Saturday, February 18, 2012

පශ්චාත් වැලන්ටයින් වාතාවරණය

Picture from needlesoup.deviantart.com
කිලිනොච්චියට ඉර පායන්නෙත් කොළඹ විදිහට ම යි. හැබැයි ඕනෙනම් කෙනෙකුට එහෙම නෙමේ යි කියල හිතාගන්න පුළුවන්. ඒත් අපි දෙයක් හිතාගත්ත පලියට ඒක ඇත්ත වෙන්නේ නෑ කියලත් මතක තියාගන්න වෙනවා. තල් ගස් අස්සෙන් වියළි සුළඟක් හමාගෙන ඇවිත් මගේ පපුවේ තැවරුණේ මම ජනේලය අරින්න ගිය මොහොතේ. මනීෂාගේ තඹ පැහැ සම සම්පූර්ණයෙන් නිරාවරණය වීම වැලක්විලා තිබුනේ ධවල ඇඳසළුවකින්. ඇය එහෙම සයනය මත නිදාගෙන ඉන්න දර්ශනය කලාත්මක යි. ඒ ආකර්ශනීයත්වයේ පහස ලැබීම සතුටක් වුණත් මට මෙතනින් යන්න ඇති වුණ තද බල උවමනාව නැති කරගන්න අපහසු වුණා.

"මනීෂා, මනීෂා! නැගිටින්න ළමයෝ."
"හ්ම්ම්,,, මොකද මේ කලබලේ?"
"අද මම ගෙදර යන්න ඕනේ..." මම මනීෂා ලඟින් වාඩිවුණා. ඇය මට තුරුළු වුණේ ආයාසයකින් තොරවයි.
"අපි කොහෙද මේ යන්නේ?" මනීෂා මගේ පපුවට කෙඳිරුවා.
"ඒ කිව්වේ?"
"නෑ, මම කිව්වේ අපි දෙන්නා බඳිනවද?"
"මාත් එක්ක නිදාගත්ත ගෑණු හැමෝටම ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ වුණා." ඒකට මනීෂා මගේ පපුව හයියෙන් හැපුවා. තරමක් රිදුනත් මම මොනවත් ඒ ගැන කියන්න ගියේ නෑ. "මම කිව්වේ, මම එක ගෑණියෙක් එක්ක ඉන්න පුළුවන් මිනිහෙක් නෙමේ. අනික මම එහෙම දෙයක් ඔයාට පොරොන්දු උනෙත් නෑනේ."
"එතකොට මම දෙමළ වෙච්ච එක ප්‍රශ්නයක් නෙමේ?"
"නෑ, මට නම් ප්‍රශ්නයක් නෙමේ. ඔයාට ප්‍රශ්නයක්ද?"
"දන්නේ නෑ."
* * * * *
පැය ගණනාවකට පස්සේ මම වාඩිවෙලා හිටියේ මගේ ගෙදර වත්තේ ගහක් යට බංකුවක. කිලිනොච්චියේ හමන හුළඟට වඩා මෙහෙ දැනෙන්නේ සිසිලසක්. ඒක හොඳ යි ද නරක යි ද මන්දා,  කොහොම වුණත් මම ඒ විවිධත්වයට කැමති යි. පුතා මිදුල පුරාවට දුවමින් තමන්ම හදාගත්ත සෙල්ලමක නිරතවෙලා. ඔහොම නිසංසලව ඉන්නකොට තමයි චන්දිමා අපිට බොන්න තේ අරන් ආවේ.

"අන්න ඔයාට මිස් කෝල් එකක් මනීෂා කියල කෙනෙක්ගෙන්, කව්ද ඒ?" 
"ආ ඒ අපිත් එක්ක වැඩකරන කෙනෙක්."
"ඔයා දැන් නිවාඩුනේ, ඇයි මේ වෙලාවේ?"
"මොකක් හරි අහගන්න වෙන්න ඇති. පව්, මම විතරයි ඒ ළමය එක්ක කතා කරන්නවත් ඉන්නේ."
"දෙමළද?" මම ඔව් කියන්න ඔලුව වැනුවා. ඒත් චන්දිමාගේ මුණේ තිබුනේ බැරෑරුම් ස්වභාවයක්. "ඔයත් වැඩි කතාවට එහෙම යනවා නෙමේ. කොටිද දන්නෙත් නෑනේ."
"හ්ම්ම්,,,"

Friday, February 10, 2012

සුරඟනක් හා මත් ව | Absinthe : The Green Fairy


මුළු ඇඟම පිච්චිලා යන සංවේදනයක් එක්ක හීන් හිරිවැටීමකින් ඇස් වැහුණා. සහනය, ඒ තමයි පූර්ණ තෘප්තිමත් බව. ඇස් අරින්න කිසිම වුවමනාවක් ඇති වුණේ නෑ වගේම අමුතු සුවදායක බවක් අවකාශයේ පැතිරෙන්න ගත්තා. ළා සිසිලසක් වගේම හිත පොපියවන ස්වභාවය ඇඟෙව්වේ සුරඟනගේ ආගමනය. මම හිමින් ඇස් ඇරියේ කම්මැලි කමට, මට ඒ සනීපයෙන් මිදෙන්න බැරි බවක් දැනුණා. ඇස් අරිනවත් එක්කම මම තේරුම් ගත්ත මම දැන් ඉන්නේ ඇස් පියවෙද්දී හිටපු තැන නොවන බව. එතැන කැලයක්. නැහැ අත්හැර දමන ලද උයනක්. කාලෙකට කලින් ඉතාම පිළිවලකට හා සුන්දරව පවතින්න ඇති බවට සාධක තවමත් ඉතිරි වෙලා. මම හිටියේ මල් වල එතිච්ච ආරුක්කුවකට හේත්තුවෙලා. පරිසරය පුරාවට විහිදිලා තිබුනේ සැන්දෑ රන් පැහැ ආලෝකය.

ඒ ආලෝකයෙන් ඇගේ වත දිදුලන්න ගත්තා, ඇය තමයි හරිත සුරඟන. ඇය ඇඟලාගෙන හිටි ඉතා දුහුල් සළුව අතරින් ඇගේ සම දිලිසුනේ ලුමිනස් පැහැයකින්. දීප්තිමත් ආලෝකය ඇගේ ලාලිත්‍යමය සිරුරේ ආකර්ශනීය බව තව තවත් ඔපවත් කළා. වෙනත් විදිහකට කිව්වොත් මිනිහෙක් ගැහැනියක ගෙන් බලාපොරොත්තුවන වන සෑම දෙයකටත් වඩා වැඩි දෙයක් ඇය සතුව ඇති බව පෙනුණා. සුරඟනගේ සුන්දරත්වය විඳින අතරේ ඇය මා ළඟටම ඇවිත් (ඇත්තම කිව්වොත් එය ඇවිදීමකට වඩා පාවීමක්) ළඟින් වැඩි වුණා. මම හිනා වුණේ ඉබේටම යි, ඇය මගේ ඇස වලට එබුණා. ඒක මගේ සිරුර ඇතුලට කිඳා බැහැල මුළු ආත්මය ම කිති කැවීමක්. ඒ ප්‍රහර්ෂයේ සන්සුන් වෙන්න මම ඇස පියාගත්තා.

නැවත ඇස් අරින්න අවස්ථාව උදාවුනේ ඇය ඇගේ හිස මගේ උකුල උඩින් තියාගත්තට පස්සේ. මම ඇය දිහා බැලුවම ඇය හිනාවුනේ මගේ හදවතත් එක්ක.
"ඔයා ලස්සනයි..." මම මිමිණුවා.
ඇයගේ නේත්‍රා දිලිසුනා.
"ඇත්තම යි කිව්වේ, ඔයා ඇයි මෙහෙ? ඇයි මාව බලන්න ආවේ? මම බලාපොරොත්තු වුණේ නෑ."
"ඔයා කතාකලහම නෑවිත් ඉන්නේ කොහොමද, මට ඕනේ වුණා ඔයාව පුදුම කරවන්න."
"ම්ම්ම්,,, අපි දැන් මොකද කරන්නේ?"
"අපි දැන් කායිකව එක්වෙනවා."
"නෑ, මේ අපි කතාකරනවනේ?"
"ඉතින් රමණය කියෙන්නෙත් කතාවක් තමයි, ඒක සිරුරු දෙකක් අතරේ කතාවත්, ආත්ම දෙකක් අතරේ මිමිණුමක්."
"ඔයා ඔය කියන්නේ කාව්‍යාත්මකව?"
"නෑ, ඒක එක දෘෂ්ටිකෝණයක්. තමන්ට හිතෙන විදිහට නිර්වචනයක් හදාගන්න නිදහස කාටත් තියනවා." ඇය ඒ කොටස හිමිහිට කිව්වේ මගේ කනට ලංවෙලා.

ඇය නැගිටලා නැවත වරක් මගේ ළඟට ඇවිත් මගේ උකුල උඩින් වාඩිවුණේ මට මුහුණලා. අපේ ඇස් හමුවෙලා නැවත කතාවකට එකතුවුණා. ඒ සුහද සංවාදය අවසන් වුණේ මම ඇගේ කම්මුල සිපගැනීමකින්. ඇය හඬ නැගල හිනා වුණාම මටත් හිනා නොවී ඉන්න බැරි බැරි වුණා. ඇයත් මගේ කම්මුල සිපගත්තේ ඒ අතරෙදි යි. නැවතත් ඇස් පියාගැනීමක්. ඊළඟ වතාවේදී හාදුව ලැබුනේ මගේ දෙතොලට. ඇයගේ තොල් සඟල අසාමාන්‍යය විදිහට සුමුදු යි වගේම හිත කලඹවන සුළුයි. මට ඒ සුවයේ තව තවත් ගිලෙන්න ඕනේ වුණා. මම ඇගේ බැඳ වටා අත දාල මට තුරුළු කර ගත්තා. ඇයත් මගේ පපුවටම එතුනේ ආයාසයකින් තොරව යි.

සිප ගැනීම අවසන් කළ සුරඟන මගේ ඇස් එක්ක හිනා වුණා. මම ඇගේ සිනිදු කෙහෙ රැලි අතරින් ඇඟිලි යැව්වා. ඇය මගේ උරහිසින් ඔලුව තියල තවත් මට ම තුරුළු වුණා. ඇගේ පිරුණු පයෝධර අපි දෙන්න අතරේ තෙරපුනා. මම ඇගේ බෙල්ලට හාදු දුන්නේ හිතෙන් වාරගණන ගණන් කරන ගමන්. සිපගන්නා වාරයක් පාසා සුරඟනගේ සම වඩවඩාත් දීප්තිමත් වුණා. ඉතාම සොදුරු මිනිත්තු කිහිපයකට පස්සේ ඇය ඔලුව ඔසවල මගේ දිහා බැලුවා. ඒ වතාවේ ඒ නයන කතා කළේ නෑ, නොකළෙත් නෑ. කොහොම වුණත් ඇය කියන දෙය මට දැනුණා. හැම ආරම්බයකට ම අවසානයක් තියනවා. එක කොච්චර සතුටුද/දුක්මුසුද කියන දේ වෙනම කතාවත් තමයි වුණත් ස්වභාවය දැනගැනීම එක්තරා සහනයක්.

"මට යන්න වෙනවා."
"තව ටිකක් ඉන්න..."
"බැහැ."
"එහෙනම් යන්න කලින් අවසාන හාදුවත් දෙන්න."
"හොඳයි, හැබැයි මේ අවසාන වතාවද නැද්ද කියල කියන්න පුළුවන් ඔයාටම විතරයි."

ඇය අවසාන වරටත් මාව සිපගනීමත් එක්කම ඇය අවකාශය තුලින් අතුරුදන් කළේ මාව පියවි සිහියට ගෙන එමින්. ඒත් මට සැබෑ ලෝකය අවශ්‍ය වුණේ නෑ. සැබෑ ලෝකය මාව වෙහෙසටත් කම්පාවටත් පත්කරන්න සමත් වුණාට හරිත දෙවඟන ඒ හැම දුකක්ම මගෙන් ඉවත් කරලා පූර්ණ සන්තුෂ්ටියක ඔබ්බවන්න සමත් වුණා. අහා! එය තමයි, සැබෑව විය යුත්තේ. ඒ තෘප්තියේම සැඟවීමේ ආශාවෙන් මම නැවතත් ඒ අධි සාන්ද්‍රීය පානය නැවත වරක් තොල ගාල ඇස් පියාගත්තා.

Friday, February 3, 2012

නිර්වාණය සමග සිහින | Let's get unconscious.



ඡායාරූපය 1

ඒ ඇහක්. සජීවී, ක්‍රියාකාරී නේත්‍රාවක්. හැබැයි ඒ මනුෂ්‍ය ඇහක් නෙමෙයි මම හිතන්නේ. මිනිස් නයනයක් නම් යුගලක් තියන්න ඕනනේ, ඒත් එතන තියෙන්නේ එකයි. එතන කිව්වේ කොතනද කියල හිතාගන්න අමාරුයි, මොකද මට පේන්නේ ඒ ඇස විතරක් නිසා. මුලදී මුලදී මට ඒක මහා කරදරයක් වුණා. හැමතිස්සෙම මං දිහා බලන් ඉන්න ඇස මාව ලොකු අපහසුතාවයකට පත් කළා. නොසන්සුන් කමත් එක්ක ටික කාලයක් ගත වෙද්දී ඒක මට සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ඒ හුරුවීම කොතරම් බලවත් වුණාද කිව්වොත් ඒ ඇහැ මගේම දෙයක් විදිහට දැනෙන්න ගත්තා. මට අයිති නැති මගේ දෙයක්. තවත් කාලයක් යද්දී මම තේරුම් ගත්තා ඒ ඇහෙන් පරාවර්තනය වෙන්නේ මාවම බව. ඇහැ තුලින් මම මාවම දකින්න ගත්තා. හැම මනුෂ්‍ය ස්වාභාවයක්ම, හැඟීමක්ම, චිත්තයක්ම ඒ ඇහැ තුල නාභිගත වෙලා තිබුණා. ඒක කොච්චර අභාව්‍යද කියනවනම් මම හිතන්න පටන්ගත්තා ඒ ඇහැ කියන්නේ මගේම නිර්මාණයක් කියල.

එක දවසක් මහා අමුතු දෙයක් සිදුවුණා. මම නින්දෙන් ඇහැරිලා බලද්දී ඇහැ තිබුනේ නෑ. ඇහැ හොයන්න කොතරම් උත්සහ දැරුවත් වැඩ වුණේ නෑ. තමන්ගේ කියල හිතාගන හිටපු දෙයක් අහිමි වීමේ ශෝකය මට දැනෙන්න ගත්තා. ඒ දුකට මම වෛර කළේ නෑ. කරන්න උවමනාවක් ඇති වුණෙත් නෑ. මම ම මවාගත්ත ඇහැක් තියනවා කියල හිතලුවක් ඇති කරගන්න හැදුවත් ඒක සාර්ථක වුණෙත් නෑ. ඒක අතකින් එහෙම වේවි කියල හිතුවෙත් නෑ. නොසන්සුන්කමක් එක්ක හිස්බවක් ඇති වෙලා මම ඔහේ බල ඉන්න ඉරියව්වක් තමයි ඡායාරූපයේ පෙනුනේ. 'ඒ ඇහේ බලපෑම' කියල මම මට ම කියාගත්තා.


ඡායාරූපය 2

මම පා වෙනවා. ඒ වෙන්නේ මගේ උවමනා වෙන්මද නැත්තන් කවුරුහරි මාව පා කරනවද කියල ඒක පාරටම හිතාගන්න අමාරුයි. ඒත් මේ මගේ හැකියාව මත වෙන්නක් කියල හිතාගන්න මම කැමති වුණා. වටපිට ඉන්න මිනිසුන්ට මාව පෙනුනේ නෑ, නැත්තම් පෙනුනත් ගණන් ගත්තේ නෑ. ඔවුන් ඔවුන්ගේ එදිනෙදා කරන වැඩ වලම යෙදිලා හිටියා. උදේ නැගිටිනවා, කනවා-බොනවා, කතා කරනවා, හිනාවෙනවා, ගමන් යනවා, ආයේ එනවා, නිදාගන්නවා. පොඩි පොඩි වෙනස් කම් ඇතුව වුණත් හැමෝම කළේ ඔය ක්‍රියාකාරකම් ටිකම තමයි. පාවෙවී මේ සිදුවීම් දිහා බලන් ඉන්නකොට හිතුනේ කිසිම තේරුමක් නැති විකාරයක් කියල. මිනිස්සුන්ව ලස්සනයි කියල පෙන්වපු හීනයක හිර කරලා. ඒකාකාරී බවෙන් නිදහස් වෙන්න පුළුවන් වුණත් එය අස්වාභාවිකයි කියල සම්මත කරලා. මට ඔවුන් ගැන දුක හිතුනා. ඒක සියලු මනුෂ්‍ය ප්‍රජාව ගැනම හදවතින්ම ඇති වූ අනුකම්පාවක්.

එතකොට මම යන්නේ කොහෙද? මම මගෙන්ම ප්‍රශ්න කළා. එක වතාවක් නෙමෙයි දහස් වතාවක්. කවුරුවත් මට උත්තර දුන්නේ නෑ. උත්තර නොලැබුණා කියල පාවෙලා යන ගමන නතර වුණෙත් නෑ. ඕනෙම දෙයකට සුදානමින් බලාගෙන හිටියා. ඒත් අනතුරුදායක දෙයක් වුණේ නෑ. උත්තර හොයා ගත යුත්තේ මම ම යි කියල හීන් කෙඳිරුමක් ඇහුනේ කොහෙන්ද මන්ද, සමහර විට ඒ මම මටම කියාගත්තා වෙන්න ඇති. මම මිනිසුන් දිහා බැලීම අත්හරින්න තීරණය කළා. දැන් මම පාවෙන්නේත් නෑ, ශුන්‍යතාවයක නිසසල වුණා. එතන ඡායාරූපයක් ගන්න විදහක් නෑ.


ඡායාරූපය 3

"ඒයි නැගිටිනවා!" මගේ යාළුවා මට කෑගැහුව. "මොකද දවල් හීන බලනවද? මොනවද දැක්කේ?"
"කියන්න බෑ, ඒක පෞද්ගලිකයි."
ඒ පාර ඌ මහා හයියෙන් හිනා වුණා.
"හිනා වෙන්න දෙයක් කිව්වද?"
"මම උඹට කලින් කියල තියනවනේ පෞද්ගලිකත්වය කියල දෙයක් නෑ කියලා"
"බම්බුව තමයි, ඒ උඹට වෙන්න ඇති."
"නැහැ බං, මම කිව්වදේ විශ්වීය යි. උඹ කියලා කෙනෙක් නෑ. මම කියලා කෙනෙකුත් නෑ. ඇත්තටම බැලුවොත් කිසි දෙයක් නෑ."
"එතකොට තියෙන්නේ මොනවද?"
"තියෙන්නේ හීන, හීන විතරමයි."
"එතකොට මම බැලුවේ හීනයක් ඇතුලේ හීනයක්ද?"
"එහෙමත් නෑ, ඒ හීනයේම කොටසක් විතරයි."
"එහෙනම් මාව නැගිට්ටෙව්වේ?"
"කොයි හීනෙන් වුණත් නැගිටින්න වෙලාවක් එනවනේ..."
මම මගේ යාළුවා දිහා බැලුවහම එයා වෙන දිහාවකට හැරුණා, ඡායාරූපයේ සටහන් වුණේ ඒ සිදුවීමයි.