Tuesday, November 25, 2014

සැකය හා විශ්වාසය



කෙනෙක් තව කෙනෙක්ට ඇත්තටම කැමතිද කියල හරියටම දැනගන්නේ කොහොමද? කෙනෙක් තව කෙනෙක්ව උපරිමයෙන්ම විශ්වාස කරන්න පුලුවන්ද? දෙමව්පියන්ව උනත් විශ්වාස කරන්න බැරි අවස්ථා තියනවද? ඒකට නිශ්චිත පිළිතුරක් ඇති කියල මම හිතන්නේ නෑ. වඩාත්ම ආසන්න පිළිතුර වෙන්න ඕන 'ඒ අය ඔයාට සලකන විදිහ අනුව' කියන එක. ඒත් ඒකත් නිශ්චිතම උත්තරයක් නොවෙන බව මතක තියාගන්න ඕන. අපිව රවටන්න බොරු රඟපෑම් කරන්නත් පුළුවන් බව අමතක කරන්න යාමෙන් අවාසියක් වෙනවා නම් වෙන්නේ තමන්ට ම යි.

මේ ලිව්වේ මම ලොකු රැවටීමකට පත්වෙලා වත්, ලොකු පාවාදීමකින් හිත රිදවාගෙන වත් නෙවෙයි. තවත් කෙනෙක් සීයටම සීයක් විශ්වාස කරන්න බැරි බාධකයක් මම මම වටාම ගොඩනගා ගෙන තියනවා කියල හිතන නිසා. ඒ බාධකය නිසා ඉන් එපිට ඉන්න අයට මා ළඟට එන්නත් මම ඔවුන් කරා යන්නත් අපහසුයි. බාධක බිදගෙන ආ ගිය අවස්ථා නැතුව නෙවෙයි. ඒත් ඒවා ඇත්තේ බොහොම අතලොස්ස යි. අතලොස්සක් වෙනුවෙන් මම ගොඩක් අවස්ථාවන් විනාශ කර ගත්තා කියල හිතෙන, හිතල පසු තැවෙන අවස්ථාවන් අතලොස්සකට වඩා ගොඩක් වැඩියි.

මගේ නරකම ගති ගුණයක් තමයි මම වැඩියෙන්ම විශ්වාස කරන අය ගැන පවා, ඔවුන් මට කියන,  ඔවුන් කරන දෑ ගැන ඕන වඩා හිතන්න යෑම. හැම වෙලාවේම බලන්නේ මොකක් හරි යටි අදහසක්, වෙනම යටි සැලැස්මක් ඔවුන්ට තියනවද කියල. මේ සැකය නිසා මට ඔවුන් කියන කිසිම දෙයක් 'සීරියස්' දේවල් හැටියට දැනෙන්නේ නෑ. එතන තියෙන්නේ අවිශ්වාසයම නෙවෙ යි. මම ඔවුන් කියන කිසිම දෙයකට කිසිම 'බරක්' නොදීම. නොසලකා හැරීම. සමීප පුද්ගලයන්ව නොසලකා හැරීම කැත පුරුද්දක්.

අවදානම් ගන්න අවස්ථා නැතුව නෙවෙයි. ඒත් ඒ අවස්ථා වලින් විශ්වාසය තහවුරු වුනු අවස්ථා වගේම විශ්වාසය බිඳ වැටුණු අවස්ථාත් තියෙන නිසා නිගමනයකට එළඹෙන්න අපහසු යි. වෙලාවකට මේ අවිශ්වාසය දේශපාලනික එකක් වෙන්න පුළුවන්. අවුරුදු ගණනාවක ඉඳල රැවටිලා රැවටිලා නිසා ඒ මානසිකත්වය සමාජයීය තලයකට ආව වෙන්නත් පුළුවන්. ඒ වගේම අනිත් අතින් දේශපාලනය කරන්නේ එහි ගැටෙන්නේ ඇලෙන්නේ සමාජයේම පුද්ගලයන් නිසා එහි විලෝමය වෙන්නත් බැරි නැහැ. කොහොමත් දේශපාලනය හා සාමාජය අතිච්ඡාදනය වනවා මිසක් වියුක්ත දේ නෙවෙයිනේ.

"අන්තිමට තමන්ට ඉතිරි වෙන්නේ තමන් ම යි" කියල කතාවක් හැදෙන්නේ මේ විදිහට හිතන්න යෑමෙන් වෙන්න ඇති. ඒත් තමන්ට තමන්ව වත් විශ්වාස කරන්න බැරි වුන අවස්ථා නැත්තේ නෑ. එතකොට 'මම' ත් නැතිවුණ තැන මොකද වෙන්නේ? 'මම' කියන කෙනාව අමතක කල තැන අනිත් අයව විශ්වාස කරන්න පහසු වෙයිද, තවත් අපහසු වෙයිද? බොහෝ විට විශ්වාසය කියල දෙයක් එතකොට නෑ. මොකද විශ්වාසය කියන දේ හැදෙන්නේ හැම කෙනෙක්ම 'තමන්ට' කොහොම සලකයි ද කියන තැන ඉඳල නිසා. 'මම' කියන ලක්ෂ්‍යය අමතක කළහම සාපේක්ෂ දේවල් නැති වෙනවා. සාපේක්ෂ දෑ නැති වුනහම ඇති වෙන්නේ  නිරපේක්ෂ දේ නම්, ඒ ඒ පුද්ගලයා අපිට නිවැරදිම අඳුනගන්න පුලුවන්ද? මේ ගැන කියන්න මට තවම අත්දැකීම අඩුයි.

මෙච්චර කාලෙකට පස්සේ ලියන්න වුනේ මේ වගේ යාන් හෑල්ලක් වීම ගැන කනගාටු යි. ඒත් මේ ප්‍රශ්නේ නිසා කම්පා වුනු, (සමහර විට ඕනෑවටත් වඩා) අවස්ථා ගණන කලින්ට වඩා වැඩියි. හිතේ තියෙන දේ තමයි වැඩියෙන්ම ලියවෙන්නේ. මේක අමතක කරලා ලියන්න ගියත් මටම නොදැනී විශ්වාසය ගැන සැකය ගැන ලියවෙන්න තිබුනා. සමහර වෙලාවට වක්‍රව කියනවට වඩා කෙලින්ම කියන එක හොඳයි. මේ ලිව්වේ එහම හිතල, සාර්ථකද කියන එක වෙනම කතාවක්.

අලුතෙන් මුණ ගැහුණු කෙනෙක්ට ආදරේ කරන්න, හොඳින් නොදන්නා යාලුවෙක් එක්ක ව්‍යාපාරයක් පටන් ගන්න, පරණ යාලුවෙක්ට මුදලක් ණයට දෙන්න, කලක ඉඳල දන්නා පෙම්වතා/පෙම්වතිය එක්ක එකට ජීවත් වෙන්න පටන් ගන්න, අලුත් අපේක්ෂකයෙක්ට ඡන්දේ දෙන්න, මේ කෝකටත් අර කලින් උත්තරේ සීයට සීයක් වලංගු වන එකක් නෑ. ඒ නිසා මුලින්ම අහපු ප්‍රශ්නෙට 'ඒ අය ඔයාට සලකන විදිහ අනුව' කියන උත්තරේට වඩා ගැලපෙන උත්තරේ වෙන්නේ 'ඒ අය අනිත් අයට සලකන විදිහ අනුව' කියන එක මම හිතන්නේ. මේකත් නිරපේක්ෂ උත්තරක් නොවෙන හින්ද මම මම හදාගත්ත උත්තරේ වත් ඕන වට වඩා විශ්වාස කරන්න යන්නේ නෑ. ඒත් අලුත් කෙනෙක් මුණ ගැහෙන හැම අවස්ථාවකම වගේ කිහිප වතාවකට හෝ සැකයේ වාසිය ඔවුන්ට දීල අවධානමක් ගන්න මම සූදානම්. මොකද මග හැරුණු අවස්ථා වලට වඩා, වැඩ වැරදිලා ලබාගත් අත්දැකීම වඩා හොඳයි කියල දැන් මම හිතන නිසා.