Saturday, February 18, 2012

පශ්චාත් වැලන්ටයින් වාතාවරණය

Picture from needlesoup.deviantart.com
කිලිනොච්චියට ඉර පායන්නෙත් කොළඹ විදිහට ම යි. හැබැයි ඕනෙනම් කෙනෙකුට එහෙම නෙමේ යි කියල හිතාගන්න පුළුවන්. ඒත් අපි දෙයක් හිතාගත්ත පලියට ඒක ඇත්ත වෙන්නේ නෑ කියලත් මතක තියාගන්න වෙනවා. තල් ගස් අස්සෙන් වියළි සුළඟක් හමාගෙන ඇවිත් මගේ පපුවේ තැවරුණේ මම ජනේලය අරින්න ගිය මොහොතේ. මනීෂාගේ තඹ පැහැ සම සම්පූර්ණයෙන් නිරාවරණය වීම වැලක්විලා තිබුනේ ධවල ඇඳසළුවකින්. ඇය එහෙම සයනය මත නිදාගෙන ඉන්න දර්ශනය කලාත්මක යි. ඒ ආකර්ශනීයත්වයේ පහස ලැබීම සතුටක් වුණත් මට මෙතනින් යන්න ඇති වුණ තද බල උවමනාව නැති කරගන්න අපහසු වුණා.

"මනීෂා, මනීෂා! නැගිටින්න ළමයෝ."
"හ්ම්ම්,,, මොකද මේ කලබලේ?"
"අද මම ගෙදර යන්න ඕනේ..." මම මනීෂා ලඟින් වාඩිවුණා. ඇය මට තුරුළු වුණේ ආයාසයකින් තොරවයි.
"අපි කොහෙද මේ යන්නේ?" මනීෂා මගේ පපුවට කෙඳිරුවා.
"ඒ කිව්වේ?"
"නෑ, මම කිව්වේ අපි දෙන්නා බඳිනවද?"
"මාත් එක්ක නිදාගත්ත ගෑණු හැමෝටම ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ වුණා." ඒකට මනීෂා මගේ පපුව හයියෙන් හැපුවා. තරමක් රිදුනත් මම මොනවත් ඒ ගැන කියන්න ගියේ නෑ. "මම කිව්වේ, මම එක ගෑණියෙක් එක්ක ඉන්න පුළුවන් මිනිහෙක් නෙමේ. අනික මම එහෙම දෙයක් ඔයාට පොරොන්දු උනෙත් නෑනේ."
"එතකොට මම දෙමළ වෙච්ච එක ප්‍රශ්නයක් නෙමේ?"
"නෑ, මට නම් ප්‍රශ්නයක් නෙමේ. ඔයාට ප්‍රශ්නයක්ද?"
"දන්නේ නෑ."
* * * * *
පැය ගණනාවකට පස්සේ මම වාඩිවෙලා හිටියේ මගේ ගෙදර වත්තේ ගහක් යට බංකුවක. කිලිනොච්චියේ හමන හුළඟට වඩා මෙහෙ දැනෙන්නේ සිසිලසක්. ඒක හොඳ යි ද නරක යි ද මන්දා,  කොහොම වුණත් මම ඒ විවිධත්වයට කැමති යි. පුතා මිදුල පුරාවට දුවමින් තමන්ම හදාගත්ත සෙල්ලමක නිරතවෙලා. ඔහොම නිසංසලව ඉන්නකොට තමයි චන්දිමා අපිට බොන්න තේ අරන් ආවේ.

"අන්න ඔයාට මිස් කෝල් එකක් මනීෂා කියල කෙනෙක්ගෙන්, කව්ද ඒ?" 
"ආ ඒ අපිත් එක්ක වැඩකරන කෙනෙක්."
"ඔයා දැන් නිවාඩුනේ, ඇයි මේ වෙලාවේ?"
"මොකක් හරි අහගන්න වෙන්න ඇති. පව්, මම විතරයි ඒ ළමය එක්ක කතා කරන්නවත් ඉන්නේ."
"දෙමළද?" මම ඔව් කියන්න ඔලුව වැනුවා. ඒත් චන්දිමාගේ මුණේ තිබුනේ බැරෑරුම් ස්වභාවයක්. "ඔයත් වැඩි කතාවට එහෙම යනවා නෙමේ. කොටිද දන්නෙත් නෑනේ."
"හ්ම්ම්,,,"

5 comments:

  1. මේකට ඉතින් වැලන්ටයින් වැරදිකාරයෙක්ද? :)

    ReplyDelete
  2. උඹ මේ කිට්ටුවෙන් යන එකක් කලිනුත් ලිව්ව වගේ මතකයි :)

    ReplyDelete
  3. වඩන 100කින් ලියල දාන්න තිබුණා ;-)

    ReplyDelete
  4. ආදරයද එහෙමත් නැත්නම් ආශාවද?

    ReplyDelete
  5. //අනික මම එහෙම දෙයක් ඔයාට පොරොන්දු උනෙත් නෑනේ//
    මනීෂට පොරොන්දු නුනට චන්දිමාට පොරොන්දු වෙලානේ!

    ReplyDelete