Thursday, May 10, 2012

රස්තියාදුකාරයා - III

පෘථිවිය පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයකින් විනාශ වෙනකම් මම බලන් ඉන්නවා. ඒ වගේ ආක්‍රමණයක් ආවොත් පොදු සතුරා වෙනුවෙන් හැම මිනිහෙක්ම එකතුවෙන්නත් අවස්ථාවාදීන් මිනිස් වර්ගයාවම පෞද්ගලික වාසි ලබාගන්න පාවා දෙන්නත් ඉඩ තියනවා. මම පාවා දෙනවද නැද්ද කියනදේ තීරණය වෙන්නේ අවස්ථාව අනුව නිසා අනාගතය ගැන පූර්ව විනිශ්චයෙන් කටයුතු කිරීමෙන් වැඩක් නෑ. අනිත් අතින් අනෙක් ලෝක වලට යන්න තරම් දියුණුවක් ලබපු ජීවින් වර්ගයක් තවත් ලෝකයක් විනාශකරයි කියල හිතන්නත් අමාරුයි.

දොරටු 666 ක් විවර කරගෙන එන යක්ෂයාව පිළිගන්න සුදානමෙන් සෑහෙන දෙනෙක් හිටියත් ඔවුන් නොදන්නා කරණය තමයි ලුසිෆර් කොහොමත් කවදත් හිරවෙලා නෑ කියන කාරණය. සමහර විට තාවකාලිකව හිරවෙලා ඉන්න ඇති. ඒක ලෝක ස්වභාවය; හැම විප්ලව කාරයෙක්ටම අපහසු කාලයක් එනවා, එතකොට දුක් විඳිනවා, අපායේ යනවා. ඒක උත්ප්‍රසාත්මකයි, නැත්තම් විසංවාදීයි. සර්ව බලධාරී දෙවියා කියන්නේ "ප්‍රේමය" නෙමෙයි කියල දැන ගැනීම තමන් ආත්ම අනුකම්පාවෙන් පොඟවනවා, සදාකාලික අවිනිශ්චිත බවින් මිරිකනවා. ඒත් දැන් දෙවියන් ගැන කතාවෙන් වැඩක් නෑ මොකද අනාගතය යක්ෂයාගේ නිසා.

මගේ පපුව උඩින් දාල තිබුන අත පැත්තකට දාල මම ඇඳෙන් නැගිට්ටා, නාන කාමරයට ගිහින් දොර වහගත්තා. එතන එළියෙන් පිරිලා, හෙවනැල්ලක් හොයාගන්න ගත්ත උත්සාහය සාර්ථක වුණේ නෑ. හැම තැනම සුදු පාට. බිත්ති, ටයිල්, ටැප්, හැමදේම. මම විතරක්ම වෙන පාටකින් කණ්ණාඩියේ දිස් වුණා. කණ්ණාඩියේ හිටිය මම, මම හිතාගෙන හිටිය මට වැඩ වෙනස්. මම බලාපොරොත්තු වුණේ මීට වඩා අප්‍රසන්න මුහුණක් වුණත් තාමත් මුණේ ආකර්ශනීය බව යම්තමින් ඉතිරි වෙලා තිබුණා. අතට ගත්ත වතුර පොද මූණට විසිකළා. සාක්කුවේ බ්ලේඩ් එකක් තිබුණා, ඒක ඕන වෙන්නේ මේවගේ වෙලාවට; මම අහක බලාගෙන වම් අතේ ඉරි අඳින්න පටන් ගත්තා. සුදු පාට සින්ක් එකට රතුපාට ලේ බින්දු වැටුණා, ගලා යන වතුරින් වටයක් දෙකක් කැරකිලා නොපෙනී ගියා.

විනාඩි කිහිපයකට පස්සේ ආයේ කාමරේට එද්දී ඒ ගෑණි නැගිටලා හිටියා. තරුණ බව අත්හැරලා ගිය පියයුරු එල්ලා වැටුණා.
"මට දැන් යන්න වෙනවා." මම අහක බලාගෙන කිව්වා.
"පොඩ්ඩක් ඉන්න මම ඔයාට තෑග්ගක් ගත්තා, ඔරලෝසුවක්."
"තෑගි එපා, සල්ලි විතරක් ඇති."
"කැමැත්තෙන් දෙන එකනේ ගන්න, ඊළඟ දවසේ එද්දී දාගෙන එන්න."
මම මොනවත් කියන්න ගියේ නෑ. යද්දී ඔරලෝසුව බලන්නේ නැතුවම විසිකළා. 

* * * * *

ඒ පල්ලිය සුනාමි නිසා ගරා වැටිලා තිබුණා, ආයේ ඒක අලුතින්ම මුහුදින් ගොඩක් ඈතින් හැදුව හින්ද මේ පළාත පාළුවෙලා. ඉතිරු වෙලා තිබුණ බිත්තිවල කුණුහරප, නම්, කෙල්ලන්ගේ නම් එක්ක ධන ලකුණු අතරින් පතර බලාපොරොත්තු, ප්‍රාර්ථනා එහෙමත් ලියල තිබුණා. බැහැගෙන යන ඉරෙන් වැඩි බලපෑමක් නෑ. අඩි කිහිපයක් ඈතින් මුහුදු වෙරළේ කුරුල්ලෝ එකෙක් දෙන්නෙක් කැරකි කැරකි හිටියා, ලුණු රස දිවට දැනුනා. මගේ පිටිපස්සෙන් බයිසිකලයක් නැවැත්තුවා, දෙන්නෙක් බැස්සා. තවත් කව්ද මන්ද එකෙක් පයින් අවා. බයිසිකලේ ආව උන්ගෙන් එකෙක් කෙල්ලෙක් කියල දැන ගත්තේ ටික වෙලාවකට පස්සේ.

මම වගේම හැඩරුව ඇති යක්ෂයා ඇවිත් හිටියා. ටික වෙලාවක් යනකම් කවුරුවත් මොනවත් කිව්වේ නෑ. මට කතාකරන්න උවමනාවක් තිබුනෙත් නෑ. යක්ෂයා ඇවිත් හිටි හැම කෙනෙක් දිහාම විමසිල්ලෙන් බලන් හිටියේ ලෝකේ තියන හැම තප්පරයක්ම අයිතියි වගේ.

" ඇයි එන්න කිව්වේ?" කෙල්ල ඇහුවා.
"ඒකට උත්තරේ දැනටම දන්නවා නේද?" කවුරුවත් ටික වෙලාවක් යනකම් උත්තර දෙන්න ගියේ නෑ. ඇයි මම ආවේ කියන කාරණයට පැහැදිලි උත්තරයක් නොදන්නවා වුනාට යම් කිසි අදහසක් හිතේ එහෙ මෙහෙ කැරකුනා.
"වෙනස, එක තමයි හැමෝටම ඕනේ කරලා තියෙන්නේ. හැමදේකින් වියුක්ත යමක්..."
"ඕක හිතලුවක් විතරක් නෙමේ කියල විශ්වාසද?" පයින් ආපු එකා ඇහුවා.
"සමහරවිට, ඒත් උත්සාහය ගැනවත් සතුටු වෙන්න පුළුවන් වේවි."
"අපිට එන්න කිව්වේ? මේක කල්ට් එකක්ද?"
"නමට වඩා වැදගත් වෙන්නේ කරන දේ."

මම සිගරට් එකක් පත්තු කරගත්තා. ඉර එළිය හොඳටම අඩුවෙලා ඈත පාරේ කණුවක නිල පාට ටියුබ් ලයිට් ආලෝකය ලාවට විහිදිලා තිබුණා. අර කෙල්ල තව මොනවද ප්‍රශ්න අහනවත් ඒවාට උත්තර ලැබෙනවත් ඇහුනා. ලුසිෆර් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද? අවිශ්වාස නම් අයි ආත්මයම උගස් කරන්න හැදුවේ? ලුසිෆර් කියන වෙනස මොකද්ද වගේ ප්‍රශ්න මම මගෙන් ඇහුවේ නෑ, යක්ෂයාගෙන් අහන්න ගියෙත් නෑ. ඒත් මේ හමුවීමෙන්, එක්වීමෙන් මගේ ඇඟේ ඇඩ්රනලින් වැඩියෙන් වැඩ කරන්න පටන් අරන් තිබුණා. කවදාවත් නැති විදිහට ජවයකුත්, ආත්ම විශ්වසයකුත් ඇති වෙමින් තිබුණා. ඒ තමයි සාතන් සමග විප්ලවයේ ආරම්භය.

"හරි දැන් අපි කරන්න ඕනේ මොකද්ද?" මම ඇහුවා, යක්ෂයා කට කොනකින් හිනා වුණා.

මට අපායේ දැවෙන්න සිදුවන බවට විශ්වාසයි.


-අවසානයි-

10 comments:

  1. පහුගිය දවසක පිටසක්වල යානා කතාවක් පත්‍තරේක තිබිල මාත් හිතුව පිටසක්වලයො මේ ලෝකෙ ආක්‍රමණය කරන්න ආවොත් මොකක් වෙයිද කියල... :)

    එතනින් එහාට කතන්දරේ ගැන නම් ඉතිං හැමදාම කියන එක තමයි කියන්න තියෙන්නෙ... උඹේ පෝස්ට් කියවල විදින දේ විස්තර කරන්න වචන අමුණනව කියන්නෙ උඹ ලියල තියෙන එකේ වටිනාකම හෑල්ලු කිරීමක් වෙනව :)

    ReplyDelete
  2. බොලේ අවසානයිලු... :(

    තව දිගට පොඩ්ඩක් ගියානම් තේරුම් ගන්න තිබ්බා.. ඒත් කමක් නෑ.. මෙහෙම හොදා.. මෙහෙමයි වටිනකම වැඩි..

    ReplyDelete
  3. සමහර තැන් තේරුන් නැති උනත් මම කතාව කියෙනව්වා හොදයි...

    ReplyDelete
  4. ආයෙ පාරක් කියවන්න ඕනෙ......

    ReplyDelete
  5. ලස්සනයි හිරණ්‍ය කතාව. තවමත් ඔලුව ටිකක් විතර කැරකෙනවා වගේ. ලුසිෆර් සහ යක්ෂයා කියන කොට මැවෙන්නේ සාතන්ගේ රූපේ...:D

    ReplyDelete
  6. "සාතන් සමග විප්ලවයේ ආරම්භය" මේ කතාවෙ "අවසානය" උනේ කොහොමද ?

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මම කතාව කියෙනව්වා හොදයි...

    ReplyDelete
  9. Fight Club චිත්‍රපටිය මතක් වුණා මට!

    ReplyDelete
  10. මේක ඉවර කිරීම ගැන බලවත් අප්‍රසාදය..

    ReplyDelete