Wednesday, August 1, 2012

කළු රෝස | Black Rose


සදා චලිත අග්නි චක්‍ර තුල
දියවෙමින් නැවත දළුලමින්
වැඩෙමින් නැවත පණ ලදින්
ගිලන් වූ කෘෂ රෝස ගස

ලෝහිතය අත හැරී අරක්ගත්
කාළ වර්ණ හුදකලා මල මතට
පාවී ආවෙම් අහම්බෙන් මෙන්
අකාලයේ හමන සුළං මග

කඩාගත් තියුණු කටුවකින්
පසාරු කළෙම් ලේ නහර
ජීවය පොවන්නට බිඳු බිඳු
කාළ රෝස මල තුලට

ගිම්හාන දාහයෙන් බැට ලද
මල නැවත පණ ලද්දේ නැත
පිටාර ගලන රුධිර දහරා හමුවේ
ගිලුණා මිසක යාන්ත්‍රිකව

අවසන් ඉකිගැස්ම සමග ඔබ
මරණය සිපගත් රෝස මල
සමුදෙන්නම් යලි හමුවන්නට
මේ චක්‍රයේ කොතැනක හෝ සිට

ප්‍රේමයෙන්ම ගත් හුස්ම
හෙළීමට තවම නොහැකිව
කටු පොකුරු සිප ගනිම්
ආයේ හමු වනු පිණිස

14 comments:

  1. ආදරය? බිඳි බිඳී සෑදෙන?
    එහෙනම් බියවනු එපා
    මෙගා ටෙලියක වගේ
    ආයෙමත් හමුවේවි

    ReplyDelete
  2. මට මෙව්ව නම් තේරෙන්නෙ නෑ සහෝදරයා...

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ, උඹට කවියක ගුණ දොස් කියන්නත් පුරුදු වෙන්න වෙනවා. ;)

      Delete
  3. පින්තූරෙ දකිද්දි නම් ටිකක් විතර අස්පට් උනා...
    කවියත් කියෙව්වා.....
    ඉවර වෙද්දි මට මතක් උනේ වස්සානය කවි පන්තිය.
    "ගං දෑළ දොඩ මළුය සුවඳ බැරුවා ඉන්ට
    නිල් වතුර තුරුළු කර කෙසේ අත ඇර යම්ද
    කෙකටිය පොකුර සුදු මල් පොකුර වඩාගෙන
    සොඳුර නුඹ වගේම හිනැහේය මා එක්ක.....

    ReplyDelete
    Replies
    1. පින්තුරේ දැක්කම අප්සෙට් වෙන්න නම් සාධාරණ හේතුවක් හිතාගන්න අමාරුයි.

      ඔව්, කවිය ලියද්දි රත්න ශ්‍රී ගේ 'වස්සානය' ත් හිතේ තිබුණා, විශේෂයෙන්ම අන්තිම පද දෙක,
      "දුෂ්කරය කියා හැර ය යුතුද ජීවිතය
      කටු පොකුරු සිපගනිමි හෙට මලක් වෙනු පිණිස"

      Delete
  4. බොහොම අමාරුවෙන් ටිකක් විතර තේරුම් ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඕක තේරුම් ගන්න එච්චර වෙහෙසෙන්න ඕන නෑ යාළුවා, වචනාර්ථයෙන්ම තේරුම් ගන්නයි තියෙන්නේ.

      Delete
  5. පොටොව තිබ්බ හින්දා කවිය තේරුම් ගන්න ලේසි උනා.. ඒත් තෙරුම හරිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. පින්තුරේයි කවියයි අතරේ ඍජු සම්බන්ධයක් නෑ, ඕනෙනම් පින්තුරේට ගලපා ගන්නත් පුළුවන්.

      Delete
  6. හැඟීම් නැති රෝස මල

    ReplyDelete
    Replies
    1. වත් ගෙන් කමෙන්ටුවක්! රෝස මලට හැඟීම් නැත්තේ නෑ වත්, ඕනෑතරම් තියනවා, බාහිරට නොපෙනෙනවා මිසක.

      Delete
  7. ඔස්කා වයිල්ඩර්ගේ ප්‍රීතිමත් කුමාරයා කෙටි කතා පොතේ තියෙන කතාවක් මතක වුනා. ඒ කතාව මේකට නොගැලපෙන්නත් පුළුවන්. මට මතෘකාව මතක නැ. නමුත් වෙන්නේ එක රූමත් යුවතියක් කියනවා ඇයට කැමති පිරිමි ලමයෙක්ට රතු රෝස මල ගෙන ආවොත් ඔහු සමඟ බාල් නැටුමට යන්නම් කියලා.ඔහු රතු රෝස මල හොයන්න යනවා. නමුත් ඒ ශිත සමයේ රතු රෝස මලක් හමුවෙන්නේ නැ. ඔහුගේ උපකාරයට එනවා නයිටිංගේල් කිරිල්ලියක්. ඈ රතු රෝස මලක් හොයාගෙන යනවා. ඇයට හමුවෙනවා රෝස පඳුරක්. එහි තියෙන්නේ සුදු රෝස මලක්.ඈ කියනවා ඈට රතු රෝස මල ඕනේ කියලා. රෝස පඳුර කියනවා සුදු මල රතු වෙන්න නම් හදවත් ගී ගයන්න කියලා. ඈ රෝස පඳුරේ කටුවකට හදවත තද කරගෙන ගී ගයන්න පටන ගන්නවා. ටික ටික කටුව ඇගේ හද පතුලටම ඇනෙනවා. ගලා යන රුධිරයෙන් මල රත් පැහැ වෙනවා. අවසානයේ කිරිල්ලි මිය යනවා. නමුත් සතුටින්. කොල්ලාගේ ආදරය ජය ගනිවි යන පැතුමෙන්. පිරිමි ලමයා ඒ මල අරගෙන යනවා කෙල්ල බලන්න. නමුත් ඈ ඒ වනවිටත් වෙන කෙනෙක් සමඟ බාල් නැටුමට ගිහින්. මල මට මතක විදිහට බිම වැටි පැඟෙනවා.

    ඔහොම තමා මට මතක.. හරිම අපූරු කවියක්. කොමෙන්ටුව දිග වුනා නම් සමාවෙන්න. :)

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මට මතක යි. ඒ කෙටි කථාවෙයි මේකෙයි ඍජු සම්බන්ධයක් හිතල ලියුවේ නෑ. කතාව දන්නා නිසා අවිඥානිකව ලිය වුණා වෙන්න පුළුවන්. කොහොම වුණත් ප්‍රතිචාරයට ස්තුතියි. සමාව ගන්න දෙයක් නෑ.

      Delete