Friday, April 26, 2013

අවසන් යම - Say Goodbye

රෝහලේ සෙනග එච්චර හිටියේ නැතත් වෛද්‍යවරුන් සහ හෙදියන් කිහිප දෙනෙක් එහෙ මෙහෙ ගියේ කලබලෙන්. රෝගීන් ලබන්න ආපු අයත් හිමින් ඇවිදිමින් එකිනෙකාට කොඳුරමින් ගියේ තම තමන්ගේ ලෝක වල තනිවෙලා. එළිමහනට විවර වුණු තැනක ඇති දිග පුටු පේළියක කෙලවකරකින් මම වාඩිවුණා. ඉර එළිය අප්‍රාණවත්ව වැටුනේ ගිම්හානය නිසා කොළ හැලුණු ගසකට. අඩ එළිය ගහේ කඳේ වැදිලා සෙවනැල්ල සහ ආලෝකය කලාත්මක චිත්‍රයක ස්වරූපයක් මතු කළා.

ඉර එළිය අඳුර අතරින් අතුරුදන් වෙද්දී රෝහලේ සෙනග තරමක් වැඩිවෙන්න ගත්තා. තරුණ තාත්තෙක් එක්ක ආපු පුංචි ළමයෙක් මට පසෙකින් ඇති පුටුවේ වාඩිවුණා. වයස හතරක් විතර වෙන්න පුළුවන් දරුවා අතේ තිබුනේ කතා පොතක්. මම ඒ දිහා බලලා හිනා වුණා. ඒ පුතාගේ ඇස් තිබුනේ පොතේ නිසා එයා දැක්කේ නෑ මාව. කොහොම වුණත් ඒ දර්ශනය මට පැහැදිලි කරගන්න අපහසු හේතුවකට සතුටක් ගෙනාවා. ටිකකින් ළමයාගේ තාත්තා ඇවිත් දරුවා එක්ක ගෙන ගියා. මම පුතා දිහා බලල හිනා වෙලා අත වැනුවා. මම ඉන්න දිහා බලන් ගියත් ඒ ළමයට මාව පෙනුනේ නෑ. මොහොමතකට ඒ දරුවට ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇති කියල ඇති වෙලා නැතිවෙලා ගියේ පොත කියවපු බව මතක් වෙලා.

මම එතැනින් නැගිටලා ඇවිදින්න ගත්තා. රෝහලේ විදුලි බල්බ දැල්විලා ටයිල් පොලව බිත්ති හැමතැනම සුදු පාටින් ඒකාලෝක වුණා. හිමින් ඇවිදන් යද්දී මම ඉදිරියට දෙතුන් දෙනෙක්ම මුණගැහුනත් ඒ කාටවත් මාව පෙනෙන ලෙසක් දැනුනේ නෑ. එකපාර ම මම අදිසි වෙලා තිබුණා. එක අතකින් ඒක හොඳයි. කාගෙන්වත් කරදරයක් නැතිව ඉන්න පුළුවන්. මම මගේ අලුත් බලයෙන් ප්‍රයෝජන ගන්නත් එක්ක මම හිතෙන හිතෙන තැන ඇවිදින්න ගත්තා. එක එක වාට්ටු වල, පෞද්ගලික කාමරවල, වෛද්‍යවරුන්ගේ කැබින් වල පවා මම නිදහසේ ඇවිද්දා. මාව නවත්තන්න කවුරුවත් හිටියේ නෑ. එක්වරම මට සිහිවුණා මා කළ යුතු ම දෙය. එකම තැන එකම විදිහට ඉඳල එපාවුණු නිසා ලැබුණු නිදහසෙන් ප්‍රයෝජන ගත්තට ඒ නිදහස නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. ඔව්; මම ගෙදර යන්න ඕනේ. මම රෝහලෙන් එලියට යන්න පටන් ගත්තා. කිහිප සැරයක් වටපිටත් පිටුපසත් බැලුවට මම යනවා කාටවත් පෙනුනේවත් දැනුනේ වත් නෑ. කිහිපවතාවක්ම පඩි නැගල බැහැල දකුණට වමට හැරිලා ඇවිත් මම පිටවීමේ දොර පෙනෙන මානයට ආවා.

"ඔහොම ඉන්න" කව්ද කතා කළා. මම හැරිලා බැලුවේ නැතුවම අඩි ඉක්මන් කළා.

"ඔහොම ඉන්න!" ඒ වතාව කලින්ට වඩා සද්දෙන් ඇහුනේ. මම දුවන්න උත්සහ කළා.

ඒත් අසාර්ථක යි. කව්ද කෙනෙක් මගේ අතින් අල්ල ගත්තා. බලාපොරොත්තු වුණාට වඩා ඒ ග්‍රහණය සුමට යි. මම ආපස්ස හැරුණා. හිටියේ තරුණ ගැහැණු කෙනෙක්. එයා ලස්සනයි. ඒත් තරමක් සුදුමලියි. තනි සුදු පාට දිග ගවුමකින් සැරසිලා හිටි ඇය රෝහලට ගැලපීමක් නැතිව කැපිල පෙනුණා. ඇය මම දිහා බලලා හිනා වුණා. පිවිතුරු මත් නොවන ව්‍යාජත් නොවන ඒ අතර ස්වභාවයේ හිනාවක්.

"ඔයාට මාව පේනවද?" කියන්න දෙයක්  හිතාගන්න බැරිතැන මම ඇහුවා. එයා කළේ ඔලුව වනපු එක විතර යි.

"ඔයා කවුද?" මට එහෙම අහන්න ලැබුනේ නෑ. "අපි යමු" එයා මගෙන් අතෙන් ඇදගෙන ආපහු රෝහල ඇතුලට යන්න ගත්තා. මට ආයේ යන්න කිසිම උවමනාවක් නොතිබුනත් මම හොරෙන් යන්න හැදුව කියල දැනගනීවි කියන බයෙන් මම මුකුත් කරන්න ගියේ නෑ.

අපි රෝහල ඇතුලටම ගමන් කළා. මම පසු කරගෙන ආ තැන නැවතත් හමුවුනේ සිනමා පටයක් ආපස්සට  ධාවනය කරනවා වගේ. මම හිටපු කාමරය ළඟට ඇවිත් අපි නතර වුණා. ඇය මා දිහා බලල ඇතුලට යන්න කියල අතින් සන් කළා. මම ඇතුලට අකමැත්තෙන් වුණත් ගියා. ඒත් මම හිටපු ඇඳේ කවුද හිටියා. ඒ හිටියේ කවුද කියල දකින්න ලැබුනම මට මොහොමතක් කාලය නතර වුණා වගේ දැනුනා. මුළු ලෝකයම නතර වෙලා මම මොනවද කරන්නේ කියල බලන් ඉන්නවා වගෙත්, මහා මේරු පර්වතය මගේ කරපිට තැබුවා වගෙත් ලෝක අන්තයෙන් පහලට වැටෙනවා වගෙත් හැඟීම් ගොන්නක් ඇති වුණේ ඒ එක්කම යි. මම නැවතත් ඒ රෝහල් ඇඳ මත හිටිය පුද්ගලයා දිහා හොඳින් බැලුවා. ඔව්, විශ්වාසයි ඒ මම ම යි.

මට කරන්න දෙයක් හිතාගන්න බැරිතැන මම පිටුපස බැලුවා. පුදුමෙකින් ඇය වගේ තාමත් හිටියා. මම බලාපොරොත්තු වුනේ ඇය නැතිවෙලා ඉන්න. මේ කවුරුහරි මට කරන ඇස් රතු වෙන විහිළුවක් වෙන්න තවමත් අවස්ථාව තිබුණා. නැත්තම් මම දකින නරකම නරක හීනයක් වෙන්නත් පුළුවන්. මම පුළුවන් තරම් තදින් මගේ කම්මුල කොනිත්තා ගත්තා. පුදුමයි; මම හීනෙකින් ඇහැරුනේ වත් කෙනිත්තුවට රිදුනේවත් නෑ.

"බය වෙන්න එපා" ඇය මගේ අතින් අල්ලාගෙන සන්සුන් හඬකින් කිව්වා.

"ඒත්... ඒත්? මේ..." මම අහන්න දෙයක් හිතාගන්න බැරිව ලතවුණා.

"මතක් කරලා බලන්න." මම ඔලුව වැනුවා. "ඔයාට පුළුවන්, මතක් කරන්න"

මම ඇස්දෙක පියාගෙන මතක් කරන්න ගත්තා. මොහොතක් දෙකක් යනකම් කිසිවක්ම වුණේ නෑ. මම වැඩේ අසාර්ථක වුණු තැන ඇස් අරින්න උත්සහ කරන කොටම මට මතක් වෙන්න ගත්තා. මීට පැය ගණනකට කලින්: මම මගේ බිරිඳ එක්ක රණ්ඩු වෙච්ච හැටි, ඇයව තල්ලු කරලා ගෙයින් එලියට ඇවිත් වාහනයට ගොඩවුණු හැටි, පුළුවන් උපරිමයෙන් කාර් එක එලවගෙන් ගිය හැටි, පාරේ යන අනික් වාහන ගැන අවධානය යොමු නොකරපු හැටිත් එක්වරම නොපෙනී ආ විසල් ලොරියක් වහනයේ බඳේ හැපිලා බරපතල තුවාල වුණු හැටිත් යන මතකයයත් මගේ ඉස්සරහ දැන් වෙනවා වගේ පෙනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සිහිය යන එන විදිහට රෝහලේ විදුලි එලිත් වෛද්‍යවරුන් සැත්කම් කරන හඬත් අපිළිවෙලට අපැහැදිලිව මතක් වෙන්න ගත්තා.

"මම... මම හැ-" මට කතා කරන්න අපහසු වුණා. ඇය තාමත් සුදුමැලි මුහුණින් යුතුව මා දිහා බලන් හිටියා. මම ඇඳේ ඉන්න 'මම' වෙත ඇඟිල්ල දිගුකළා. ඇය කළේ ඔලුව වනපු එක විතර යි.

"අපි යමු නේද? ඔයා ලැහැස්තිද?" මම මොකටද කොහෙටද කියල ඇහුවේ නෑ. ඇය ඒ ගැන නොකියත් මට ඒ ගැන යම් අදහසක් කොහෙන් හරි ඇවිත් තිබුණා.

මම නැවතත් නිදාගෙන වගේ ඉන්න මම දිහා බලන් හිටියා. අනතුර වුණ හැටි නැවත නැවතත් සිහියට ආවා. ඊළඟට ආවේ මගේ බිරිඳ ගැන මතකය. ඇය මේ ගැන දන්නවද, දන්නවනම් ආවේ නැත්තේ ඇයි, මගේ අම්මා තාත්තා? එතකොට යාළුවො? ප්‍රශ්න කෝටියයි තව එකකින් මගේ හිත බරවෙන්න ගත්තා. මගේ බිරිඳට කතා කරන්න ඇයගෙන් සමාව ඉල්ලන්න අවස්ථාවක් ලැබෙනවානම් කියන ප්‍රාර්ථනාවක් ආවේ ඒ මතකයන් එක්ක සැරිසරද්දි යි.

"අපි යමු නේද?" සුදු වත හැඳි කත ආයෙමත් ඇහුවා. මට කරන්න ඕනේ මොනවද කියල පැහැදිලි අදහසක් වත්  ඒ ගැන සිහියක් වත් නැතුව වටපිට බැලුවා.

"අත්තරින්න දරුවෝ, අත් ඇරලා දාන්න." ඇය දයාබර කට හඬකින් කිව්වා. මම ඔලුව වැනුවා.

ඇය මා ළඟට ඇවිත් මාව වැළඳ ගත්තේ අම්මෙක් දරුවාව තුරුළු කරගන්නවා වගේ. මම ඇස් දෙක පියා ගත්තේ අලුත උපන් සහනයකුත් එක්ක යි. ලෝකය ම කරමත වගේ දැනුන බර සැහැල්ලු වෙලා ගියා. හිතට වද දුන්න මගේ අනතුර ගැන මතකය කෙමෙන් අමතක වෙන්න පටන් ගත්තා. බිරිඳ ගැන, දෙමව්පියන් ගැන හිතවතුන් ගැන ඇති ඇල්ම බිඳිලා යද්දිනම් දුකක් දැනුනත් ඒ ගැන කම්පා වෙන්න වෙලාවක් නැතුව ගියා. මම මගෙන් වෙන්වෙලා සුදු කත සමග අවකාශය අතරින් යන්න ගත්තා. පාවෙන සැහැල්ලුවක්. සැහැල්ලු පාවීමක්. මම කොටස් දෙකකට කැඩිලා ගත හැරලා සිත ගමන් ගත්තා.

රෝහල් කාමරයෙන් හදගැස්ම පෙන්වන යන්ත්‍රයේ හදගැස්ම නැවතිලා "නීක් නීක්" හඬින් නලාව නාද වෙන්න පටන් ගත්තෙත් ඒ එක්කම යි.

ප.ලි. : මේ අග්නි ධාරාගේ "තමන්ගේ මරණය තුන්වැනියෙක් හැටියට අත්දකින අවස්ථාවක් ගැන ලියන්න" කියූ ඉල්ලීමට ප්‍රතිචාරය. අග්නි ධාරා කතාවට කැමති වෙයි කියල හිතනවා.

Thursday, April 11, 2013

ඊළඟට ලියන්නේ මොනවද?

මේක අර්ධ-ලිපියක්. ඒ මේක සම්පූර්ණ වෙන්නේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙද්දී නිසා. මා ලවා කතාවක් ලියවා ගන්න නැත්තම් මම එක් ආකාරයක, එක් වස්තු විෂයක කතාවක් ලියන තෙක් බලා ඉන්න අයට අවස්ථාවක් මේ. කරන්න තියෙන්නේ මම ලියනවට ඔබ කැමති දේ කියන එක යි.


උදාහරණයක් විදිහට ඔබට ඕනෑ කරන කතාව මෙහෙම කෙටියෙන් කියන්න.

  • සමරිසි වැම්පයර් කෙල්ලෙක් අපරාධකාරයන්ට දඬුවම් දෙන කතාවක්.
  • අල්ලපු ගෙදර වයසක ආච්චි පිට සක්වල ජීවියෙක් බව අඳුන ගන්න ළමයි දෙන්නෙක් ගැන කතාවක්.
  • සාතන් දවසක් උදේ නැගිටිද්දී තමන් කෙල්ලෙක් වෙලා කියල දැන ගත්තට පස්සේ ආයේ කොල්ලෙක් වෙන්න මොකද කරන්න ඕනේ කියල හොයන ස්වයං සංචාරයක්.
  • පොඩි කුමාරිහාමිගේ ක්ලෝනයක් කුමාරිහාමිව බලෙන් පැහැරගත්තට පස්සේ කුමාරිහාමි එතැනින් බේරිලා එන හැටි.
  • හිරණ්‍ය කියන්නේ මහා බොරුකාරයෙක් කියල ලෝකෙටම එළිවුණාට පස්සේ මිනිස්සුන්ට මුහුණදෙන්න බැරිවෙලා සියදිවි හානි කරගත්තට පස්සේ අවතාරයක් වෙන කතාවක්.

ඔය උඩින් මම ලියල තියන ඒවා ආකාරයේ වෙන්න ඕනේ නෑ, ඔබට කැමැති ඕනෙම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ කරන යෝජනාව වඩාත්ම නිර්මාණාත්මක වෙන තරමට, අභියෝගාත්මක වන තරමට මම කැමති යි. එහෙම ලැබුණු කතා සංකල්ප වලින් වඩාත් හොඳයි කියල හිතන යෝජනා තුනකට මම කතා ලියනවා. දැනට හිතන් ඉන්නේ එක් කොටසකින් කෙටිකතාව බැගින් ලියන්න වුණත් ඉදිරිපත් කරන අදහස කොටස් කිහිපයක් තෙක් දික් වෙන විදිහේ එකක් නම් එහෙම ලියන්නත් බැරි නැහැ.



Thursday, April 4, 2013

විසඳුම

ලැබුණු සාක්ෂි සලකා බැලීම් පසුව නැවත ගොඩනගන ලද සිදුවීම.

"චානක ඊළඟට ලියන්න ඉන්න කතාව මොනවගේද?" රශ්මි චනකගෙන් ඇහුවා.

"කතා ගොඩක් හිතේ තියෙනවා. හැබැයි එකක්වත් හිතට හරියන්නේ නෑ."

"හිතේ තියන එක කතාවක් කියන්න, මම පුලුවන්නම් උදව් කරන්නම්."

චානක කෝපි කෝප්පේ අතට අරන් එහෙට මෙහෙට හැරෙව්වා. ඊළඟට පිම්බා. කෝපි රස්නේ නැති වුණත් බොන්න කලින් පිඹින පුරුද්දක් චානකට තිබුණා. රශ්මි සිය දීප්තිමක් ඇස් දෙක හීනි කරමින් බලාසිටියේ චානක උත්තර දෙනකම්. මීට කලින් චානක ඔහොම ප්‍රශ්න වලට උත්තර දෙන්න හොරයි. රශ්මි බලකරලා උත්තර ගන්න නොගියත් හිතේ තියන කුතුහලය රශ්මිව චානකගේ ප්‍රතිචාරයක් ලැබෙනකම් සාගින්නෙන් යුතුව බලාගෙන හිටියා. රශ්මි චානකට කෙලින්ම කිව්වේ නැති වුණාට රශ්මි චානක ලියපු හැම කතාවක්ම අකුරක් නෑර කියවලයි තිබුණේ. පළවෙනි කතාව කියවද්දී රශ්මි තමන්ටම හිනාවුණා බොළඳ රහස් පරීක්ෂක කතා කියවනවට. දෙවැනි පොත කියවද්දී රශ්මිට තමන් ගැනම තරහයි. තුන්වෙනි හතරවෙනි පොත වෙද්දී අමාරුවෙන් වුනත් රශ්මිට පිළිගන්න වුණා චානකගේ ලිවීමට ඇය ඇබ්බැහි වෙලා ඉන්න බව.

"මේක ටිකක්- නෑ ගොඩක්- පිස්සු අදහසක්. ඔයා ඒක ගැන මොනවා හිතයිද දන්නේ නෑ." චානක තෙපර බෑවා. "මගේ හිතේ අදහසක් තියනවා මැදි වයස පහුකරන ගෑනියෙක් මිනීමරන කතාවක් ලියන්න. කොටින්ම කිව්වොත් මට ඒ අදහස ආවේ මිසිස් මුණසිංහ අනුව."

රශ්මි ඔලුව වැනුවේ කියන් යන්න කියන්න.

"ඒත් ප්‍රශ්නේ මේකයි, ඒකට ප්‍රබල හේතුවක් මට හිතාගන්න බෑ. හැබෑ ජීවිතේදී ඕනෙම මිනිමරුවෙක්ට පිළිගන්න පුළුවන් හේතුවක් තියෙන්න ඕනේ නෑ මිනීමරන්න, ඒත් කතාවකදී එහෙම බෑ. මිනිස්සුන්ට ඒක දැනෙන්න ඕනේ."

"ඉතින් මිසිස් මුණසිංහව මානසික ලෙඩෙක්ව කරන්න. සිරියල් කිලර් කෙනෙක්."

"මම ඕක ගැන හිතුවා, ඒත් මම මේ දවස්වල පත්තරේට ලියන කතාවකත් මිනීමරුවා මානසික ලෙඩෙක්. ඉතින් එක විදිහේ කතා මම ආයේ ලියන්න කැමති නෑ." චානක ආයෙත් කොපි කෝප්පේ අතට ගත්තා. කෝපි බීලා ඉවර වුණත් කෝප්පේ ආයෙත් තොල ගෑවා. එක පාරටම චානක රශ්මි දිහා බැලුවේ බලාපොරොත්තුවේ සේයාවක් තමන්ගේ ඇස්වල රඳවා ගනිමින්. "ඔයාට කරන්න පුළුවන් උදව්වක් තියනවා. මට දැනගන්න ඕනේ මිසිස් රණසිංහ මිනිමරුවෙක් වෙනවා නම් ඒ ඇයි කියන හේතුව."

"අයියෝ ඕක අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. උත්තරේ තමන්ගේ පුතා. මිසිස් මුණසිංහ එයාගේ පුතාට හරි ආදරෙයි, සමහර වෙලාවට ඒක පිස්සුවක්. එයාට ඕනේ එයාගේ පුතාව රූකඩයක් වගේ තමන්ට ඕනේ විදිහට නටවන්න. පුතා දැන් ඉන්නේ රට, මෙයාගේ වදේට කියන්නෙත් නැතුවයි ගිහින් ඉන්නේ. කතා කරන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේ. ඒ වුණාට කියන්නේ නම් එයත් යන්න ඉන්නේ කියල. අර වයසක මනුස්සයටත් හරියකට සලකන්නේ නෑ, එයාට ඕනේ හැමෝවම පාලනය කරගෙන ඉන්න. වෙලාවකට මහා ඇණයක්. මගෙත් වැඩවලට ඇඟිලි ගහනවනේ." රශ්මි කියාගෙන යද්දී තමන්ගේ හිතේ මිසිස් මිනසිංහගේ වැඩ ගැන තිබුණ තරහත් පිටවුණේ නොදැනුවත්වම. අනුන්ගේ වැඩවලට ඕනෙවට වඩා ඇඟිලි ගහනවට, ඉවරයක් නැති ඕපාදුප හෙවිල්ලට, මිනිස්සුන්ව අල්ලේ නටවන්න හදනවට රශ්මි කේන්තියෙන් හිටියේ.

"ඉතින් මම දැන් මොනවද කරන්න ඕනේ?" රශ්මි චානක ගෙන් එහෙම ඇහුවහම චානකගේ ඇස් දිලිසුණා.

"මම කියන්න ඕනේ නෑනේ. ඔයාටම ඕක කරන්න පුළුවන්."

* * * * *

හිතපු වෙලවටම වගීෂ ආවේ කාර් එකේ. අලුත්වැඩියා කරන්න දීල තිබුණු වාහනේ හදන්නත් කලින්  අරන් එන්න විදිහට පෙළෙඹවීමක් කරන්න රශ්මිට පුළුවන් වුණා. රශ්මිගේ අතාර්කික තුරුම්පුව වුණේ වගීෂගේ ඇය ගැන තිබුණු කැමැත්ත. අනෙක් අයගේ අවධානයට ලක්වෙන්න, ආදරය ලබන්න කවුද අකමැති. වගීෂගේ විශේෂ සැලකීම් වලින් රශ්මි සතුටටත් ආඩම්බරයටත් පත්වුණා. වගීෂ පිස්සුවෙන් වගේ රශ්මි පස්සේ වැටිලා ඉන්න කොට කාර්යාල මිතුරියක් කිව්වේ, "පව් බං. ඌ මෝඩය වගේ උඹේ පස්සෙන් එන්නේ ආදරේටනේ, ඒකෙන් ප්‍රයෝජන ගන්න එපා" කියලා. රශ්මි එවෙලාවේ මහා හයියෙන් හිනා වුණාට තමන්ට ලැබිලා තිබුණු අවස්ථාව ගැන ඇය උද්දාමයට පත්වුණා.

"මොකද්ද ඕනේ කිව්ව උදව්ව, හදිස්සියක්ද? කරදරයක්ද?" වගීෂ කර එකෙන් බැහැල ඇවිත් ගේ ඉස්සරහින් හිටගෙන ඇහුවේ කලබලෙන්.

"නෑ නෑ, එහෙම මුකුත් නෑ. ගේ ඇතුලට එන්නකෝ මම කියන්න."

වගීෂ පුටුවෙන් වාඩිවුණේ නුහුරු විදිහට. කලින් තිබුණු කලබල ස්වභාවය සම්පූර්ණයෙන්ම නැතත් තරමක් හිඳිලා තිබුණා. රශ්මි වාඩිවුණේ ඒ පුටු ඇන්දේ වගීෂගේ ඇඟේ හැපෙන විදිහට. රශ්මි ටික වෙලාවකට කලින්  ඉහ ගත්ත සුවඳ විලවුන් වල ලා සිට්‍රික් ඝන්ධය වගීෂගේ නාසයේ ඇතිල්ලිලා පපුව ඇතුලටම කිඳා බැස්සා. රශ්මි වගීෂ දිහා බලලා යන්තම් හිනාවුණා.

"මේක මේ යාලුවෙක්ට කරන විහිළුවක්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චර යි. මේ නම්බර් එකට කතා කරන්න, කවුරු ආන්සර් කළත් කමක් නෑ, එයාට කියන්න ඔයා රුවන් මුණසිංහගේ යාලුවෙක් කියල. ඊට පස්සේ වැඩේ ලේසියි. මේ කොලේ බලාගෙන ඉතිරි ටික කියන්නයි තියෙන්නේ. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න එපා. ඔයා ඔය ටික කිව්වම ඇති."

වගීෂ රශ්මි දුන්න කොලේ කියවන්න පටන් ගත්තා,

විශේෂ පණිවිඩයක් තියනව කියන්න, ඔයාට කරන්න තියෙන්නේ ප්‍රශ්න අහන්නේ නැතුව මම කියනදේ හොඳට අහගෙන ඉන්න. තමුන්ගේ පුතා රුවන් මුණසිංහ ඉන්නේ රට නෙවෙයි ලංකාවේ ම යි. තමුන්ගේ වදේට බොරු කියල පැනල ගිහින්. දැන් ඉන්නෙත් බැඳපු තමුන්ගේ ලේලිත් එක්ක නෙවෙයි, මතක් කරලා බලනවා අන්තිමට ලේලි කතා කළේ කවද්ද කියල, දැන් තමුන්ගේ මහා ලොකු පුතා ඉන්නේ ළමයි දෙන්නෙක් එක්ක අනාත වෙච්ච නාකි ගෑනියෙක් එක්ක. මෙච්චර කල් තමුන්ට කරලා තියෙන්නේ ලොකු බොරුවක්. බයවෙන්න එපා මම මේවා කාටවත් එලි කරන්නේ නෑ. ඒත් මට උදව්වක් ඕනේ. මේ කෝල් එක ඉවර උනාට පස්සේ පුතාට කතා කරලා කියන්න ඕනේ තමුන් ඔක්කොම රහස් දන්නවා කියල. සරලයි, එච්චරයි, සුබ රාත්‍රියක්.

"මේ විහිලුවක්ද? නැත්තම් තර්ජනයක්ද?" වගීෂ ඇහුවේ සැකයෙන්. වාඩිවෙලා හිටපු පුටුවෙන් ඔහු නොදැනීම නැගිට්ටවිල තිබුණා.

රශ්මි වගීෂ ගේ කම්මුල සියුම්ව අතගෑවා. වගීෂට ඇස් පියවුණේ ඉබේටම. තප්පර කිහිපයක් රශ්මිගේ සියුමැලි පහස විඳමින් ඔහු සිහින ලෝකයක පාවුණා. නැවත ඇස් අරිද්දීත් රශ්මි වගීෂ දිහා බලාගෙන හිටියේ. රශ්මිගේ බැල්ම වගීෂව පසාරු කරගෙන ගියා. වගීෂ වීදුරුවක් වෙලා රශ්මිගේ තියුණු නෙත් තුලින් ආලෝක කිරණ ගමන් කළේ වර්තනයක් වෙන්නේ නැතුව ම යි. රශ්මි ඔලුව වැනුවේ තමන් එක කළ යුතු ම බව පවසන්න. අවසානයේ වගීෂත් එය අනුමත කරන්න ඔලුව වනමින් හිටියා.

"හරි එහෙනම් ඔයා කෝල් එක දෙන්න. මම ටක් ගලා මිසිස් මුණසිංහ බලල එන්නම්." රශ්මි පහත් හඬින් කිව්වා. "ආ තවත් එකක්, ඔයාට කූල් ඩ්‍රින්ක් එකක් ඇති ඒකත් බොන්න."

* * * * *

රශ්මි ගෙයින් එළියට බහිද්දී හඳ එළිය පරිසරය නහවල ලා නිල් පාට ආලෝකයකින් බාහිර ලෝකය වර්ණ ගන්වලා තිබුණා. රශ්මි සඳ පහස වින්ද ගනිමින් වටපිට බැලුවා. චානකගේ ගෙදර කළුවරේ තනිවෙලා, මිසිස් මුණසිංහගේ ගෙදර ඇතුලින් එක තනි එළියක් විතරක් දිස්වුණා. වගීෂ කතා කරලා මිසිස් මුණසිංහ ට විස්තරේ කියද්දී ඇය පුදුමයටත් කලබලයටත් පත්වෙන හැටි සිහිවෙලා රශ්මිට හිනා ආවා. එතන වරදකාරී හැංගීමක් නැහැ. වගීෂ දැන් කියන ඒවා බොරුමත් නෙවෙයි නේ, සුළු සංස්කරණ ටිකක් සහිත ඇත්තනේ. ඒ පාර රශ්මිට සිනහ පහල වුණේ තමන් ගැන ම යි. ඇය චානක අතින් ලියවෙන්න පුළුවන් විදිහේ කතාවක චරිතයක් වෙලා හිටියා.

නැවත ගෙට ඇතුළු වෙද්දී වගීෂ හිටියේ සෝපාවේ සිහිසුන්ව. සිසිල් පැන් තිබුණු වීදුරුව හිස් වෙලා වගීෂ ගේ පසකින් බිම වැටිලා තිබුණා. රශ්මිගේ සිසිල් පානය නියම ලෙසම වැඩකරලා. වගීෂව නැවත වාහනේට දාන එක හිතුව තරම් අමාරු වුණේ නැහැ. වගීෂ රශ්මිගේ උපකල්පිත බරට වඩා අඩු නිසා කරදරයක් නැතිවම වාහනේ ළඟට ගෙනියන්න ඇයට හැකිවුණා. හඳ එළියෙන් පමණක් ඔප වැටුණු පරිසරයේ රශ්මි කුමක් කරනවද බලන්න හැකියාව ඇත්තෙක් ඒ අසල හිටියේ නෑ. පසුපස ආසනයට වගීෂව වත්තම් කරගත් ඇය කාර් එක පණ නොගන්වා රියදුරු අසුනේ හිඳ බලා හිටියේ පාරේ වාහනයක් යනකම්.

රශ්මිට පුළුවන් වුණා, කරදරයක් නොවෙන්න වගීෂ ව නැවත ඔහුගේ ගෙදර ගිහින් ඇරලවන්න. සිසිල් පැන් වලට එක්කල බෙහෙත නිවැරදි නම් ඔහුට මේ කිසිවක් වූ බවට ඇති මතකය නැතිවෙන්න ඕනේ. රශ්මි වගීෂ ගේ වාහනය පදවාගෙන ඇවිත් නතර කළේ චානකගේ ගෙදර. කලින් සුදානම් කරගත්ත විදිහට ගේට්ටුවට යතුරක් ඇය සතුව තිබුණා. රශ්මි කාර් එකෙන් බැහැල අඩි ගණන් කළේ මිසිස් මුණසිංහගේ ගේ දෙසට. ගේ තුලින් විශ්‍රාමක විදුහල්පතිනියගේ තනිවම කරන වාග් හරඹ අසමින්ම (ඇත්තෙන්ම මුණසිංහ බිරිඳ පුතාගේ තතු දැන ගැනීමෙන් ලොකු කම්පනයකට පත්වෙලා තිබුණා. පුතාට කතා කරලා ඇත්ත නැත්ත ඇහුවහම පුතා වරද පිළිගත්ත එකනේ වැඩේ!) ඇය වගීෂට දුන් බෙහෙතේ ඉතිරිය තම අතට ගත්තා. වැඩි මාත්‍රාවක් ගැනීම මරණීය වෙන එය සම්පුර්ණයෙන්ම කටේ හලාගත් රශ්මි මුණසිංහ ගෙදර මල්පොච්චියකට හිස් බෙහෙත් කුප්පිය විසි කළා.

හිස බමද්දී, ගුරුත්වාකර්ෂණය පිස්සු නටද්දී, හඳ එළිය ගස්වල රටා මවද්දී රශ්මි නැවතත් චානකගේ ගෙදර මිදුලේ නතර කළ වගීෂ ගේ වාහනය වෙත පැමිණියා. බෙහෙත ඉතා ඉක්මනින් ක්‍රියා කරවමින් රශ්මිව අක්‍රීය කළා. ඇයට දැනුනේ කාලය ගතවෙන්නේ වෙනදට වඩා සීයකින් එකක වේගෙකින් කියල. රශ්මිට කාර් එකේ දොර වහගන්න අපහසු වුණා. අතේ ඇඟිලිවත් ඇස්වල දෘෂ්ටියවත් නියමිත පරිදි වැඩකළේ නැතුව රශ්මිව අඩාල කළා. ප්‍රකාශ කරගන්න අමාරු වේදනාවකින් මුළු සිරුරම ගැහෙද්දි, හදවත අපහසුවෙන් ලැබ-ඩබ් ශබ්ද නගද්දී, වමනේ යන්න ලොකු උවමනාවකින් බඩ පෙරලෙද්දී රශ්මි මේ කිසිවක් ගැනම නොසිතන්න ගත් උත්සහයකින් ඇය ඇස් පියාගත්තා.

චානකට උවමනා වුණාටත් වඩා සාර්ථක කතාවකට සාධක සපයන්න රශ්මිට පුළුවන් වීම ගැන ඇය සියුම් තෘප්තියකින් සැනසුණා.

අවසානයි.