාශ කළේ ය. ඒ කෑගසුම නැවතුනේ ඔහුගේ පපුවටද උණ්ඩයක් ගමන් කිරීමෙන් අනතුරුවයි.
"ඇයි?" රැඳවියා අවසාන වතාවට විමසීය.
"ඒ දිනුම ඔට්ටු නෑ" තොප්පිකාරයා කීවේ ය.
සුඛාන්තයක් වෙනුවෙන් කළ ව්‍යායාමය නිෂ්ඵල වීමෙන් කළ කිරුණු පයිප්පකරු සිටියේ දුක්බර මුහුණක් සහිතව ය. අවසාන වතාවට බිම වැටුණු ඇයගේ හා රැඳවියාගේ නිසල දේහයන් දෙස බැල්මක් හෙලු ඔහු නැවත යන්නට සැරසුණි. නින්ජා ගෝලයෝ දෙදෙනා ඔහු දෙස බලා අත් වැනුවෝය.