"ඔබ වහන්සේ මට එන්නය කිව්වේ?" පුරෝහිත බොහොම යටහත් පත්ව ඇහුවේ අශෝක රජතුමාගෙන්. පහුගිය දවස් කිහිපයේම මහරජතුමා හිටියේ මොකක් නමුත් හිතේ කලබයකින් කියල පුරෝහිතට හිතුනා. අර පොඩි ශ්‍රමණයට කතාකළ දා ඉඳන්මයි මේ හැමදේම. දැන් දැන් යාග කරන්න, පූජා වලට සහභාගී වෙන්න එච්චර අධිරාජ්‍යයා කැමැත්තක් දැක් වූවේ නැති හින්ද බ්‍රාහ්මණයන් හිටියේ හිත නොහොඳ කරන්. පුරෝහිත ඒ ගැන කියන්නත් හදල නොකිව්වේ රජතුමා මොනවා හිතනවද කියල හිතාගන්න බැරි කමට.
"ආ, අසංග පුරෝහිත. කාරණාවක් ගැන කතරන්නයි වුවමනා. පහුගිය දා ලක්දිවෙන් ආ අරිට්ඨ ඇමති ආව සංචාරයේ අරමුණ මොකද්ද කියල දැනගන්නයි."
"කිව්වේ නම් ඒ රටේ තිස්ස කියල රජෙක් අභිෂේක ලබපු සතුට සමරන්නය කියා නොවේද?"
"කිව්වේ නම් එහෙම තමා, ඒත්..."
"ඒත් කිව්වේ මහරජ?"
"ඔය ලංකා පුරය විතරයි මට අධිරාජ්‍යයට එක්කර ගන්න බැරි වුණේ. කාලිංගයෙන් පස්සේ මං ඒ ගැනත් හිතාන හිටියා, ඒත් ඒ බලාපොරොත්තු වෙනස් වුණානේ."
"තිස්ස තරුණ බොහොම වාසනාවන්ත කෙනෙක් කියලයි ආරංචිය."
"ඒකම තමා සැකයට හේතුව අසංග. පළමුව තෑගි දීල අපිව පරික්ෂා කරනවද කියල නිවැරදිවම දැන ගන්ට ඕනා. පුරෝහිත මේ ගැන හිතල බලල මට උත්තරයක් ලැබෙන්න සලස්වන්න."
අසංග කලබල වුණා. රට පාලනය කරන්න, යුද්ධ සඳහා සැලසුම් හදන්න වගේ වැඩ වලට ඇරුණම මෙහෙම උපදෙස් අසංගගෙන් අරන් තිබුනෙම නෑ. පුරෝහිත කල්පනා කළේ රජතුමා නොකිය කිව්වේ මොකද්ද කියල. දැන් යුද්ධ කරන්නෙත් නැත්තන් තවත් රටක් පාලනයට නතු කරගන්නේ කොහොමද. අශෝක අදහස් කළේ තමන්ගේ අධිරාජ්‍යට ලංකාවත් ඇතුළු කරගන්නේ කොහොමද කියල නෙමේද. ආක්‍රමණය කරන්නෙත් නැතුව, බුදුන්ගේ ශ්‍රමණයන් ගෙන් අපවාද අහන්නෙත් නැතුව ඒක කරන්නේ කොහොමද.
දවස් ගණනාවක්ම ගත වුණත් අසංගට සාර්ථක උත්තරයක් හොයාගන්න අපහසු වුණා. විවිධ ක්‍රමවලින් කල්පනා කලත් යුද්ධයක් නැතුව වුණත් අඩුම තරමේ මරණයක් වත් ඇති වෙනවා. ඒ වගේ බලපෑමක් නැතුව අධිරාජ්‍ය ව්‍යාප්ත කරන්න උපක්‍රමයක් අසංග අහල තිබුනේ නෑ. ඔය අතරෙදියි මහ රජතුමාට මොග්ගලීපුත්තතිස්ස භික්ෂුවගෙන් ආරාධනයක් ලැබුනේ. පුරෝහිතටනම් ඔය හමුවීම් වලට යන්න කැමැත්තක් ඇති වුනේම නැති වුණත් රජතුමා යන නිසා අසංගත් යා යුතුම වුණා. ඒත් නොහිතපු විදිහට පුරෝහිතට අදහසක් පහලවුනේ ඔය හමුව නිසාම යි.
"අසෝක රජතුමනි මට අපුරු අදහසක් ආවා." බෞද්ධ භික්ෂුව හමුවී එන අතර අසංග කිව්වා.
"කුමක්ද ඒ?"
"රජතුමාට මතකද අපේ අභිෂේක මංගල්‍යය?"
"ඔව් ඉතින්?"
"අපි තිස්ස රජුව අභිෂේක කරවමු."
"එහෙම කොහොමද පුරෝහිත, එක්වරකට අභිෂේක කරන්න පුළුවන් ඒක රජෙක් පමණයි, මම එසේ අභිෂේක වෙලා නෙව ඉන්නේ, අනෙක තිස්ස භාරතයේ රජෙකු නෙවෙයි නේ."
"ඔව් ඇත්තටම ඒක තමා සැබෑ පිළිගැනීම, ඒත් ඒ බව තිස්ස දන්නේ නෑ නොවැ."
"දැන් ඉතින් එහෙම අභිෂේක කිරීමේ පරමාර්ථය?"
"රජතුමාට අවශ්‍ය සෘජු බලපෑමකින් තොරව ලංකා දීපය අධිරාජ්‍යට එක්කර ගන්නනේ, 'දේවානම් ප්‍රිය' කියා භාරත තනතුරු නාමයක් දීම තමා එහි පළමු පියවර."
"ඉන්පස්සේ ?"
"අර මොග්ගලී භික්ෂුව කියූ කාරණය, අපි ධර්ම ප්‍රචාරය කළ යුතු යි. බුදුන්ගේ දහමත් එක්ක ගමන් කරන්නේ රජතුමාගේ නාමය. බුදු දහම පවතින තාක් ඔබ තුමන්ගේ නමත් රැකේවී, අධිරාජ්‍යයයත් පවතීවි." අසංග පැහැදිලි කළා. "රජතුමා දැන් ඔය ගැන හිත කලබල කරගන්නට කරනා නෑ. පියවරෙන් පියවර යද්දී ඔබ තුමාට ඔය කාරණය වැටහේවි."
අසංගගේ අදහසට ඇතිවූ හිතේ නොසන්සුන් කම අතරින් වුණත් අශෝක රජුට ළා හිනාවක් ගියා. බෞද්ධ භික්ෂුන්ගේ උපදෙස් මත නිර්මාණය කළ අශෝක චක්‍රය සහිත මගධයේ නගර ද්වාරය පහුකරන් අශ්ව රථය ගමන් කළෙත් ඒ එක්කම යි.