Wednesday, July 18, 2012

බඩු වනාහි? | Miss Independent


කාන්තාවක් ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරන අවස්ථාවලදී හෝ වෙනත් වේලාවන්හිදී හදිසියෙන්වත් ලිංගික අතවරයකට ලක්වුනොත් කාන්තාව 'වැරදිකරුවා' වන අවස්ථාවන් මම පෞද්ගලිකව ඕනෑතරම් අහලා දැකල තියනවා. ඒ කාන්තාව ඊනියා වැරදිකරුවා බවට පත්කරවන එක සාධයක් තමයි ඇය ඇඳ සිටි ඇඳුම්. එසේ කාන්තාව වැරදියි කියල තීන්දුව දෙන්න කඩිනම් පුද්ගලයන්, ඇය තමාව අතවරයට ලක්කරගන්න උවමනාවෙන්ම යම් ආකාරයකින් ඇඳුම් ඇන්දා කියන්න තරම් පහත් මට්ටමට පත්වෙන අවස්ථාත් දුලබ නැහැ. කුමන ආකාරයේ, කොතරම් සම නිරාවරණය ඇඳුම් ඇන්දත් එසේ කරන්නියන් අතවරයට ලක්විය යුතුයි කියල සිතීම කොයි පදනමකින් පණ ලද සිතුවිල්ලක්ද? වැරදිකරුවාගේ වරද සාධාරණිකරණය වෙද්දී වරදට ගොදුරු වූ පුද්ගලයා පිට වරද පැටවෙන අවස්ථා රාශියක් අතරින් තවත් එකකියි මේ.

'Slut Shaming' කියන පදය භාවිත වෙන්නේ ගැහැණියක් තම ලිංගිකත්වය ගැන ස්වාධින නම් සහ තමන්ට කැමති ඕනෑම ආකාරයක (සම නිරාවරණය වන පවා) ඇඳුම් ඇඳීම ප්‍රශ්නයක් නොකර ගැනීම පහත් කොට/ අපහාසයක් කොට සලකද්දීයි. 'Slut' (සිංහලෙන් වඩාත් ආසන්න වචනය, 'බඩුව') පාවිච්චි වෙන්නේ සමාජ සම්මතයන් අනුව ඇය වෙනස් කියා බාහිර පුද්ගලයන් සිතනවානම් ඇයව පහත් කොට සැලකීමට වුණත් බොහෝ දෙනෙකුට අමතක වෙන කරුණක් තමයි 'ලිංගිකත්වය' මානුෂික අවශ්‍යතා වලින් එකක් බව. මේ කාරණාවේදී කුහකත්වයත් ප්‍රධාන බලපෑමක් එල්ල කරනවා. ද්විත්ව මිමි (double standards) බොහෝ සමාජවල දක්නට ලැබෙන දෙයක් වගේම සමහර රටවල ඒ සඳහා නීති පවා ස්ථාපිත කරලා තියෙන්නේ කිසිම පදනමකින් තොරවයි.

දෙදෙනාගේම කැමැත්ත ඇතිව නම්, කායිකව හා මානසිකව සුදානම් නම්, නිසි ආකාරයෙන් සුරක්ෂිත නම්, තමගේ සහකරු/සහකාරිය තමන්ට ගැලපෙනවා නම් ලිංගික එක්වීමෙහි කිසිඳු ප්‍රශ්නයක් නැහැ. ලිංගිකව එක්වන වාර ගණන හෝ පුද්ගලයන් කීදෙනෙක් සමග එකතුවෙනවාද යන්නේ එසේ කරන්නියගේ මිස අන් අයගේ කාර්යක් නෙමෙයි වගේම එවැනි කරුණු කිසිවෙකු පහත් කොට සලකන්න හේතුත් නෙමෙයි. කිසිවෙකුගේ ලිංගික ජීවිතය ඒ කෙනාට ඉතා පෞද්ගලික දෙයක් මිස බාහිර කිසිවෙකුට ඇඟිල්ල දික්කරන්න කාරණයක් වෙන්නේ නෑ.

ඇඳුම් ගැන කියනවා නම් කෙනෙක් ඇඳුමක් තෝරාගන්නේ තමන් කැමතිනම්, තමන්ට අවශ්‍යනම් හා ගැලපෙනවා නම්. ඇඳුමකින් තමන්ගේ ආත්ම විශ්වාසය, පෞරුෂත්වය ගොඩ නැගෙන්නට/වැඩි වෙන්නට හේතුවක් විදිහට, එහෙමත් නැත්නම් එක්තරා  ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් විදිහට හඳුන්වන අවස්ථාත් තිබෙනවා. තමන් තමන්ට හොඳින් දිස්වෙන්න තමන්ට කැමති ඇඳුමක් ඇඳීම ඒ පුද්ගලයාගේ සතු කාර්යක් මිස බාහිර බලපෑම් එල්ල විය යුතු කාරණයක් නෙවේයි වගේම ඇයගේ ඇඳුම ඇයට අපහාස කරන්න නැතිනම් පෙර සඳහන් කල පරිදි අවස්තාවක ඇය පිට වරද පටවන්න කිසිවිටකත් හේතුවක් වෙන්නේ නෑ.

කොහොම වුනත් සමාජය පොදුවේ කාන්තාව කෙතරම් වාස්තවිකරණයට (objectification) ලක් කරලද කිව්වොත් ගැහැණියක් හඳුන්වන වචයක් තමයි 'බඩුව'. කොටින්ම කාන්තාවකට භාවිත කරන සෑම නමක්ම පාහේ ඇයව පණ නැති වස්තුන්ට සමාන කරනවා. සමහර විට එසේ කියන්නේ කාන්තාව පහත් කොට සලකන්න නෙමෙයි වෙන්න පුළුවන් වුනත් අප්‍රාණික ද්‍රව්‍යයක් පණ ඇති හැඟීම් දැනීම් ඇති පුද්ගලයකුට කීම අපහාසයක් වෙන්නේ ඉබේටමයි. පිරිමියෙකුට භාවිත කරන නම් වර්ගත් (කුකුළා, ඇඹලයා) කාන්තාවකට භාවිත කරන නම් වර්ගත් (බඩුව, කෑල්ල) ඇසුරෙන් අවිඥානික හෙලිවෙන්නේ සමාජය තුල කාන්තාවකට ඇති පිළිගැනීමද? ඇයට ඇති තත්වයද? උත්තරය කුමක් වුණත් 'බඩුව' වචනය භාවිත කළ යුත්තේ අප්‍රාණික ද්‍රව්‍ය හැඳින්වීමට පමණයි.

''If you are a strong female you don't need permission.''

ප.ලි. : තමන්ට කැමති දේ කෙලින් කියන, ස්වාධින අදහස්/ක්‍රියා ඇති ස්ත්‍රීවාදී සිංහල බ්ලොග් ලියන්නියන් වන අරුණි ශපිරෝවජිරදේවිපොඩි කුමාරිහාමි, රමේෂා ඇතුළු සැමට මගේ ආචාරය!

20 comments:

  1. හොඳ ලිපියක් හිරණ්‍ය... විශේෂයෙන්ම ප.ලි කෑල්ල... :)

    ReplyDelete
  2. වටින අදහසක් ස්ත්‍රී පුරුෂ බේදය හිතේ තියාගෙන ඉන්න අය බලනවනම් වටිනවා

    ReplyDelete
  3. කාන්තාව බඩුවක් වෙන්නෙ අප්‍රාණික වස්තුවක අර්ථයෙන්ම කියලයි මට හිතෙන්නෙ. ඒක එයාලම විහින් ගොඩනගාගත්තු (ඇත්තටම ඔවුන් මත පැ‍ටවෙන එකක් ෂා මාරයි කියලා භාරගැනීමක්...) එකක්ද මන්දා. ඔවුන් හරියට රේසරයක්, ඔරලෝසුවක් වගේ යම් පුරුෂ අවශ්‍යතාවයක් ඉටු කරන භාණ්ඩයක්. හැබැයි කාන්තාව තමන්ගෙ පරාසයෙන් පිටත තිබුණොත් විතරයි එහෙම වෙන්නෙ. තමන්ට සම්බන්ධ කාන්තාවො ගැන පිරිමි එහෙම හිතන්නෙ නැති තරම්. වෙන ගෑණියෙක් බඩුවක් වෙද්දි තමන්ගෙ ගෑණි හොඳ වෙන්නෙ ඒකනේ.

    හැබැයි එකක්. ගැහැණියකට බඩුව හෝ කෑල්ල කියන වචන නිකං ඒවයෙ වචන අර්ථයෙන්ම කියවෙනව කියල හිතන්නත් බෑ. බඩුව = වස්තුව වෙන්න පුළුවන්. ;-)

    ඔය අවුල කඩන්න පුළුවන් කියල හිතන්න බෑ ලංකාව වගේ සෙක්ස් සංස්කෘතිය අවුල් වෙලා තියෙන රටක. වචන කේස් එකක් මිසක් එක අතකට ඒක අවුලක් කියන්නත් බෑ. ගැහැණිය ගැහැණියක් වීම මතම ඔවුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද (විශිෂ්ඨ කාන්තා බ්ලොග්කරණය :P) නිසාම ඔවුන් ඉබේම පහලට යනව. පිරිමින්ගේ අනුකම්පාව ලබන, යටත් කෙනෙක් වෙනව. වෙන රටවල් ගැන මම දන්නෙ නෑ. නමුත් වෙනත් රටවල කාන්තාව කියන්නෙ ඔවුන්ගෙ කාන්තා බව නිසා මහ ලොකු අමුතු වරප්‍රසාද නොලබන (විශේෂ අවස්ථා හැර) පිරිමින් හා හැම දේකදිම සමව ඉන්න කොටසක් කියලනම් අත්දැකීම් සහිත යාළුවන්ගෙ කතා නිසා දන්නවා.

    අනිත් එක! කාන්තාවක් පුරුෂ වාග්මාලාව ඇතුලෙ බඩුව හෝ කෑල්ල වීම ඔවුන් මත තියෙන අසීමිත බලය ගැන කියනවා. ඒ ඔවුන් ළඟ තියෙන වසඟය කියන මාරාන්තික අවියෙ බලය. කාන්තාවන් මේ ගැන දන්නෙ නෑ... දන්නවනම් උඹට මෙහෙම එකක් ලියන්න වෙන්නෙ නෑ... ;-)

    ReplyDelete
    Replies
    1. wasagaya kiyana maranthika awiya nisa meka liwwa wenna berida?

      Delete
    2. //කාන්තාවක් පුරුෂ වාග්මාලාව ඇතුලෙ බඩුව හෝ කෑල්ල වීම ඔවුන් මත තියෙන අසීමිත බලය ගැන කියනවා. ඒ ඔවුන් ළඟ තියෙන වසඟය කියන මාරාන්තික අවියෙ බලය.//
      එක්තරා දුරකට ඔයා එක්ක එකඟ වුනත්, යමක් අචේතනික දෙයක් වුන ගමන්ම ඒකට 'අයිතිකාරයෙක්' එකතු වෙනවා නේද? ලෝකේ වටිනාම දියමන්තිය හෝ ප්‍රභලම න්‍යෂ්ටික අවිය ගන්න. වටිනාකම දියමන්තියේ උනාට, ඒකේ අයිතිකාරයට තමයි බලය තියෙන්නේ. දියමන්තියට කැමති විදියට ඔප දා ගන්න, කැමති ආභරණයකට ඔබ්බ ගන්න පුලුවන්ද? දියමන්තිය ට වසඟ වෙන, ඒකේ අයිතිය දිනා ගන්න පුද්ගලයා එයාට ඕන විදිහට දියමන්තිය හසුරුවනවා. කැමති විදිහකට කපා ගන්නවා. එක්කෝ සේප්පුවක සුරක්ෂිත කරලා තියෙනවා. නමුත් මේ කිසි දෙයක් දියමන්තියට උවමනා විදිහට වෙන්නේ නැහැ.

      Delete
    3. ඇනෝ - ;-)

      නිරෝ - කාන්තාවක් අචේතනික වෙනවද? පිරිමි මොන විධියට හසුරවන්න ගියත් තමන්ගෙ හැසිරීම ගැන මානුෂික අයිතිය යම් මොහොතක ඕනම කාන්තාවකට තියෙනව නේද? කාන්තාවත් ජීවිත කාලෙම යම් පිරිමියෙක්ගෙ අයිතියකට යටත් වෙන්න ඕනද?

      Delete
    4. එහෙම වෙන්න ඕනේ නැහැ හරේ. ඒත් අවාසනාවකට එහෙම වෙනවා. කාන්තාව අඳින්න ඕනේ මොනවාද, කරන්න ඕනේ රැකියා මොනවාද, යන්න ඕනේ මොන තැන්වලද, මේ හැම දෙයකටම ඇය ට කාගේ හෝ අවසර ගන්න වෙලා තියෙනවා නේද? හැමෝටම නොවුනත් කොටසකට වත්. අහල තියෙනවද පිරිමි ගැන එහෙම විවේචන එල්ල වෙනවා?

      සචේතනික ප්‍රාණීන්ට අචේතනික වස්තුන් හැටියට සලකන කොට එයාල වෙන කරන්න දෙයක් නැති කම නිසා ඒ නීති වල ට හිස් නැමුවට ඒ පීඩනය වෙන විදිහකට එලියට එනවා.

      Delete
    5. ඔයා ඔය කියන එක ගෑණු පිරිමි දෙපැත්තටම පොදු දෙයක්... පිරිමින්ටත් එහෙම සීමාවල් ගොඩක් තියෙනව. පොතේ විධියට ජීවත්වෙද්දි නම් ඒව සමහර විට සීමාවල් කියල තේරෙන්නෙ නැති තරම්. පොතෙන් පිට පැන්න ගමන් අවුල්! බොහොමයක් ඒව පොදුවෙ සමාජයෙන් එල්ල වෙන ඒව. ගැහැණු අයට ඒක සමාජයට අමතරව පිරිමියාගෙනුත් එල්ල වෙන හින්දා ඒක වැඩියි තමයි! නමුත් පොඩි නිදහස් අවකාශයක් හදාගන්න එක කාටත් අමාරු දෙයක් නෙවෙයි.

      Delete
    6. කාන්තාව අචේතනික වස්තුවක් හැටියට තමන් වුවමනාවෙන්ම හඳුන්වා ගන්නවා කියල මම හිතන්නේ නෑ. බාහිරින් කෙනෙක් ඇයව එසේ සැලකීම ගණන් නොගෙන ඉන්නවා වෙන්න පුළුවන්, නැත්තම් ඒ ගැන එච්චර හිතන්නේ නැතුවත් වෙන්න පුළුවන්.

      බඩුව ≠ වස්තුව. වස්තුව කියන වචනේ වටිනාකම හඟවන්න, තමන්ගේ සිතේ ඒ පුද්ගලයාට ඇති කැමැත්ත/ආදරය පෙන්වන්න යොදාගන්න වචනයක්. අනික ඒ වචනේ භාවිත වෙන්නේ කාන්තාවට විතරක්ම නෙමෙයි නේ.

      නොගැලපෙන/වැරදි වචනයක් යොදාගැනීම අවුලක් තමයි. කාන්තාව එසේ හැඳින්වීමෙන් පොදුවේ කාන්තාවන්ට වෙන බලපෑම වෙනම කියන්න අවශ්‍ය නැහැනේ. ගැහැනියක් ගැහැනියක් වීමෙන් සමාජය විසින් හදල තියන රාමුව තුල ඇයට වාසි වගේම අවාසි තියෙන්න පුළුවන්, ඒක සාපේක්ෂයි. ඒත් සම්මතයන් තුල ඉන්නවද නැද්ද කියන ඒක අදාල වෙන්න ඒ ඒ කාන්තාවට මිසක් බාහිර වෙන කාටවත් නෙමෙයි. එහෙම පිට ගියා හෝ ගියේ නැහැ කියල ඇයව පහත් කරලා සලකන්න කාටවත් අයිතියක් නෑ. ඒ වගේම මේ ලිපියෙන් කාන්තාවට විශේෂ වරප්‍රසාද ලැබිය යුතු බව (හෝ නොලැබිය යුතු) කීමට උත්සහ කළේ නෑ.

      කාන්තාවකගේ ආකර්ශනීයබවයි බඩුව/කෑල්ල කියල හැඳින්වීමයි අතරේ සම්බන්ධයක් මම දකින්නේ නෑ.

      Delete
  4. මචං හිරණ්‍ය, උඹ කියන දේ සම්පූර්ණ ඇත්ත. මං මේ උපේක්ෂාවෙන් වෙන දේ ගැන බලාගෙන ඉන්නෙ. කෙල්ලෙක් ටැටු එකක් ගහ ගත්තයි කිව්වම, මලක් ගැහුවයි කිව්වම මාරෙට රිදෙන ගෝත්‍රික තරුණ පරම්පරාවක් අපට ඉන්නෙ. බ්ලොග් අවකාශේ කියල ඉතින් සමාජයෙන් වෙනස්ද? උන්ට ඒ ඔක්කෝම ජඩ වැඩ කරන්න හොඳයි. කෙල්ලෙක් කළොත් තමයි අමාරුව.

    ඊට අමතරව ඔතැන ඉන්නව අමුතුම වයසින් කෙසේ වෙතත් මනසින් මහළු කණ්ඩායමක්. අබීතයා මේ සෙට් එකේ මූලිකයෙක්. අබීත පෝස්ට් එක දාන්නේ නොදැන නෙවෙයි. ඒක නිනක් "දැන් වරෙන් ගල් ගහ පල්ලා" කියල ව්‍යංගයෙන් කියමින් මාට්ටුවක් දා ගන්නව වගේ වැඩක්. අබීතයට ඕනැ මේ කෙල්ලන්ට වන ගෝත්‍රික ප්‍රහාරයෙන් ලිංගිකමය වින්දයක් ලබන්න. ඉස්සර දිල් ගැන ලියල ඕකා කළෙත් ඒකයි. ඊයෙත් කළේ ඒක. අබීතයා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයක මුල්ලා වගේ. වැරදිකාරිය අල්ලලා හිර කරලා දෙනවා උඹලා කැමැති දඬුවමක් දීපල්ලා කියලා. ඔන්න ඇනෝ සමාජය පටන් ගන්නවා ගල් ගහන්න.

    බනින කොටත් හැමෝම බනින්නේ ගල් ගහන "මුහුණක් නැති" ඇනෝ සමාජයට. මූල්ලා හොඳයි. ඌ අහිංසකයි.

    අඩු ගානේ කිහිප දෙනෙක් වත් මේ වගේ බ්ලොග් අවකාශය කැත කරන පාදඩ චරිත ගැන අවබෝධයක් ලබා ගන්නේ නම් හොඳයි.

    ReplyDelete
  5. හොඳ ලිපියක් හිරන්‍ය.
    ...කාන්තාවත් මනුෂ්‍ය ප්‍රාණියෙක් කියල හිතන්න බැරි ඇයි?

    ReplyDelete
  6. ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම ඇදුමක් අදින්න නිදහසක් තියෙනවා.එත ඒ ඇදුම ඇදගෙන සමාජයට ඇතුල් වීමේදී දෙවරක් හිතන්න ඕන කියන එකයි මගෙනම් අදහස.මොකද සමාජයේ සියල්ලෝම එක විදිහට නෙවෙයි නේ හිතන්නේ.
    අද පන්සලකට යන කෙල්ලෝ දිහා බැලුවහම හිතෙනවා මුන් යන්නේ පන්සලද නැත්නම් fashon show එහෙකටද කියල.ඇදුමක් අදිනවානම් එක ඒ තැනට කොච්චර ගැලපෙනවද කියල දෙපාරක් හිතනවානම් තමා හොද.
    අනික ඔය පොර කතා කියන අය්යලාගෙන් අහන්න තියෙන්නේ ඔය අඩ නිරුවතින් අඩන යන කෙල්ලෝ දැක්කම ජීවිතේ කවමදාකවත් ඒ ගැන වැරදි අදහසක් ඇතිවෙලා නැද්ද කියල?ඔය වයස 15-20 කාලේදී විහිළුවටවත් ඒ වගේ එහෙකට "නියම බඩුව" කියල අඩුම ගානේ හිතිලවත් නැද්ද කියල හිතට එකගව කල්පනා කරල බලන්න.

    //ඇඳුම් ගැන කියනවා නම් කෙනෙක් ඇඳුමක් තෝරාගන්නේ තමන් කැමතිනම්, තමන්ට අවශ්‍යනම් හා ගැලපෙනවා නම්. ඇඳුමකින් තමන්ගේ ආත්ම විශ්වාසය, පෞරුෂත්වය ගොඩ නැගෙන්නට/වැඩි වෙන්නට හේතුවක් විදිහට, එහෙමත් නැත්නම් එක්තරා ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් විදිහට හඳුන්වන අවස්ථාත් තිබෙනවා//
    ඔය එක්තරා ආකාරයක අදහස් ප්‍රකාශ කිරීම තේරුම් ගැනීමත් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඇඳුම් ඇඳීම ගැන් මේ කියන කතාව හරි. ඇඳුම් ඇන්දට කමක් නෑ තමන් ගැවසෙන්න යන පරිසරයට අදාලව... පූජනීය ස්ථානයකට කාන්තාවො බිකිණියක් යන්නෙ නෑනෙ. එහෙම ඇඳගෙන යන්න බැරි ඇයි කියල තේරෙනව නම් ගැලපෙන ඇඳුමක් ගැන කොහොමත් තේරෙන්න ඕන.

      Delete
    2. තමන් අඳින ඇඳුම ගැන, ඇඳගෙන යන අවස්ථාව/ස්ථානය ගැන වගකීමක් ඒ අඳින කෙනා සතුවිය යුතුයි තමයි. ඒත් සමාජයේ ඉන්න පුද්ගලයන් හිතන්නේ විවිධ විදිහට කියල තමන්ගේ කැමැත්තක් නැතිව කිසිවෙක් ඇඳුම් ඇඳිය යුතු නැහැ. ඒක තනිකරම රඳා පවතින්නේ අඳින කෙනා මතම විතරයි.

      මේ අහන්නේ මගෙන් නම්, මේ කියන 'වැරදි අදහස' මොකද්ද? අතවර කරන්නද? අඩ නිරුවතින් නෙමෙයි සම්පූර්ණ නිරුවතින් දැක්කත් අතවර කරන්න මට කොහෙත්ම උවමන්වක් නෑ. 'බඩුව' කියන වචනය මගේ වචන මාලාවේ නෑ. ඒ වෙනුවට භාවිත කරන්න සුදුසු වචන ඕනෙතරම් තියනවනේ.

      ඔව්, එක එක පුද්ගලයාගේ තේරුම් ගැනීමේ හැකියාවන් වෙනස්. එසේ වුණා කියල ඇඳුමක් නිසා මොනම ආකාරයක බලපෑමක් වත් කරන්න බාහිර පුද්ගලයන්ට අයිතියක් නෑ.

      Delete
  7. තමුන්ට කැමති ඇඳුමක් අඳින්න නිදහස තිබුනත් , තමන්ගේ වාහනයක නැතිව පොදු ප්‍රවාහන වල යන සමහර කාන්තාවෝ අනවශ්‍ය ඇඳුම් නිසා අපහසුතාවයට කරදරවලට ඕනෙ තරම් මුහුණ දෙනව. ඒත් කාන්තාවන්ට අගෞරව කරන එක නම් හොඳ නැහැ. බඩුව , කෑල්ල වගේ වචනත් පාවිච්චි කරන එක එච්චර හොඳ නැහැ. හොඳ ලිපියක් , පෝස්ට් එකේ මාතෘකාව දැකලයි මේ පැත්තෙ ආවේ.

    ප.ලි කෑල්ලෙන් කියල තිබුණ දේ නම් හරිම ඇත්ත :)

    ReplyDelete
  8. මේ පුරුශෝත්තම වදී / පුරුශ මූලික සමාජ ක්‍රමය යටතේ. ස්ත්‍රියත් හුදෙක් උපභෝග පරිභෝග වස්තුවක් විතරයි. මේකට විරුද්ද වෙන්න කාන්තා වාදී ප්‍රවේශයක් ගන්නවනං... ඒකත් පුරුශෝත්තම වාදයේම අනිත් පැත්ත.. දෙකම එකයි..... ඒනිසා මේ තත්වය ඇතිවෙන සමාජ ක්‍රමය සවිඥානකව විප්ලවා කාරයෙන් වෙනස් කරන්න ඕනෙ....ඒක එක් එක් කල්ලි කන්ඩායම් වෙලට බෙදිල කරන්න බෑ... ඒ වගේම ඒ වෙනස කරන්න ඉතාමත් අමාරුයි (නමුත් කලයුතුයි)මොකද අපේ මේ කුනු වුනු වැඩවම් ‍රැහැන් වලින් වෙලිච්ච සංස්කෘතිය හා කුනු කූජිත ආගම් වලින් මේ පුරුශෝත්තම වාදයට උල්පන්දම් දෙන නිසා

    X-Porter

    ReplyDelete
  9. ඇත්ත! දැන් සිද්ධ වෙමින් පවතින ස්ත්‍රී දූෂණ රැල්ල ගැනත් කතා කරනකොට ගොඩක් අය ඇදලා ගන්නේ ඔය ඇඳුම් කතාව තමයි.කනගාටුව වෙන්නේ සමහර කාන්තාවෝත් ඒ විදිහට හිතන ඒක.
    හැබැයි ඉතින් පහුගිය කාලේ දූෂණයට ලක්වුණ කාන්තොවෝ හැමෝම ඔය කියන විදිහටද ඇඳුම් ඇඳලා හිටියේ?

    ReplyDelete
  10. සුපිරි.මාත් කැමති අර ප.ලි: කෑල්ලට.:)
    thanks හිරණ්‍ය ...

    ReplyDelete
  11. අහම්බෙන් සෙට් වෙලා අහම්බෙන් කියවන්න ලැබුනා.මේ දවස් වල සැරේට මඩ ගැසීම් යන නිසා බ්ලොග් වල කමෙන්ට් කරන එක නතර කරලා තිය‍න්නේ. ඒකට හේතුව එහෙම කමෙන්ට් කරාම එතන්ට අනිත් උන් එන්නේ පෝස්ට් එක කියවන්න නෙමේ මගේ කමෙන්ට් එක යටින් මඩ ගහන්න. අපි හිතන සහ අපි කියවන දේවල් ‍ඇත්ත වුනත් අපි හිතනවට වඩා ගොඩක් උන් ඉන්නේ තාමත් ළීං ඇතුලේ හිර වෙලා.රටක් දියුණු වෙනවා කියන්නේ පාරවලි හැදිලා මිනිස්සුන්ට බඩ පිරෙන්න තුන් වේල කන්න ලැබෙනවා කියන එක නෙමෙයි.රටක් දියුණු වෙන්න නම් මිනිස්සු සමාජකියවීමෙන් පොහොසත් වෙන්න ඕන.ඒත් ගෑනියෙක්ට ඇයි බඩුවක් කියන්නේ කියලා ගෑනියෙක් ඇහුවොත් සෑහෙන්න කොටසක් අහන්නේ මොකක්ද ඔයාට තියන අමාරුව. ඇයි ඔයත් බඩුවක්ද කියලා. මෙහෙම හිතන උන් අතරේ අපි අපේ කියවීම අතරේ නිදහසින් ලියන්න පට්ට ගේමක් දෙන්න වෙනවා.

    ReplyDelete