ඡායාරූපය 1
ඒ ඇහක්. සජීවී, ක්‍රියාකාරී නේත්‍රාවක්. හැබැයි ඒ මනුෂ්‍ය ඇහක් නෙමෙයි මම හිතන්නේ. මිනිස් නයනයක් නම් යුගලක් තියන්න ඕනනේ, ඒත් එතන තියෙන්නේ එකයි. එතන කිව්වේ කොතනද කියල හිතාගන්න අමාරුයි, මොකද මට පේන්නේ ඒ ඇස විතරක් නිසා. මුලදී මුලදී මට ඒක මහා කරදරයක් වුණා. හැමතිස්සෙම මං දිහා බලන් ඉන්න ඇස මාව ලොකු අපහසුතාවයකට පත් කළා. නොසන්සුන් කමත් එක්ක ටික කාලයක් ගත වෙද්දී ඒක මට සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ඒ හුරුවීම කොතරම් බලවත් වුණාද කිව්වොත් ඒ ඇහැ මගේම දෙයක් විදිහට දැනෙන්න ගත්තා. මට අයිති නැති මගේ දෙයක්. තවත් කාලයක් යද්දී මම තේරුම් ගත්තා ඒ ඇහෙන් පරාවර්තනය වෙන්නේ මාවම බව. ඇහැ තුලින් මම මාවම දකින්න ගත්තා. හැම මනුෂ්‍ය ස්වාභාවයක්ම, හැඟීමක්ම, චිත්තයක්ම ඒ ඇහැ තුල නාභිගත වෙලා තිබුණා. ඒක කොච්චර අභාව්‍යද කියනවනම් මම හිතන්න පටන්ගත්තා ඒ ඇහැ කියන්නේ මගේම නිර්මාණයක් කියල.
එක දවසක් මහා අමුතු දෙයක් සිදුවුණා. මම නින්දෙන් ඇහැරිලා බලද්දී ඇහැ තිබුනේ නෑ. ඇහැ හොයන්න කොතරම් උත්සහ දැරුවත් වැඩ වුණේ නෑ. තමන්ගේ කියල හිතාගන හිටපු දෙයක් අහිමි වීමේ ශෝකය මට දැනෙන්න ගත්තා. ඒ දුකට මම වෛර කළේ නෑ. කරන්න උවමනාවක් ඇති වුණෙත් නෑ. මම ම මවාගත්ත ඇහැක් තියනවා කියල හිතලුවක් ඇති කරගන්න හැදුවත් ඒක සාර්ථක වුණෙත් නෑ. ඒක අතකින් එහෙම වේවි කියල හිතුවෙත් නෑ. නොසන්සුන්කමක් එක්ක හිස්බවක් ඇති වෙලා මම ඔහේ බල ඉන්න ඉරියව්වක් තමයි ඡායාරූපයේ පෙනුනේ. 'ඒ ඇහේ බලපෑම' කියල මම මට ම කියාගත්තා.
ඡායාරූපය 2
මම පා වෙනවා. ඒ වෙන්නේ මගේ උවමනා වෙන්මද නැත්තන් කවුරුහරි මාව පා කරනවද කියල ඒක පාරටම හිතාගන්න අමාරුයි. ඒත් මේ මගේ හැකියාව මත වෙන්නක් කියල හිතාගන්න මම කැමති වුණා. වටපිට ඉන්න මිනිසුන්ට මාව පෙනුනේ නෑ, නැත්තම් පෙනුනත් ගණන් ගත්තේ නෑ. ඔවුන් ඔවුන්ගේ එදිනෙදා කරන වැඩ වලම යෙදිලා හිටියා. උදේ නැගිටිනවා, කනවා-බොනවා, කතා කරනවා, හිනාවෙනවා, ගමන් යනවා, ආයේ එනවා, නිදාගන්නවා. පොඩි පොඩි වෙනස් කම් ඇතුව වුණත් හැමෝම කළේ ඔය ක්‍රියාකාරකම් ටිකම තමයි. පාවෙවී මේ සිදුවීම් දිහා බලන් ඉන්නකොට හිතුනේ කිසිම තේරුමක් නැති විකාරයක් කියල. මිනිස්සුන්ව ලස්සනයි කියල පෙන්වපු හීනයක හිර කරලා. ඒකාකාරී බවෙන් නිදහස් වෙන්න පුළුවන් වුණත් එය අස්වාභාවිකයි කියල සම්මත කරලා. මට ඔවුන් ගැන දුක හිතුනා. ඒක සියලු මනුෂ්‍ය ප්‍රජාව ගැනම හදවතින්ම ඇති වූ අනුකම්පාවක්.
එතකොට මම යන්නේ කොහෙද? මම මගෙන්ම ප්‍රශ්න කළා. එක වතාවක් නෙමෙයි දහස් වතාවක්. කවුරුවත් මට උත්තර දුන්නේ නෑ. උත්තර නොලැබුණා කියල පාවෙලා යන ගමන නතර වුණෙත් නෑ. ඕනෙම දෙයකට සුදානමින් බලාගෙන හිටියා. ඒත් අනතුරුදායක දෙයක් වුණේ නෑ. උත්තර හොයා ගත යුත්තේ මම ම යි කියල හීන් කෙඳිරුමක් ඇහුනේ කොහෙන්ද මන්ද, සමහර විට ඒ මම මටම කියාගත්තා වෙන්න ඇති. මම මිනිසුන් දිහා බැලීම අත්හරින්න තීරණය කළා. දැන් මම පාවෙන්නේත් නෑ, ශුන්‍යතාවයක නිසසල වුණා. එතන ඡායාරූපයක් ගන්න විදහක් නෑ.
ඡායාරූපය 3
"ඒයි නැගිටිනවා!" මගේ යාළුවා මට කෑගැහුව. "මොකද දවල් හීන බලනවද? මොනවද දැක්කේ?"
"කියන්න බෑ, ඒක පෞද්ගලිකයි."
ඒ පාර ඌ මහා හයියෙන් හිනා වුණා.
"හිනා වෙන්න දෙයක් කිව්වද?"
"මම උඹට කලින් කියල තියනවනේ පෞද්ගලිකත්වය කියල දෙයක් නෑ කියලා"
"බම්බුව තමයි, ඒ උඹට වෙන්න ඇති."
"නැහැ බං, මම කිව්වදේ විශ්වීය යි. උඹ කියලා කෙනෙක් නෑ. මම කියලා කෙනෙකුත් නෑ. ඇත්තටම බැලුවොත් කිසි දෙයක් නෑ."
"එතකොට තියෙන්නේ මොනවද?"
"තියෙන්නේ හීන, හීන විතරමයි."
"එතකොට මම බැලුවේ හීනයක් ඇතුලේ හීනයක්ද?"
"එහෙමත් නෑ, ඒ හීනයේම කොටසක් විතරයි."
"එහෙනම් මාව නැගිට්ටෙව්වේ?"
"කොයි හීනෙන් වුණත් නැගිටින්න වෙලාවක් එනවනේ..."
මම මගේ යාළුවා දිහා බැලුවහම එයා වෙන දිහාවකට හැරුණා, ඡායාරූපයේ සටහන් වුණේ ඒ සිදුවීමයි.