Sunday, August 28, 2011

ලංකික (ආශ්චර්යයේ?) සිහිනය


නම වෙනස් කළොත් මම තරුවක් වෙයිද
බර අඩු කරගත්තොත් ලස්සනයිද
ඩොක්ටර් වෙන්න ලකුණු ඇතිද 
මේ සපත්තු  දැන් ට්‍රෙන්ඩ් එකද

පාට වෙනස් වෙනකන් බලන් ඉන්න, ඉර පායන්න
අවස්ථාවක් ලැබෙනකම් ඉන්න, හම්බ කරගන්න
එකයි එකයි දෙකයි නෙමෙයි, හතර කරන්න
ලංකික සිහිනය උසිගන්වන්න

ඒකීය රටක එකම සිහිනයක්
එකට වැඩකරන එකම සිතක්
මමත් එහෙම්මමයි 
මගේ උවමනාව දන්නේ ඔබල නේද

බටහිර තරම් අපට කුමන්ත්‍රණ කරන්නේ කව්ද
මේ රටේ නිදහස ඕනවට වැඩිත් එක්ක
ඒ ගැන පැහැදිලි කරන්න වැඩසටහනුත් 
ලංකාවේ අගය ගැන උගන්නන්න 
සංස්කෘතිය උරුම කරන්න
(හැබැයි මගේ පුතා ඉන්නේ ඇමරිකාවේ ඕන්)      

මුන්ට මොන ගාය හැදිලද
මහ ලොකු තරුණ අසහනය
හිතන් ඉන්නේ අපි ඉබේම නාකි වුණා කියලද
තියෙන දෙයක් කාල නිදාගන්න බැරි හැටි

මේ තනිකම නැති කරගන්න යාලුවෙක් හොයද්දි
මට හම්බුනේ ලෝකේ කාල වතුර බිව්ව කුහකයෙක්!

ලොකු රස්සවකුයි, ඇහැට කනට පේන ගෑනියෙකුයි, 
මාලිගාව වගේ ගේකුයි, අලුත්ම අලුත් වාහනේකුයි
තියනවනම් තෘප්තිමත් වෙන්න බැරි කාටද

මගේ ලංකික සිහිනය අංග සම්පූර්ණයි, 
ඉතින් මම තරුවක් වෙයිද?

Saturday, August 27, 2011

ප්‍රදීපගාරයේදී - I කොටස



"උඹ මාව අන්දනවා නෙමෙයි නේ? හැබැයි පුතෝ එහෙම කරලා තිබුනොත් මගෙන් බේරෙනවා නෙමෙයි!" මම තුන්වෙනි වතාවටත් එහෙම කිව්වේ අදිත කියන්නේ ඇත්තමද කියල දැනගන්න. 


අදිත මං දිහා තරහෙන් වගේ බලල මොනවද කියන්න හැදුවත් ආයේ ඕනේ නෑ කියන්න වගේ ඔලුව වනල වාහනේට හයියෙන් තට්ටුවක් දැම්මා.
අපි දැන් අතරමන් වෙලා ඉන්නේ කිව්වට වැඩි වැරද්දක් නෑ.වෙනසකට තියෙන්නේ කොහෙද ඉන්නේ කියල දන්න එකයි. හැබැයි ඒ දන්නෙත් සාපේක්ෂ වශයෙන් විතරයි. අපි දෙන්නා යායුතු ගමන ඉක්මනින් යායුතු වුණූ නිසාමයි කෙටි පාරක් විදිහට හඳුන්වපු මේ වගුර මැදින් යන කුඩා පාර භාවිත කරන්න තීරණය කළේ. ඒත් කිලෝමීටර් ගණනක ලාබය බලන්නේ නැතුව අනිත් පාරෙන්ම ගියානම් හොඳයි කියල හිතෙන්නේ මේ වගේ කාත් කවුරුත් නැති පාළු වගුරක් මැද වාහනේ කැඩුනහම තමයි. මගේ වාහන ගැන කාර්මික දැනීම බින්දුවට වඩා චුට්ටක් වැඩි නිසා අදිත කියන්නේ ඇත්තද කියල දැනගන්න ක්‍රමයක් නැහැ (අදිත කියන විදිහට වාහනේ බැටරිය බැහැල, ඒ වුනාට වාහනේ යද්දී ආයේ චාජ් වෙනවා නේද?). අදිතට එයාගේ තාත්තාගෙන් ලැබුණු 67' ෆෝර්ඩ් මස්ටන්ග්  වර්ගයේ මේ කාර්එක සාමාන්‍යයෙන් ලෙඩ දෙන්නේ නෑ කියල දන්නේ සෑහෙන වතාවක් මේ වාහනෙන් ගිහින් තියන හින්දමයි. ඉතින් එහෙම දැනීමක් තියෙද්දී එක පාරට කාර්එක කැඩුනහම විශ්වාස කරන්න අමාරුයිනේ. අනික අදිත නිසා එක එක විදිහේ රැවටීම් වලට මුහුණ දුන්න අය කිහිප දෙනෙක්ම හිටියා. මේ අවස්ථාවත් ඒකක් නම් මාස ගානකට යාලුවෝ අතර හිනාවට කාරණාව වෙන්න මම වාසනාවන්ත වේවි.


"බලං ඉඳල වැඩක් නෑ, පොඩ්ඩක් ඇවිදලා බලන්නද?" මම ඇහුවා.
"ඕනේ නම් බලපන්, ඒත් මෙහෙ කව්රුත් නෑ උදව් ගන්න!" 
"කවුරුවත්ම නෑ?"
අදිත ඔලුව වැනුවා, "මතක විදිහට තියෙන්නේ පරණ ලයිට් හවුස් ඒකක් විතරයි"
"ලයිට් හවුස් ඒකක්?"
"ඔව්. ඒත් එකේ කව්රුත් නෑ මම හිතන්නේ, අත්තැරල දාල."
"හ්ම්,,,"


මේ වගුර එක විදිහකින් තැනිතලාවක් වගෙයි පෙනෙන්නේ. විශාල උස ගස් එකක් වත් නැති තරම්, අඩි තුන හතරක් විතර උස කොළ-දුඹුරු පාටින් පඳුරු යායට වැවිලා. ඒත් සාමාන්‍ය තැන්නකින් වෙනස් වෙන්නේ මඩ ගොහුරු තැනින් තැන භයානක විදිහට පිහිටි නිසයි. වගුර එක පැත්තකින් අවසන් වෙන්නේ මුහුදින් නිසා අතින් 'හෝ' හඬ ලාවට ඇහුනා. චිත්‍රපට දර්ශන තලයකට සුදුසු පරිසරයක් සකස් වෙලා තිබුනත් සන්සුන් මනසක් නැති හින්දම සුන්දරත්වය විඳින්න වුණේ නෑ.


'ක්‍රොව්,,,ක්‍රොව්,,,' කොහෙද ඉඳල ආපු ලොකු කළු කපුටෙක් කෑගහමින් වාහනේ වැහුවා. අදිත ගැස්සුනා, ඌව පන්නන්න අසාර්ථක උත්සාහයක අදිත යෙදෙද්දී මට හිනා නොවී ඉන්න බැරිවුණා. කොහොමහරි හිරිගඩු පිපෙන තරම් හීතල, තරමක තද සුළගක් එක්කම කාකයා උවමනාවෙන්ම ඉගිලිලා ගියා. හුළඟ එක්ක ආපු කළු වැහිබර වලාකුළු පරිසරය කලුකරගෙන අහස වහගන්න පටන් ගත්තා.
"ලොකු වැස්සක් එන්න වගේ, මෙතන හිටියොත් හෙන වැදිලා මැරෙන්නේ" මම කිව්වේ අහස දිහා බලන ගමන්.
"බය නම් කාර් එක ඇතුලට වෙලා හිටහන්" අදිත උත්තර දුන්නේ උපහාසයෙන්, කලින් මම එයාට හිනාවුණ වාඩුවට වෙන්න ඇති.
"උඹට ඕනෙනම් හිටපන්!" අදිතගේ උත්තරේට තරහගිය මම හයියෙන් කෑගහල හයියෙන් ඉස්සරහට ඇවිදින්න ගත්තා. ඒ වැඩේ නිකම් ප්‍රාථමික පන්තියේ වැඩක් තමයි, ඒත් එහෙමයි කියල අදිතව අල්ලගෙන ගහන්න යෑ, ඇත්ත කියපන් කියල කියන්න යෑ.


සෑහෙන තරම් දුරුක් ඇවිදින්න වුණා තරහ පාලනය කරගන්න. ආපස්ස හැරිලා බැලුවහම ඈතින් වාහනේ පෙනුනා, මට ටිකක් පිටිපස්සෙන් අදිත ගාටමින් ආවා. ඒ කියන්නේ එයයි බය, ටිකක් විතර පව් කියලත් හිතුනා. දැන් පරිසරය සෑහෙන තරම් අඳුරුයි, අහස කළු වලාකුළු වලින් පුරවාගෙන වතුර හලන්න බලාගෙන හිටියා. අතරින් පතර අකුණු හඬත් ඇහුනා. කුණාටුවක් එන තරමටම කාළගුණය සකස් වෙලා.


මුහුද පැත්තෙන් කුරුල්ලෝ රංචුවක් කෑගහමින් ගොඩබිමට පියඹා ගෙන ගියා, එතකොට තමයි දැක්කේ ඒ ප්‍රදීපාගාරය. ඒක පළාතටම විශේෂ වෙන විදිහට පොළව මට්ටමේ ඉඳල අහස දෙසට ගොඩ නැංවීලා. ප්‍රදීපාගාරය දෙසට යන පොඩි අඩිපාරක් තිබුණා. වැස්සට ආවරණයක් ඕනේ නිසාත් උදව් ගන්න කව්රුවත් ඉන්නවද කියල බලන්නත් එක්කත් ඒ අඩිපාරට හැරුනේ මඩේ එරෙන එකක් නෑ කියල ප්‍රර්ථනා කරන ගමන්.


අඩිපාරේ ගමන් කරද්දී මුහුදත් ප්‍රදීපගාරයත් වඩ වඩාත් පැහැදිලිව පෙනෙන්න ඇහෙන්න දැනෙන්න ගත්තා. ඒ අඩිපාර යන්නේ කෙලින්ම ප්‍රදීපාගාරය ලඟට. කව්රුහරි භාවිත කරනවා කියල කියන්න පුළුවන් තරමටම පාර යම් තත්වයක තිබුණා. ගොඩබිම මුහුදින් අවසන් වෙන්නේ වෙරක් නැතිවයි, ගල්පර හැම අතටම විහිදිලා. සැඩ සුළඟ මුහුදු රළ රළු කරලා ගල්පර වල හැප්පුවා. ප්‍රදීපාගාරය ගොඩනගල තියෙන්නේ ඒ අවට තිබුණු විශාලම හා උසම ගල්පරය උඩ.



ගල්පර එච්චර විශාල නැතිවුනත් ගල්වල දියසෙවල බැඳිලා නිසාත් මුහුදු රළ වල බාධාව නිසාත් ඒ පර්වතයට නගින්න වෙලාව ගතවුණා. ප්‍රදීපාගාරයේ සුදු වර්ණය දුර්වර්ණ වෙලා තිබුනේ පරිසරයේ බාධාවන් නිසා වෙන්න ඇති. ප්‍රදීපාගාරය ඇතුලට යන්න තිබ්බේ සාමාන්‍ය එක දොරක් විතරයි. ඒ දොර කලෙකකින් ඇරපු වපු බවක්වත් පෙන්න නැති වුනත් දොරට තට්ටු කරලා කතා කරලා බැලුවේ පුරුද්දට වගේ. 


"කවුරුත් නැහැ, දොර කඩමු." කියල අදිත කකුලුන් ගහල දොරට ගහන්න සැරසුණා.
"එපා!" මම කෑගහුවා.

Sunday, August 14, 2011

චන්ද්‍රිකා හදවත



අවකාශයට මිදී යනු නොහැකිව
දෛවය නිසා ලංවනු බැරිව
ඔබේ ආදරයේ ආකර්ශනයෙන්
ඔබ වටාම භ්‍රමණය වන 
මම චන්ද්‍රිකා හදවතක් වෙමි 

Tuesday, August 2, 2011

වසන්ත සිතුවම


වසන්තයේ උන්මාදය 
තුරුලුකරන් හදවතට 
අස්වැන්න බලාපොරොත්තුවෙන් 
සිනාසෙන්නට වෙරදරන ඔබ, 
විචිත්‍ර චිත්‍රයකි
මා වැනි සිත්තරෙකුට.